අපේ හැම ගනුදෙනුවකින්ම මවුබිමට අගයක්, වටිනාකමක් ලැබිය යුතුයි

 ඡායාරූපය:

අපේ හැම ගනුදෙනුවකින්ම මවුබිමට අගයක්, වටිනාකමක් ලැබිය යුතුයි

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

අප සිදුකරන සෑම ගනුදෙනුවකින්ම මාතෘභූමියට අගයක්, වටිනාකමක් එක්විය යුතු බවත් තමාට ගරු නම්බු නාම, තනතුරු සහ තානාන්තර අවශ්‍ය නොමැති බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (06) අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි කළ ‘රනිදුගම’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"අද වන විට රට තුළ උදා ගම්මාන 2,535ක වැඩ අප ආරම්භ කර තිබෙනවා. අපගේ දෙවැනි ඉලක්කය වන්නේ දෙවන අදියර වශයෙන් උදා ගම්මාන 5,000ක වැඩ ඇරඹීමයි. ඉන් පසුව තුන්වැනි අදියරේදී උදා ගම්මාන 10,000ක් සහ සිව්වැනි අදියරේදී නැවත උදා ගම්මාන 2,500ක් වශයෙන් ආරම්භ කිරීමට අප සූදානම්. ඒ අනුව වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000ක් ඉදි කර ජාති, කුල මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව මාතෘභූමියේ ‘සැමට සෙවණ’ ලබා දෙන්නට මා කටයුතු කරනවා. කුමන බාධා පැමිණියද එම අභියෝගය කෙසේ හෝ ජය ගන්නා බව මා ප්‍රකාශ කරන්නට කැමතියි. උදා ගම්මාන ජනතා අයිතියට පත් කරමින් අප රට පුරා යන විට ජනතාව ඔවුන්ගේ දුක්ගැනවිලි ලිපි මඟින් අපට ඉදිරිපත් කරනවා. එම ලිපිවල තිබෙන්නේ පොදු ජනතාවගේ දුක, කඳුළ සහ වේදනාවයි. ජනතාවගේ හදවතේ තිබෙන එම දුක, කඳුළ සහ වේදනාවට බෙහෙත් ලබා දෙන්නට ප්‍රේමදාසගේ පුතා සූදානම්. මා පොදු ජනතාව අතරට ගොස් ඔවුන්ගේ එම ගැටලුවලට විසඳුම් ලබා දෙනවා. උදා ගම්මාන විවෘත කරන විට සෑම නිවසකටම මා යන්නෙත් නිවැසියන් මුණගැසී සෑම පවුලක් සමඟම කතාබහ කරන්නටයි. ඔවුන්ගේ ප්‍රශ්න හඳුනා ගැනීමටයි.

