2020දී වඩා බලගතු විධායකයද? පාර්ලිමේන්තුවද?

 ඡායාරූපය:

2020දී වඩා බලගතු විධායකයද? පාර්ලිමේන්තුවද?

1978දී සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බිහිවුණු විධායක ජනාධිපති ධුරයේ බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සීමා කිරීමක් සිදුවිය. ඒ අතරතුර තව මාස කිහිපයකින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ වටපිටාව නිර්මාණය වී තිබේ. එයින් පත්වන ජනාධිපතිවරයා සතු බලතල කවරේද එහිදී වඩා බලවත් විධායකයද ව්‍යවස්ථාදායකයද යන්න පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් මත විමසුමක් කළෙමු.

[නිර්මාණී බණ්ඩාරනායක]

ඊළඟට එන්නේ නාමමාත්‍රික ජනාධිපතිවරයෙක්

මාධ්‍යවේදී වික්ටර් අයිවන්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිට විධායක බලයක් නැහැ. ජනාධිපති කියන්නේ නාමමාත්‍රික කෙනෙක්. අගමැතිට තමයි සියලු බලතල ලැබෙන්නේ. මෙතන තියෙන විහිළුව තමයි 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති පත් කරන්නේ රට පුරා පවත්වන ඡන්දයකින් කියලා තියෙන එක. නාමමාත්‍රික ජනාධිපති කෙනෙක් පත් කරන්න ජනතා පරමාධිපත්‍ය අවශ්‍ය නැහැ; ඡන්ද මණ්ඩලයකින් තමයි නාමමත්‍රික ජනාධිපති පත් කරන්නේ. ජනාධිපතිවරණ අපේක්ෂකයන් කියනවා ව්‍යවස්ථාවට නැති බලයක් තමාට තියෙනවා කියලා. ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ අගමැතිට. ජනාධිපතිවරයාට ඇමතිවරු පත් කරන්න පුළුවන්. නමුත් නම් කරන්නේ අගමැති. අගමැතිට ඇමතිවරු පත් කරන්න පුළුවන්, ඉවත් කරන්න බලය නැහැ. මේ වගේ ක්‍රමවේදයක් තිබුණා, 1970 - 1972 දක්වා විලියම් ගොපල්ලව නාමමාත්‍රික ජනාධිපති ලෙස පාලනය කරද්දි. මීට පෙර ජනාධිපතිට තිබුණා රජයේ සකලවිධ බලය. 19 වැනි සංශෝධනයෙන් ඒ බලතල සීමා වුණා. ඊළඟට එන ජනාධිපතිට දැන් ජනාධිපතිවරයාට පවතින බලතලවත් නැහැ. දැන් ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තුනක් ව්‍යවස්ථා ප්‍රකාරව ලැබුණා. ඊළඟ ජනාධිපතිට ඒ බලය නැහැ. දැන් මේ රට තියෙන්නේ විකාර අවුලක. දේශපාලනය කරන මිනිස්සුන්ගේ හොඳ සිහිය නැතිවෙලා කියලා පේනවා. මේ වගේ නොවැදගත් තනතුරකට වැදගත්කමක් දීලා ඒක පත් කරන්න කෝටි ගණනක් වැය කරලා මොන පිස්සුවක්ද මේ කරන්නේ?

--------------------------

වඩා බලවත් ජනතාව

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

මහින්ද දේශප්‍රිය

19 වැනි ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති ධුරය 2015ට පෙර තරම් බලවත් නැහැ. ඇත්තටම වෙන්න ඕනේ ව්‍යවස්ථාව සහ විධායකය එකට එකතුවෙලා රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම. මේක ඉර, හඳට වඩා හොඳද කියලා අහනවා වගේ සංකීර්ණ ගැටලුවක්. මූලික කරුණ වන්නේ ජනාධිපති සහ අගමැති එකට එකතුවෙලා වැඩ කිරීම මිසක් බලය නෙවෙයි. ජනාධිපතිට මේ ව්‍යවස්ථාවෙන් තිබුණු බලය අඩුවෙලා තියෙනවා. මේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා තියෙනවා. එහෙමයි කියලා ජනාධිපති බල රහිත නාමමාත්‍රික කෙනෙක් නෙවෙයි. නමුත් මේ කවුරුත් නෙවෙයි ජනතාව තමයි වඩා බලවත්. ජනතාව තමන්ගේ බලය නොදන්නා තාක් කල් අනිත් අය තමයි බලවත්. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තියෙනවා "ජනරජයක පරමාධිපත්‍ය ජනතාව සතුයි" කියලා. ඒ පරමාධිපත්‍යයෙන් තමයි ජනාධිපති හා අගමැති පත් කරන්නේ. බලය දෙන පාර්ශ්වය තමයි වඩා වැදගත් කියලා මම හිතන්නේ.

