දූෂණයට එරෙහි ඉතිහාසයක මතක

 ඡායාරූපය:

දූෂණයට එරෙහි ඉතිහාසයක මතක

පාලනය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං විවරණය

ශ්‍රී ලංකාවේ සිව් වැනි විධායක ජනාධිපතිවරිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 74 වැනි ජන්ම දිනය ඉකුත් 29 වැනිදාට යෙදී තිබිණි. තම පාලන කාලය තුළ දූෂණය පිටු දැකීම සහ පාලනයේ පාරදාෂශ්‍යභාවය පිටුදැකීම වෙනුවෙන් ජනාධිපතිනිය ලෙස ඇය අනුගමනය කළ පිළිවෙත් පිළිබඳ ඇය විසින් රචනා කරන ලද ලිපියක් මෙසේ පළ වෙයි.

“පාලනය සහ පාරදෘෂ්‍යභාවය සම්බන්ධයෙන් මට ඉතා පැහැදිලි චින්තාවක් තිබිණි. මම දැඩි උද්වේගයකින් යුතුව වංක බව පිළිකුල් කළ අතරම තවමත් ඒ පිළිකුලින් පසු වෙන්නෙමි. සැම විටම මට වුවමනා වූයේ මා සේවය කළ සෑම තැනකදීම දූෂණය පිටුදැකීමටය. වංක භාවය සහ දූෂණය කෙරේ මා තුළ වන මේ ගැඹුරු පිළිකුල මට උරුම වූයේ කොතැනින්දැයි ඇතැම් විටක මටම ප්‍රශ්නයක් තිබිණි. එය මට උරුම වන්නට ඇත්තේ නිවසේදී මා ලද ශික්ෂණයෙන් සහ පාසලේදී ලද අධ්‍යාපනයෙන් යැයි මම විශ්වාස කරමි. එහෙත් අප අවංක විය යුතු යැයි මගේ මවුපියන් කවර අවස්ථාවකදී හෝ මට විශේෂයෙන් පවසා ඇති දිනයක් මට මතක නැත. එහෙත් මා විශ්වාස කරන්නේ මගේ මවුපියන් සිය ජීවිතය පුරා පවත්වා ගත් වටිනාකම් අපට අවශෝෂණය වූවා කියාය. මේ හා සබැඳි එක් අත්දැකීමක් මට මතකයට නැඟෙයි.

අසූව දශකයේ මැද බාගයෙහි දිනෙක මා මගේ සහෝදරිය සහ ඇගේ සැමියා සමඟ මෑණියන් හමුවීමට ඇගේ නිවසට යන විට ඇය අපට පිය පාර්ශ්වයේ සීයාගෙන් උරුම වූ රිදී භාණ්ඩ කිහිපයක් දෙස බලමින් සිටියාය. ඒ එක් එක් භාණ්ඩයෙහි වටිනාකම ගැන සාකච්ඡා කරමින් ඇය පසු වූ විට අපට හැඟුණේ ඒවා අලෙවි කිරීමට ඇය සැරසෙන බවකි. පවුලේ මේ උරුමයන් අලෙවි කිරීමට ඇය කැමති වීම පිළිබඳ මා වෙත එක් වරම හටගත්තේ විමතියකි. ඒ නිසා ඒ ගැන සැණෙකින් මම මැණියන්ගෙන් ඇසුවෙමි. එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයකදී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියෙහි ශල්‍යකර්මයක් සඳහා වන වියදම් පියවා ගැනීමට තමාට මුදල් අවශ්‍යව ඇති බවයි.

මේ වනාහී සිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ කිහිපයක් තමන් සතුව නැති, පුරා වසර දොළහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තියයි. එසේම තමන් හට තම පවුලෙන් උරුමව පැවති ඉඩම් අක්කර දහස් ගණනක් තමන්ගේම අභිමතය පරිදි ස්ථාපිත කරන ලද නීතියක් යටතේ රජයට සහ මේ රටෙහි ජනතාවට සේවය කිරීමේ අරමුණින් අත්හළ තැනැත්තියයි.

ඇයගේ මූල්‍ය තත්ත්වය ගැන දැන ගැනීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමඟම මගේ මව පිළිබඳ මහත් සේ අභිමානයට පත් වීමි.

