රටට නොගැළපෙන විදේශ ගිවිසුම්වලට මගේ නිල කාලයේදී අත්සන් කරන්නේ නෑ

 ඡායාරූපය:

රටට නොගැළපෙන විදේශ ගිවිසුම්වලට මගේ නිල කාලයේදී අත්සන් කරන්නේ නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රට පාවාදෙන සෝපා, මිලේනියම් චැලේන්ජ් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැළපෙන ඉඩම් පනතක් පිළිබඳ මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙන අතර සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවැතියද රටට හානි වන සහ රටට නොගැළපෙන එබඳු කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (06) බිබිල මහජන ක්‍රීඩාංගණයේ පැවති "රට වෙනුවෙන් එකට සිටිමු." මොනරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“අද අපි සියලු දෙනාම ඓතිහාසික වෙල්ලස්සට පැමිණියේ රට පුරා ගෙනයන රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහනෙහි තවත් එක් අවස්ථාවක් ලෙසයි. රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහන ඇති වුණේ අපි රට වෙනුවෙන් එකට සිටිය යුතු බොහෝ අවස්ථාවල එකට නොසිටි නිසයි. සමාජය තුළ ඇතිවන විවිධ ගැටුම්, ප්‍රශ්න, වාද භේදවලදී පේනවා රට වෙනුවෙන් අපි එකට සිට නෑ කියලා. වෙල්ලස්ස, ඌව කියන්නේ අපේ ජාතික විමුක්ති නිදහස් අරගලවල මහා කේන්ද්‍රස්ථානයක්. ඒ දිවි පිදූ වීරයන් අපි අදත් සමරන්න ඕන. අපේ රට ඉස්සරහට යන්න ශක්තිමත් කරන්න අපිට තියෙන ප්‍රධාන අභියෝග මොනවාද. ඒ අභියෝග අතර අංක එක තමයි දුගීභාවය. දිසාපතිතුමියගේ වාර්තාවේ සඳහන් කරලා තිබුණා මොනරාගල දිස්ත්‍රික්කයේ දුගීභාවය ගැන. ඇත්තටම රට වශයෙන් ගත්තත් දත්ත තොරතුරු අනුව රටේ දුගීභාවය සියයට 40ක් විතර. එතනින් සියයට 10ක් විතර අන්ත දුගීභාවය. රැකියාවක් නැති අය, ගොවිතැන් බතක් නැති අය, ඉඩමක් නැති අය, ජීවන වෘත්තියක් නැති අය වගේම, රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල අය තුළත් දුගීභාවය තිබෙනවා. රාජ්‍ය සේවයේ ලක්ෂ 16න් ලක්ෂ 4ක් විතර ඇත්තටම දුගීභාවයේ පහළම කොටසේ ඉන්නවා. පෞද්ගලික අංශයේ වැඩ කරනවා ලක්ෂ 27ක් විතර. ඒ ලක්ෂ 27න් ලක්ෂ 15ක් විතර රැකියාවන් කළත් දුගීභාවය තිබෙනවා. අද අපේ රට වගේම ප්‍රධාන වශයෙන්ම දුගීභාවය පිළිබඳව ප්‍රශ්නයේදී මුළු ලෝකයම මුහුණ දීලා තිබෙන ප්‍රධාන අභියෝගය තමයි, කාලගුණික, සහ දේශගුණික විපර්යාසවලින් ඇතිවන පීඩනය. ජල හිඟය ප්‍රධානයි. වර්ෂාව නොමැතිකම, බීමට, කෘෂිකර්මාන්තයට ජලය නොමැතිකම විශාල ගැටලුවක්. මිනිසාගේ දෛනික අවශ්‍යතාවන්ට ජලය නොමැතිකම විශාල ගැටලුවක්.