---------------------

ජනපතිගේ බලතල අඩුයි; ඒත් එය නාමමාත්‍රික ධුරයක් නෙවෙයි

ව්‍යවස්ථා සම්පාදන මහජන කමිටුවේ සභාපති ලාල් විජේනායක

19 වැනි සංශෝධනයට අනුව අගමැති තමයි වඩා බලවත්. 19 වැනි සංශෝධනය එන්න කලින් බලවත් ජනාධිපති. ජනාධිපතිට විශේෂ බලතල තිබුණා; පාර්ලිමේන්තුව විසුරුවා හරින්න, අගමැති පත් කරන්න සහ ඉවත් කරන්න ආදී වශයෙන්. නමුත් 19 වැනි සංශෝධනයෙන් කළේ ඒ බලතල සීමා කිරීම. එමඟින් ඇමතිවරු තේරීමේ බලය අගමැතිට පැවරුවා. පාර්ලිමේන්තු කාලය වසර 4 ½ක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න නොහැකියි. එහෙම අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයකින් සම්මත කරන්න ඕනේ. 19 වැනි සංශෝධනයෙන් අගමැති ඉවත් කිරීමේ බලය අහෝසි කළා. මේ ආකාරයට ජනාධිපති ධුරයේ බලතල විශාල ප්‍රමාණයක් සීමා කරලා තියෙනවා. ජනාධිපතිට යම් අමාත්‍යාංශ කිහිපයක ප්‍රධානීත්වය දරන්න බලය දෙනවා කියලා අන්තර්කාලීන වගන්තියක් ව්‍යවස්ථාවට අඩංගු කළා. වර්තමාන ජනාධිපති ධුරය අවසන් වන විට ඒ බලතලත් අහෝසි වෙනවා. ජනාධිපති කැබිනට් එකේ ප්‍රධානියා වෙනවා. රාජ්‍ය නායකයා විතරක් නෙවෙයි. කැබිනට් එකෙත් ප්‍රධානියා වෙනවා. ඇමතිවරුන් නම් කරන්නේ අගමැති, විෂයන් තෝරන්නේ ජනාධිපති. ඒ අනුව බලන කල ජනපති ධුරයේ බලතල ඉවත් කිරීමක් කරලා නැහැ. විලියම් ගොපල්ලව දැරුවා වගේ නාමමාත්‍රික තනතුරක් නෙමෙයි මේක. ඒ නිසා 2020දි ජනාධිපතිගේ බලතල අඩු වීමක් වෙනවා. නමුත් බලරහිත නාමික ජනාධිපති කෙනෙක් වෙන්නේ නැහැ.

-----------------

සමාන බලැති බල මධ්‍යස්ථාන දෙකක් නිර්මාණය වෙනවා

මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

2020දී ජනපති අගමැති දෙන්නම බලවත් වෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල කප්පාදු කරලා තියෙනවා. නමුත් ඒක පූර්ණ කප්පාදු කිරීමක් නෙවෙයි. ආණ්ඩුවේ නායකයා, විධායකයේ නායකයා ලෙස යම් යම් බලතල ජනාධිපති සතුව තියෙනවා. නමුත් ඒ බලතල ක්‍රියාවට නංවන්න 19 වැනි සංශෝධනයෙන් අගමැති පත් කිරීමක් කරලා තියෙනවා. ජනාධිපති විසින් ඇමතිවරු පත් කළාට ඇමතිවරු නම් කිරීමේ බලතල තියෙන්නේ අගමැතිට. පාර්ලිමේන්තුව වසර 4 1/2ක් යනතුරු විසුරුවන්න ජනාධිපතිට බලතල දීලා නැහැ. බැලූ බැල්මට පේනවා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති දුර්වලයි කියලා. ඒත් ඒක එහෙම නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු විශේෂඥයන් යැයි කියනා කණ්ඩායමේ ආණ්ඩුක්‍රම ක්‍රියාකාරීත්වය ගැන අඩු දැනීම නිසා සමාන බලැති බල මධ්‍යස්ථාන දෙකක් ඒ අනුව නිර්මාණය වෙනවා. මොකද අගමැතිට පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙනවා. මේක විසඳන්න කිසිම අපේක්ෂකයකුට බැහැ. 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කරලා 1978 ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම නැතිනම් 19 වැනි ව්‍යවස්ථාව තවත් තහවුරු කරලා කැබිනට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න ඕනේ. නැතිනම් මෙතන සමාන බලැති විධායක තනතුරු දෙකක හැප්පිල්ලක් වෙනවා.

-------------------------

පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක් හදන්න ඕනේ

මාධ්‍යවේදී කේ. ඩබ්ලිව්. ජනරංජන

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යන ගමනේදී ගෙන ආ අතරමැදි ප්‍රතිසංස්කරණයක්. එමඟින් ජනපති ධුරයේ බලතල යම් ප්‍රමාණයකින් අහෝසි වුණා. නමුත් ජනාධිපතිගේ බලතල සම්පූර්ණයෙන් අහෝසි වීමක් වෙන්නේ නැහැ. තිබුණාට වඩා අඩු වීමක් වෙනවා. නමුත් එහෙමයි කියලා මේකෙදි අගමැති බලවත් වෙන්නෙත් නැහැ. මේ දවස්වල ප්‍රචාරයක් යනවා "ජනාධිපතිගේ බලතල අඩුයි. අගමැති බලවත්" කියලා. ඒක අසත්‍යයක්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩුවෙලා අගමැති බලවත් වෙන්න තිබුණා සංශෝධනයේ තිබුණු මුල් කාරණා සම්මත වුණා නම්. නමුත් එහෙම වුණේ නැහැ. දේශපාලන පක්ෂවල බලපෑම සහ ශ්‍රේෂ්ඨාධිකරණය එහි කාරණා සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක අවශ්‍යයි කියන තීන්දුවත් එක්ක වුණේ 19 වැනි ව්‍යවස්ථාවේ මුල් කෙටුම්පතේ කාරණා දුර්වල වීම. දැන් නාමික ජනාධිපති කෙනෙක් හදන්න නම් ඊළඟ පියවරට යන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක් හදන්න ඕනේ.

මාතෘකා