"සජිත්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද, සජිත්ගේ විදේශ සබඳතා මොනවාද අන්තර්ජාතික ගනුදෙනු කිරීමට සජිත්ට හැකිද කියා අද ඇතැමුන් ප්‍රශ්න කරනවා. අද අප මේ විවෘත කරන්නේ මා සිදුකළ ගනුදෙනුවක ප්‍රතිඵලයක් බව ඔවුන්ට මතක් කරන්නට කැමතියි. පිටරට සමඟින් මා ගනුදෙනු කරන විට මා ඉගෙන ගත් දෙයක් තිබෙනවා. එනම් අප සිදුකරන සෑම ගනුදෙනුවකින්ම මාතෘ භූමියට අගයක් වටිනාකමක් එක්විය යුතුය යන්නයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා සමඟ අප අතට අත දෙන විට එය ගමේ ජීවත්වන බණ්ඩා අයියගේ, පුංචි මැණිකගේ සාක්කුවට පසුම්බියට දැනෙන්නට ඕනෑ. දිවංගත මගේ පියාණන් එදා විදේශ රටවල් සමඟින් ගනුදෙනු කළේ එලෙසයි. එම ගනුදෙනු හරහා පළමු වරට ලෝක බැංකුවෙන් ජන සවියට ණය නොව ආධාර ලබා ගන්නට මගේ පියාණන්ට හැකි වුණා. අද දින විවෘත වන ‘රනිදුගම’ උදා ගම්මානයත් අන්තර් ජාතික ගනුදෙනුවක ප්‍රතිඵලයක් බව මා මතක් කරන්නේ ඉතාම සතුටින්. 2015දී අපේ රජය බලයට පත් වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණියා. එදා ජනාධිපතිතුමන්ගේ ඇරයුමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එතුමා හමුවීමට අපටත් අවස්ථාවක් උදා වුණා. එදා එතුමා මුණ ගැසුණු විට “මොනවාද කරන්නේ” කියා සෑම ඇමතිවරයකුගෙන්ම විමසුවා. මගෙනුත් එය ඇසුවා. “ගරු අගමැතිතුමනි, 'ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදිගම' යනුවෙන් තිස්සමහාරාමයේ ගම්මානයක් ඉදිකරනවා” යැයි මා පැවසුවා. “බොහොම හොඳයි” එතුමා පැවසුවා. අපේ රටට ආසන්නම රට ඉන්දියාවයි. එය ලෝකයේ බලවත්ම රටක්. “අගමැතිතුමනි, ඔබතුමාට හැකි නම් අපේ රටේ නිවාස සෑදීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන්න.” කියා මා පෙරළා එතුමාගෙන් ඉල්ලීමක් කළා. මගේ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඉන්දියාවෙන් අපේ රටේ නිවාස ඉදි කිරීමට රුපියල් ලක්ෂ 12,000ක ආධාර ලබා දී තිබෙනවා. එය රටේ ජනතාවගේ හිස මත බදු බර පැටවෙන ගිනි පොළී ණයක් නොවෙයි. එම ආධාරය මෙරටට හිමි වුණේ මා දියත් කළ ජාත්‍යන්තර ගනුදෙනුව හරහායි. සජිත්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද? සජිත්ගේ ජාත්‍යන්තර ගනුදෙනු මොනවාද? කියා ප්‍රශ්න කරන උදවියට එය හොඳ උදාහරණයක්.

