ගී කියන කන්දේ රහස් ගබඩාව

 ඡායාරූපය:

ගී කියන කන්දේ රහස් ගබඩාව

මෙරට කීර්තිමත් මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතාගේ චරිතය අලළා "රැස" පුවත්පත ගෙන එන කථාංග මාලාවේ සිව්වැන්න (04) මෙය වේ.

රෝහල් ගත කළ රොනී කඩිනමින් වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කෙරිණි. වෛද්‍ය ජේ.එච්.එස්. ජයසූරිය සහ වෛද්‍ය එම්.වී.පී. පීරිස් යන මහත්වරුන් ඉතා යුහුසුලුව රොනීට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබිණි.

රොනීට වැලඳී තිබුණේ උණ්ඩුකපුච්ඡය ආශ්‍රිත රෝගී තත්ත්වයක් බැව් වෛද්‍යවරු නිගමනය කළහ. දීර්ඝ කාලයක් ප්‍රතිකාර නොකර සිටීම හේතුවෙන් උණ්ඩුකපුච්ඡය උදරය තුළ පුපුරා ගොස් තිබිණි.

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්) නම් රෝගී තත්ත්වය වෙනුවෙන් ශල්‍යකර්මයක් කිරීම හදිසි අවශ්‍යතාවක් විය. එසමයේ වෛද්‍ය පහසුකම් අනුව ශල්‍යකර්මයකට පෙර ඇපෙන්ඩික් අවයවය උදරය තුළ පුපුරා යන රෝගියකු ජීවත් කරලීමට තිබූ ඉඩකඩ බොහෝ අල්ප විය. එම රෝගී තත්ත්වයෙන් මිය යන ප්‍රතිශතය 90%ක් තරම් විශාල විය. තත්ත්වය එසේ වුවද වෛද්‍ය ජයසූරිය මහතා රොනී බේරාගැනීමේ උත්සාහය අත් නොහළේය. රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වුවද හැකි සෑම උත්සාහයක්ම දරමින් ප්‍රතිකාර ලබා දෙන බැව් ඔහු සහතික විය.

සිය දරුවා පිළිබඳ සොවින් තැවෙමින් ග්ල්ඩිස් මෙන්ඩිස් මහත්මිය හඬාවැටුණාය. පියා ශල්‍යකර්මයට ඇවැසි පහසුකම් සැලසීමට දැඩි වෙහෙසක් ගත්තේය. සරසවියේ සිංහල මිතුරන් රොනීට සෙත්පතා බෞද්ධාගමික පිළිවෙත් සපුරද්දී, ද්‍රවිඩ ජාතික මිතුරෝ කෝවිල් ගොස් රොනීට අතුරු අන්ත්‍රාවක් නොවේවායි දෙවියන්ට කන්නලව් පැවැත්වූහ.

කෙසේ වුවද සියලු දෙනා මවිතයට පත් කරමින් දුර්ලභ ප්‍රතිශතයක් තුළ රොනී නැවතත් ජීවන වරම් හිමිකරගත්තේය. එහෙත් මාස තුනකට අධික කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් රෝහල් ගතව සිටීමට ඔහුට සිදු විය.

රෝහලේ ගත කළ සමය තම දිවිය තුළ වූ දුර්භාග්‍යසම්පන්නම කාල පරිච්ඡේදයක් යැයි ඔහු සිතූ වාර අනන්ත විය. කාර්යබහුල ජීවන චර්යාවන්ට හුරුව සිටි ඔහුට රෝහල් ඇඳක් මත වැතිර සිටීම අසීරු කටයුත්තක් සේ දැනිණි. දිනකට කිහිප විටක් ඔහු දැකීමට පැමිණෙන සරසවි මිතුරන් නිසා සිය විඩාව යම් පමණකින් හෝ නිලීන වුවද හැකි ඉක්මනින් අධ්‍යයන කටයුතු ඇරඹීම පිළිබඳ ඔහු පුල පුලා බලා සිටියේය.