“ලංකාවේ වන ඝනත්වය ගත්තාම මොනරාගල දිස්ත්‍රික්කය ඉතා හොඳ තැනක තිබෙන දිස්ත්‍රික්කයක්. වන ඝනත්වයෙන් වැඩි දිස්ත්‍රික්ක ලේඛනයේ මොනරාගල දිස්ත්‍රික්කය දහයෙන් ඉහළ තිබෙනවා. ලංකාවේ හොඳම වන ඝනත්වය තිබෙන්නේ උතුරේ. වන ඝනත්වය උතුරේ තිබෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි ප්‍රභාකරන්ගේ යුද්දේ නිසා. ප්‍රභාකරන්ගේ ගරිල්ලා සටන් නිසා ඒවාට කැලේ අවශ්‍ය වුණා. ඒ නිසා උන් කැලෑව ආරක්ෂා කළා. ඒකෙන් තමයි ආරක්ෂා වුණේ. දැව ජාවාරම්කාරයන්ට දැව කපන්න බැරිව ගියා. ලංකාවේ අනෙක් ප්‍රදේශවල හැම තැනම කැලේ විනාශ කළා. ඒ නිසා අද ලංකාවේ ඉහළම වන ඝනත්වය තියෙන්නේ වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල. මේ පවතින පාරිසරික ප්‍රශ්න තුළ තව අවුරුදු 25ක් යන විට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම මිනිසකුගේ ලේ බෝතලයකට වඩා පානීය ජලය බෝතලයක වටිනාකම වැඩි වෙනවා. මිනිස් ලේවලට වඩා වතුරවල වටිනාකම වැඩි වෙනවා. ලෝකයේ බීමට සුදුසු ජලය වේගයෙන් අඩු වෙනවා. ජල මූලාශ්‍ර විනාශ වීම. ගෝලීය උෂ්ණත්වය නිසා ප්‍රධාන වශයෙන්ම ඇතිවන තත්ත්වයන්. මේ තුළ මිනිසාට බරපතළ අභියෝගයක් ඇති වෙනවා. වනාන්තර ටික රකින්න රට වෙනුවෙන් එකට ඉන්න ඕන. ගස් ටික රකින්න රට වෙනුවෙන් එකට ඉන්න ඕන. එහෙම නැත්නම් අපේ රට කාන්තාරයක් බවට පත් වෙනවා.

“අපේ රටේ වන ඝනත්වය දැන් සියයට 28යි. අවුරුද්දට සියයට එකයි දශම පහක් වනාන්තරය විනාශ වෙනවා. මම පහුගිය දවස්වල ගස් කපන මැෂින් පිටරටින් ගෙන්වන එක තහනම් කෙරුවා. දැන් පිටරටින් ගස් කපන මැෂින් ගේන්න බැහැ. කැබිනට් තීරණයකින් අතේ ගෙනියන ගස් කපන මැෂින් සති 3ක් ඇතුළත ලියාපදිංචි කරන්න කියලා නිවේදනයක් නිකුත් කළා. ඒ සති 3 ඇතුළත ලංකාවේ පොලිසිවල ලියාපදිංචි කළ මැෂින් ගණන අසූ දෙදහසක්. මැෂින් ලක්ෂයකට වැඩිය මේ රටේ තිබෙනවා. එක මැෂිමකින් දවසකට එක ගහක් කැපුවොත් ගස් ලක්ෂයක් කැපෙනවා. එහෙම නම් සියයට 28ක වන ඝනත්වය කොහොමද ආරක්ෂා කර ගන්නේ. 'රට වෙනුවෙන් එකට සිටිමු' කියන්නේ දේශපාලන සටන් පාඨයක් නෙවෙයි.

