මැතිසබයේ ඔබ නොඇසූ කතා

 ඡායාරූපය:

මැතිසබයේ ඔබ නොඇසූ කතා

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වීමට පෙරාතුව තිබූ රාජ්‍ය පාලනය පිළිබඳව අතීතයට එබිකම් කර සොයා බැලීමේදී ඒ වකවානුවේ රටේ පාලකයා වූයේ රජකු බව පැහැදිලි වේ. රජු රට පාලනය කළේ රජු වටා ගොඩනඟා ගත් රාජ්‍ය උපදේශක මණ්ඩලයක් මාර්ගයෙනි. දසරාජධර්ම පාලනයක් අතීත රාජ්‍ය පාලනයේ තිබූ බව කියැවෙන බැවින් එදා රටේ ජනතාවට පීඩනයක් ඇතිවී නොමැති බව මෙහිදී මනාව පැහැදිලි වේ. රජුගේ පාලනයේදී රටේ ව්‍යවස්ථාදායක කටයුතු සියල්ලම ඉටුකරනු ලැබ ඇත්තේ රජු විසින්ය. කාලයාගේ අවෑමෙන් ක්‍රි.පූ. 4 වැනි සියවසේදී ලංකාද්වීපයේ ප්‍රථම අගනුවර වශයෙන් අනුරාධපුර නගරය තෝරාගත් පණ්ඩුකාභය රජතුමා මෙසිරිලක රජකම් කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි.

පාර්ලිමේන්තුවේ හෙවත් පාර්ලිමේන්තු ක්‍රමයේ ආරම්භක ස්වරූපය ලෙස සැලකිය හැකි රාජ්‍ය සභාව ඇරැඹී ඇත්තේද පණ්ඩුකාභය රාජ්‍ය පාලන කාලයේදී බව ඒ සම්බන්ධ අධ්‍යයනයේදී පැහැදිලි වේ. එදා මෙරටේ පාලකයා වූ පණ්ඩුකාභය රජු විසින් නගර පාලනයේ පහසුව තකා ‘නගර වෘත්තික’ නමින් විශේෂිත තනතුරක් ඇති කර ඒ පුද්ගලයාට නගර කටයුතු සොයා බලා ඒ සම්බන්ධ සියලු විස්තර තමාට වාර්තා කරන ලෙසට පවරා ඇත. ඔහු ලබාදෙන පූර්ණ විස්තර වාර්තාව ප්‍රමුඛත්වයේලා, නගර පාලනය සම්බන්ධව සාකච්ඡා කර තීරණ ගැනීමට සෑම දිනකම සවස් කාලයේ විශේෂ ස්ථානයක (සභාවක) රජතුමා හා අමාත්‍ය මණ්ඩලය රැස්වීමට තීරණය කර ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. මෙහිදී නගරයේ රාජ්‍ය කටයුතු වශයෙන් ගැනෙන සියලුම කරුණු සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමඟ රජතුමා සාකච්ඡා කර තීරණ ගත් බැවින් මෙසේ රැස්වූ ස්ථානය ‘රාජ සභාව’ වශයෙන් ස්ථිර වී ඇත. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් එම සභාවේ පාලන කටයුතු පුළුල් වීමෙන් පසුව රටේ රාජ්‍ය පාලනය සම්බන්ධ කටයුතු සිදුකිරීමට රාජ සභාව මුල්වූ බව 4 වැනි සියවසේ සිට පැහැදිලිව හඳුනාගත හැකිය.

ක්‍රි.පූ. 5 වැනි සියවසේ සිට මෙසේ පැවතගෙන ආ රාජ සභාව රජුගේම ප්‍රධානත්වයෙන් විශේෂ ස්ථානයන්හි රැස්වූ බව ඉතිහාසය වැඩිදුරටත් පැහැදිලි කරයි. එක් එක් රජවරුන්ගේ පාලන කාල සීමාවන්හිදී රාජ සභාවන් මේ ආකාරයෙන් මෙසේ ස්ථානගත වූ බවට උදාහරණ වශයෙන් සීගිරිය රාජධානියේ රාජ සභාවත් මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් පොළොන්නරු රාජධානියේ ඉදිකළ අලංකාර රාජ සභාව හා නිශ්ශංකමල්ල රජතුමන් මහා පරාක්‍රම සමුද්‍රයට මුහුණලා ඉදිකර ඇති රාජ සභාවත් සාක්‍ෂි දරයි.

