නොවැම්බර් දෙසැම්බර් ජනතාව ඉතිහාසගත තීන්දුවක් ගන්නවා

 ඡායාරූපය:

නොවැම්බර් දෙසැම්බර් ජනතාව ඉතිහාසගත තීන්දුවක් ගන්නවා

ඇමති සජිත් ප්‍රේමදාස

නොවැම්බර්, දෙසැම්බර් මාසයේ මේ රටේ ජනතාව ඒ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක තීන්දුව ගන්න විට මම ඔබට පොරොන්දු වෙනවා, දිවා රෑ නොබලා අපි අපේ ජනතාව ශක්තිමත් කරල ජයග්‍රාහී මාතෘ භූමියක් අපි මේ රටේ බිහිකරනවා බිහි කරනවා කියලා යැයි එජාප නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසීය. ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන බවත්, එම සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යය නොවැම්බර් දෙසැම්බර් තුළදී ඇති කරනා බවත් ඒ මහතා කීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් රැළිය අමතමිනි. අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවිධානය කළ මේ රැළිය 23 දින සවස මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“මිත්‍රවරුනි, තව මාස කීපයකින් එන ජනාධිපතිවරණයට කිසිවෙක් සැකසංකා ඇති කරගන්න එපා. සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා ස්ථිරයි. අද රටට අවශ්‍යම රටට ආදරය කරන, රට සංවර්ධනය කරන, රටේ ජාතික අරක්ෂාව තහවුරු කරන නායකත්වයක්. අන්න ඒ ගෞරවනීය නායකත්වය මේ මාතෘ භූමියට මම ලබාදෙනවා. අපි අදහස් කරගෙන සිටිනවා අපේ මේ මාතෘ භූමියට සද්දන්න නායකත්වයක් ලබාදෙන්න. ඒ තුළින් දැවැන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න. ඒ තුළින් ලොව ජයගන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න. ඒ තුළින් ජාතික ආරක්ෂක වැඩසටහනක්, ජාතික ආර්ථික වැඩසටහනක්, රට සමගි කරවන වැඩසටහනක්, රට එක්සේසත් කරන වැඩසටහනක්, රටේ ඒකීයභාවය තහවුරු කරන වැඩසටහනක්, රටේ ජනතාව සුඛිතමුදිත කරන වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ බෙහෙත් ශාලාව. ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ තියෙන මාතෘ සෞඛ්‍ය මධ්‍යස්ථානය. ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන පාසල. ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ රෝහල, ගමේ ආගමික සිද්ධස්ථානය, ගමේ ජනතාවගේ සංවර්ධනය. මගේ පියා වගේ ඉපදුනෙත් ගමේ. අභිෂේක ලබන්නෙත් ජනතාව අතර. යන හැම තැනටම යන්නෙත් ජනතාව අතර. මොනයම් හෝ වෙලාවක මරණය අත්පත් වුවහොත් මරණය අත්කර ගන්නෙත් ජනතාව සමඟ අත්වැල් බැඳගෙනයි. අපේ ජනතාව නිවැරදි තීන්දුව ගන්නා විට මම ඔබලට පොරොන්දු වෙනවා රට සුරක්ෂිත කරලා, ආර්ථිකය ශක්තිමත් කරලා, නව කර්මාන්ත නිර්මාණය කරලා, නව නිෂ්පාදන ශක්තිමත් කරලා, කෘෂිකර්මාන්තය ශක්තිමත් කරල නව උත්පාදන තුළින් අපි අපේ රට ගොඩ ගන්නට ඕන. නොවැම්බර්, දෙසැම්බර් මාසයේ මේ රටේ ජනතාව ඒ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක තීන්දුව ගන්න විට මම ඔබට පොරොන්දු වෙනවා, දිවා රෑ නොබලා අපි අපේ ජනතාව ශක්තිමත් කරල ජයග්‍රාහී මාතෘ භූමියක් අපි මේ රටේ බිහිකරනවා බිහි කරනවාමයි.

