ගී කියන කන්දේ රහස් ගබඩාව

 ඡායාරූපය:

ගී කියන කන්දේ රහස් ගබඩාව

ලාංකේය දේශපාලන සන්දර්භය දිදුළවූ කීර්තිමක් දේශපාලනඥයන් අතරින් අද ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් මහතාය. ඒ මහතාණන්ගේ ජීවන ගමනේ සුවිශේෂී මං කඩවල් ඔස්සේ (රැස) පුවත්පත ගෙන එන කතාංග මාලාවේ පස් (05) වැනි දිගහැරුම මෙය වේ.

චාල්ස් අර්නස්ට් ලංකා භාණ්ඩාගාරයේ ප්‍රථම ලේකම්වරයා වූ අතර ඔහු ඉතා දැඩි හා සෘජු ගුණාංගයන්ගෙන් හෙබි පාලකයෙක් විය. සිවිල් සේවයේ ඉතා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ චාල්ස් විසින් යම් කිසි නිලධාරියකු තමා අභිමුවට කැඳවන්නේ ඉතා සුවිශේෂ අවස්ථාවක බැව් සිවිල් සේවයේ සෑම දෙනාම දැන සිටි කරුණකි.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ කැඳවීමට අනුව රොනී ඔහුගේ කාර්යාලයේ පෙනී සිටියේය.

බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ද වූ නිසා තම ලන්ඩන් ගමනට අදාළ ඉල්ලීම සඳහා යහපත් ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබේ යැයි දැඩි විශ්වාසයක් රොනී තුළ තිබිණි.

“මිස්ට ඩිමෙල්... තමුන් දැනගන්න ඕන, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පවතින සිවිල් සේවයට පී.එච්.ඩී.කාරයො අවශ්‍ය නැති වග... අපිට අවශ්‍ය වෙන්නෙ ඉහළ මට්ටමේ සාමාර්ථයක් තියන ජවසම්පන්න උපාධිධාරී තරුණයන් විතරයි. සිවිල් සේවා විභාගෙ සමත් නං අපි ඔවුන් අපේ සේවයට බඳව ගන්නවා....“

චාල්ස් අර්නස්ට්ගේ එම දැඩි පූර්විකාව හා වාග් ශෛලිය තුළ ගැබ්ව තිබූ යථාර්ථය රොනී ඉවෙන් මෙන් දැන ගත්තේය. මේ උදාවෙමින් පවතින්නේ තම ආශාව දෙවන වරටත් සුන්වී යෑමේ අවස්ථාව බැව් ඔහුට වැටහිණි.

“ඈත පිටිසර දුප්පත් ගම් නියං ගම්වලට ගිහින් එව්වායෙ තියෙන කැඩුණු වැව් හදන්න, තියෙන වැව් නඩත්තු කරන්න, කෘෂිකර්මය දියුණු කරන්න, පාරවල් නැත්තං ඒවා හදන්න, තියන ඒවා වැඩිදියුණු කරන්න, නඩත්තු කරන්න, පාසල් හදන්න, ඒවා පවත්වගෙන යන්න, සෞඛ්‍ය පහසුකම් ඇතිකරන්න, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න, රජයේ ආදායම් වැඩි කරගන්න ක්‍රම හදන එක තමයි අපේ අරමුණ වෙන්න ඕන... මේව කරන්න අවශ්‍ය වෙන්නෙ දක්ෂ නිලධාරීන් මිසක්, පී.එච්.ඩී.කාරයො නොවෙයි... පශ්චාත් උපාධිවලින් අපට වැඩක් නෑ... ඔබට අවශ්‍ය වෙන්නෙ ඒක නම් අදම ඉල්ලා අස්වෙලා එංගලන්තෙ ගිහින් ඒක අරගන්න. දැන් ඔබ ඔබේ තනතුර පාවිච්චි කරලා රටට සේවය කළ යුතුයි. ඒ සේවය පැහැර හරින්න නිවාඩු ලබා දෙන්න මට බැහැ...“ ලේකම්වරයාගේ තීන්දුව එලෙස විය.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ දීර්ඝ පැහැදිලි කිරීම අසා සිටීම හැර කළ හැකි වෙනත් කිසිවක් රොනීට ඉතිරිව නොතිබිණි. තමාගේ අනාගත ලෝකයම තමා අභිමුව කඩා බිඳ වැටෙන්නාක් මෙන් ඔහුට දැනුණි.

