යව සහ වී

 ඡායාරූපය:

යව සහ වී

‘ඒකාධිපතියෙක් තමයි ඕන’

‘ආඥාදායකයෙක්ට තමයි රට හදන්න පුළුවන්’

‘රටට විනයක් ඕන. දැඩි පාලනයක් ඕන’

මේ සමහරු කියන කතාය.

‘ඒ වැඩේට හරියන්නේ ගෝඨා’

ඒ තවත් කතාවක්ය. බොහෝ දෙනකුට අමතක අතුරු කතාවක් තිබේ.

ඔහු 'ලස්සන ජීවිතයකට, ලස්සන නගරයකට ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළකරමින් නාගරික ජනයා බුරුතු පිටින් පන්නා දැමූ මිනිසාය. කොළඹ නගරය ලස්සන නගරයක් කිරීම සඳහා වූ සිය සිහිනය ප්‍රකාශයට පත්කරමින් ගෝඨා කීවේ පර්ච් එකක් දෙකක් වැනි කුඩා බිම්කඩවල ජීවිතය ගෙවන කොළඹ පැල්පත්වාසීන්ට පහසුකම් සහිත වඩා හොඳ මහල් නිවාස ලබාදෙන බව වුවත් ඔවුන්ට ලැබුණේ වර්ගඅඩි 272ක කුකුළු කූඩුය. 'ඉඩදෙන්න' යැයි ආදරණීය දැන්වීම සමාජගත කරමින් ගෝඨා සැබවින්ම කළේ 'මිලිටරි' පන්නයේ එළවා දැමීමකි. ඒ එළවා දැමීමේ රඟ මොනතරම්ද කීවොත් ඊට එරෙහිව වචනයක් කී අයකු වෙත්නම් ඔහු 'නොකවුට්' විය.

එදා ව්‍යාජ ආදරණීය බවකින් 'ඉඩ දෙන්න' යැයි පවසා ක්‍රියාවෙන් 'පලයව්' යැයි කියූ ගෝඨා මෙදා 'වියත් මඟ' හරහා රට හදන හැටි කියයි. එය වියත් මඟක් නොව 'විපත් මඟක්' බව කියන්නේ ගෝඨාගේ පරණ කල්ක්‍රියාව දන්නා මිනිස්සුමය.

ගෝඨා කියන්නේම 'නීතිය' මහ දවල් බල්ලට දැමූ අයෙක්ය. මහින්ද කල්ලියේ ස්වරූපයම 'නීතිය එක්ක' සෙල්ලම් කිරීම නිසා එය අරුමයක් නොවේ.

'හමුදා සේවයේ යෙදෙමින් දේශපාලනය කළා' කියන චෝදනාව යටතේ එවක සරත් ෆොන්සේකා 'කුදලාගෙන' යන රාජපක්ෂ මිලිටරි පාලනය ගෝඨා නීති කැඩූ විට පැත්ත නොබලා සිටියේ හිරිකිතයක් නැතිවය. එවක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආවේ රාජ්‍ය නිලධාරියකු වූ ගෝඨාය.

රජයේ සේවකයන්ගේ විනය පාලනයට අදාළව බලපැවැත්වෙන ආයතන සංග්‍රහයට අනුව රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති අතර එය කඩකිරීම විනය විරෝධී ක්‍රියාවකි. එමෙන්ම මැතිවරණ සමයකදී රජයේ දේපළ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එම දේපළවල බාරකාරත්වය පැවරෙන්නේද අමාත්‍යාංශ ලේකම්වරුන්ටය. තවද මැතිවරණ නීතිරීති කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන පහළ මට්ටමේ රජයේ සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලයද ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන්ටය. එසේම රජයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන්නේද අමාත්‍යාංශ ලේකම්වරයාය.

හැබැයි මේ කිසිවක් තඹ දොයිතුවකට මායිම් නොකළ ගෝඨා එදා නීතිය කඩා දැම්මේය.

'වියත් මඟ' හදන්නේ මෙහෙම අයය; ජනපති සිහින දකින්නේ එහෙම අයය. සුදු වෑන් භීතිකාව නිර්මාණය කළ පුද්ගලයා, මාධ්‍යවේදීන්ව පැහැරගෙනගොස් අතපය කඩා දමන්නට හෝ 'ඉවරයක්' කොට දමන්නට මඟ කී පුද්ගලයා, කල්ලිවාදය වපුරා බිහිසුණු සමාජයක් නිර්මාණය කරන්නට කටයුතු කළ පුද්ගලයා, ජාතිවාදය වපුරා වෙනත් ජාතීන්ට ජීවත් වීමේ අපේක්ෂාව භීතියක් බවට පත් කළ පුද්ගලයා, වතුර බින්දුවක් බොන්නට ඉල්ලූ ජනතාවට ගිනි බිඳීමට නියෝග දුන් තැනැත්තා 2020 ජනපතිවරණයට එනවා නම් ඒක එක අතකට හොඳය. මක්නිසාද යත් සාහසිකත්වය, භීතිය, අශිෂ්ටත්වය සහ නපුර දෙවැනි වතාවටත් පරාජය කළ රටක් ලෙස එදාට නැවත මේ රට ඉතිහාසගතවන නිසාය.

