අවශ්‍ය මොහොතේදි එජාපයේ එකමුතුකම හැමෝටම පෙනේවි

 ඡායාරූපය:

අවශ්‍ය මොහොතේදි එජාපයේ එකමුතුකම හැමෝටම පෙනේවි

අමාත්‍ය හර්ෂ ද සිල්වා

හර්ෂ ද සිල්වා අපි හඳුන ගත්තේ මෙරට සිටි තාර්කික ආර්ථික විශ්ලේෂකයෙකු ලෙසයි. විද්‍යුත් මාධ්‍ය හරහා ජනතාව අතරට පැමිණි ඔහු බොහෝ විට සරලව ආර්ථික න්‍යායන් ජනතාවට සමීප කරවීමට සමත් වූවා. වසර ගණනාවක් සිටි මෙහෙවර නිමා කරමින් 2015 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අසුන්ගත් හර්ෂ ද සිල්වා මහතා වර්ථමාන රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් ඇමතිවරයායි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා නිර්භීතව පෙනී සිටින තරුණ ඇමතිවරයෙක් වන ඒ මහතා සමග මේ සතියේ ‘රැස‘ දේශපාලන සංවාදය පැවත්වීමු.

ආණ්ඩුව පත්වෙලා වසර 4කට වැඩියි. මොනවද ඔබට ජනතාවට කියන්න තියෙන ධනාත්මක දේ?

මට කැබිනට් ඇමතිකමක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා පොදුවේ තමයි කථා කරන්න වෙන්නේ. අපි කරපු කැපිලම පේන සහ ජනතාවට දීපු හොඳම දේ තමයි පූර්ව රෝහල් ගිලන් රථ සේවය. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි මීට පෙර ආණ්ඩු කීපයක් ගත්තත් ජනතාවට දීපුවට වඩා, ජනතාවට ඇඟට දැනෙන දෙයක් මේක. යුද්ධය තිබුණ කාලේ අපි කිව්වනේ ත්‍රිවිධ හමුදාවට ජාතියේ මුර දේවතාවෝ කියල. ඒ වගේ මුර දේවතාවො තමයි අපේ මේ දෙදාහක් වන සුව සැරිය කණ්ඩායම. මේ රටේ ඕනම තැනක, ඕනම වේලාවක, ඕන කෙනෙක්ට කරදරයක් වුණ වෙලාවට ඉදිරිපත් වෙනවා. ජනතාවට අපි දීපු හොඳම දෙයක් තමයි ඒක.

ඊළඟට කෘෂිකර්මය පැත්තෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහ ගොවි මහත්වරුන්ට කාලයක් තිස්සෙ තිබුණ ප්‍රශ්නයක් තමයි වී ටික විකුණ ගන්න හොඳ මිලක් නැතිකම. අනික පාරිභෝගිකයාගේ අඳෝනාව තමයි සහල් කිලෝ එක රුපියල් එකසිය විස්සට තිහට යනවා. ඒක පාලනය කරන්න අපි සමුපකාර වැඩ පිළිවෙළ හරහා ශක්ති හාල් කියල සන්නාමයක් එක්ක වෙළෙඳපළට නිකුත් කරල තියෙනවා. ඒ වැඩපිළිවෙළ මගින් ගොවිමහත්වරුන්ටත් කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ටත් පාරිභෝගිකයන්ටත් රුපියල් 80ට 85ට සහල් ලබාදීමටත් රුපියල් 38ට 40ට වී ලබාගෙන මෙතෙක් වසා දමා තිබුණු හාල් මෝල් ඇරල නැවත ක්‍රියාත්මක කරවන්න පුළුවන් වෙලා තියෙනවා.

තව එකක් කියනවනම් එළවළු සහ පලතුරු ගොවියන්ගේ අස්වැන්නෙන් සියයට හතළිහක් විසි කළා. අපිට තවම ඒවා නිසි ලෙස ගබඩා කරන්න පහසුකම් නැහැ. සැප්තැම්බර් ඔත්තෝබර් වෙද්දි මෙට්‍රික් ටොන් පන්දහසක් ගබඩා කරන්න පුළුවන්, උෂ්ණත්වය පාලනය කරපු කොටස් හයකින් සමන්විත ගබඩාවක් හදනව. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල අක්කර හයක රජයේ ඉඩමක. ඒකෙන් අල, ලූනු ගොවියන්ට වගේම එළවළු ගොවියන්ට ලොකු සෙතක් වෙනවා. මොකද පහුගිය අවුරුද්දේ විතරක් මිලියන සීයක් වටින අර්තාපල් නරක් වෙලා ඉවත දාලා තියෙනවා. මම ඒ ගැන පරීක්ෂණයක් කෙරෙව්වා. දැන් ඉදිරියේදී ඒ සම්බනධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා තවත් කර්මාන්ත කිහිපයක්ම කරන්න සැලසුම් කරලා තියෙනවා. මම මේ කිව්වේ ඒ තරම් ජනප්‍රිය නැති නමුත් අපි විසින් කළ අත්‍යවශ්‍යම සහ දැනෙනම දේවල් තුනක්.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් බලවත්ම කාර්ය කරන්නේ කුමන අමාත්‍යාංශයෙන්ද? ඔබේ කාර්ය කුමක්ද?

