මිතුරු බැඳීම් සවිමත් කළ වාසි රැසක් රටට කැන්ඳූ ජනපතිගේ ඉන්දීය සංචාරය

 ඡායාරූපය:

මිතුරු බැඳීම් සවිමත් කළ වාසි රැසක් රටට කැන්ඳූ ජනපතිගේ ඉන්දීය සංචාරය

ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ සිය පළමු නිල විදෙස් සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (28) ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනාවක් පරිදිය. දෙදින රාජ්‍ය චාරිකාවක් වූ ඒ සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු ඇතුළු දස දෙනකුගෙන් යුත් දූත මණ්ඩලයක් එක්වූහ.

එදින පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී. කේ. සිං මහතා විසිනි. එම පිළිගැනීමේ උලෙළ වර්ණවත් සංස්කෘතිකාංගයකින් අලංකාර වූ අතර උණුසුම් සුහදශීලී පිළිගැනීමක් ජනාධිපතිවරයා වෙත හිමිවිය.

29 වැනිදා උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා හමුවිය. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය පරිදි සිය ප්‍රථම නිල චාරිකාව සඳහා ඉන්දියාව තෝරාගැනීම පිළිබඳව අමාත්‍ය ජයිශන්කර් මහතා එහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය.

අසල්වාසීන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මේ චාරිකාව සමඟ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළ ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ නව රජය අනුගමනය කරන වැඩපිළිවෙළට ඉන්දීය රජයේ පූර්ණ සහාය හිමිවන බවද පැවසීය.

ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු ශ්‍රී ලංකා සබඳතා නව යුගයකට ගෙනයෑම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අපේක්ෂාව බවද ජයිශන්කර් මහතා එහිදී පැවසීය. දෙරට අතර ව්‍යාපාරික සහයෝගිතාව ගැන සඳහන් කළ ඇමතිවරයා ගුණාත්මක අගයෙන් ඉහළ පාලන තන්ත්‍රයක් පැවතීම ඊට අවශ්‍ය මූලික කොන්දේසිය බවත් එවිට විදේශ ආයෝජන පහසුවෙන් ගලා එනු ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ චාරිකාවක් සඳහා තමාට කළ ආරාධනය ගැන කෘතඥතාව පළ කළ ජනාධිපති ගෝඨාභය මහතා ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සිය අපේක්ෂාව බව ප්‍රකාශ කළේය.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුවක් පැවති අතර එහිදී ඉන්දීය රජය එරටට පැමිණෙන රාජ්‍ය නායකයකු වෙත පිරිනමන හමුදා උත්තමාචාර පිරිනමමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුබපැතුම් පළ කළ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා මෙම හමුව දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරන සුවිශේෂ අවස්ථාවක් බව සඳහන් කළේය. එමෙන්ම නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ඉන්දීය ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බවද පැවසීය. තම ධුර කාලයේදී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට ගෙන ඒමට කටයුතු කරන බව මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එම හමුවෙන් අනතුරුව රාජ්ගාත් වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුවට උපහාර දැක්වූ අතර විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වන සැමරුම් පොතේ අත්සන් තැබීමද සිදු කළේය.

එදින දහවල් හයිද්‍රාබාද් මන්දිරයේදී ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ආරාධනය පිළිගනිමින් සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම තම රටට දැක්වූ ගෞරවයක් ලෙස සලකන බව එහිදී මෝදි මහතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් විජයග්‍රහණය පිළිබඳව ඒ මහතාට සිය සතුට පළ කළ ඉන්දීය අගමැතිවරයා සමස්ත ඉන්දීය ජනතාවගේම සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිරිනමන බවද සඳහන් කළේය.

රාජ්‍ය නායකයන් දෙපළ අතර පැවති එම සාකච්ඡාවේදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් ඉදිරියට රැගෙන යෑමට එකඟ වූ අතර දෙරටේ ආරක්ෂාව ප්‍රමුඛතාව ලෙස සලකා ක්‍රියාකිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. දෙරට අතර සමීප ආර්ථික සහයෝගිතාවකින් ක්‍රියා කිරීම පිළිබඳවද නායකයන්ගේ විශේෂ අවධානය යොමුවූ අතර ද්විපාර්ශ්වික වෙළෙදාම වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. එමෙන්ම දිගුකාලීන ගැටලුවක්ව පැවති ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටලු පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙන යනු ඇතැයි විශ්වාසය පළ කළ ඉන්දීය අගමැතිවරයා උතුරු නැඟෙනහිර ඇතුළු සියලු පළාත්වල සංවර්ධනය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට ඉන්දියාවේ රාජ්‍ය චාරිකාවකට ආරාධනය කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාටද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඇරයුම් කළේය.

සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ මාධ්‍ය වෙත සිය අදහස් පළ කළහ.

සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ අනුව සහන ණය ප්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව පැවසීය. එමෙන්ම ත්‍රස්තවාදය මැඬ පැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැන්වූ දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හයිද්‍රබාද් මන්දිරයේ තබා ඇති විශේෂ ආරාධිත අමුත්තන්ගේ ග්‍රන්ථයේ සමරු සටහනක්ද තැබීය.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතාද එදින පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

එදින රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝව්න්ද් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබු විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකටද ඒ මහතා සහභාගි විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හි වේගවත් ප්‍රගමනයට හේතුවනු ඇති බවට තමා විශ්වාසය පළකරන බවද රාම්නාත් කෝවින්ද් මහතා එහිදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ දෙරට අතර ඓතිහාසික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳ, ආර්ථික, සමාජයීය සබඳතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බවයි. දෙරටේ ජනතාවගේ ජන ජීවිත ඉහළ තත්ත්වයකට ගෙන ඒමේ අවශ්‍යතාවද මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළගේ සාකච්ඡාවට ලක්විය. මෙම අවස්ථාවට ඉන්දීය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෝද එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 30 වැනිදා පෙරවරුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගොස් එහි නිලධාරින් හමුවූ අතර සිය ඉන්දීය චාරිකාව සනිටුහන් කරමින් කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ආකාරයෙන් තානාපති සේවයේ කාර්යභාරය ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා එහිදී නිලධාරින් සමඟ සාකච්ඡාවක නිරත විය.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහාබෝධි සංගමයේ සභාපති සහ දඹදිව සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් හමුවිය. සාංචි විහාරස්ථානයේ වර්තමාන තත්ත්වය සහ එහි දියුණුව පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ශ්‍රී ලාංකේය වන්දනාකරුවන් වෙනුවෙන් විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු සිංහල භාෂාවෙන් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව උන්වහන්සේ ජනාධිපතිතුමා දැනුවත් කළහ.

ඉන්දීය සාමණේර භික්ෂූන්වහන්සේලා වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද උන්වහන්සේ එහිදී අදහස් පළ කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ භාරත ජනතා පක්ෂයේ මහලේකම් රාම් මාදෙව් මහතා අතර අතර හමුවක්ද එදින පස්වරුවේ සිදුවිය. ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාගේ ඉන්දීය චාරිකාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ඒ මහතා ජනාධිපතිවරයාට සිය සුභපැතුම් පළ කළේය. හින්දු පුවත්පතේ කර්තෘ සුහාසිනි හයිඩර් මහත්මියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

මෙම චාරිකාව අතරතුරදී තවත් අපූරු හමුවකට එක්වන්නටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබිණ. එය එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුවක් විය. එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ මාණ්ඩලික නිලධාරියකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ ඔහු සමඟ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරකු දේශපාලන මිතුරකු ලෙස යළි හමුවීමයි. ඔහු ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ධුරය දරන ආචාර්ය ජෙනරල් වී. කේ. සිං මහතාය.

එම හමුව දේශපාලන තොරතුරු පිළිබඳ සාකච්ඡාවක් නොවූ අතර එම හමුවට ඔවුන් දෙදෙනා සමඟ පුහුණුව ලැබූ මේ වන විට විශ්‍රාමිකව සිටින තවත් හමුදා නිලධාරින් 15 දෙනකු පමණ එක්වී සිටීමද විශේෂත්වයක් විය. එය අතීතය ස්මර්ණය කරන බොහෝ සුහදශීලි පිළිසඳරක් බවට පත්වූ අතර ඒ අතර වූ බොහෝ දෙනකු ඉන්දීය සාම සාධක හමුදාවේ නිලධාරින් ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටි අයයි. ඒ අතීතයේ වූ අමතක නොවන සහ රසවත් සිදුවීම් එම සුහද කතාබහට ඇතුළත් වූ අතර ඔවුන් වෙන්වී ගියේ ඒ පැරණි අතීතය විසින් නැවත එක්කළ අලුත් මිතුරන් පිරිසක් ලෙසිනි. එම අතීත මිතුදම තුළින් යළි ගොඩනැඟුණේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුරක් වීමද ඉතා වැදගත් කරුණකි.

සිය පළමු නිල රාජ්‍ය සංචාරය නිමාකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (30) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේ අසල්වැසි ඉන්දියාව සමඟ වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමිනි.

[නිමාෂා සඳරුවනි]

ඡායා [ජනපති නිල ට්විටර් ගිණුම]

News Order: 
1
මාතෘකා