“ජාවාරම්කාරයන්ව රකින්න ඉදිරිපත් වෙලා තියෙන එකේ ප්‍රතිඵලය පෙනෙයි තව වසර කිහිපයකින් මේ රට කුඩුකාරයන්ගේ රටක් බවට පත්වුණාම. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න පටන් ගන්නවා. එවැනි දේ ලෝකයේ රටවල්වලත් වී තිබෙනවා. ඒ නිසා තමයි මත්ද්‍රව්‍ය සම්බන්ධ දැඩි නීති රීති ක්‍රියාත්මක කරලා දැඩි දඬුවම් දෙන්න මම තීරණය කළේ. නමුත් දඬුවම්වලට විරුද්ධව අද පෙළගැසිලා සිටින අය සෘජුව හෝ වක්‍රව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ සල්ලිවලටයි වැඩ කරන්නේ කියලා මම කියනවා. ඒ නිසා මේ බරපතළ ප්‍රශ්නය අප තේරුම් ගෙන අපි දැනගන්නට ඕනෑ මත්ද්‍රව්‍ය මර්දනයට එකට ඉන්න. එහෙම එකට ඉන්න බැරි අය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ සාක්කුවල ඉන්න අය බව මම බොහොම පැහැදිලිව කියනවා. පසුගිය වසර හතරහමාරක කාලය තුළ රටේ සංවර්ධනය සඳහා අපි පුළුල් වැඩකොටසක් කළා. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. රට තුළ ජනතාවගේ නිදහස ශක්තිමත් කළා. ඕනෑම කෙනකුට නිදහසේ කතා කරන්න ඉඩකඩ දුන්නා. රටේ විවිධ ක්ෂේත්‍රවල භෞතික සම්පත් සංවර්ධනය වන විට ආධ්‍යාත්මික සංවර්ධනය සිදුවෙන්නට ඕනෑ. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට නායකත්වය ගන්නේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික පූජකතුමන්ලායි. ඒ හැරෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේදය වැනි විවිධ ක්ෂේත්‍රවලින් ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. රටම එකට සිටිමු කියන්නේ එක් පැත්තකින් ආධ්‍යාත්මික වැඩසටහනක්. මිනිසුන්ට ආදරය කරන සෙනෙහෙබර වැඩසටහනක්.

“මේ දවස්වල මාධ්‍ය තුළ සාකච්ඡා වෙනවා ආණ්ඩුව විදේශ ගිවිසුම් අත්සන් කරන්න යනවා, රට පාවා දෙනවා කියලා. සෝෆා කියන ගිවිසුමක් ගැන කතා කරනවා. සහශ්‍ර අභියෝගතා ගිවිසුමක් ගැන කතා කරනවා. රටට නොගැළපෙනවයි කියන ඉඩම් පනතක් ගැන කතා කරනවා. මේ සාකච්ඡා සංවාද කෙසේ තිබුණත් මේ රටේ ඔබ පත් කළ ජනාධිපතිවරයා විදියට මගේ ඉදිරි නිල කාලය තුළ නම් රටට නොගැළපෙන, නුසුදුසු කිසිදු විදේශීය ගිවිසුමක් අත්සන් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියන එක මම පැහැදිලිව කියන්න ඕනෑ. සමහර විදේශ බලවේග උත්සාහ කරනවා ලංකාව ඔවුන්ගේ කේන්ද්‍රස්ථානයක් කරන්න. යම් යම් කටයුතුවලට ඔවුන්ගේ මධ්‍යස්ථාන කරගන්න. ඒ අයගේ වැඩවලට අවශ්‍ය බිමක් කරගන්න උත්සාහ කරනවා. රට ඇතුළට ඇවිත් මොනම බලවතකුටවත් මොනම ගිවිසුමකින්වත් රටේ ස්වාධීනත්වයට අභියෝගයක් වන විදියට කිසිම රටක කිසිම ගිවිසුමකට අත්සන් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියලා මම ප්‍රකාශ කරනවා. මේ නිසා හැමදේටම රට වෙනුවෙන් එකට සිටිය යුතුයි. අපි ග්‍රාමශක්ති ව්‍යාපාරය තුළ දුගීභාවය නැති කරන්නත් 'රට වෙනුවෙන් එකට සිටිමු' යි කියන පාඨය අනුවයි කටයුතු කරන්නේ. පරිසර සංරක්ෂණය, ග්‍රාම ශක්ති, දරුවන් සුරකිමු, වකුගඩු රෝග මර්දනය, ආහාර නිෂ්පාදනය ආදී විවිධ ක්ෂේත්‍රවලට අපි නායකත්වය දීලා තිබෙන්නේ පොදු ජනතාවට සුඛිත මුදිත අනාගතයක් ඇති කිරීම සඳහායි.”