"රාජ්‍ය බලය නමැති හැන්ද ලබා දීමට සජිත් ප්‍රේමදාස සුදුසුයි කියා රටේ ජනතාව තීන්දු කළහොත් එදිනට ප්‍රේමදාසගේ පුතා ජාත්‍යන්තරය සමඟින් ගනුදෙනු කර වැඩ පෙන්වන බව මා ප්‍රකාශ කරනවා. පසුගිය කාලයේදීත් ජාත්‍යන්තර ගනුදෙනු සිදුවුණා. එදා විශාල ගනුදෙනුවක් සිදුවුණා. ඒ හම්බන්තොට වරාය ගනුදෙනුවයි. එය රටට හිමි වුණේ ගිනි පොලී ණයක් සමඟිනුයි. ආණ්ඩු මාරු වුවත් එම ණය වාරික අප ගෙවිය යුතුයි. බදු නිසා ජංගම දුරකථනයට රීලෝඩ් එකක් දාපු ගමන් මුදලක් කැපෙනවා කියා පසුගිය කාලයේ කිව්වා නේද? එම බදු යන්නේ කොහේටද? ඒවා යන්නේ හම්බන්තොට වරායේ ණය වාරික ගෙවන්නටයි. පසුගිය කාලයේ සිදුකළේ එවැනි ගනුදෙනුයි. අද අපෙන් ගනුදෙනු ගැන විමසන්නේ එදා එසේ කටයුතු කළ අයයි. අප සිදුකරන ගනුදෙනුවලින් රටට බරක් නොවන බව මා ප්‍රකාශ කරනවා. අපේ ගනුදෙනුවල ඩොලර් කොමිස් කුට්ටි නැහැ. අපේ ගනුදෙනු පිරිසුදුයි. පවිත්‍රයි. අපේ ගනුදෙනුවලින් බඩකට පිරෙන්නේ රටේ ජීවත් වන අහිංසක ජනතාවගේයි. වෙනස එයයි. තිත්ත වුණත් ඇත්ත එයයි. ශ්‍රීමත් ජවහර්ලාල් නේරු මැතිතුමා යනු ඉන්දියාවේ හිටපු ඉතාම දක්ෂ අගමැතිවරයෙක්. එතුමා ඉන්දියාවට පමණක් නොව, මුළු ලොවටම ආදර්ශයක්. එතුමා සිදුකළ ප්‍රකාශයක් අද මට සිහිපත් වුණා. එය අදටත් වලංගුයි. මටත් හොඳට එය ගැළපෙනවා. එය ඔබට නැවත මතක් කරන්නට මා කැමතියි. “ඔවුහු මා ඉන්දියාවේ අගමැති වශයෙන් හඳුන්වති. එහෙත් මා ඉන්දියාවේ මුල්ම සේවකයා ලෙස හඳුන්වනවා නම් එය වඩාත් උචිතය. මේ වකවානුවේ නම්බුනාම සහ තත්ත්වයට වඩා වැදගත් වන්නේ සේවයයි” යනුවෙන් එතුමන් ප්‍රකාශ කර තිබෙනවා. එතුමාගේ මෙම ප්‍රකාශයට අනුව එතුමන් වඩාත් කැමති 'අගමැති' යන වචනයට වඩා 'ජනතා සේවකයා' යන වචනයටයි. නූතන යුගයට වඩාත් ඔබින්නේ තනතුරු නම්බුනාමවලට වඩා ජනතා සේවයයි. සජිත් ප්‍රේමදාස කවුද කියා කිසියම් අයකුට දැනගන්නට අවශ්‍ය නම් මෙම වචන මාලාවට අනුව එහි අර්ථය මටද ආදේශ කළ හැකියි. මට ගරු නම්බු නාම, තනතුරු සහ තානාත්තර අවශ්‍ය නැහැ. මට ඇති කෑදරකම ජනතා සේවයයි. මගේ ගමන එයයි.

"නම්බුනාම තනතුරු ලබා ගන්නට ඕනෑම අයකුට පුළුවන්. අද බොහෝ අය කෑදර නම්බුනාම තනතුරු ලබා ගන්නයි. සෑම අයකුම සිතන්නේ ඒ පිළිබඳවයි. බඩගින්නේ සිටින ජනතාව ගැන කවුරුවත් හිතනවාද? ඉඩම් හා නිවාස නොමැති ජනතාව ගැන කවුරුවත් හිතනවාද? රැකියාවන් නොමැති උපාධිධාරීන්, රැකියා විරහිත තරුණ තරුණියන් ගැන කවුරුවත් හිතනවාද? බොහෝ දෙනකු සිහින මවන්නේ ජනාධිපති මන්දිරය ගැනයි අරලියගහ මන්දිරය ගැනයි පමණයි. ජනතාවගේ බලාපොරොත්තුව එයද කියා මා අසන්නට කැමතියි. රට වෙනුවෙන් සහ රටේ පොදු ජනතාව වෙනුවෙන් අප සියලු දෙනා කැපවිය යුතුයි. රාජ්‍ය බලය නමැති හැන්ද පුංචි ප්‍රේමදාසට ලබා දෙන්නට කවදා හෝ දිනක රටේ පොදු ජනතාව තීන්දු කළහොත් එදිනට මෙරට සමස්ත පවුල් ලක්ෂ 61 පුරවැසියන් ලක්ෂ 220ගේම දෙපතුළ ළඟට පැමිණ මා ඔවුන්ට සේවය කරනවා. සහන ලබා දෙනවා. සංවර්ධනය උදා කරනවාමයි කියා මා සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි.”