මෙම රාජ සභා ගොඩනැඟිලිවල නටබුන් අදටත් අපට දැකගත හැකි වේ. තවද පොළොන්නරු අවදියට අයත් තුන්වැනි මණ්ඩප ගොඩනැඟිල්ල නිශ්ශංක ලතා මණ්ඩපයයි. මේ අයුරින් රජු මුල්කර ගත් රාජ්‍ය පාලන ක්‍රියාවලිය සිංහලයේ අවසාන රාජධානිය වූ, මහනුවර රාජධානිය දක්වාම පැමිණ ඇත. එහි රාජ සභාව රැස්වූ ගොඩනැඟිල්ල අදත් අපට දැකගත හැකිය. ඒ මහනුවර දළදා මාළිගාවට සමීපව ඇති අලංකාර, ‘මඟුල් මඩුව’ යි. උඩරට සිංහල ප්‍රධානීන් සිය රාජ්‍යය බ්‍රිතාන්‍ය රජ කිරුළ යටතේ ‘ආරක්ෂිත දේශයක්’ බවට පත්කරමින් වර්ෂ 1815 මාර්තු 15 වැනි දින ගිවිසුම අත්සන් කිරීමට සුදුසු ස්ථානය වශයෙන් මඟුල් මඩුව තෝරාගත් බව කියැවේ. (මෙම ‘මඟුල් මඩුව’ සැලැස්ම මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ එහි අනුරුවක් කොළඹ ඉදිකර වසර 133ක් බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු ශ්‍රී ලංකාව නිදහස් රටක් බවට පත්වී එහි ස්වාධීනතා ප්‍රකාශය 1948 පෙබරවාරි 04 වැනි දින සිදුකෙරුණු අතර නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා සිංහ කොඩිය ඔසවා ඇත්තේද එම ගොඩනැඟිල්ල ඉදිරිපිටය.)

මහනුවර රාජ්‍ය පාලන යුගයේදී, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට තර්ජන එල්ල වීමට පටන්ගෙන ඇති බව ඉතිහාස පොතපතින් අප කියවා ඇත. ඒ අනුව 1505දී පෘතුගීසීන් විසින් හා 1602දී ලන්දේසීන් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍ර‍දේශ ඔවුන් යටතට පත් කරගනු ලැබ ඇත. මෙසේ කල්ගත වීමෙන් 1815දී සුප්‍රසිද්ධ උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය‍යේ යටත් විජිතයක් බවට පත්විණ. මෙසේ බ්‍රිතාන්‍යයන්ගේ පාලනය පවතිද්දී වර්ෂ 1815 සිට වසර 3කට පසු ඉංග්‍රීසීන්ට එරෙහිව ඇතිවූ සිංහල කැරැල්ලෙන් බ්‍රිතාන්‍ය පාලනය අඩපණ වූ අතර බ්‍රිතාන්‍ය පාලකයන්ට රට පාලනය කිරීම පිළිබඳව තර්කානුකූලව සිතා බලන්නට සිදුවී ඇත.

ඒ අනුව මෙම කැරැල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ පරිපාලන හා අධිකරණ ක්‍රම සම්බන්ධව සිදුකළ යුතු ප්‍රතිසංස්කරණයන් සොයා බලා වාර්තා කිරීම පිණිස එංගලන්තයේ මහ රැජන විසින් ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ජී.එම්. කෝල්බෘක් සහ චාර්ල්ස් ජේ. කැමරන් යන අයගේ ප්‍රධානත්වයෙන් රාජකීය කොමිෂන් සභාවක් පත්කර වර්ෂ 1827දී ලංකාවට එවා ඇත. එසේ පැමිණි මෙම කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව රටේ පාලන තන්ත්‍රයේ වෙනස්වීම් ඇතිවීමට හේතු පාදක වී ඇත. මෙම කොමිෂන් සභාවේ නිර්දේශය මත එකිනෙකට වෙනස් වූ සභා දෙකක් ලංකාවේ පිහිටුවා රට පාලනය කිරීමට තීරණය වී ඇත.

එයින් එක් සභාවක් ‘විධායක සභාව’ වශයෙන් හා අනෙක ‘ව්‍යවස්ථාදායක සභාව’ වශයෙන් නම් කර තිබූ අතර වර්ෂ 1833 මාර්තු මස 19 වැනි දින මෙරට සිටි ආණ්ඩුකාර රොබට් නෝර්ටන් විසින් බ්‍රිතාන්‍ය රාජකීය උපදෙස් මත මෙම සභා දෙක ලංකාවේ ස්ථාපිත කර ඇත.