රොනී සේවය අවසන් කර නිවසට පැමිණි පසුවද එම අසහනකාරී සිතිවිලි සමුදාය ඔහු වෙතින් බැහැරව නොතිබිණි. රොනීගේ මව මෙන්ම පියාද ඉල්ලා සිටියේ ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන උපන් බිමට සේවය කරන ලෙසයි. පිය පාර්ශ්වයෙන් උරුම වී ඇති සුවිසල් ව්‍යාපාරයන් රැක බලා ගනිමින් එහි නිරත වන ලෙස සිය පියා ඇවිටිලි කරාවී යැයි රොනී කල්පනා කළද මේ වන විට පියාද තමාගෙන් ඉල්ලා සිටින්නේ රටට සේවය කරන ලෙස වීම ඔහු විස්මයට පත් කළ කරුණක් විය.

මවගේත් පියගේත් කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් රොනී, මේ මොහොතේ ගත යුතු අන්තය පහසුවෙන්ම තීරණය කළේය. ඔහුගේ තීරණය වූයේ පශ්චාත් උපාධිය වෙනුවෙන් ලන්ඩන් යෑම වෙනුවට සිවිල් සේවයේ නිරත වෙමින් උපන් බිමට සේවය කිරීමටයි.

රොනීගේ තීරණය ශ්‍රීමත් ආතර් රණසිංහයන්ද බෙහෙවින් සතුටට පත් කළ එකක් විය. සිවිල් සේවයේ පුහුණු වන කාලයේදී ආතර් රණසිංහගෙන් ලද පරිපාලන පරිචය රොනීගේ රාජකාරි දිවිය වඩාත් පහසු කළේය.

කෙසේ වුවද රොනීගේ භාණ්ඩාගාර සේවය එතරම් දීර්ඝ එකක් නොවීය. ඔහු පුත්තලමේ සහකාර ඒජන්ත (උප දිසාපති) වශයෙන් පත්කොට යැවීමට කටයුතු කෙරිණි. තම පවුල් පසුබිම තුළ ගොඩනැගී තිබූ සුවිශේෂී සබඳතා භාවිත කොට තවදුරටත් භාණ්ඩාගාරයේ රැඳී සිටීමට රොනීට ඕනෑවටත් වඩා අවස්ථාව තිබිණි. එහෙත් තරුණ නිලධාරිවරයකු වශයෙන් කොතරම් අධ්‍යාපනික දැනුමක් ලැබුවද රාජ්‍ය සේවය තුළ තමා ලද අත්දැකීම් කොතරම් අල්ප දැයි රොනී කල්පනා කළේය. එය ලබා ගැනීමට ඇති හොඳම අවස්ථාව දුෂ්කර ප්‍රදේශයන්හි සේවයේ නිරත වීම බව ඔහුට වැටහෙන්නට විය.

පුත්තලම දිස්ත්‍රික්කය එදා අතිශයින් නොදියුණු, කර්කශ ප්‍රදේශයක් විය. දිවයිනේ වයඹ දිග වෙරළ තීරයට මායිම්ව පිහිටා තිබූ එය, උතුරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන්ද සීමා වී තිබිණි. කුරුණෑගල දිස්ත්‍රික්කයට මායිම්ව පැවති ප්‍රදේශ පුරාද එවකට පැතිර තිබුණේ වන ලැහැබ්වලින් ගහන අතිශයින්ම ග්‍රාම්‍ය ගම්මානයන්ය.

