මඩකලපුව විශ්වවිද්‍යාලය රටේ නීතියට පටහැනියි

 ඡායාරූපය:

මඩකලපුව විශ්වවිද්‍යාලය රටේ නීතියට පටහැනියි

ජ.වි.පෙ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස

බැටික්ලෝ කැම්පස් ආයතනය නීති විරෝධී ආයතනයක් වන අතර ජාතික සමගියට දැඩි බලපෑමක් එල්ල කරන ආයතනයක් බවත් එම ඉඩම මිලදී ගැනීමේදී වංචාවන් සිදුකොට තිබෙන බවත් ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) ජ.වි.පෙ. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිහිටුවා තිබෙනවා. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මඟින් තමයි එය නියාමනය වන්නේ. 1985දී එම පනතට ගෙනා සංශෝධනයක් සමඟ රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කිරීමේ ආයතන ගොඩනැඟීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නා. එම නිසා දැන් ආයතනයකට හෝ පුද්ගලයකුට පෞද්ගලික උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් එයට නීතිමය ක්‍රමවේදයක් තිබෙනවා. ඒ සඳහා නීති අවසර ලබාගත යුතු ආයතන කිහිපයක් තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආයෝජන මණ්ඩලය සහ උපාධි ප්‍රදානය කරන ක්‍ෂේත්‍රයට අදාළ ආයතනවලින් අවසරය ලබාගත යුතු වෙනවා. උදාහරණ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයත් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනයත් ආදියයි.

“දැන් කතාබහට ලක්වෙලා තිබෙන බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිකිරීමේ ක්‍රියාවලිය 2012 වසර තෙක් දිවෙනවා. එම ක්‍රියාවලියට දැන් වසර 07ක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. 2013 ජුනි මස 11 වැනිදා 'යුනිවර්සිටි කොලේජ් බැටික්ලෝ' ආයතනය ආරම්භ කිරීමට තරුණ කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හීරා පදනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. එය අත්සන් කළේ එවකට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා හීරා පදනමේ හිස්බුල්ලා මන්ත්‍රීවරයායි. 2014 දෙසැම්බර් 10 වැනි දින ශ්‍රී ලංකා හීරා පදනම එම ආයතනය සඳහා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය ලබා ගන්නවා. 2016 මැයි 19 වැනිදා එම ආයතනය ආරම්භ කිරීමට බී.ඕ.අයි. සමඟ ගිවිසුම් අත්සන් කරනවා.

“මෙම බැටික්ලෝ කැම්පස් ආයතනය සඳහා ඉඩම බැහැර කරගැනීම සිදුවන්නේ 2012දීයි. නැඟෙනහිර පළාතේ තරුණ තරුණියන්ට නොමිලයේ වෘත්තීය පුහුණු පාඨමාලා ලබා දීමේ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමේ පදනමින් ඉඩමක් ලබා ගැනීමට මහවැලි අධිකාරියෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව 2013 ජූලි 24 වැනිදා මඩකලපුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 35ක ඉඩමක් වසර 35කට බදු ලෙස හීරා පදනමට ලබා ගත්තා. අක්කරයකට රුපියල් 14,340ක් බදු වශයෙන් අයකර ගන්නා අතර හීරා පදනම එම ඉඩම සඳහා වසරකට ගෙවිය යුතු මුදල වන්නේ රුපියල් 491,200ක මුදලක්. ඒ වගේම මෙම ආයතනය ඉදිකිරීම සහ පවත්වාගෙන යාම සඳහා මුදල් ලබා ගැනීම ගැටලු සහගත තත්ත්වයක්. 2016 මාර්තු මාසයේ සිට 2017 ජුනි මාසය දක්වා වසරක පමණ කාලයක් තුළ සෞදි අරාබියේ අලි ෆාලී නම් පදනමක් මඟින් අවස්ථා 07කදී හීරා පදනමට රුපියල් කෝටි 360ක් ලබා දෙනවා. ඒ වගේම මෙම ආයතනය සඳහා ආචාර්යවරුන් ලෙස සෞදි අරාබියේ මහාචාර්යවරුන් ගෙන්වා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලා තිබෙනවා.

“මේ ආයතනය නීති විරෝධී ආයතනයක්. ඒ වගේම ජාතික සමගියට දැඩි බලපෑමක් එල්ල කරන ආයතනයක්. ඉඩම මිලදී ගැනීමේදී වංචා කොට තිබෙනවා. මෙම ඉඩම ලබා ගැනීමේදී හීරා පදනම හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදෙන පොදු කටයුත්තක් සඳහා ඉදිකරන ආයතනයක් කියලා. නමුත් ඔවුන් ඉදිකරන්නේ මුදලට පාඨමාලා විකුණන ආයනතයක්. ඒ වගේම මහවැලි අධිකාරිය මෙම ඉඩම වෙන්කොට තිබුණේ 'සිද්ධපුර නගරය' නම් ව්‍යාපෘතියක් සඳහායි. එම ව්‍යාපෘතිය නතරකොට තමයි මේ ඉඩම හීරා පදනමට ලබා දෙන්නේ. ඒ වගේම එවකට මහවැලි අධිකාරිය අයත් අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඉඩම බැහැර කිරීමේ ක්‍රමවේදය ගැටලුසහගතයි. අද වන විට ලබා දුන් අක්කර 35ට අමතරව අක්කර 8ක පමණ නීති විරෝධී ගොඩනැඟිලි ඉදිකර තිබෙන අතර තවත් අක්කර 15ක් නීති විරෝධී ලෙස හෙළි පෙහෙළි කර තිබෙනවා. ඒ වගේම මෙම බැටික්ලෝ කැම්පස් ආයතනය ගොඩනැඟිලි සඳහා අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබා ගෙන නැහැ.

“මෙම ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභාවන්වලදී ප්‍රශ්න කළා. ඒ වගේම කියන්න ඕනෑ මෙම ආයතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ අපේ‍්‍රල් 21 ප්‍රහාරයටත් කලින් සිටයි. මේ වසරේ මුල් කාලයේ සිටම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය කාරක සභාවේදී, කෝප් කමිටුවේදී විමර්ශනය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආයතනයට අයත් සියලු වත්කම් රජයට පවරා ගන්නා ලෙසත් මෙම ආයතනය නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාමටත් නිර්දේශ ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම මෙය ජාතික විශ්විද්‍යාලයක් බවට පත්කොට සහජීවනයේ විද්‍යා භූමියක් බවට පත්කළ යුතු බවට සියලුදෙනාගේ එකඟත්වයෙන් යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා.”

මාතෘකා