බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව බුද්ධරක්ඛිත උන්නාන්සේ ගුවන් විදුලියෙන් හඬා වැලපුණු හැටි

 ඡායාරූපය:

බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව බුද්ධරක්ඛිත උන්නාන්සේ ගුවන් විදුලියෙන් හඬා වැලපුණු හැටි

එක්දහස් නවසිය පනස් හයේ මහ මැතිවරණයේදී ‘මහජන එක්සත් පෙරමුණ’ නමින් ඒකරාශී වූ පවතින රජයේ අදහස්වලට ප්‍රතිපාක්ෂික වූවෝ බණ්ඩාරනායක වටේ ඒකරාශී වූහ. මෙහිදී බණ්ඩාරනායක විපක්ෂ නායකතුමා පත්වූයේ මහත් වූ අනපේක්ෂිත ප්‍රශ්න රාශියකටය. අලුතෙන් පිහිටුවා ගන්නා ලද ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හෝ ‘මහජන එක්සත් පෙරමුණට’ රටේ ඉදිරි යුගයේ බලය ලැබේය යන තත්ත්වයක් එකවරටම විශ්වාස කරන්නට එකල රටේ සිටි ධනපතිහු අදිමදි කළහ. එහෙයින් කවර ලෙසකින් හෝ කටයුතු කර ඉදිරි මැතිවරණයේදී තම පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා වියදම් කිරීමට මුදල් සොයා ගැනීම බණ්ඩාරනායක මැතිතුමාට බලවත් ප්‍රශ්නයක්ව පැවතිණි.

මැතිවරණය සඳහා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වශයෙන් වූ පංච මහා බලවේගයන් හදිසියේම සංවිධානය කෙරිණ. ඒ ඒ කොටසේ නායකත්වය ඒ ඒ අංශවල මුල් තැනක් ගත් ප්‍රබලයන් වෙත පැවරිණ. මෙහිදී හදිසියේ වුවද මහ සඟ බලවේගය උදෙසා ඇති කරගන්නා ලද සංවිධානයෙන් දහයෙන් නවයක පමණ නායකත්වය ලැබුණේ කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේටය. එහි ප්‍රධාන හේතුව වූයේ දිනකදී අති විශාල සම්මාදමක් වැටෙන විහාරස්ථානයක්වූ හෙයින් එහි අධිපතිත්වයෙන් මැතිවරණයට උන්වහන්සේටද අත දිගහැර වියදම් කිරීමේ අවස්ථාවද සැලසී තිබුණ නිසාය.

නව පක්ෂයක් හෝ නව පෙරමුණක් උදෙසා ආණ්ඩුවක් පිහිටුවා ගනීය යන විශ්වාසයක් රටේ ධනහිමියන් තුළ නොපැවති නිසාම බණ්ඩාරනායක මැතිතුමාට මැතිවරණය උදෙසා අන්තිමේ තම රොස්මිඩ්හි සුවිසල් බංගලාවද විජාතික සමාගම් හිමියකුට උකස් කර මුදල් ගන්නටද සිදුවූ බවද පසුව හෙළි විය. මේ වන විට කැලණි රාජමහා විහාරාධිපති බුද්ධරක්ඛිත හිමියන්ද පින් සල්ලි ගෝනි ගණන් බණ්ඩාරනායක මැතිතුමාගේ මැතිවරණ සටනට යෙදූ බවද පසුකලෙක කිහිප දෙනෙකුගෙන් මනාව හෙළි කෙරිණ.

අන්තිමේ 1956 මැතිවරණය බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණ විසින් ජයග්‍රහණය කරන ලද්දේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව – අගමැතිතුමා ඇතුළුව අටට බස්සවමිනි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ලංකාවේ ඉන් පෙර කිසිදු දිනයක නොපැවති අන්දමේ අතිවිශාල ජයග්‍රහණයක් ලබා ‘මහජන ආණ්ඩුවක්’ බිහි කරන්නට මුල් වූ බව පෙනිණ.

මෙහිදී රොස්මිඩ්හි බණ්ඩාරනායක අගමැතිතුමාගේ නිවාසයේදී අභිනව කැබිනට් මණ්ඩලය තෝරා ගනිද්දී එහි කටයුතුවලට මූලිකත්වය ගත්තකු බවට කැපී පෙනුණාය කියන්නේ කැලණිය රාජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේය. විශේෂයෙන්ම ඒ හිමියන්ගේ පෞද්ගලික හිතවතියක් වූ මහා ධනසම්භාරයක් හිමි මීරිගම මන්ත්‍රිනී විමලා විජේවර්ධන මැතිනියට සෞඛ්‍ය අමාත්‍ය පදවිය ලැබිය යුතුය යයිද අගමැතිතුමාට බල කෙරුණු බවද කියති. එසී. පී. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ටී.බී. ඉලංගරත්න, පී. එච්. විලියම් ද සිල්වා, මෛත්‍රීපාල සේනානායක, ඩබ්ලිව්. දහනායක ආදී මැති ඇමැතිවරු වසරක් දෙකක් ගතවන්නටද පළමුව අතිවිශේෂ සේවාවක් ඉටුකරමින් ජනාදරය දිනා ගත්හ. එහි ප්‍රධාන ගෞරවය අගමැති බණ්ඩාරනායක මැතිතුමන් වෙත නිරායාසයෙන්ම පැවරිණ.