මගේ පියා අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයෙහි එනම්, මගේ පැටි වියෙහිදී මගේ සහෝදරිය, සහෝදරයා සහ මට සතියක කාලයක් සඳහා වියදම් කාසි ලෙස ලැබුණේ උපරිම වශයෙන් එක් අයකුට රුපියල් තුනයි ශත පනහක් බැඟින් වන මුදලකි. ඒ අපේ කියවීම් පොත් මිලට ගැනීමට, සිනමා පට නැරඹීමට සහ ළමා වියෙහි අනෙක් ක්‍රියාකාරකම් සඳහාය. සීමාසහිත මුදලක් සෑම විටෙකම ලැබුණු අතර කවදාකවත් ඊට වඩා අපට මුදල් ලැබුණේද නැත. එසේම අපේ මව වසරකට උත්සව පිණිස අඳිනා අලුත් ඇඳුම් කට්ටල දෙකක් සහ සාමාන්‍ය පාවිච්චිය පිණිස වන ඇඳුම් කට්ටල දෙකකට වඩා අපට දුන්නේ නැත.

ඉඳින් ස්වභාවයෙන්ම අපි ආදර්ශය සහ භාවිතාව මඟින් සරල බව සහ නිහතමානීත්වයෙහි වැදගත්කම උගත්තෙමු.

ආණ්ඩු බලය උසුලද්දී මගේ මවුපියන් සිය දරුවන් තිදෙනාටම භාවිත කිරීමට අවසර දුන්නේ එක් නිල වාහනයක් පමණි. මගේ සහෝදරිය එක් නිල වාහනයක නැඟී නිවෙසින් බැහැර ගිය එක් අවස්ථාවක මගේ මිතුරියන් හමුවීම පිණිස යෑමට මම වරක් මවගෙන් වාහනයක් ලබා ගත්තෙමි. එසේ පිටත ගොස් නැවත පැමිණි මට අරලියගහ මන්දිරයෙන් ඇතුළු වන විටම ලැබුණේ අමුතු පිළිගැනීමකි. මා දුටු මව කෝපයෙන් මා වෙත කඩා පැන්නාය.

“ආණ්ඩුවේ වාහන ඉල්ලගෙන මේ විදිහට ඒවා පාවිච්චි කරන්න තමුන් කවුරු කියලද හිතන්නෙ?”

මට උත්තර නැති විය. ඒ සිදුවීම මගේ දිවියෙහි නොමැකෙන සලකුණක් ඉතිරි කළේය. විධායක ජනාධිපතිවරිය ලෙස ධුරය දැරූ සමයෙහි මම, ඒ වසර එකොළහක කාලය පුරා මගේ දරුවන් දෙදෙනාටම එක් රජයේ වාහනයක් පමණක් භාවිත කිරීමට අවසර දෙමින් තදින්ම මේ ආදර්ශය අනුගමනය කළෙමි.

තමන් පසු වූ තත්ත්වය කවරක් වුවද ඒ සෑම අවස්ථාවකදීම මගේ මව සහ පියා මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් ඉතා දැඩි අවංකත්වයකින් සහ විනයකින් යුතුව කටයුතු කළෝය. ඔවුහු තම දිවිය ගෙවූයේ තමන්ට උරුම වශයෙන් ලැබුණ දේවල් ඒවා වඩාත්ම අවශ්‍ය යැයි ඔවුන් සිතූ අයට පරිත්‍යාග කරමිනි. පසුකාලීනව අපට ඉන් කවරාකාරයේ ආර්ථික අපහසුතා ඇති විය හැකිව තිබුණද ඔවුහු එසේ කළෝය. ඉඳින් අපට හිමි නැති දෙයක් කොල්ල කෑම කවර හේතුවක් නිසාවත් පිළිගත නොහැකි දෙයක් බව ජනතාවට සලසන සේවය උදෙසා අනීතික ලෙස කිසිවක් ලබා ගැනීමට අපට සිහිනෙනුදු කල්පනා කළ නොහැකි බව අප වටා සිදු වූ දේවල් නිරීක්ෂණය කරමින් සහ අත්දකිමින් වසර ගණනාවක් තිස්සේම සුනේත්‍රා, අනුර සහ මාත් උගත්තෙමු. ඊට මුළුමනින්ම පටහැණිව ජනතාවට, විශේෂයෙන්ම අපට වඩා අඩු වරප්‍රසාදිත තත්ත්වයක පසුවන්නන් හට සේවය කිරීම උදෙසා අපට ශුද්ධ වූ වගකීමක් ඇති බවට හැඟීමක් අපේ මානසික සහ අාධ්‍යාත්මික ලෝකය තුළ පැලපදියම් විය.

අවංක පාලනය

අතීතාවලෝකනයෙහි යෙදෙන විට පෙනෙන්නේ පවුලෙන් පෝෂණය වූ මගේ හැදියාව ජීවිතයෙහි පසු කාලයෙහි මා හට පවරන ලද්දා වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට සුවිශිෂ්ට, අවිධිමත් පුහුණුවක් මා හට ලබා දුන් බවයි.