මේ මහා පක්ෂය බෙදිලා නෑ. ඒක ළඟදිම පෙනේවි

අමාත්‍ය මංගල සමරවීර

මම අනූ හතරේ චන්ද්‍රිකා මැතිනිය වෙනුවෙන් මෙතන රැලියක් කළා. මහින්ද රාජපක්ෂ වෙනුවෙනුත් රැලියක් කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙනුත් රැලියක් කළා. ඒ සියලු රැලිවලට පැමිණි ජන ගඟට වඩා වැඩි මහා ජන ගංගාවක් අද මේ රැලියට ඇවිත් ඉන්නවා.

යළිත් වතාවත් රාජපක්ෂවරුන්ගේ වහල් යුගයට යෑම නවත්වන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. එන්නේ ගෝඨාභය නොවෙයි. ගෝඨා බිය. තමුන්නාන්සේලාත් මින්පසු කියන්න ගෝඨ බිය කියා. තමුන්නාන්සේලා බයවෙන්න එපා. අපේ සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂලාට යනඑන මං නැතිවෙන විදියට ඔවුන්ට පරාජය අත්කර දේවි.

තව සතියකින් අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කරු ජයසූරිය මහතාගේ ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරනවා. අපේ අනෙකුත් සහෝදර පක්ෂවලත් සහාය එතුමාට ලැබී තිබෙනවා. අපේ පක්ෂය බෙදිලා කිව්වට අපි සැවොම එකතුවී මීට වඩා දසදහස් ගණනින් එකතුවී ගෝල්ෆේස් පිට්ටනිය පිරෙන්නට ජනතාව එක්රැස් කර අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කරු ජයසූරිය මැතිතුමා වගේම ඊට රවුෆ් හකීම්ලා, රිෂාඩ් බදියුදීන්ලා, මනෝ ගනේෂන්ලා, දිගම්බරන්ලා, චම්පික රණවකලා, රාජිත සේනාරත්නලා විතරක් නොවෙයි උතුරේ සහෝදර ජනතාවගේ ද සහාය ඇතිව චන්ද්‍රිකාගේද වාර්තාව බිඳිමින් සියයට හැටපහකට එහා ඡන්ද ලබාගනිමින් වසර විසිපහකට පසු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු පත්කර ගන්නවා.

මේ වේදිකාවේ ඉන්නේ ලබන දෙසැම්බර් මාසයේ මේ රටේ ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන සජිත් ප්‍රේමදාස මහතායි. එතුමා මම පිළිගනිමින් කනට කර කීවේ වෙල්කම් මිස්ටර් ප්‍රසිඩන් ටු මාතර කියා. එතුමාට මුල්ම වතාවට ජනාධිපති කියා කීවේ මාතරින් බව ඉන් ඉතිහාසගත වෙනවා.

අපි රටට විශාල සංවර්ධනයක් ඇති කළා. ඒ සංවර්ධනයට නායකත්වය දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. එතුමා වසර දාහතක් බැනුම් අහගෙන මේ පක්ෂය ආරක්ෂා කරගෙන අරගෙන ආවා. දැන් තරුණ නායකයකුට ඉඩදෙන වෙලාවයි. අපි මින් ඉදිරියට රට ගොඩනඟන්නේ අන්න ඒ තරුණ නායකත්වය හරහායි.

2015 මේ ආණ්ඩුව ආරම්භ කළේ රාජපක්ෂලාගේ ණය පොට්ටනිය කරේ තියාගෙන. අපි එම තත්ත්වයට මුහුණදී ණය ගෙවන ගමන් මහා සංවර්ධන ව්‍යාපෘති කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න හරි කැමතියි. එදා මමයි ෆවුසි ඇමැතිතුමායි මුල්ගල තියපු අධිවේගී මාර්ගය එයාගේ නම දාගෙන 2014 දී විවෘත කළා. අපේ නම තියෙන මුල්ගල ඉවත්කළා. මාතර සිට හම්බන්තොටට අධිවේගී මාර්ගය ආරම්භ කළේ අපි. එය දැන් නිම වෙමින් පවතිනවා. එදා සංවර්ධනය කළේ ජනතාව බය කරලා එළවලා. එදා ගෝඨාභය එළවපු ජනතාවට වන්දි දුන්නේත් මම මුදල් ඇමැති වූ පසුවයි.