වසරේ වැඩි කාලයක් දැඩි නියං තත්ත්වයෙන් පසුවූ එම දිස්ත්‍රික්කය සමස්තයක් ලෙස ජල ප්‍රශ්නයෙන් පීඩා විඳි ප්‍රදේශයකි. මෙම තත්ත්වය දරුණු ලෙස පැතිර තිබුණේ දිස්ත්‍රික්කයේ වෙරළබඩට මායිම් වූ ගම්මානවලටය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම්ව පැවැති ප්‍රදේශවල ගම් වැසියන් වන සතුන් හා වන අලින්ගේ පහරදීම් මෙන්ම බවබෝග හානි කිරීම්වලටද මුහුණ පෑහ.

ඉතා නොදියුණු මට්ටමක පැවති නඩත්තු නොකළ මාර්ග පද්ධතිය හේතුවෙන් ගමනාගමන කටයුතු පැවතියේ ප්‍රාථමික තත්වයකය. පොදු ප්‍රවාහන සේවා ප්‍රධාන මාර්ග කිහිපයකට පමණක් සීමා වී තිබූ අතර සෙසු ප්‍රදේශවල ගමනාගමනය සිදුවූයේ ගැල් හෝ ගොන් කරත්ත යොදා ගනිමිනි.

අවුරුදු විසිතුනක (23) තරුණයකු වූ රොනීට පුත්තලම රාජකාරි දිවිය අපූරු අත්දැකීම් සමුදායක් එක් කළ ගමනාන්තයක් විය. කොළඹ සුඛෝපභෝගී ජීවන රටාවකට පුරුදු වී සිටි හෙතෙම දැන් පළමු වරට අතිශයින් දුෂ්කර භූමියකට සේන්දු වී හමාරය. දැන් ඔහුගේ නෙත ගැටෙන්නේ යුරෝපීය පන්නයට හැඩ ගැසුණු පරිභෝගවාදී දිවියක් ගෙවන ධනපතියන් නොවේ. ඒ වෙනුවට එදා වේල සරිකර ගැනුමට දහදිය වගුරන ගැමියන්, ධීවරයන්, මහ පොළොව සමඟ ඔට්ටු අල්ලන ගොවීන්, එසේත් නැතිනම් කැලෑබද ප්‍රදේශයක හේනක්, බතක් කරගෙන පැල්කොටයක වෙසෙන අසරණ මිනිසුන් ඔහුගේ ඇසුරට පත්ව සිටී.

දිවියේ පසුගිය දශක දෙකහමාරකට නොවැඩි සමය පුරා රොනී ද මැල් දැන සිටියේ කොළඹ සමාජයේ මිනිසුන්ගේ හැඟීම්ය. ඕනෑ එපාකම්ය. ඉහළ පැළැන්තියේ මිනිසුන් සිය ගත තවරා ගත් කෘතීම විලවුන් සුවඳ වෙනුවට, සැබෑ මිනිසුන්ගේ ශරීරයෙන් වහනය වන දහදිය සුවඳ ආඝ්‍රාහණය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත. පුත්තලම වැනි අති දුෂ්කර ප්‍රදේශයක මිනිසුන්ගේ හැඟීම් හා අපේක්ෂා රොනීට ආගන්තුක විය. එය ඔහුට අලුත් ලෝකයක් සේ දිස්විය. ඇතැම් මිනිසුන් ගෙවන දිවිය කොතරම් කටුක දැයි කිවහොත් මේ තරම් දුක් විඳින අසරණයන් මෙරට සිටින්නේ දැයි ඔහු තමාගෙන් ම ප්‍රශ්න කරගත් අවස්ථා අනන්ත විය.

මේ මිනිසුන් සිටින තත්ත්වයෙන් එක් පියවරක් හෝ ඉහළට ඔසවා තැබීමට සිවිල් සේවා නිලධාරියකු ලෙස තමාගෙන් ඉටු විය යුතු සේවය උපරිමයෙන් ලබා දීමට රොනී ඉටා ගත්තේ මේ අසරණ මිනිසුන්ගේ කර්කශ ජීවන අත්දැකීම් ලැබීමෙනි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රදේශයේ පිහිටීම, භූගෝලීය සාධක මෙන්ම මිනිසුන්ගේ ඕනෑ එපාකම්ද තේරුම් ගත යුතුව ඇතැයි ඔහු කල්පනා කළේය.

