වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු මැති ඇමතින්ගේ දූ පුතුන් හා ළඟම ඥාතීන්...

 ඡායාරූපය:

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු මැති ඇමතින්ගේ දූ පුතුන් හා ළඟම ඥාතීන්...

දේශපාලන පවුල් පිළිබඳ කතා කිරීමේදී දකුණු ආසියානු දේශපාලනය දක්වන්නේ ඉමහත් ප්‍රකටත්වයකි. දේශපාලනයේදී උරුමය හා පරපුරෙන් පුරපුරට අඛණ්ඩව දම්වැල සේ දේශපාලනික තනතුරු ගලායෑම ආදිය සැලකීමේදී ලොව අන් කිසිදු කලාපයක නැති තරම් ප්‍රබලත්වයක් දකුණු ආසියානු කලාපය දක්වයි. පාකිස්තානයේ බූතෝලා, ඉන්දියාවේ නේරු-ගාන්ධිලා, ලංකාවේ බණ්ඩාරනායකලා මෙන්ම බංග්ලාදේශයේ ශියාලා එවැනි පවුල්ය. එතරම් ජනප්‍රිය නොවූවත් දකුණු ආසියානු කලාපයේ මෙන්ම ලොව බොහෝ රටවලද විශාල ගණනක් අප්‍රකට හෝ ප්‍රත්‍යන්ත දේශපාලන පවුල්වලින් අඩුවක් නැත.

ලොකු පුටුවල හිටපු අය

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු කථානායක මෙන්ම වත්මන් හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා, හිටපු මන්ත්‍රී (1947-1965) හා හිටපු අමාත්‍යවරයකු වන දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයන් දෙදෙනකු වන අතර සන්ධානයේම හම්බන්තොට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා මෙන්ම ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ මුණුපුරාද වෙයි. ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුත් බැසිල් රාජපක්ෂ මින් පෙර පාර්ලිමේන්තුවද වැඩිමල් සහෝදරයා වන ඩී. එම්. රාජපක්ෂ මහතාද රාජ්‍ය මන්ත්‍රණ සභාවද නියෝජනය කළ අතර ඔහුගේ පුත් ජෝර්ජ් රාජපක්ෂ හා මිණිපිරිය නිරූපමා රාජපක්ෂද මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

එජාපයේ හම්බන්තොට මන්ත්‍රී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා බැව් සියල්ලෝම දන්නා කරුණකි. තවද හිටපු අග්‍රාමාත්‍ය (2010-2015) දි. මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න සහ බෑණනුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් වත්මන් පාර්ලිමේන්තුවේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. හිටපු අග්‍රාමාත්‍ය (2005-2010) රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත් විදුර වික්‍රමනායක මහතා සිය පියා මෙන්ම නියෝජනය කරන්නේ කළුතර දිස්ත්‍රික්කයයි.

පොළොන්නරුව මන්ත්‍රී වසන්ත සේනානායක මහතා සේනානායක පරම්පරාව නියෝජනය කරන අතර ඔහු මෙරට පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මී මුණුපුරකු හා සිව්වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් ඩඩ්ලි සේනානායක මහතාගේ ඥාති මුණුපුරකුද වේ. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එජාපයේ ගම්පහ මන්ත්‍රී රුවන් විජේවර්ධන යන මහත්වරුන් දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඥාති පුත්‍රයන් බවද ප්‍රකටය.

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනම මින් පෙර නියෝජනය කළ මැති ඇමතීන්ගේ ළගම ඥාතීන් කිහිප දෙනකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු දක්නට ලැබේ. නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක හා මයන්ත දිසානායක යන සහෝදරයන් දෙදෙනා දිවංගත ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයන් බව ප්‍රකට කරුණක් වුවත් ඔවුන් දෙදෙනා බණ්ඩාරනායක රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ඇන්ඩෘ දිසානායකයන්ගේ මුණුපුරන් බව එතරම් ප්‍රකට නොවන කරුණකි. එසේම නුවරඑළිය මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන් මහතා හිටපු මන්ත්‍රී සෞමමූර්ති තොණ්ඩමාන් මහතාගේ මුණුපුරාය. තොණ්ඩමාන්ලා යනු උඩරට දෙමළ දේශපාලනයේ සුවිශේෂ පරම්පරාවකි.

පොදු පෙරමුණු රජයේ ප්‍රබල ඇමතිවරයකු වූ ‍ෙජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයා වන ලොහාන් රත්වත්තේ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකි. බණ්ඩාරනායක පවුලට සමීප ඥාතීත්වයක් දක්වන අද දවසේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන්නේද ඔහු පමණි. එම දිස්ත්‍රික්කයම නියෝජනය කරන දිලුම් අමුණුගම මහතා හිටපු අමාත්‍ය හා වත්මන් මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ඥාති පුත්‍රයකු වන අතර වත්මන් රජයේ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා හිටපු අමාත්‍යවරයකු වන ඒ. සී. හමීඩ් මහතාගේ ඥාති පුත්‍රයකු වේ.

මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන දැනට සිටින ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකට කවියකු වූ හිටපු මන්ත්‍රී ටී. බී. තෙන්නකෝන් මහතාගේ පුත්‍රයායි. මාතලේ දිස්ත්‍රික්කයේම එජාප මන්ත්‍රී වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන දෙසොහොයුරන් එජාපයේ දැවැන්තයකු වූ හිටපු අමාත්‍ය ඇලික් අලුවිහාරේ මහතාගේ පුතුන් දෙදෙනායි. මාතලේ මන්ත්‍රී රෝහිණී විජේරත්න කවිරත්න මහත්මිය හිටපු මන්ත්‍රීවරයකු වන දිවංගත සංජීව කවිරත්න මහතාගේ බිරිඳ වන අතර හිටපු මන්ත්‍රී පී. බී. කවිරත්න මහතාගේ ලේලියයි. ඇයගේ පියා වන ජේ. පී. විජේරත්න බණ්ඩා මහතා මෙරට හිටපු අමාත්‍යවරයෙකි.

වයඹ

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා හිටපු මන්ත්‍රීවරුන් වන ෆෙස්ටස් පෙරේරා සහ ලරීන් පෙරේරා යුවළගේ පුත්‍රයායි. වසර ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ බන්දුල බස්නායක මහතාගේ පුත් තාරානාත් බස්නායක මහතාද හිටපු නිවාස නියෝජ්‍ය අමාත්‍ය එස්. ඩබ්ලිව්. අලවතුවල මහතාගේ පුත් ජේ. සී. අලුවතුවල මහතාද කුරුණෑගල මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

සබරගමුව

සබරගමුව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනකුගේම පුතුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඒ 2004-2017 කාලපරිච්ඡේදයේ ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ හා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වූ මහීපාල හේරත් මහතාගේ පුත් කනක හේරත් මහතා සහ සබරගමුවේ පළමු මහඇමතිවරයා (1988-89) වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජී. වී. පුංචිනිලමේ මහතාගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතායි.

වත්මන් රජයේ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය දිවංගත එජාප මන්ත්‍රී හා හිටපු මහලේකම් ගාමිණී අතුකෝරාල මහතාගේ නැඟණියයි. එම දිස්ත්‍රික්කයම නියෝජනය කරන පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය හිටපු මන්ත්‍රීවරයකු හා ආණ්ඩුකාරවරයකු වූ ධර්මදාස වන්නිආරච්චි මහතාගේ දියණියයි. රත්නපුර මන්ත්‍රී දුනේශ් ගන්කන්ද මහතා දිවංගත මන්ත්‍රී චන්ද්‍රා ගන්කන්ද මහතාගේ පුත්‍රයායි.

කෑගල්ලේ හිටපු මන්ත්‍රී එච්. ආර්. මිත්‍රපාල මහතාගේ පුත් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සේම හිටපු මන්ත්‍රී වින්සන්ට් පෙරේරා මහතාගේ පුත් සුජිත් සංජය පෙරේරා හා හිටපු මන්ත්‍රී ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ පුත් මන්ත්‍රී තාරක බාලසූරිය යන මහත්වරුන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරයි.

බස්නාහිර

දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකට දේශපාලන පවුලක් නියෝජනය කරන අතර ඔහු දිවංගත මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයායි. එජාපයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දිවංගත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන අතර වත්මන් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා හිටපු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතාගේ සහෝදරයායි. එසේම කළුතර දිස්ත්‍රික් වත්මන් එජාප මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා හිටපු මන්ත්‍රී ඊ. එල්. විජේමාන්න මහතාගේ ඥාති පුත්‍රයකුය.

ගම්පහ හතක්ම ඥාතීන්

පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වූ රෙජී රණතුංග මහතාගේ පුතුන් දෙදෙනකු වන අර්ජුන රණතුංග හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පිළිවෙළින් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ගම්පහ නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් වන සරත්චන්ද්‍ර රාජකරුණා හා දොස්තර ජයලත් ජයවර්ධන මහත්වරුන්ගේ පුත්‍රයන් වන හර්ෂණ රාජකරුණා හා දොස්තර කවින්ද ජයවර්ධන මෙන්ම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාද සේම දිවංගත ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයම වීම විශේෂත්වයකි. එජාප මන්ත්‍රී රංජන් රාමනායක මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට (විජය කුමාරතුංග මහතාගේ පාර්ශවයෙන්) දක්වන්නේ ඥාති පුත්‍ර සබඳතාවකි.