දිගු නේවාසික ප්‍රතිකාර සමයකින් අනතුරුව සරසවිය වෙත නැවත පියනැඟූ ඔහුට අතපසු වූ දේශන සටහන් හෝ අධ්‍යයන ආවරණය කර ගැනීම එතරම් අපහසු නොවීය. පාසලේදී මෙන්ම සරසවියේද දීප්තිමත් ශිෂ්‍යයකු වූ ඔහුට එම ඉලක්කය අපහසු නොවීය. සරසවියේ ප්‍රථම කලා පරීක්ෂණයේදී‘මුන්චර්ජිෆ්රාමජිකාන් රන් පදක්කම’ද, ‘කලා පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වය’ද, ඉංග්‍රීසි භාෂා නිපුණත්වය වෙනුවෙන් පිරිනැමෙන‘පිටකොටුවේ පුස්තකාල ත්‍යාගය‘ද දිනාගෙන සිටි රොනී ලංකා විශ්වවිද්‍යාලයේ එම වසරේ දක්ෂතම ශිෂ්‍යයා වී සිටියේය.

පළමු වසරේ පෙන්වූ දක්ෂතා හේතුවෙන් සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය, ආර්ථික විද්‍යාව හෝ ඉතිහාසය යන විෂයයන් තුනෙන් ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් ගෞරව උපාධිය හැදෑරීමට රොනීට අවස්ථාව හිමිව තිබිණි. එහෙත් එතුමා යුරෝපා හා එංගලන්ත ඉතිහාසයද ඇතුළුව ඉතිහාස විෂය ධාරාවෙන්ම ගෞරව උපාධියට පෙනී සිටීමට තීරණය කළේය.

1947 වසර රොනීට ඉතා කාර්යබහුල වසරක් විය. ඒ උපාධි අවසන් පරීක්ෂණයට මුහුණ දීමට තිබූ නිසාවෙනි. මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් අතපසු කිරීම කිසිසේත් කළ නොහැක්කක් විය. එබැවින් සිය අධ්‍යයන කටයුතු වෙනුවෙන් රොනීට සිදුවූයේ ක්‍රීඩා කටයුතු සැලකිය යුතු අන්දමින් සීමා කිරීමටයි.

1947 වසරේ ලංකා විශ්වවිද්‍යාලයේ අවසන් උපාධි පරීක්ෂණය සඳහා රොනී පෙනී සිටියේ ඉතා උද්යෝගයෙනි. එහි ප්‍රතිඵලය වූයේ රොනීට ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි වීමයි. එකල අවසන් උපාධි පරීක්ෂණයෙන් උසස් ලෙස සාමාර්ථය ලද අයකුට පිරිනැමෙන සියලු තිළිණ හා රන් පදක්කම් දිනා ගැනීමට රොනී සමත් විය. සත්‍ය ලෙසම එය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී ඔහු හිමිකර ගත් අගයන් ඉක්මවා යෑමක් විය.

සියලුම උපාධිධාරීන් අතුරෙන් ප්‍රථම ස්ථානයට පත් තැනැත්තා වශයෙන් රොනීට 1947 වසරේදී රජය විසින් පිරිනමනු ලබන ‘ලංකා කලා ශිෂ්‍යත්වය‘ ප්‍රදානය කෙරිණි. එම ශිෂ්‍යත්වයට අනුව ප්‍රවේශ විභාග හෝ කිසිදු පරීක්ෂණයකින් තොරව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට රොනීට අවස්ථාව හිමි විණි.

මෙවර කේම්බ්‍රිජ් වරම රොනීට හිමිවුණේ දෙවන වරටයි. මැට්‍රික්‍යුලේෂන් විභාග ජය හේතුවෙන් හිමිවූ කේම්බ්‍රිජ් - ඔක්ස්ෆර්ඩ් වරම මවගේ දැඩි ඉල්ලීම මත අත්හළ රොනී, මෙවර හිමිවූ අවස්ථාව අත්හැරීමට කිසිවිට සූදානම් නොවීය. දෙවන ලෝක මහා සංග්‍රාමයේ ගිනි පුපුරු ඒ වන විට නිවී යමින් තිබූ හෙයින් ලන්ඩන් බලා ගමන් කිරීමේ ගැටලුවක්ද නොවීය.