ඔහු ලද සෑම නිදහස් අවස්ථාවකදීම පුත්තලම පුරා සංචාරය කිරීමටත්, ජනතාව සමඟ නිරන්තර අදහස් හුවමාරු කර ගැනීමටත් කාලය වැය කළේය. නිවාඩු සමයේ රොනීගේ වාසස්ථානය වූයේ විල්පත්තු වනෝද්‍යානය යි.

සංචාරක බංගලා හෝ රජයේ ලැගුම් නිවාස එකල පුත්තලම දිස්ත්‍රික්කය තුළ පැවතියා නම් අතලොස්සක් පමණි. එබැවින් දුෂ්කර ගම්මාන සිසාරා වූ රොනීගේ අධ්‍යයන චාරිකාවලදී ඔහුගේ නවාතැන් වූයේ ගැමි නිවසක ආලින්දයක් හෝ ධීවර විවේකාගාරයකි. විදුලි බලය පැමිණීම තබා ඒ පිළිබඳ සිතිවිල්ලක් හෝ නොමැති එකල රොනී ගත කළ නවාතැන්වල රාත්‍රිය එළිය කිරීමට යටත් පිරිසෙන් පැට්‍රල් මැක්ස් ලාම්පුවක් වත් නොතිබිණි. එම ගමන්වලදී රොනී සිය දෛනික සටහන් තබා ගත්තේ ලන්තෑරුමක හෝ කුප්පි ලාම්පුවක එළියෙනි.

ජනතා සේවය උදෙසා විවිධ මං හා පැතිකඩ ඔස්සේ අධ්‍යයනයේ නිරත වූ ඔහු තේරුම් ගත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සෙත සැලසීමට නම් කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර නංවාලිය යුතු බවයි.

ඔහු තබ්බෝව, සියඹලන්ගමුව, විජයකටුපොත ආදී වැව් ආශ්‍රිත ගොවි ගම්මාන පිළිබඳවත් බදුලුඔය, මී ඔය, කලා ඔය, දැදුරු ඔය ආදී පුත්තලම් භූමිය හරහා මුහුදට ඇදී යන ජලය, කෘෂිකාර්මික කටයුතු සඳහා ක්‍රමවත්ව යොදා ගත හැකි ආකාරය පිළිබඳවත් අධ්‍යයනය කළේය. ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ආණ්ඩුවට ලබා දීමටද රොනී ක්‍රියා කළේය.

සිය පරම්පරාවට අයත් වැවිලි බෝග වූ තේ, පොල් හා රබර් වගාවන් පිළිබඳ යම් පරිචයකින් යුතු වුවද වී වගාව හා වියළි කලාපයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ප්‍රාමාණික අත්දැකීම් රොනී සතු නොවීය. එහෙත් පුත්තලම සිවිල් සේවා සමය කෘෂිකාර්මික, වාරිකර්මාන්ත, ධීවර ජන දිවිය හා හේන් ගොවිතැන පිළිබඳ නවමු අත්දැකීම් ලැබ ගැනුමට රොනීට තක්සලාවක් විය. එමෙන්ම ග්‍රාමීය අවශ්‍යතා හා ප්‍රමුඛතා පිළිබඳ රොනීගේ සිතිවිලි සමුදාය නවාලීමටද එම සමය මහත්සේ ඉවහල් විය.

‍රොනී කෙමෙන් කෙමෙන් පුත්තලමේ කටුක දිවියට ඇලුම් කරන්නට පටන් ගත්තේය. ලද නිවාඩුවක වුවකොළඔ යෑමට තරම් අවශ්‍යතාවක් හෝ ඒ වන විට ඔහුට නොවීය.

රොනීට භාණ්ඩාගාරයෙන් රාජකාරි ලිපියක්... එහි වූයේ කුමක් දැයි මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න...

[උපුල් ගලප්පත්ති]

මාතෘකා