සැබෑ විකල්පය

 ඡායාරූපය:

සැබෑ විකල්පය

විකල්පය සොයන බොහෝ දෙනෙක් සැබෑ විකල්පය තිබෙන්නේ කොතනදැයි විමසති. බොහෝ දෙනෙක් සිතන්නේ විකල්පය යැයි කියාගත් සංවිධාන, පක්ෂ සහ කණ්ඩායම් එකතු වී එක් පෙරමුණකට ආ යුතු බවය. ඒ සඳහා යහමින් සාකච්ඡා පවත්වති. සන්ධාන හදති. සෑම සන්ධානයක්ම හදන එහි මූලිකත්වය ගන්නන් පවසන්නේ විකල්පය හැදෙන්නේ තමන් හදන සන්ධානය තුළ බවයි.

ජනාධිපතිවරණයෙන් පාර්ලිමේන්තුවට පාර කැපීම

මේ ලිපි පෙළින් මා වරින්වර මතු කළ කරුණක් වන්නේ විකල්පය යනු ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පමණක් නොවන බවය. සමස්ත සමාජ ක්‍රමයම ගරා වැටුණු රටක් බල පෙරළියක් මඟින් පමණක් ගොඩගත නොහැක. නමුත් බලය හා ගනුදෙනු කරමින් ගොඩනැඟෙන දේශපාලනය තුළ ජනාධිපතිවරණය අත්හැරිය නොහැකි සාධකයකි. විකල්ප මතධාරීන් යැයි කියන බොහෝ දෙනකුගේ ඊළඟ ඉලක්කය පාර්ලිමේන්තු මැතිවරණයයි. එක් එක් කණ්ඩායම්වල නායකයන් උපරිම 5කට පාර්ලිමේන්තු වරම් දිනා ගැනීමේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණය තුළින් සහතික කර ගැනීමට උත්සාහ කෙරෙන මට්ටමට මෙම ඊනියා විකල්ප ෆැන්ටසිධාරීන් පසුබැස ඇත.

විකල්පය විකල්පයෙන්ම මතුකර ගැනීම

බොහෝ විකල්ප යැයි පැවසෙන සංවිධාන සහ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය දෙස බැලූ විට පෙනෙන්නට නොමැත්තේ විකල්පයම පමණි. එයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ඉතිහාසයයි. ඔවුන් මෙම පරණ මජර දේශපාලන කඳවුරු ජාලයෙහි කොහේ හෝ කෙදිනක හෝ ස්ථානගත වී සිටි අයයි. එසේත් නැත්නම් මෙම මජර ක්‍රමය සමඟ හොඳින් ගනුදෙනු කරමින් සිටි අයයි.

කෙදිනක හෝ සැබෑ විකල්පයක් ගොඩනැඟිය හැක්කේ මේ දැනට පවතින ප්‍රවාහයන්ට එපිටින් සහ මෙම මජර ක්‍රමයට නතු නොවුණු පුරවැසියන්ගෙනි. අවම වශයෙන් මේ සමාජය තුළ තමන් ස්ථානගතව සිටි හෝ සිටින තැන සිට දිගුකාලීනව මේ ක්‍රමයට එරෙහිව සටන් කළ අයගෙන් විකල්පය ගොඩනැඟිය යුතුය. නමුත් ගැටලුව වන්නේ තමන්ගේ නොවන තමන්ට පුද්ගලිකව බලනොපාන කිසිදු ප්‍රශ්නයකට කිසිදා සටනක් නොදුන් බොහෝ පිරිස් විකල්ප හසුරුවන්නන් වීමට උත්සාහ කිරීමය. මේ නිසා අලුත් දේශපාලන ව්‍යාපාරයක් තරුණ අලුත් නායකයන් තුළින් ගොඩනැඟීම සාර්ථක විකල්පයක් සඳහා එකම මාවතයි. අවම වශයෙන් විකල්ප පෙරමුණක කේන්ද්‍රීය හෝ ප්‍රධාන මෙහෙයුම් බලවේගය බවට පත්විය යුත්තේ එවැනි කණ්ඩායමක්ය.