මෙම විධායක හා ව්‍යවස්ථාදායක සභාවන්හි රැස්වීම් මුලින්ම පවත්වා රටේ පාලනය පිළිබඳ තීරණ ගෙන ඇත්තේ කොළඹ කොටුවේ එවකට ඉතා දර්ශනීය ලෙස නිමවා තිබූ ගෝඩ්න් උද්‍යානය ඉදිරිපිට පිහිටා ඇති වරෙක ‘රැජනගේ නිවාසය’ ලෙසත් තවත් වරෙකදී ‘රජුගේ නිවාසය’ ලෙසත් පසුව ‘ආණ්ඩුකාර නිල නිවස’ ලෙසත් වර්තමානයේ “ජනාධිපති මන්දිරය” ලෙසත් හඳුන්වන ගාම්භීර වූ මන්දිරය ඉදිරිපිට ඇති මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යන ජනරජ ගොඩනැඟිල්ලේය. මෙය ලංකාවේ පළමු ව්‍යවස්ථාදායක (පාර්ලිමේන්තු) ගොඩනැඟිල්ල ලෙස ඉතිහාසයට එක්වේ. මෙසේ මුලින්ම ව්‍යවස්ථාදායක සභාව රැස්වූ ගොඩනැඟිල්ල මෙය බව වර්තමාන සමාජයේ වැඩි පිරිසක් නොදන්නා කරුණත් බව පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව අප පවත්වන දේශනවලදී පැහැදිලි වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර හෙවත් ගාලුමුවදොර පිහිටි අභිමානවත් පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල බව බොහෝ දෙනකු පැවසීම සාමාන්‍ය වේ. එහෙත් ලක්දිව පාලනයට මුලින්ම රටේ ප්‍රධානීන් රැස්වූ ස්ථානය මෙය නොවන බව ඉහත ඡේදය අනුව පැහැදිලි වේ. කෙසේ වුවද රටම ආදරය කරන මනරම් ගාලුමුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ඉදිවූ කාල වකවානුව, සැලසුම නිර්මාණය කළේ කවුරුන්ද? කෙසේද? ආදී නොයකුත් තොරතුරු සොයා බැලීම මෙහිදී කාහටත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

වර්ෂ 1930දී රටේ මහජනතාව වෙනුවෙන් විවෘත වූ ගාලුමුවදොර ඇති මෙම ඓතිහාසික පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල පරයා අද මහා විසල් නවීන සැප පහසුකම් හෙබි මන්දිර මේ අසල ඉදිවී ඇත. එසේ වුවද මෙම ඓතිහාසික ගාම්භීර ගොඩනැඟිල්ල දකින ලොකු කුඩා ඕනෑම අයකුට දෙවරක් එදෙස හැරී බැලීමට සිත පහළ වීම අරුමයක් නොවේ. මෙතරම් ශක්තිමත්ව ඉන්දියන් සාගරයට මුහුණලා ඉදිවූ මෙම ගාම්භීරවූ මන්දිරයේ ඓතිහාසිත වටිනාකම අදට වඩා වැඩි වන්නේ සත්‍ය වශයෙන්ම හෙට දිනටය.

වර්ෂ 1833 පළමු ව්‍යවස්ථාදායක සභාව රැස්වූ ගොඩනැඟිල්ලේ ඉඩ පාඩු සලකා බැලූ එදා සිටි පාලකයන්ට ලංකාවේ රාජ්‍ය පාලනයට නව මන්ත්‍රණ සභා ගොඩනැඟිල්ලක දැඩි අවශ්‍යතාව පැනනැඟී ඇත. ඒ අනුව නව ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වූ යෝජනාව වර්ෂ 1912දී මෙරටේ ආණ්ඩුකාර ධුරය දැරූ ශ්‍රීමත් හෙන්රි මැක්ලම් විසින් ලක්රජය හමුවේ ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එය සම්මත වීමෙන් පසුව මෙම ඉදිකිරීම සඳහා භූමි භාගයක් තෝරා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා ගාලුමුවදොර ඇචිලන් හමුදා බැරැක්ක (දැන් දක්නට නොමැත) සහ බේරේ වැව අතර උතුරු කෙළවර පිහිටි ගොඩකරන ලද භූමි භාගය රජය මඟින් වෙන්කර ගනු ලැබ ඇත.