අපේ පක්ෂයේ පවුල් භේද නෑ

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

අපි දැක්කා 11 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයට පන්දහසක් විතර ගෙනැල්ලා අයියා විසින් මල්ලීට ජනාධිපති අපේක්ෂකකම දුන්නා. මල්ලී ජනාධිපති අයියා අගමැති වෙන්න බලාගෙන. ඒක පවුල් පාලනය. නමුත් අපේ පක්ෂයේ එහෙම පවුල් භේද නෑ. රනිල් වික්‍රමසිංහ මහතා මගේ නායකයා. ඉස්සර සමහරු අපිට කීවේ රනිල්ගේ මිනිස්සු කියලා . දැන් යුග තුනක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකයා. එතුමා අමාරුම කාලේ මේ පක්ෂේ රැකගෙන ඉස්සරහට අරගෙන ආවා.ඒ ගරුත්වය එතුමට තියෙනවා. එදා පක්ෂ සම්මේලනයේදී එතුමා කීවා 2020 දී අපි තරුණ නායකයෙක් ගේනවා කියා. අපි අන්න එතෙන්ටයි මේ එන්නේ. සජිත්ට අවුරුදු විසිපහක දේශපාලන අත්දැකීම් තියෙනවා. ඒ මොකුත් නැති ගෝඨට හැත්තෑවයි. සජිත්ට පනස් දෙකයි. හැත්තෑවේ එකාට වඩා පනස්දෙකේ එකා හොඳ නැද්ද අම්මේ තාත්තේ? එතුමට අවුරුදු විසිපහක් තව දේශපාලනය කළ හැකියි.

අපි හොර පාරෙන් වැඩ කරන්නේ නෑ

අමාත්‍ය අජිත් පී. පෙරේරා

සමහරු කියනවා අපි හොර පාරෙන් ඩීල් දමා වැඩ කරනවා කියලා. අපි එහෙම කරන්නේ නෑ.හොර පාරෙන් සජිත් අගමැති කරන්නේ නෑ. අපි හොර පාරෙන් අගමැතිකම් ගන්න යනවා කියන කතාව පට්ටපල් බොරුවක්. අපේ නායකයා, ගෝඨාභය වගේ ජනතාව ඝාතනය කරපු අයෙක් නෙවෙයි. ජනතාවගේ දුක නැති කරන අයෙක්.

අපේ පක්ෂය ඓතිහාසික පක්ෂයක්

රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ

එක්සත් ජාතික පක්ෂය ඓතිහාසික පක්ෂයක්. අද මේ වේදිකාවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා. අපේ ඊළඟ විධායක ජනාධිපතිතුමා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ශක්තිමත් වී සිටින්නේ ප්‍රේමදාස මැතිතුමාගේ ලෙයින්. එදා මම ලෙයින් අස්සන් කරදුන් පරිදිම අදත් කියනවා. මේ පක්ෂය, මේ රට රැකගෙන ජනතාව දිනවන යුගයක් කරා අපි පෙරගමන් යනවග. අපි නවතින්නේ සජිත් මේ රටේ ජනාධිපති කර ජනතාව දිනවන යුගය ආරම්භ කරලයි.

එදා වෙනස කළ අය අදත් අපි එක්ක ඉන්නවා

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර

අපිට මතකයි එදා මේ රටේ වෙනස ඇති කරන්න ක්‍රියා කළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු මහජනතාවය. අදත් ඒ පිරිස අපි එක්ක ඉන්නවා. එම පිරිස් සියයට අනූවක් අද සජිත්ගේ ආණ්ඩුවක් ඉල්ලනවා. එදා ගෝඨාභයලා ලොකුවට ආවට අන්න දැන් ප්‍රශ්න ඇතිවෙලා. දේශපාලන පන්නරයක් නැති කෙනෙක් කොහොමද රටක් කරන්නේ. ආවා විතරයි අන්න මාධ්‍යවේදීන්ට එයාගෙන් ප්‍රශ්න අහන්න එපා කියා තහංචි දාලා. අද ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහතා එක්ක මේ රට අලුත් මාවතකට ගෙනයන්න.

මාතෘකා