සරසවි අධ්‍යාපනය නිමා වීමත් සමග ලංකා සිවිල් සේවාවට බඳවා ගැනීමේ තරග විභාගයට මුහුණ දීමට රොනී කටයුතු කළේය. සරසවි අධ්‍යාපනය සමත් වූවකුට ඉදිරිපත් විය හැකි උසස්ම විභාගය වූයේ සිවිල් සේවා විභාගයයි. රොනී එම විභාගයෙන්ද උසස් ලෙස සමාර්ථය ලැබීය.

සිවිල් සේවා විභාග ප්‍රතිඵල මත රොනීට 1948 වසරේදී රාජ්‍ය සේවාව සඳහා දොරගුළු විවර විය. ඔහුට බාරගැනීමට සිදුවූ පදවිය වූයේ රජයේ භාණ්ඩාගාරයේ පුහුණු වන සිවිල් සේවා නිලධාරී තනතුරයි.

තම පරපුරේ සෙස්සන් මෙන් රොනී පුතුද සිවිල් සේවාවට එක්වීම රොනීගේ මවට මහත් ආස්වාදනීය හැඟීමක් වූවාය. එහෙත් රොනීගේ ආශාව වූයේ වෘත්තියක නිරත වීම නොව, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පශ්චාත් උපාධියක් හැදෑරීමයි.

ආධුනික නිලධාරිවරයෙක් ලෙස සේවයට එක්වූ රොනී, ශ්‍රීමත් ආතර් රණසිංහ මහතා යටතේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. රාජ්‍ය සේවාවේ ඉහළම ආයතනයක් වූ මහා භාණ්ඩාගාරයේ රැකියාව හිමි වුවද ඔහු සිටියේ තෘප්තිමත් බවකින් නොවේ. ඔහු නිරන්තරයෙන් විශ්වාස කළේ, තමා පූර්ණත්වයට පත් වීමට නම් තව තවත් උගත යුතු බවයි.

දිනක් රොනී තම ප්‍රධානියා වූ ශ්‍රීමත් ආතර් රණසිංහ මහතා හමුවී එතෙක් සිතේ සඟවාගෙන සිටි හැඟීම ප්‍රකාශ කළේය. මැට්‍රික්‍යුලේෂන් විභාගයේ ප්‍රතිඵල මත ඔක්ස්ෆර්ඩ් - කේම්බ්‍රිජ් යෑමට තිබූ අවස්ථාව අත්හැරීමට සිදුවූ බවත් දෙවන අවස්ථාව අත්හැරීම කිසිසේත් කළ නොහැකි බවත් ඔහු සිය ප්‍රධානියාට කියා සිටියේය. ලන්ඩන් යෑමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඒ සඳහා අවසර ලබා දීමට තමාට හැකියාවක් නොමැති බැව් රොනීට පහදා දුන් ආතර් රණසිංහ මහතා, ඒ සඳහා කළ යුත්තේ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම බවද පෙන්වා දෙන ලදී.

තමාට පශ්චාත් උපාධියක් හැදෑරීම වෙනුවෙන් වැටුප් රහිතව වසර තුනක නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලමින් රොනී ද මැල් මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට ලිපියක් යොමු කරන ලදී.

ඒ අනුව, භාණ්ඩාගාරයේ එවක ලේකම් ධුරය දැරූ බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් අර්නස්ට් ජෝන්ස් මහතා තමා හමුවීමට පැමිණෙන ලෙස රොනීට දන්වා සිටියේය.

භාණ්ඩාගාර ලේකම් චාල්ස් අර්නස්ට් රොනීට දෙහි කැපූ හැටි මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න...

උපුල් ගලප්පත්ති,

[email protected]

0771168010

2019.01.22

[උපුල් ගලප්පත්ති]

මාතෘකා