මෙසේ කටයුතු කෙරෙමින් තිබියදී අගමැතිතුමාට විරුද්ධව සමහර අමාත්‍යවරුනුත් ආණ්ඩුවේම විරුද්ධ මතධාරීනුත් යම් යම් කුමන්ත්‍රණ කරන බව හෙළි විය. අන්තිමේ එක් කුමන්ත්‍රණයක් ඵල දැරුවේ මහජන ආණ්ඩුව පිහිටුවීමට ප්‍රධාන වශයෙන්ම උරදුන්, අමාත්‍යවරයකු වශයෙන්ද අති විශේෂ සේවාවක් සලසමින් සිටි ‘බොරළුගොඩ සිංහයා’ නම්වූ පිලිප් ගුණවර්ධන අමාත්‍යතුමා ඇතුළු ප්‍රධාන පිරිසක් වර්ෂ 1959 මැයි 27 වැනිදා සිය අමාත්‍ය ධුරවලින් ඉවත්ව විරුද්ධ පක්ෂයට යෑම නිසාය.

මෙය කුමන්ත්‍රණකරුවන්ගේ අති විශේෂ ජයග්‍රහණයක් වූ බව පෙනිණ. මෙහිදී විරුද්ධ පක්ෂයේ සිට නැඟී සිටි පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා අගමැතිතුමා ඇමතුවේය.

ගරු අගමැතිතුමනි, ඔබතුමා පරෙස්සම් වන්න. ඔබතුමා පරෙස්සම් විය යුත්තේ ඉදිරියෙන් එන හතුරන්ගෙන් නොවේ. පසුපසින් සිටින මිතුරන්ගෙන්ය’යි එතුමෝ කීහ.

එහිදී පාර්ලිමේන්තුවේදී බණ්ඩාරනායක අගමැතිතුමා තම දෑත් අහසට දිගු කරමින් සිනාසෙමින් කියා සිටියේ මට හතුරො නෑ කියලාය.

මෙය සිදු වූයේ 1959 මැයි මස 27 වැනිදාය. තමන් විශ්වාස කරන පරිදි බණ්ඩාරනායක අගමැතිතුමා තමන්ට හතුරන් නැතැයි කීවේ අවංකවමය. එහෙත් ඒ වන විටත් එතුමා පසුපසින් සිටි මිතුරන් අතුරින් හතුරන් බලවත්ව කුමන්ත්‍රණකරුවන් බවට පත්වී තිබිණ.

එම සිද්ධියෙන් හරියටම මාස හතරකට පසු සැප්තැම්බර් 25 වෙනිදා උදේ ‘සිවුරු ‍පොරවාගත් මෝඩයකු විසින්’ තබන ලද වෙඩිවලින් එතුමන් ඝාතනය කෙරිණ. එහෙත් එතුමා එසේ භීෂණ ලෙස මරාදැමීමේ කුමන්ත්‍රණයට මුල් වූවන් ගැන රටේ නොයෙක් මත පළ කෙරුණු නමුත් නියම නම් ගම් මුලින්ම හෙළි වූයේ නැත. අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි වැඩබලන සභානායක වශයෙන් පත්වූ ඩබ්ලිව්. දහනායක මැතිතුමෝ නව අගමැතිවරයා බවට පත්වූහ.

මුළු රටම නොව ලෝකයම කම්පාවට පත්වූයේ මෙම අගමැති ඝාතනය පිළිබඳවය. ‍පොදු මහජනතාවට මහත්වූ සේවාවක් සැලසූ බණ්ඩාරනායක අගමැතිතුමා මෙසේ භීෂණ අන්දමින් මරා දැමුවේ කවුරුන්දැයි කවුරුත් විමසිලිමත් වූහ. අහස ‍පොළොව නූහුලන මෙවන් අපරාධයක් කළේ අගමැතිතුමාට වෙඩි තැබුවා යැයි කියන තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවට පිටුපසින් සෑහෙන පිරිසක් කුමන්ත්‍රණයක යෙදීමේ ප්‍රතිඵලයක් යැයිද වැඩි දෙනා අතර කතාබහ පැතිරිණ.

එකල අප සිටියේ ඡන්ද බලය නැති දහනව වැනි වියේ වුවද පනස් හයේ මැතිවරණයේ සිටම එක්තරා අන්දමකින් සක්‍රියව කටයුතුවලට සම්බන්ධ වීමෙනි.