මෙසේ තෝරාගත් භූමිභාගයේ ඉතිහාසය සොයා යෑමේදී කොළඹ වැසියන්ට මුහුදු සුළඟ වදිමින් සැඳෑ සුවයෙන් විවේකය ගතකිරීම සඳහා විනෝද උද්‍යානයක් ලෙස, සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසින් මෙම ස්ථානය වෙන්කර දී තිබූ බව කියැවේ. 1854දී කොල්ලුපිටියේ රේස් පිටිය නමින්, තුරඟ තරගද මෙම භූමි භාගයේ පවත්වා ඇති අතර විදේශයන් සමඟ ක්‍රිකට් තරගද මෙම වකවානුවේ මෙම ස්ථානයේ පවත්වා ඇති බවට වැඩිදුරටත් තොරතුරු හමුවේ.

එදා රජය පාර්ලිමේන්තු මන්දිරය ගොඩනැංවීමට ස්ථිරවම තෝරාගත් මෙම භූමි භාගය හා එහි පාංශු පරීක්ෂා කර ගොඩනැඟිල්ල සැලසුම් කිරීමට පාර්ලිමේන්තු පාලකයන් විසින් බාර දෙනු ලැබ ඇත්තේ කොළඹ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අති දක්ෂ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූ ඔස්ටින් වුඩ්සන් මහතාටය. වුඩ්සන් මහතා බ්‍රිතාන්‍ය සැලසුම් ශිල්පය සම්බන්ධ රාජකීය ආයතනයේ සාමාජිකයෙකි. බිම් පරීක්‍ෂාවෙන් අනතුරුව මෙම මන්දිරය නිර්මාණය සඳහා වාස්තු විද්‍යාත්මක ශෛලීන්ගෙන් එකක් වූ ‘අයෝනික ශෛලිය’ (Ionic design) අනුව ඉදිකිරීමට ඔහු තීරණය කර ඇත. මෙම නිර්මාණය ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ඇතෑන්ස් නුවර ඇක්‍රොපෝලිස් නම් ගොඩනැඟිලි පිහිටි කඳු මුදුනේ ‘ඇතීනි’ නම් ග්‍රීක දෙව්දුවට පූජා කෙරුණු ‘පාතීනන්’ නමැති ප්‍රධාන දේවස්ථානයට සමාන වන බවක් පැවසේ.

ගාම්භීර හා සිත් ඇදගන්නාසුලු පෙනුමකින් මහා ශ්‍රම දායකත්වයකින් ඉදිකෙරුණු මෙම ඓතිහාසික ගොඩනැඟිල්ල 1930 ජනවාරි මස 29 වැනි දින ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මන්දිරය වශයෙන් ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකරු විසින් ලංකා පාබල හමුදාවේ ආචාරය මධ්‍යයේ මහා බිතාන්‍යයේ ධජය එසවීමෙන් විවෘත කරනු ලැබ ඇත. මනා පහසුකම් සහිතව ඉදිවූ ගාලුමුවදොර පාර්ලිමේන්තු මන්දිරය විවෘත කරමින් එදා, වර්ෂ 1930 ජනවාරි 29 වැනි බදාදා දින ආණ්ඩුකාර ධුරන්දර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි මහතා සභාව අමතමින් කළ වටිනා ප්‍රකාශයෙන් කොටසක් මෙසේ දක්වමි.

“අද මා පැමිණ සිටින්නේ මෙම නව මන්ත්‍රණ සභාව විවෘත කිරීම සහ මෙහි රැස්ව සිටින ඔබ සැමට මාගේ ආචාරය පුද කිරීමට යන කරුණු දෙක උදෙසාය. ඔබ සහ ඔබේ අනුප්‍රාප්තිකයන් විසින් උසස් වූ කාර්යභාරයක් ක්‍රියාවට නංවනු ලබන අලංකාරයෙන්ද ගෞරවනීයත්වයෙන්ද පූර්ණ වූ ලාංකික ජනතාව සාඩම්බරයෙන් සලකන්නා වූ ඔවුන්ගේ අගනගරයේ සුවිශේෂී ආභරණයක් ලෙස පිහිටි ගොඩනැඟිල්ලක් තුළ ඔබ රැස්ව සිටී. එහි සැලැස්ම, ඉදිකිරීම, එහි ආම්පන්න ආදිය කෙරෙහි වැඩි අවධානයක්, වැඩි අරපරෙස්සම් බවක්, වැඩි නිපුනතාවක් කැප කොට ඇත. ඔබ වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන්, රජයේ වැඩ අධ්‍යක්ෂ කර්නල් ලීස් මහතාටත් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී වුඩ්සන් මහතා සහ ඔවුන් සමග හා ඔවුන් යටතේ සේවය කළ සියලුදෙනාටත් ඔවුන්ගේ ශ්‍රමයේ මාහැඟි ප්‍රතිඵල වෙනුවෙන් අපගේ ප්‍රණාමය මවිසින් පිළිගන්වනු ඇතැයි ඔබ බලාපොරොත්තු වන බව මාගේ විශ්වාසයයි.

