මගේ කාලයේදී කිසිම පුරවැසියකුට ආණ්ඩුවේ තුවක්කු පත්තු වුණේ නෑ

 ඡායාරූපය:

මගේ කාලයේදී කිසිම පුරවැසියකුට ආණ්ඩුවේ තුවක්කු පත්තු වුණේ නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මෙරට දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩුවේ තුවක්කු රටේ කිසිදු පුරවැසියකුට පත්තු නොවුණු කාලසීමාව තමාගේ පාලන කාලය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

එම වාර්තාව වෙනත් කිසිදු ආණ්ඩුවකට නොමැති බවත් රටේ ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට රිසිසේ දෝෂාරෝපණය කිරීමට නිදහසද තමා දී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ආදිවාසී දිනයට සමගාමීව ‘සැමට සෙවණ’ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ දිඹුලාගල, දළුකාන, ජීවහත්තගම නව ගම්මානය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් පෙරේදා (18) ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

"මම නිදහස දුන්නේ එහෙම බනින්න නෙවෙයි. දැනුවත් මිනිස්සු විදිහට යහපත් සමාජයක් ගොඩනඟන්නයි ඒ නිදහස දුන්නේ. මම දීලා තියෙන නිදහස යොදාගෙන මට කරන විවේචන, කරන අපහාස හිටපු ජනාධිපතිවරුන්ට කළා නම් එහෙම ඒ අය හිටපු තැන් හොයාගන්නත් නැහැ. ගෙවල් දොරවල් හොයාගන්නත් නෑ. නමුත් මම තමයි ඒ නිදහස සහතික කරලා තියෙන්නේ. මම තමයි ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරලා තියෙන්නේ. එදා මම ආණ්ඩුව ගන්නකොට ජාත්‍යන්තර බලවේග නිසා පීඩාවට පත්වෙලා තර්ජනයට පත්වෙලා, මහා භීෂණයක් තිබුණු රටක් මේක. ඒ සියල්ල මං වෙනස් කළා. මිනිස්සුන්ට නිදහසේ, බියෙන් සැකෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සතුටින් ඉන්න පුළුවන් රටක් මම ගොඩනැඟුවා. දූෂණයට, චංචාවට, හොරකමට නාස්තියට විපක්ෂයේද ආණ්ඩුවේද කියලා බැලුවේ නැහැ. සෑම කෙනකුටම විරුද්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්තා.

"මේ ගම්මානවල ජීවත් වීමේ සටන කොච්චර බරපතළද? එහි තිබෙන දුගීභාවය එතරම් බලපතළයි. වී ගොවිතැන, ධීවර කර්මාන්තය, වෙනත් යම් යම් සුළු කර්මාන්ත ඒවත් එක්ක තමයි තමුන්නාන්සේලා ජීවත් වෙන්නේ. අපි කෘෂිකර්මාන්තය නංවන්න, මහවැලි අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතන යටතේ පහසුකම් රාශියක් දී තිබෙනවා. මේ ආණ්ඩුව තරම් ස්වභාවික විපත්වලින් කරදරයට පත්වුණු, වගා විනාශ වුණු ගොවීන්ට කිසිම ආණ්ඩුවක් වන්දි ගෙව්වේ නැහැ.

"අපි හැමවිටම බලන්නේ කෘෂිකර්මාන්තය නම් කොහොමද ගොවියාට වැඩිපුර ආදායමක් ලබා දෙන්නේ, ධීවර කර්මාන්තය නම් කොහොමද ධීවරයාට වැඩි ආදායමක් ලබා දෙන්නේ, රාජ්‍ය සේවකයා නම් රාජ්‍ය සේවකයාට ලැබෙන පුංචි වැටුපක් එක්ක කොහොමද ඔහුට අරපරෙස්සමින් යහපත් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය පසුබිම හදන්නේ කියලා. මේ පිළිබඳව අපි හැම කෙනකුම හිතන්න ඕන. කල්පනා කරන්න ඕන. සමාජයේ විනාශ වුණු බොහෝ දේවල් තිබෙනවා. මොන ආණ්ඩුවක් ආවත් ඒ තිබෙන ආණ්ඩු තුළ ජනතාව පීඩාවට පත්වෙන, දුකට පත්වෙන දුගී භාවයට පත්වෙන කරුණු ගණනාවක් තිබෙනවා. ඒවා වෙනස් කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය.

"සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කිව්වා මේ ලිබරල්වාදය එතුමා ප්‍රතික්ෂේප කරනවා, ලිබරල්වාදය අපිට ගැළපෙන්නේ නැහැ කියලා. ඒ කියපු නව ලිබරල්වාදය තමයි පහුගිය අවුරුදු කිහිපයේ අපව විනාශ කළේ. ඒවත් අපි තේරුම් ගන්න ඕන. රටට ගැළපෙන ආර්ථික ක්‍රමයක්, රටට ගැළපෙන දේශපාලන ක්‍රමයක්, විදේශවලට ගැති නොවුණු රටේ ස්වාධීනත්වය, රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන මිනිසුන්ට යහපත්ව ජීවත් වෙන්න ක්‍රමයක් හැදෙන්නට ඕන. මත්ද්‍රව්‍ය, මත්කුඩු, කසිප්පු, අරක්කු, ගංජා, මත්පෙති අද බරපතළ ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා. අද තමුන්නාන්සේලාට දුගීභාවයෙන් නිදහස් වෙන්න හදලා දෙන නිවස වගේම මේ ගම්මානවල ජීවත්වෙන හැම ගෙදරක්ම මතින් නිදහස් ගෙදරක් වෙනවා නම් තමුන්නාන්සේලාට බොහෝ ප්‍රශ්න අඩුයි.