මුදල් අමාත්‍යාංශයෙන් එදිනෙදා මෙහෙයවීම් කරනවා. අපි ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඉන්න අවස්ථාවේ විෂන් ටුවෙන්ටි ටුවෙන්ටිෆයිව් කියන එක 2025 දැක්ම හැදුවේ මගේ අමාත්‍යාංශයෙන් අපි ඒකෙන් රටට විෂන් එකක් දුන්නා. ඒක දුන්නේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කරලයි. අපි කිව්වා මේ රට ඉදිරියට අරගෙන යන්න නම් කළ යුත්තේ කුමක්ද කියන එක. ඒකේ බොහෝ කාරණා තියෙනවා. අපි කියන්නේ අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන්, රාජ්‍ය සේවයෙන් වගේ ඉහළ තරඟකාරීත්වයක් ඇති සමාජ වෙළෙඳපොල ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි කියලා. අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය විය යුතුයි. ඒක තමයි අපේ විෂන් එක.

ඒ සඳහා යෝජනා කළ මිෂන් එක මොකක්ද?

අපේ රටේ තාමත් නිෂ්පාදනය කරන්නේ සරල භාණ්ඩ. සරල භාණ්ඩ නිෂ්පාදනය කරන සේවකයන්ට ගෙවන්න වෙන්නේ අඩු වැටුපක්. ලොකු වැටුපක් ගෙවන්න නම් සංකීර්ණ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන්න ඕන. ඒ අනුව අපි සරල භාණ්ඩ නිෂ්පාදනය කරන රටක ඉඳල සංකීර්ණ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන රටක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඒක වුණොත් අපේ රටේ ජනතාවට ආර්ථික ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. කවදාවත් මිනිස්සුන්ට නිකං දේවල් දීලා ඒක කරන්න බැහැ. අපි එතනට යන්න නම් අපේ වැඩකරන ජනතාව සම්පූර්ණ පරිවර්තනයකට ලක් වෙන්න ඕන.

කවුද අපේ ශ්‍රම බලකාය. අපේ ශ්‍රම බලකාය හැමදාම බුද්ධ ධර්මයයි, සිංහල සාහිත්‍යයි, නැටුම් විතරක් ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. අපි ඉතිහාසය ගැන ආඩම්බර වෙන්න ඕන. සාහිත්‍ය දැනුම තියෙන්න ඕන. ආගමට දහමට නැඹුරු වෙන්න ඕන, නැටුම් පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒව විතරක් දැනගෙන මදි. ඒව අපිට තියෙන්නම ඕන දේවල්. ඒවා අපේ පොදු සාධකය වෙන්න ඕන. හැබැයි ඊට එහා අපි යන්න ඕන. ඉහළ තරගකාරී රටක් හදන්න ඒවා විතරක් මදි. විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. එතකොට තමයි අපිට සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. කොච්චර රැකියා දියව් කිව්වත්, රැකියා දෙන්න නම් අර දේවල් කරන්න ඕන. අපි ඒ ප්‍රතිපත්තිය හදල තියෙනවා. ඒක විධිමත්ව සැලසුම් කරලා තියෙනව. අවස්ථාවක් ලැබුණොත් ඒකට නායකත්වය දීල කරන්න අපි සූදානම්.

විෂන් ටුවෙන්ටි ටුවෙන්ටිෆයිව් සැලසුමට අනුව සිදුවෙනවද? ඒ ගැන සෑහීමට පත්වෙන්න පුළුවන්ද?