දකුණ

වත්මන් මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අමාත්‍ය මංගල සමරවීර මහතා දිවංගත ශ්‍රීලනිප මන්ත්‍රී මහානාම සමරවීර මහතාගේ පුත්‍රයා බැව් බොහෝ දෙනකු දන්නා කරුණකි. සන්ධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කංචන විජේසේකර මහතා හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ පුත්‍රයා වන අතර මාතර මන්ත්‍රී අමාත්‍ය සාගල රත්නායක මහතා වී. ජී. ඩබ්ලිව්. රත්නායක මහතාගේ මුණුපුරකු වේ. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වන රිචර්ඩ් පතිරණ මහතාගේ පුත්‍රයායි.

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ගයන්ත කරුණාතිලක මහතා දිවංගත රූපා කරුණාතිලක මහතාගේ ඥාති පුත්‍රයකු වන අතර සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ ඥාති පුත්‍රයකු වේ.

ඌවෙන් තුනක්

රවීන්ද්‍ර සමරවීර මහතා හිටපු ඌව ප්‍රධාන අමාත්‍යවරයකු වන පර්සි සමරවීර මහතාගේ ඥාති පුත්‍රයකු වන අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රී වින්සන් ඩයස් මහතාගේ බෑණායි. බදුල්ල මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා හිටපු මන්ත්‍රී කපිතාන් සී. පී. ජේ. සෙනවිරත්න මහතාගේ පුත්‍රයායි.

උතුරු මැද

සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින අනුරාධපුර මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හිටපු උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්‍රයා වන අතර එම දිස්ත්‍රික්කයේම සන්ධාන මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා හිටපු කථානායක කේ. බී. රත්නායක මහතාගේ දුවගේ පුත්‍රයායි. හිටපු කැකිරාව මන්ත්‍රී මහින්දසෝම ගමගේ මහතාගේ පුත් චන්දිම ගමගේ මෙන්ම හිටපු මන්ත්‍රී චන්ද්‍රා බණ්ඩාර මහතාගේ දියණිය වන චන්ද්‍රාණි බණඩාර ජයසිංහ මහත්මියද නියෝජනය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයයි.

උතුරු නැඟෙනහිර

යාපනයේ මන්ත්‍රී විජයකලා මහේස්වරන් මහත්මිය දිවංගත ටී. මහේස්වරන් මහතාගේ බිරිඳයි. අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඔහුගේ බිරිඳ අනෝමා ගමගේ මහත්මිය වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඔවුන් දෙදෙනා අතරින් පළමුව පාර්ලිමේන්තු පැමිණියේ අනෝමා ගමගේ මහත්මියයි.

මඩකලපුව මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා හිටපු මන්ත්‍රී එම්. ඊ. එම්. මහරුෆ් මහතාගේ පුත්‍රයා වන අතර ත්‍රිකුණාමලය මන්ත්‍රී එම්. ඒ. එම්. මහරුෆ් සහ ඉම්රාන් මහරුෆ් ඥාති සොහොයුරන් වේ.

වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා දිවංගත ගාමිණී දිසානායක මහතාගේ මස්සිනා වන අතර අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ මාමණ්ඩියයි. බෑණා නුවරඑළියේ මන්ත්‍රීවරයකු ලෙස පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ දිනම මාමණ්ඩිය පළමුවරට ගම්පහින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. මේ අතර ජාතික ලයිස්තු මන්ත්‍රී අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා හිටපු සෙනට් සභික එස්. පරරාජසිංහම් මහතාගේ මුණුපුරා වන අතර ඔහු මෙරට ප්‍රකට දෙමළ දේශපාලන පරම්පරාවක නූතන පුරුක ලෙස සඳහන් කළ හැකිය.

මේ ලිපිය සැකසෙන්නේ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන්ගේ දූ පුතුන් හෝ ළඟම ඥාතීන් පිළිබඳ හෙළිදරව් කිරීම සඳහායි. මේ නාමලේඛනය කියවාගෙන යෑමේදී මේ සෑම පවුලක්ම පාහේ ජාතික හෝ ප්‍රත්‍යන්ත මට්ටමේ කීර්තිමත් පවුල් බැව් ඔබට සිහිපත් වනු ඇත. දේශපාලනය යනු පවුල් කිහිපයක ව්‍යාපාරයක් නොවූවත් දේශපාලනය නම් කලාව හසුරුවමින් සිටින්නේ කවුරුන්දැයි වටහාගත හැකි වනු ඇත.

 

[භාරත තෙන්නකෝන්]

මාතෘකා