දීර්ඝකාලීන වැඩපිළිවෙළක්

බොහෝ විකල්ප යැයි පවසන කණ්ඩායම් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයම ඉලක්ක කරන එක් හේතුවක් වන්නේ එම කණ්ඩායම් සහ සංවිධානවල නායකයන් බොහෝ දෙනෙක් වයස 55 හෝ ඊටත් වඩා වයසින් වැඩි වීමයි. ඒ නිසා අරගලයෙහි උපාය මාර්ග සැලසුම් ඒ අරගලය මුහුණ දෙන පරිසරය සහ ගමන්මඟට අනුව සකස් කෙරෙන එක පසෙක තබා තම තමන්ගේ වයසට අනුව තීරණය කරයි. දශක හතක රට ආ ගමන්මඟ වෙනස් කරන විකල්ප ළඟ නවතන්නට යන්නේ ඒ නිසාය. ඒ නිසා රට සමාජය වෙනස් කරන පුරවැසියා හා සංවාදාත්මක දීර්ඝකාලීන වැඩපිළිවෙළක් පෙනෙන්නට නැත. එය ගොඩනඟා ගැනීම කාලීන අවශ්‍යතාවකි.

පරණ උපාය මාර්ග

මෙවර ජනාධිපතිවරණයට විකල්ප යැයි පැවසෙන අපේක්ෂකයන් 5ක් 7ක් අතර හෝ ඒ ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් පවතී. එම ගණන එක් අපේක්ෂකයෙක් දක්වා අඩුකර ගැනීමට කෙරුණු සාකච්ඡා අසාර්ථක වෙමින් පවතී. හේතුව වන්නේ කුහක බල අරගලයයි. මේ බොහෝ කණ්ඩායම්වල උපාය මාර්ගය වී ඇත්තේ තමන් විශාලම කණ්ඩායම බව පෙන්වා අනිත් කණ්ඩායම් තම යටතට ගැනීමයි. නැතහොත් තමන්ට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සමඟ ගිවිසුම්ගත වීමේ හැකියාව පෙන්වා අනෙක් අය ආකර්ෂණය කර ගැනීමයි. දශක ගණනක් පැරණි මෙන්ම මෙම මජර දේශපාලන කඳවුරු දෙක ඇති තරම් පට්ට ගසා ඇති මෙවැනි උපාය මාර්ග (මේවාට දැන් උපාය මාර්ග යැයි කීමේ ගැටලුවක්ද ඇත.) තවදුරටත් භූමියේදී වලංගු නොවේ.

ජනාධිපතිවරණයේදී වෙනසක්

තවමත් විකල්ප අවකාශය විවෘතව පවතී. කිසිවකුගේ ආමන්ත්‍රණයට හසු නොවූ ජනතාව අති විශාලය. විකල්ප පිළිබඳව ඔවුන්ව දැනුවත් කර විකල්ප කඳවුරට සමීප කර ගැනීමට දේශපාලන ව්‍යාපාරයක් හෝ වැඩපිළිවෙළක් තවමත් දක්නට නැත. ඒ නිසා විකල්ප කඳවුර විසිරුණු ස්වභාවයක් පවතී.

සියල්ල වෙනස් කරගත හැක්කේ නිර්මාණශීලී වැඩපිළිවෙළක් සමඟ එන තරුණ ආකර්ෂණීය නායකයකුටය. ජනතාවගේ ප්‍රශ්න සහ විසඳුම් එම ජනතාව සමඟ සංවාද කළ හැකි දක්ෂ සන්නිවේදකයකුටය. ජනතාවගේ ඕනෑම සටනකදී ජනතාව සමඟ මහපොළොවේ සටන් කළ හැකි ශක්තියක් සහ ජවයක් සහිත සටන්කරුවකුටය. එවන් සංවිධානයක් එවන් නායකයකු සමඟ ජනගත වූ දින සමස්ත විකල්පයම ඔහු සමඟ සිටගැනීම අනිවාර්යය කොන්දේසියකි. එයින් මඟහැර යන්නට කිසිවකුට හැකියාවක් ලැබෙන්නේ නැත. දේශපාලන වචනයෙන් විකල්ප රැල්ල හැදෙන්නේ එවිටය. දේශපාලනයත් හරියට කාලගුණය වාගේය. මොහොතින් මොහොත වෙනස් වෙයි. ඉතින් කාලය ඇත.

මාතෘකා