"මේ සමාජය කොහාටද ගිහින් තියෙන්නේ. මේ නිසා තමයි මම කුඩු විකුණන ව්‍යාපාරිකයන්ට, කුඩු ජාවාරම්කාරයන්ට, මරණීය දණ්ඩනය දෙන්න ඕනෑ කියලා තීන්දු කරලා අත්සන් කළේ. ඔවුන් මේ රටෙන් තුරන් කරන්න ඕන. රට හදාගන්න ඕන නිසායි එහෙම කළේ. නමුත් මරණීය දණ්ඩනය දෙන්න අත්සන් කරලා තියෙනකොට අපේ ආණ්ඩුවේ ලොක්කොයි විපක්ෂයේ ලොක්කොයි රටේ ඉන්න දේශපාලනඥයොයි ගෙවල්වලින් පාරට බැහැලා කෑගහන්න ගත්තා.

"“බෑ බෑ මරණීය දණ්ඩනය දෙන්න බැහැ.” කියලා එක්කෙනෙක් උසාවි ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ගත්තා මරණීය දණ්ඩනය කල්දාන්න කියලා. ඔක්තෝබර් මාසය වෙනකල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දෙන්න කල්දාලා තියෙනවා. මේ අපරාධකාරයන්ව ඇයි රකින්නේ? පාතාලය, අපරාධකාරයෝ, මත්කුඩු, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කරන්නන්, මේ රට විනාශ කරන ජාවාරම්කාර මිනිසුන් සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැති මිනිස්සු. මේ මිනිස්සු මේ රටෙන් තුරන් කරන්න අවශ්‍යයි.

"ඒ විතරක් නොවෙයි හැම අපේක්ෂකයෙක්ම කියන්න ඕනෑ මත්කුඩු ජාවාරම්කාරයන්ට විරුද්ධව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා කියලා. අද ගෙවල්වල තියෙන ප්‍රශ්න තමුන්නාන්සේලා දන්නවා. ගෙවල්වල තිබෙන අඩදබර දුගී භාවය, ලෙඩ රෝග, සමාජයෙන් ප්‍රතික්ෂේප වීම, ආර්ථිකය කඩා වැටීම් වගේ මේ කරුණුවලට ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය බලපානවා. පාසල් දරුවන් විනාශයි. විශ්වවිද්‍යාල දරුවන් විනාශයි. මේවාට දේශපාලනඥයනුත් සම්බන්ධ වෙලා තියෙනවා. ආණ්ඩුවේද විපක්ෂයේද භේදයක් නැතුව සම්බන්ධ වෙලා ඉන්නවා. අපි හොඳ රටක් හදා ගන්න අවශ්‍යයි. රට හදා ගන්න මොන විවේචන ආවත් පසුගිය අවුරුදු පහේ මම කළ හැකි දේ උපරිම මට්ටමෙන් ඉටුකරලා තියෙනවා.

"කිසිම ජනාධිපති කෙනෙක් මීට කලින් නොකළ විශේෂ ව්‍යාපෘති රාශියක් මම ක්‍රියාත්මක කළා. පරිසරය ආරක්ෂා කරන්න, දරුවන් ආරක්ෂා කරන්න, මත්ද්‍රව්‍යවලට විරැද්ධව, වකුගඩු රෝගීන් අඩු කරගන්න ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. අපි ආරම්භ කරලා තියෙන ග්‍රාමශක්ති ව්‍යාපාරය දුගී භාවය තුරන් කිරීම සඳහා අද රට පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ සෑම වැඩසටහනක් තුළම තමුන්නාන්සේලා කොහොමද යහපත් මිනිසුන් කරන්නේ, තමුන්නාන්සේලාගේ දරුවො ටික කොහොමද හොඳට හදාගන්නේ, දරුවන්ට කොහොමද හොඳ අධ්‍යාපනයක් දෙන්නේ කියන මේ කාරණා ගැන හිතලා තියෙනවා. අපේ ආදිවාසී ජනතාව ගත් විට පාරම්පරිකව මේ ගම්මානවල ජීවත් වුණු ජනතාව. මේ පවුල්වල අද හොඳට ඉගෙනගත්ත දරුවෝ ඉන්නවා.

"අද ලංකාවේ ආදිවාසී ජනතාවගේ පවුල්වලින් ගුරුවරුන්, ඉංජිනේරුවන්, දොස්තරලා බිහිවෙලා තියෙනවා. ඒ අපේ සංස්කෘතියත් එක්ක ගොඩනැඟුණු සමාජයක්. හැම කෙනකුටම සාධාරණ සමාජයක්, නිදහසේ ජීවත්වීමේ සමාජයක්, සතුටින් ජීවත්වීමේ සමාජයක් ලබා දෙන්නේ කොහොමද යන්න පිළිබඳව තමයි විශේෂයෙන් හිතන්නට ඕනෑ. අපි කොහොමද ඒ පරිසරය හදාගන්නේ කියලා හිතන්න අවශ්‍යයි. රට වශයෙන් වගේම පහුගිය අවුරුදු පහකට ආසන්න කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න සමාජ සුබසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය සඳහා අපි විශාල වැඩ කොටසක් ඉෂ්ට කළා. ඒ සංවර්ධනය කරගන්න ලැබුණේ තමුන්නාන්සේලා පොළොන්නරුවෙන් ජනාධිපතිවරයෙක් 2015දී පත්කරපු නිසයි කියන එක තමුන්නාන්සේලාට මම මතක් කරනවා. ඒකේ ගෞරවය තමුන්නාන්සේලාට වගේම මුළු රටේ ජනතාවටම තිබෙනවා. අද පොළොන්නරුවේ ඇති වෙලා තිබෙන සංවර්ධනය පහුගිය අවුරුදු පහේ ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවල ඇති වෙලා නැහැ."