එහෙම බැලුවම ගෝඨා එන එක හොඳය. සමහරු කියන්නේ ඒකාධිපතියකු අවශ්‍ය යැයි කියාය. තව සමහරු කියන්නේ ආඥාදායකයකු අවශ්‍ය යැයි කියාය. එක් භික්ෂුන් වහන්සේ නමක් කීවේ ‘හාමුදුරුවන්ගෙන් සීයට අනූනවයක් ගෝඨා එක්ක’ කියාය. ‘එතකොට බුදුහාමුදුරුවෝ එක්ක ඉන්නේ සීයට එකද?’ කියා කවුදෝ අසා තිබිණි. ආඥාදායකයකු ඉල්ලන අයට සිහිපත් කරන්නට යමක් තිබේ.

රෝමයේ තුන්වැනි අධිරාජයාගේ නම ගයුස් ජුලියස් කසාර් ඔගස්ටස් ජර්මනීසියස්ය. මේ පාලකයා රෝම ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූයේ ‘‘කලිගියුලා’’ යන නමින්ය. කලිගියුලා කැමති වූයේ 'මං පොර' න්‍යායෙන් වැඩ කරන්නටය. මුළු භාණ්ඩාගාරයම තිබුණේ ඔහු යටතේය. කලිගියුලා වසරක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ටර්ටියුස් 2,700,000,000කි. එකී මුදල මුළු රෝමයේ ආදායමෙන් 50%කි.

ජීවත්වීමට තරම්වත් යමක් උපයා ගන්නට නොහැකි ජනතාවට බදු ගෙවා ගැනීමට නොහැකි වූ කල කුරිරු ලෙස ඝාතනය කර දැමීය. රූමත් කාන්තාවන් සහ පිරිමින් හුවමාරු කරගැනීමේ පදනම මත වංශවතුන්ට සූදු ක්‍රීඩා හඳුන්වා දුනි. ඉන් නොනැවතී දුගී ජනතාවගේ ඉඩම් තමන්ගේ ඥාතීන්ට පවරාදෙනු ලැබූ අතර වීර්යයෙන් නැඟිටින ව්‍යාපාරිකයකු වෙත්නම් ඔහුගේ ව්‍යාපාරය උපායශීලීව තමා වෙත හෝ තම හිතවතුන් වෙත පවරා ගැනීම සිදු කෙරිණි.

කලිගියුලාගේ කැමැත්ත සහ ඔහුට පහළ වූ අදහස රටේ නීතිය බවට පත්කෙරූ අතර අධිකරණය තමන්ගේ හිතු මනාපෙට තම පාලනය යටතට ගත්තේය.

ඔහු රටේ ජනතාවට වඩා තමන්ගේ අශ්වයන්ට සැලකුවේය. ජනතාවගෙන් අයකළ බදු මුදල්වලින් තම අශ්වයන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභරණ පැලඳවීය. රනින් නිමකළ ලාඩම් පැලඳවීය. අශ්වයාගේ සම පැහැපත් කරගන්නට ඌට ලබාදෙන ධාන්‍යවල රන් ආලේපකර ලබා දුන්නේය.

අවසානයේ ‘‘ඉන්සිටේටස්’’ අශ්වයාට තානාපති ධුරයක් පවා පිරිනැමීය. එකී තනතුර එවකට රෝමයේ සෙනෙට් සභික තනතුරකට සමානය. රෝම ඉතිහාසයේ කළුපාට යුගය නිර්මාණය කළේ ඔහුය.

මේ කතාව මීට වසර තුනකට පෙර ලියුවා නම් ඊට ආදේශ වන්නට තිබුණේ රෝමය වෙනුවට 'ලංකාවය'.

කලිගියුලා මුලින්ම කළේ ඊනියා දේශානුරාගයකින් ජනතාව උන්මාදයට පත් කරන එකය. තමන් රෝමය රකින දෙවියා බව ඔහු ඒත්තු ගැන්වීය. ඒ වෙනුවෙන් අති විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. තම සමීපතම නෑදෑ සනුහරයට වගකිවයුතු සියලු සම්පත් ලබා දුන්නේය. මුළු ලෝකයම තමාව විනාශ කිරීමට සිහින දකින බවත් ඒ කුමන්ත්‍රණවලින් තමාව ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීම බවත් කලිගියුලා කීවේය.

කිසිවකුටත් තම රට අල්ලන්නට ඉඩ නොදෙන බව ඔහු දෑතින් පපුවට ගසා ගනිමින් කීවේය. ලොකුම විහිළුව වූයේ ඔහු අල්ලනු තබා අල්ලන්නට හිතන්නවත් කෙනෙක් එවක නොසිටීමය. ඒ තරමට එකල රෝමය දුප්පත්ය.

එහෙත් ස්වකීය බල ව්‍යාපෘතිය වෙනුවෙන් කලිගියුලා බේගල් පුරවමින් ජනතාවගේ අනුකම්පාව දිනාගත්හ.

විමසා බලන්න මීට තෙවසරකට පෙර සිදුවූයේත් එයම නොවේද?

මහින්ද යුගයේදීත් වුණේ ඒකමය. ඔහු මුළුමහත් භාණ්ඩාගාරයම පාලනය කළේය. තමන්ගේ නෑදෑ සනුහරයට සියලු සම්පත් බෙදා දුන්නේය. බුද්ධිය, දැනුම තුට්ටුවට දමා කිසිදු දැනුමක් නැති දේශපාලන අන්තේවාසිකයන් තීරණාත්මක තැන්වලට පත්කොට වගකීම් ලබා දුන්නේය. බදුපිට බදු ගසා ජනතාව පෙළන අතර සුරතල් මැකෝ ගිරවකු වෙනුවෙන් කාලය වෙන් කළේය.

බටහිර කුමන්ත්‍රණ ගැන වේදිකා දෙදරන්න කෑ ගසමින්, ඊට සුදුසු උස් හඬක් ඇති වීරවංශ වැන්නන් හරහා එකී මතය සමාජගත කළේය.

සශ්‍රීක ඉඩම් සහ දේපළ ඔහුගේ සමීපතමයන් උපක්‍රමශීලීව ඒවායේ හිමිකරුවන්ගෙන් අත්පත් කරගන්නා විට ඔහු සිටියේ 'මැකෝ ගිරවා' සුරතල් කරමින්ය.

1930 ඩොමිනික් රාජ්‍යයේ පාලකයා වූ 'රෆායල් ට්‍රැජිල්ලෝත්' ‘අමුතු’උමතුකාරයෙක්ය', ‘දෙවියන් ස්වර්ගයේ, ට්‍රැජිල්ලා විශ්වයේ' ලෙස සෑම දේවස්ථානයකම සටහන් කළ ඔහු රටේ සෑම අංක තහඩුවකම ‘ට්‍රැජිල්ලෝට ජය’ යනුවෙන් සටහන් කළේය. තම පුතාට වසර තුන සපිරෙන විට කර්නල් පදවියක් පිරිනැමූ ඔහු පුතාට වයස දහය වන විට ජනරාල් පදවිය දුන්නේය. රටේ සියලු ගොඩනැඟිලි, පාලම්, බෝක්කු, කඳුහෙල් සියල්ලට තම පවු‍ලේ නම් යොදන්නට ප්‍රිය කළේය. අකුරක් නොදන්නා සිය බිරියට හොඳම ‍ලේඛකයාට හා දාර්ශනිකයාට හිමි නොබෙල් ත්‍යාගය ලබා දීමට ඔහු වෙහෙසුණේය.

නැවත මීට තෙවසරකට පෙර ඉතිහාසය සිහිපත් කරනු යෙහෙකි.

'තමන් මහ රජු' වග ගීතවලින් පවා කියවාගත් ඔහු තම පුතා දේශපාලනයට ගෙනැවිත් ' නිල නොලත් අමාත්‍යවරයකු' කළේය. අනෙක් පුතා නාවික හමුදාවේ 'නිල නොලත් ප්‍රධානියා' කළේය. සියලු ගොඩනැඟිලි, පාලම්, බෝක්කු, පාසල්, වැසිකිළි තම නමින් වැජඹෙනවා දකින්නට ඔහු රිසි විය.

ලොව පුරා සිටි උමතු පාලකයන්ගේත් ඔහුගේත් වෙනසක් තිබුණේ නැත. එහෙම වෙනසක් තිබුණා නම් ඒ 'නම්'වලින් තිබූ වෙනස පමණය.

ආඥාදායකයන් ඉල්ලා සිටින්නන්ට සිහිපත් කළ යුත්තේ එක දෙයකි.

ඔබ යව වපුරා වී බලාපොරොත්තු වෙනවා නම් ඔබට මානසික ආබාධයකි.

මාතෘකා