ඒ අනුව පළමුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙහි සහකාර අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ලෙසද අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ජනාවාස කොමිසමෙහි සභාපති ලෙසද ඉන්පසු බස්නාහිර පළාත් සභාවෙහි ප්‍රධාන අමාත්‍යවරිය ලෙස සහ ඉන්පසුව අග්‍රාමාත්‍යවරිය සහ අවසන රටෙහි ජනාධිපතිවරිය ලෙස ප්‍රසිද්ධ ජීවිතයට අවතීර්ණ වීමෙන් පසුව නෛතික හෝ නිල වශයෙන් මට හිමි නොවන්නාවූ කවර මූල්‍ය හෝ භෞතික වාසියක් ඉල්ලා සිටීමට හෝ බාර ගැනීමට අභිප්‍රායක් මසිතෙහි දල්වාලීමට කිසිවකුට හැකි වූයේ නැත.

මේ ඊට අදාළ කතාවකි. මගේ සමීප කවයන් තුළට කෙසේ හෝ ඇතුළු වීමට සමත් වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් වරක් කිසිදු බියකින් තොරව ටෙන්ඩරයක් පිළිබඳ තීරණය කිරීම පිණිස මා අල්ලසක් ලබාගත යුතු යැයි යෝජනා කළහ. කිසිදු දිනයක එවැනි අත්දැකීමක් නැති මා ඒ අවස්ථාවේදී භීතියෙන් හැකිළී ගිය ආකාරය මට මතකය. ඥාතීන් මඟින් මා සමඟ හැඳුනුම්කමක් ගොඩනඟාගෙන සිටි පුද්ගලයෙක් තමන් නියෝජනය කරන සමාගම වෙත ටෙන්ඩර ප්‍රදානය කරන ලෙස ටෙන්ඩර් මණ්ඩලයන්ට උපදෙස් දෙන මෙන් අඛණ්ඩව මට කරදර කිරීමට පුරුදුව සිටියේය. මගේ රජයේ සාමාජිකයකුගේ ඥාතියකු වූ ඔහු වර්තමාන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකි. මා ඔහුගේ ඉල්ලීම පිළිකෙව් කළ නිසා ඔහු පැහැදිලිවම ඉන් නොරිස්සුමට පත්වූවේය. එක් දිනෙක ඔහු ජයවර්ධන රජය සමයේ පටන් ශ්‍රී ලංකා රජයට අත්‍යවශ්‍ය ආහාර වර්ගයක් සැපයීමෙහි නිරතව සිටි විදෙස් ව්‍යාපාරිකයකු කැටුව මා හමුවීම පිණිස පැමිණියේය. ඉහත සඳහන් ආහාර වර්ගය රජයට සපයන ලද සෑම අවස්ථාවකදීම අදාළ ගනුදෙනුවට සම්බන්ධ වූ මේ පුද්ගලයාට කිසියම් කොමිස් මුදලක් ලැබෙන ආකාරයෙන් වැඩ සැලසෙන මේ විශේෂිත ටෙන්ඩරය ගැන මට ඒ වන විටත් ආරංචි ලැබී තිබිණි.

මා රටෙහි ජනාධිපතිවරිය ලෙස තෝරා පත් කරගන්නා ලද අවස්ථාවේදී මම මුදල් අමාත්‍ය ධුරයෙහිද වැඩ බාර ගතිමි. ඉඩ ලද පළමු අවස්ථාවෙහිදීම මුදල් අමාත්‍යාංශය කරා ගිය මම අදාළ ලිපිගොනුව ඉල්ලා සිටියෙමි. අදාළ ගනුදෙනුවට සම්බන්ධව සිටි අමාත්‍යාංශ නිලධාරියා අදාළ ලිපිගොනුව කොහි තිබෙන්නේදැයි තමන් නොදන්නා බව පවසා සිටියේය. ඉදින් තව හෝරාවක් ගතවීමට මත්තෙන් අදාළ ලිපිගොනුව මගේ මේසය මත තිබෙනු දැකීමට මට අවශ්‍ය බව මම ඒ නිලධාරියා හට දැන්වීමි. ප්‍රාතිහාර්යයකින් මෙන් එවිට නැති වූ ලිපිගොනුව සොයා ගන්නා ලද අතර දෙන ලද කාලය තුළ එය මගේ මේසය මත තිබෙනු දක්නට ලැබිණි. ඒ අනුව අදාළ ටෙන්ඩරය පිරිනමන ලද ආකාරය සහ කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇද්දැයි අධ්‍යයනය කරනු පිණිස විධිමත් ලෙස විමර්ශන කමිටුවක් පත් කෙරිණි. යම් හෙයකින් දූෂණයක් පිළිබඳ අනාවරණය වුවහොත් ගනුදෙනුව අවලංගු කර ඊට වගකිවයුත්තන්ට දඬුවම් කෙරෙනු ඇත. කෙසේ වෙතත් විමර්ශන කමිටුව පත් කිරීමෙන් දින කිහිපයකට පසුව ප්‍රශ්නකාරී ව්‍යාපාරිකයා එකී මෙහෙයුමට සහභාගී වූ විදෙස් ව්‍යාපාරිකයාද කැටුව කිසිදු දැනුම්දීමකින් තොරව පාර්ලිමේන්තුවේ මගේ කාමරයට පැමිණියේය. ඒ මහත්වරුන් දෙදෙනා මට දැක්වූ ප්‍රතිචාරයෙන් මම තවත් විමතියට පත් වීමි.