රටේ ජනතාවගේ අවබෝධය මත ඇතිවන සමානාත්මතාව මඟින් විවිධ ජන වර්ගවලට, විවිධ පන්තිවලට අයත් මහජනතාව එක්සේසත් කර එකා මෙන් සමගියෙන් ජීවත් වීමටත් එකට බැඳී ජාතික ජීවිතයේ හා ප්‍රගතියේ කොටස්කරුවන් වීමටත් මෙම සභා ගර්භය තුළ සිදුවන ක්‍රියාකාරකම් ඉවහල් වනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුව හා පැතුම වේ.”

(ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා විවාද 1930, 1 වෙළුම - සිංහල පරිවර්තනයකි.)

මෙම උත්සවයට සහභාගී වී සිටි සම්භාවනීය ශ්‍රීලාංකිකයන් අතර ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ උප සභාපති ජේම්ස් පීරිස් මහතා සමඟ ජේ.පී. ඔබේසේකර මහ මුදලිතුමාද වූහ. සෙසු සම්භාවනීය අමුත්තන් අතරට නාවික හමුදාපතිතුමා, අග්‍රවිනිශ්චයකාරතුමා, හමුදාවේ අණදෙන නිලධාරී හා වැඩබලන පොලිස්පතිතුමා ඇතුළත්ව බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක්ද පාර්ලිමේන්තුවේ සම්භාවනීය අමුත්තන්ගේ ගැලරියේ (VIP Gallary) ආචාර්ය ආර්.පී. ජයතිලක, ආචාර්ය පෝල් ඊ. පීරිස් හා එම මැතිනිය, ඕ.එල්. ද ක්‍රෙට්සර්, ඩබ්ලිව්.එස්. ද සේරම්, වී.එම්. ප්‍රනාන්දු, ආචාර්ය ඒ.ඒ. ඩඩාබෝයි, ආචාර්ය එස්. මුත්තයියා, කර්නල් ඩේව්ඩ් රොක්වුඩ්, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, මොහොමඩ් රෙයාල්, එච්.එල්. ද මැල්, ලුතිනන් කර්නල් ජී. සන්සෝනි, සහ ඩබ්ලිව්. ලුඩෝවිසි යන මහත්වරුන් අසුන් ගෙන ඇතිබව සඳහන්ය.

(2013 වසරේ එළිදැක්වූ “ජනාධිපති කාර්යාලය” ග්‍රන්ථයෙන් මෙම නාම ලේඛන උපුටා ගන්නා ලදි)

1930 ජනවාරි මස 2 වැනි දින ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මන්දිරය වශයෙන් විවෘත වූ මෙම මන්දිරය කලින්කලට ඇතිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හේතුකොටගෙන ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව වශයෙන් වූ නාමය පහත ආකාරයෙන් වෙනස්කම්වලට භාජන වී රටේ පාලනයට හවුල් වී ඇත. ඒ අනුව,

වර්ෂ 1931 – 1947 දක්වා වූ කාල වකවානුව රාජ්‍ය මන්ත්‍රණ සභාව වර්ෂ 1947 – 1972 දක්වා වූ කාල වකවානුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය

වර්ෂ 1972 – 1978 දක්වා වූ කාල වකවානුව ජාතික රාජ්‍ය සභාව

වර්ෂ 1978 සිට අද දක්වා පාර්ලිමේන්තුව

ආදී වශයෙන් හඳුන්වයි.

මෙසේ 1930 වසරේ සිට අප රට පාලනය කරමින් පැමිණ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු මන්දිරයට 1982 අප්‍රේල් මස 29 වැනි දින ගෙවැදී ඒ දක්වා ඇතිවූ රාජ්‍ය වෙනස්කම්වලට මුහුණ දෙමින් එදා සිට 1982 වනතෙක් බලය දැරූ සිරිලක පාලකයන්ට සෙවණ දුන්, අද ජනාධිපති ලේකම් කාර්යාලය වූ මෙම ඓතිහාසික මනරම් මන්දිරය ඉදිකිරීමට කටයුතු කළ ආකාරය ඇතුළත් තවත් ඔබ දත් නොදත් තොරතුරු සමඟ ඉදිරි දිනක හමුවෙමු.

 

[පී. ලක්ෂ්මන් කුමාර]

මාතෘකා