මේ අතර ඝාතනයෙන් දෙවැනි දින උදේ ගුවන් විදුලියේ ප්‍රවෘත්තිවලින් පසු කියැවුණේ අපූරු නිවේදනයකි.

දිවංගත අගමැතිතුමා පිළිබඳ දැන් ගුණකථනය කරන්නේ කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි යනුවෙන් ඉන් කියැවිණ. එතැන සිටි අප සියලු දෙනාම මහත්වූ විමසිල්ලෙන් යුතුව එම කතාවට සවන් දුනිමු. බුද්ධරක්ඛිත හාමුදුරුවෝ අතිශය ශෝකභරිත හඬින් සිය දේශනය ඇරඹූහ.

"අපේ ජන සමාජයටත්, රටට, ජාතියට, බෞද්ධාගමට හා සිංහල භාෂාවටත් අතිඋදාර සේවාවක් සිදු කළ බණ්ඩාරනායක අගමැතිතුමා මෙහෙම භීෂණ අන්දමින් ඝාතනය කිරීම ඉර හඳ, අහස ‍පොළොව නූහුලන මහාපරාධයක්. මේක කළ අයගේ පරම්පරාවටම සහගහන අපරාධයක්. එතුමා වැදගත්. අහිංසක, ගුණගරුක නායකයෙක් ලෙස අපේ රටේද ලෝකයේද සම්මානයට ලක්වී තිබෙනවා. එතුමාගේ චරිතය අප කාටත් ආදර්ශයට ගතහැකි එකක්." ආදි වශයෙන් විනාඩි විස්සක් පමණ කාලයක් තිස්සේ උන්වහන්සේ දේශනය කරද්දී විටෙක ඉකි ගැසෙන බවද අසන්නට ලැබීමෙන් අපද අතිශයින්ම කනගාටුවට පත්වීමු.

බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ එම ශෝක ප්‍රකාශය එතෙක් කෙරුණු හැම ශෝක ප්‍රකාශයක්ම පසුබැස්සවුණු වගද කාටත් වැටහුණා සේය.

එහෙත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු නිම කිරීමෙන් පසුව පත්තර මගින් හා ගුවන් විදුලිය මගින්ද අසන්නට ලැබුණේ එසේ බණ්ඩාරනායක ගුණ ගායනා කළ බුද්ධරක්ඛිත උන්නාන්සේ පමණක්ද නොව උන්වහන්සේ විසින් සෞඛ්‍ය ඇමැති පදවිය අරන් දුන් විමලා විජේවර්ධන මහත්මියද, එච්. පී. ජයවර්ධන ද, කොළොන්නාවේ පළාත් ආණ්ඩු සභාපති අමරසිංහ වෙදාද, සැකපිට සිරභාරයට ගෙන රිමාන්ඩ් කරන ලද බවය.

දිග කතාවක් කෙටිකර දැක්වීමක් වශයෙන් කිව හැක්කේ දීර්ඝ නඩු විභාගයකින් පසුව තල්දූවේ සෝමාරාම, මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන යන තුන්දෙනා එල්ලුම් ගහට නියම වූ බවය. අන්තිමේ තම අවසන් මොහොතේ හෝ තමන් බේරාගනීවි යන විශ්වාසය පිට සෝමාරාම අන්‍යාගමිකව පීටර් නමින් එල්ලුම් ගසට ගියේය. පසුව බුද්ධරක්ඛිත, ජයවර්ධන දෙදෙනා එල්ලුම් ගහෙන් බේරී ජීවිතාත්නය දක්වා සිරගෙට ගියෝය. එදා ගුවන් විදුලියෙන් බණ්ඩාරනායක ගුණ කථනය කළ බුද්ධරක්ඛිත උන්නාන්සේ ආපසු කැලණි යන ගමන් ඔරුගොඩවත්තේ අමරසිංහ වෙදාගේ නිවසට ගොඩවී බයවෙන්න එපා වෙද මහත්තයා, මම මේ එන්නේ ගුවන් විදුලියට ගිහිල්ලා බණ්ඩගෙ ගුණකථනයකුත් කරලයි කියා ගිය බවද හෙළි විය. නඩුවේදී කොළොන්නාව පළාත් ආණ්ඩු සභාවේ සභාපති වූ අමරසිංහ වෙදා රජයේ සාක්ෂිකරුවකු කරගනු ලැබීය.

පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා එදා කී ලෙසට බණ්ඩාරනායක අගමැතිතුමා ‘පසුපස සිටින මිතුරන්ගෙන් ප්‍රවේශම් වුණා නම්’ සමහරවිට එතුමා මේ භීෂණ මරණයට ඉලක්ක නොවන්නටද ඉඩ තිබිණි.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා