ගොබෙල්ස්ලා

 ඡායාරූපය:

ගොබෙල්ස්ලා

මහින්ද 2015දී මෙහෙම කීවේය. 'මම නම් ලෑස්තියි. දැන් මම ඉන්නේ බොක්ෂින් වළල්ලේ. ඒත් මට වෙලා තියෙන්නේ ෂැඩෝ බොක්ෂින් වගේ තනියම ගහගන්න. මොකද තවම මගේ ප්‍රතිවාදියා නෑ.'

එහෙම කී මහින්ද ගිය වතාවේ කල් වේලා ඇතිවම තනියම මැතිවරණෙට ආවේය.

හැබැයි එහෙම ආව මහින්ද පරාජය වුණේ මහින්දටවත් හිතාගන්න බැරි විදිහටය. එජාපය කොහොමත් තමන්ගේ අපේක්ෂකයා කරළියට ගෙනාවේ ප්‍රතිවාදියා නම් කළාට පසුවය.

88 හැමෝම හිතුවේ ජනපති සටනට ජේ. ආර්. එයි කියලාය. ඒ වෙනකොට විපක්ෂයේ සිරිමාවෝත් කල්තියාම ලෑස්ති පිට සිටියාය. එජාපෙන් ආවේ ප්‍රේමදාසය. ප්‍රතිඵලය වුණේ සිරිමාවෝ පරාජය වෙච්ච එකය.

94 කල් තියාම එජාපය ගාමිණී තෝරාගෙන සිටියේය. එවර චන්ද්‍රිකා දිනුවාය. 2010 එජාපය මෛත්‍රී ගෙනාවේ මහින්ද බොක්ෂින් වළල්ලට ගොඩවෙන ෂැඩෝ බොක්ෂින් ගහද්දීය. අන්තිමට මහින්ද ගෙදරය; මෛත්‍රී දිනුවේය.

මෙවර මහින්ද කලින්ම ගෝඨා නම් කොට තිබේ. එජාපයේ නිල අපේක්ෂකයා තවම තිරෙන් පිටුපසය.

අධිතක්සේරුව, බල උමතුව සහ අධි මාන්නය තිබෙන කිසිවකු සමඟ සොබාදහම නැත. කීවා වගේම මහින්ද නමැති ගින්න නිවන්න එවර මෛත්‍රී නමැති වැස්ස වැටුණේය. එය අනෝරාවක් වී එතෙක් රට පෙළූ බල උමතුව සෝදාගෙන ගියේය.

'මේ වතාවෙත් ලොක්කා කල් ඇතිවම නා ගන්නවා.' කණ්ඩායම් රැස්වීම් හමාර වී එළියට එන අතර මහින්දගේ හිතවත් මන්ත්‍රීවරු දෙන්නෙක් කීවේ එහෙමය.

'අනික මිනිස්සු මහින්ද එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම කියලා රාජපක්ෂලා කියලා නම් ගහලා දාන පොල්පිතිවලටත් ඡන්දෙ දෙන්න මිනිස්සු මෝඩ නෑ...'

ඒ ඔවුන්ගේ සති අන්ත කතාබස්ය. 2005 ජනාධිපතිවරණෙට මාස කිහිපයකට කලින් මහින්දට ජනපති අපේක්ෂකකම ලැබෙනකොට ශ්‍රී රෝහණ ජනරංජන සම්මානය ලැබී තිබුණේය. පෝස්ටරයක් ගානේ මහින්ද ඒක වික්කේය. දේශප්‍රේමියා නමැති වචනයේ සන්නාමය ඔහු තමා සතු කරගත්තේය.

අද එය ගෝඨාභයටත් අන්දවා තිබේ.

ඔවුහු සංහිඳියාව ගැන කතා කරති; යහපාලනය ගැන කතා කරති; ශිෂ්ටසම්පන්න රටක් ගැන කතා කරති.

ඒ සියල්ල කියන විට විමල්ලා, මහින්දානන්දලා, ජොන්ස්ටන්ලා, රෝහිතලා, ලංසලා, එස්. බී ලාගේ සමීප මුහුණු දිස් වෙයි.

මහින්ද යුද වීරයා සේ උත්කර්ෂයට නංවන බොහෝ දෙනා එකක් අමතක කරයි. ඒ මෙතෙක් බිහිවූ නායකයන්ගෙන් ජනවාර්ගික අර්බුදය ගැන අංශු මාත්‍රයක පැහැදිලි මතයක් නොතිබූ නායකයා මහින්ද කියන එකය.

'සාම ගිවිසුම පෙරට ගෙනියනවා' ඔහු ඉන්දියාවට එවක එහෙම කීය.

ඡන්දෙන් දිනුවට පස්සෙත් ඔහු හිටියේ උතුරේ ඕන දෙයක් වෙච්චදෙන් කියන ගානටය. ඒ ගැන හොඳින්ම දන්නේ හෙළ උරුමයය. ජවිපෙය. ඒ දිනවල මහින්ද කරේ තියාගෙන දිනවූයේ ඒ දෙගොල්ලන්ය. වරක් ඒ කතාව චම්පික ලස්සනට පැහැදිලි කළේය.

'අද ඔය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශප්‍රේමය කතා කරන අය ඇඳන් යට ඉන්නකොට, ප්‍රභාකරන්ගේ කාලතුවක්කු කතා කරන වෙලාවේ, මහින්ද රාජපක්ෂ මහත්තයගෙත් කකුල් වෙව්ලන වෙලාවේ, අපි තමා එදා ඒ ත්‍රස්තවාදය ඇතුළු අඳුරුම යුගයේ මළ කඳන් මැදින් මේ රට ඒ ජයග්‍රාහී යුගයට අරගෙන යන්න මුල් වුණේ මිත්‍රවරුනි. මහින්ද මහත්තයා 2005 බලයට ආපු වෙලාවේ එතුමට උදව් කරන්න කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ නෑ. මේ මුළු කොළඹ දිස්ත්‍රික්කයටම හිටියේ භාරත ලක්ෂ්මන් විතරයි. ඒ භාරත ලක්ෂ්මන්ට ඒකට තෑග්ග දුන්නා මහින්ද මහත්තයා. වෙන කිසිම කෙනෙක් ස්ටේජ් එකක් ගහන්න, පෝස්ටරයක් ගහන්න එදා හිටියේ නෑ මේ කොළඹ දිස්ත්‍රික්කයේ. අපි තමයි එතුමාගේ ඒ ව්‍යාපාරය අරගෙන ගිහිල්ලා එතුමාව ඒ තැනින් තිබ්බේ. එතුමා කිසිම අවස්ථාවක කිව්වේ නෑ; මම ආවොත් කොටි සංවිධානය පරාජය කරනවා කියලා."

"එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ ලීවේ මම ආවොත් ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරනවා කියලා විතරයි. 2005 බලයට ඇවිල්ලා ගෙනාපු පළමුවැනි අයවැයෙන්ම කළේ මොකක්ද; ලක්ෂ 8000ක් කොටින්ට ලබා දෙන විදියට රාඩා කියන ආයතනය හරහා උතුරේ ගෙවල් හදන මුවාවෙන් ප්‍රභාකරන්ට සල්ලි ලබා දීමට යෝජනා කිරීමයි. අද ඒ නඩුව ඇහෙනවා අධිකරණයේ. කොහොමද ඒ සල්ලි ටික ගියේ, හදපු එක ගෙයක්වත් නෑ, ගෙවල් හදනවා කියලා කිලිනොච්චිය, වවුනියාව, යාපනය, නැඟෙනහිර ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ගේන්න කොහොමද ඒ මුදල් ගියේ කියන එක දැන් මහාධිකරණයේ විනිශ්චය වෙනවා. එතුමා ඊළඟට කළේ මොකද්ද? නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ඇරියා සාකච්ජා කරන්න කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් එක්ක ජිනීවා නගරයට. මෙහෙන් නිමල් සිරිපාලගේ නිල කණ්ඩායම යනකොට බැසිල් රාජපක්ෂයි, සජින් වාසුයි හොර පාරෙන් ජිනීවාවලට ගියා. අරලියගහ මන්දිරයේ කාමරයක්, මේ ගැන සාකච්ජා කරන්න.

ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ මහත්තයලා අපි එහෙම එතන ගිහිල්ලා වාඩි වෙලා හිටියා. ඔය අතරේ මට ජිනීවාවල ඉඳන් කතා කරලා ශ්‍රීපති සූරියආරච්චි කීවා; ‘මහත්තයෝ මෙතන එළියේ නිමල් සිරිපාලයි ඇන්ටන් බාලසිංහම් දෙන්නා කතා කරනවා, හෝටලය ඇතුළේ බැසිලුයි සජින් වාසුයි සාකච්ජා පවත්වනවා’ කියලා. ඔන්න ඔහොමයි ගේම ගහගෙන ගියේ මහින්ද මහත්තයා. අවුරුදු 05ක් ප්‍රභාකරන් එක්ක දීග කන්න හිතාගෙන තමයි මහින්ද ආවෙත්, වැඩ කරගෙන ගියෙත් මිත්‍රවරුනි. අපිට විශාල කේන්තියක් කෝපයක් තිබුණා; මෙයා මේ උඩින් හා යටින් කරගෙන යන ක්‍රියාවලිය පිළිබඳව. අපේ කේන්තිය කෝපය උත්සන්න වුණේ 2006 අප්‍රේල් මාසේ අපේ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයට බෝම්බ ගහපු වෙලාවේ. අපි ගිහිල්ලා මහින්ද රාජපක්ෂට කීවා හමුදාපතිට ගහලා තියෙනවා, හමුදාපති පණ අදින තත්ත්වයට පත්කරලා තියෙනවා, දීනයෙක් නොවී ප්‍රභාකරන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න කියලා. ඒත් කළේ නෑ. මට සාමය රකින්න තියෙනවා කීවා. නොර්වේජියානුවෝ එක්ක සාකච්ජා කරන්න තියෙනවා කීවා. ඔයගොල්ලෝ කීවට මට යුද්ධ කරන්න බෑ.. බෑ.. බෑ කීවා. මම කියනවා මහින්ද රාජපක්ෂට, මේවා බොරු නම් විවෘතව එන්න සංවාදයකට ඒ ඉතිහාසය මතක් කරලා දෙන්න."දේශප්‍රේමී රාජපක්ෂලාගේ සළුපිළි ගැලවීම ඉන් නවතින්නේ නැත.

ලැබිය යුතු මුදල් ජුනි, ජූලි මාසවල නොලැබෙන විට ප්‍රභාකරන් වියරු වැටුණේය. ඔවුන් එහි පළිය ගත්තේ මාවිල්ආරු වේල්ල වසා දමමින්ය. අහිංසක ජනතාව 6000ක් වතුර නැතිව හාමත් විය. ගොවි බිම් කරවී ගියේය. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂගේ ඩබල් ගේමට උත්තර දෙන්න චම්පිකලා එළියට ආහ. ඔවුන් මාවිල්ආරුවට ගොස් ඒ ජනතාවගේ වතුර ටික බේරා ගන්න සටන එදා ඔවුහු ආරම්භ කළහ. ඔය අතර මහින්ද හෙළ උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ජනපති මැදුරට ගෙන්වීය.

'මට යුද්ධ කරන්න බෑ. ලබ්බෙන්ද යුද්ධ කරන්නේ' කියා මහින්ද ඇසුවේ එදාය. හමුදාව, ජනතාව සියලු දෙනා කළ බලපෑම හරහා ඔහුට පළා යන්නට නොහැකි විය. ඒ ගැන හෙළ උරුමයේ චම්පික අපූරුවට හෙළි කළේය.

'සටන ජය ගත්තේ අගෝස්තු 08. අන්න ඊට පස්සේ තමා මහින්ද මහත්තයා යුද්ධ වීරයා වෙන්න පටන් ගත්තේ. ඒකට කමක් නෑ, හැබැයි රටට ඇත්ත කියන්න කියලා විතරක් අපි කියනවා; කොටි පැරදුණාට පස්සෙත් මහින්ද මහත්තයා කොටි එක්ක ගනුදෙනු නතර කළේ නෑ. 12,600ක් කොටි සාමාජිකයෝ නිදහස් කළා. ඒ මොකටද වන්නියේ හා නැඟෙනහිර ඡන්ද තමන්ට ගන්න පුළුවන් වෙයි කියලා. 1000කට ආසන්න පිරිසක් හමුදාවේ බුද්ධි අංශයට අරගෙන ආණ්ඩුවේ පඩි ගෙව්වා. නැඟෙනහිර පළාත, හම්බන්තොට, කතරගම, මොනරාගල තමන්ගේ ප්‍රදේශවල තමන්ගේ නෑ හිතවතුන් වෙන හයසිය ගාණක් ඝාතනය කරපු රාම්ලා, නගුලන්ලා හමුදාවේ පඩි ලැයිස්තුවලට ගෙනාවේ ගෝඨාභය. ඒ නිසා අපි කියන්න ඕනේ මේ රාජපක්ෂලාගේ දේශප්‍රේමය කියන්නේ පවුල වවා ගන්න, පවුල ගොඩනඟාගන්න හදාගත්තු බොරුවක් මිසක් මේ රටට තියෙන ආදරයක් නෙවෙයි කියලා.”

හිට්ලර්ගේ ප්‍රවෘත්ති ඇමතිකම ලැබුණේ 'ආචාර්ය ගොබෙල්ස්ට'ය. හරියටම කීවොත් ඒ අමාත්‍යාංශය ජාතිය පුබුදු කිරීමේ හා ප්‍රචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයය.

ගොබෙල්ස් තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම කළේය. හිට්ලර් දේවත්වයට නංවා රාජකීය අභිසෙස් ලබා දුන්නේ ගොබෙල්ස්ය. සෑම පාසල් පොතකම හිට්ලර්ගේ උදාන වාක්‍ය ඇතුළත් කරමින් ඔහු වන්දනීය චරිතයක් කළේ ගොබෙල්ස්ය. ආර්ථික අවපාතයෙන් රට මිරිකෙද්දී එය 'සුරපුරයක්' බවට ඒත්තු ගැන්වූයේ ගොබෙල්ස්ය. මුළු ලෝකයම ජර්මනියට එරෙහිව එන බවත් ඊට එරෙහිව හිට්ලර් වීරයකු සේ මුහුණ දෙන බවත් ගොබෙල්ස් කීවේය. 'බොරුව' සියදහස් වතාවක් කියවා එය සත්‍යයක් බවට ඒත්තු ගැන්වූ ගොබෙල්ස් හිට්ලර් එක්කම ජර්මනියත් වනසා දමන්නට පාර කැපුවේය.

1945 අප්‍රේල් මැයි මාසයේදී සෝවියට් රතු හමුදාව විසින් සමස්ත බර්ලින් නගරය වටකරනු ලැබීය. තවත් දින කිහිපයකින් බර්ලින් නගරය රතු හමුදාව යටතට පත්වීම ඉර හඳ වගේ විශ්වාසය. එහෙත් සීත කල ජර්මන් ගුවන්විදුලි සංස්ථාවට ඒ උණුසුම දැනුණේ නැත. ගුවන්විදුලිය තුළ 'පදිංචි වී' මහත් වේගයෙන් කතා කළ ගොබල්ස් තවත් දින කිහිපයකින් සමස්ත සෝවියට් දේශයම නාසි හමුදාව අතට පත්වන බව ජර්මන් ජනතාවට කීවේය.

නමුත් සිදු වුණේ එහි අනෙක් පැත්තය.

කෙසේ වෙතත් අවසානයේ ගොබල්ස්ද සියදිවි නසා ගත්තේය. පහුගිය ආණ්ඩු සමයේ එහෙම ගොබෙල්ස්ලා බොහොමයක් සිටියහ. ඒ ඒ ගොබෙල්ස්ලාට එක එක වර්ගයේ කාර්යභාරයන් පැවරී තිබිණි.

'රට බිලිගන්න එනවා'

'ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙනවා'

' රණවිරුවෝ විදුලි පුටුවට ගෙනියන්න හදනවා'

එහෙම කතා ආවේ ගොබෙල්ස් න්‍යායටය.

මහින්දගේ ආණ්ඩුව වසර ගණනාවක් යැපුණේ එහෙම ගොබෙල්ස්ලාගේ පුරාජේරු බොරු එක්කය.

එක පිට එක මැතිවරණ දිනන්නට සියල්ල දේශපාලනික රැල්ලකට හරවාගත් ඉතිහාසයක් ඔවුන් සතුය.

මැතිවරණ කට උඩ තියාගෙන 'විදුලි පුටු කතා' වික්ක හැටි සමහරුන්ට අමතකය. 2014 ජනවාරි 11 එවක කැබිනට් ඇමැති මහින්ද යාපා කීවේ මාර්තු 29 වැනිදා බස්නාහිර සහ දකුණ පළාත්සභා ඡන්දය පැවැත්වෙන බවය. සාමාන්‍යයෙන් පළාත් සභාවක් විසුරුවා හරින්නේ නැතිව මැතිවරණ දිනය ගැන කොමසාරිස්ටවත් කියන්නට හැකියාවක් නැත. එහෙත් මහින්ද යාපා ඒක කීවේය.

රහස කුමක්ද? ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් යෝජනාව ගන්නට තිබුණේ 2014 මාර්තු 28 හරියටම හවස 07ටය. පසුවදා උදේ 7ට ලංකාවේ පළාත් දෙකකට ඡන්දය යොදා ගත්තේ මේ නැකතට අනුවය. එවර නැකත හැදුවේ සුමනදාස අබේගුණවර්ධන නොවේය. එයද නවනීදම් පිල්ලේගේ නැකතට අනුව රාජපක්ෂ හදපු නැකතය. ජිනීවා මානව හිමිකම් සභාවේ යෝජනාව බිල්ලෙක් ලෙස පෙන්වා මුළු මැතිවරණයම මෙහෙයවීම උපක්‍රමය විය; එය එහෙමම විය. සැබැවින්ම එදා ආණ්ඩුව කළේ ජිනීවා වවාගෙන කෑමය. ලංකාව තූ තූ කොට දමන්නට විදෙස් බලවේග වලි කන බව ඔවුහු ගම් දනව් පුරා මිථ්‍යාව වැපිරූහ. එවක විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ඊනියා උපවාසයක් කළේය. චෝගම් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනක් වැයකොට රාජ්‍ය නායකයන් ගෙන්වා ඔවුන්ට තග දමා 'මං පොර' වන්නට ගියේය. ලෝකය තුළ ලංකාව නොව ලංකාව තුළ ලෝකය තිබෙන බවට අති උන්මාදනීය මිථ්‍යාවක් ඔවුහු සමාජගත කළහ.

කුමන්ත්‍රණ මවමින් දේශපාලන බලය උදෙසා සකලවිද කාලය කැප කරන්නට සමත් ගොබෙල්ස්ලා ඒ ආණ්ඩුවේ ඇති පදම් සිටියහ. මේ සියල්ල රාජපක්ෂලා හරවා ගත්තේ තමන්ගේ වාසියටය.

දැන් ඔවුහු 13න් එහාට දෙන්නටත් ලෑස්ති බව කියති. ඉස්සරහට තව මොන මොන දේ දෙන්න ලෑස්ති වෙයිද කියා දන්නේ නැත.

 

මාතෘකා