“මැඩම් ඇමරිකානු ඩොලර් මිලියන පහක් තියනවා” කියමින් දෙදෙනා පාර්සලයක් මගේ මේසය මත තැබූහ. මට එවේලේ දැනුණේ මගේ කොඳුඇටපෙළ දිගේ විදුලි සැරයක් වැනි යමක් ඇදී යන සෙයකි. ටික වේලාවක් මට කතා කර ගන්නටද නොහැකි විය. පොලිසිය මෙහි ගෙන්වනවා බලන්නට ඕනෑ නැති නම් මේ මුදල් පාර්සලයද රැගෙන වහාම මගේ කාර්යාලයෙන් පිටව යන්නැයි කීවේ ඉන් පසුවය.

ජනාධිපතිවරිය ලෙස මගේ පළමු ධුර කාලය දිග හැරෙද්දී දූෂණය පාලනය කිරීමට සහ මුලිනුපුටා දැමීමට හුදෙක් රජයේ පාර්ශ්වයෙන් වන අවංකත්වය සහ පාරදෘෂශ්‍යභාවය පමණක් නොසෑහෙන බව මම වහා අවබෝධ කරගතිමි. පළමුවෙන්ම දූෂණ සිදු කිරීමට ඇති ඉඩ වළක්වන්නාවූ සහ එවන් දෑ සම්බන්ධයෙන් දඬුවම් පමුණුවන්නාවූ නීති සහ රෙගුලාසිවලින් සමන්විත රාමුවක් හැදීම පළමු ක්‍රියාමාර්ගයයි.

දෙවනුව රජය දූෂණ වැළැක්වීමට සහ එවන් දෑ සඳහා වන මං අහුරා දැමීමට පටිපාටි මෙන්ම ආයතන සහ පද්ධති නිර්මාණය කළ යුතු විය.

අල්ලස් සහ දූෂණ කොමිසම

දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී මම පෞද්ගලිකවම එහි මූලිකත්වය ගත්තෙමි. එසේම එහිදී මම ජනාධිපතිවරිය ලෙස මා සතු සියලු බලතල යහපාලනය තහවුරු කිරීම උදෙසා භාවිත කිරීමට ප්‍රයත්න දැරීමි. උදාහරණයක් වශයෙන් රජයේ ටෙන්ඩර් මණ්ඩල සඳහා සාමාජිකයන් පත් කිරීම පිණිස වූ සාමාන්‍ය ක්‍රමවේදය වූයේ ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සංචිතයකින් අදාළ පුද්ගලයන් නම් කරනු ලැබීමයි. එහිදී මම ටෙන්ඩර් මණ්ඩලයන්, විශේෂයෙන්ම විශාල පරිමාණයේ කොන්ත්‍රාත් සඳහා වන ටෙන්ඩර් මණ්ඩලවලට දූෂණයෙන් තොර යැයි පිළිගැනීමක් තිබූ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු කිරීමට වගබලා ගතිමි.

රාජ්‍ය ව්‍යවසායකත්ව ප්‍රතිසංස්කරණ කොමිසම

ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගේ නායකත්වය යටතේ ජාතික ප්‍රසම්පාදන නියෝජිතායතනය ස්ථාපිත වන්නේ ඒ අනුවය. එහි ප්‍රධාන අරමුණ වූයේ ටෙන්ඩර් පරිපාටි අධීක්ෂණය සහ සමාලෝචනයයි. මගේ පාලන සමය තුළ ජාතික ප්‍රසම්පාදන නියෝජිතායතනය යහපාලනයෙහි වැදගත් මෙවලමක් බවට පත්වනු ඇත.

දූෂණ සඳහා අවකාශ ඇති සහ ප්‍රතිසංස්කරණ ඇවැසිව තිබූ එකම ක්ෂේත්‍රය වූයේ ටෙන්ඩර පමණක්ම නොවේ. රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පැවති ආයතන පෞද්ගලීකරණය කිරීම ගැන අධ්‍යයනය කිරීමට සහ පෙර පැවති රජය මඟින් ව්‍යවසායකත්වයන් 39ක් දූෂිත සහ අකාර්යක්ෂම ආකාරයෙන් පෞද්ගලීකරණය කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමට මම මුදල් අමාත්‍යාංශය යටතේ කමිටුවක් පත් කළෙමි. එහිදී අපට අක්‍රමිකතා ඉතා විශාල සංඛ්‍යාවක් සොයාගත හැකි විය. එමෙන්ම පෞද්ගලීකරණයේදී අනුගමනය කරන ලද අයහපත් ක්‍රියාමාර්ග ගැන අවබෝධ කර ගත හැකි විය. එමෙන්ම ව්‍යවසාය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් හෝ දක්ෂතාවක් නැති බව ප්‍රදර්ශනය කළ සිය හෙංචයියන්ට පවා ව්‍යවසාය පාලනය බාර දුන් අවස්ථා ගැනද දැනැගැනීමට ලැබිණි.

ආර්ථිකය සම්බන්ධයෙන් මගේ රජයේ ප්‍රතිපත්තිය වූයේ “මානුෂික මුහුණුවරකින් යුත් ධනවාදය” යන්නයි.

රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පැවති ව්‍යවසාය පෞද්ගලීකරණය විශාලම වශයෙන් සිදු වූයේ මගේ රජය යටතෙහිය. එහිදී ශ්‍රී ලංකා ටෙලිකොම්,

ශ්‍රීලන්කන් එයාර්ලයින්ස්, ජාතික රක්ෂණ සංස්ථාව, කොළඹ වරායෙන් කොටසක්, ඇතැම් විදුලිබල උත්පාදන ව්‍යාපෘති සහ තවත් සුළු පරිමාණ ව්‍යවසාය පෞද්ගලීකරණය කරනු ලැබිණි. එහිදී අප විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වූයේ වැඩි කොටස් ප්‍රමාණයක් රජය යටතේ තබාගෙන සියයට සියයක්ම කළමනාකාරීත්වය සහිතව හිමිකාරීත්වයෙන් සියයට හතළිහක් පෞද්ගලික අංශයට ලබාදීමය.

එසේ ව්‍යවසායකත්ව කළමනාකරණය සම්බන්ධයෙන් විශිෂ්ට වාර්තාවක් සහිත ඉහළම මට්ටමේ විදෙස් සමාගම් වෙත අදාළ ව්‍යවසායකත්වයන්ගේ කළමනාකාරීත්වය පවරන අතර සියලු තීරණ සම්බන්ධයෙන් අවසන් අධිකාරිත්වය රජය සතු කර ගැනිණි. ලාභ ලැබිය යුතු ව්‍යවසාය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමේ ලා රාජ්‍ය සේවකයන් අසමත් බව අත්දැකීමෙන් පැහැදිලි වී තිබුණෙන් මම ඒ ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළෙමි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම කළමනාකරණය කරනු පිණිස රජය සහ ලොව විශාලතම සහ ඉහළම කළමනාකරණයෙන් යුත් ගුවන් සමාගමක් වන එමිරේට්ස් එයාර්වේස් සමාගම සමඟ හවුල් සමාගමක් පිහිටුවීමට හැකි විය. නිදහසින් පසු පළමු වරට කෙරෙන කොළඹ වරායෙහි සංවර්ධන කටයුතු සඳහා එක්සත් රාජධානියෙහි සහ ඔස්ට්‍රේලියාවෙහි “පී ඇන්ඩ් ඕ” සමාගම සම්බන්ධ කර ගැනීමට සමත් වීමු. එසේම විවිධ විදුලිබල ව්‍යාපෘති සඳහා රජය සමඟ ප්‍රධාන යුරෝපියානු සමාගම් කිහිපයක්ම හවුල් කරගනු ලැබිණි. අපගේ මේ පාරදෘශ්‍ය ක්‍රියාවලියට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල වැනි අන්තර්ජාතික ආයතන සහ ප්‍රධාන රටවල් වෙතින් අපට බොහෝ ඇගයුම් හිමි විණි.

මාතෘකා