අපි පිළිිගන්න ඕන මේ ආණ්ඩුවේ මත දෙකක් තියෙනවා.කොටසක් කියනවා ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරලා, ලෝකයත් එක්ක එකතු වෙලා ලංකාවේ ඉඳල ලෝකයට පාලම් හදල ජාත්‍යන්තරයට යන්න ඕන කියලා. තව මතයක් තියෙනවා. ජාත්‍යන්තරය එක්ක ගනු දෙනු එපා. එයාල ඇවිල්ලා අපේ රට අල්ල ගනියි. රට විකුණනවා. රට වටේට තාපපයක් බැඳ ගන්න ඕන. අනිත් රටවල් එක්ක ගිවිසුම් ගහන්න එපා. මේවගේ මත දෙකක් තියෙනවා. ඒ ගැටුම නිසා තමයි අපේ රජයේ මන්දගාමී ගමනක් තියෙන්නේ. අපිට ස්වභාවධර්මයෙන්ම දීල තියෙනවා විශාල අවස්ථාවක්. ඒ තමයි අපේ පිහිටීම. ඊළඟ අවුරුදු පනහෙදි වැඩිම සංවර්ධනයක් වෙන කලාපයේ තමයි අපි කේන්ද්‍ර වෙලා ඉන්නේ. ඒ කේන්ද්‍රස්ථානය ලෙස මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න නම් ළිඳේ ඉන්න මැඩියෝ වගේ හිතල හරියන්නේ නැහැ. අපි පරාක්‍රමබාහු රජතුමා වගේ හිතන්න ඕන. පරාක්‍රමබාහු රජතුමා කොහොමද පොළොන්නරුවේ ඉඳලා ත්‍රිකුණාමලයෙන් ලෝකය එක්ක සම්බන්ධ වුණේ කියල අපි බලන්න ඕන. නාවික ශක්තිය හදාගත්ත හැටි බලන්න ඕන. හැමදාම පැරකුම් යුගයක් නැවතත් අරඹව් කිව්වට හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය දේ කරන්න ඕන. ඒකට බයවෙලත් බැහැ.

රජයේ ආර්ථික වැඩපිළිවෙළ විශේෂයෙන්ම ස්වයං රැකියා සඳහා බැංකු ණය ලබාදීමේදී රජය බලාපොරොත්තු වෙන සහාය බැංකුවලින් ලැබෙනවාද?

සීයට සීයක්ම නැහැ. විවේචන තියෙනවා. නමුත් සමස්තයක් ලෙස ගොඩක් සාර්ථකයි. ඉතිහාසේ කුමන අවස්ථාවකවත් පොලියෙන් සියයට 50ක් හෝ 75ක් රජයෙන් ගෙවල නැහැනේ. එ නිසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා දිරි ගැන්වීම් ලැබිලා තියෙනවා.

මේ තියෙන දුර්වලතා මඟහරින්න නම් ඉදිරි මැතිවරණයේදී බලය ලබා ගැනීම අවශ්‍යයි. ඉදිරියේදී ඔබලාට ශක්තිමත් රජයක් පිහිටුවන්න පුළුවන් වෙයිද?

අනිවාර්ය‍ෙයන් පුළුවන්. අපිට සන්ධානයක් අත්‍යවශ්‍යයි. එජාපය කියන්නේ හැම ජාතීන්ම නියෝජනය වෙලා හදපු පක්ෂයක්. ඒ නිසා අපේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙන්න පුළුවන් පක්ෂ එක්ක අපි සන්ධානගත වෙන්න ඕන. ඒ සන්ධානයෙන් තමයි ඉදිරි ජයග්‍රහණ ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

මේ සන්ධානේ ඉන්න අනිත් ප්‍රබලම පක්ෂ මොනවාද?

ප්‍රධාන පක්ෂ රාශියක් ඉන්නවා. මුස්ලිම් කොන්ග්‍රසය, හෙල උරුමය, මනෝ ගනේෂන් මහතාගේ පක්ෂය, උඩරට ගත්තොත් දිගම්බරම් මහතාගේ පක්ෂය. තවත් පක්ෂ රාශියක් ඉන්නවා. ඉදිරියේදී බලාගන්න පුළුවන්.

ශ්‍රීලනිපයත් ඔබලාගේ සන්ධානෙ ඉඳියිද?

පිරිසක් එක්තු වෙයි. තව පිරිසක් අනිත් පැත්තට යයි. අන්තිමට ශ්‍රීලනිපයක් ඉතුරු වෙන්නේ නැහැනේ.

ඒ අයත් එක්ක නැවතත් හවුල් ආණ්ඩුවක්ද?

නැහැ. ආ‍ෙයත් හවුල් ආණ්ඩුවක් හදන්නේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ සහාය වගේම ද්‍රවිඩ සන්ධානයේ සහායත් තිබුණා. මෙවර එය ලැබෙන පාටක් පේන්න නැහැ නේද?

ඔව්, එහෙම උනත් පොදුජන පෙරමුණෙන් එන්නේ ගෝඨාභය නේ. එයාගේ මතවාදය එක්ක ජවිපෙ විතරක් නෙමෙයි ද්‍රවිඩ සන්ධානයත් නැහැ. ඒ නිසා ඒ අයට සිදු වෙනවා සහාය දෙන්නේ කාටද කියල තීරණය කරන්න. ගෝඨාභය එනවට ඒ අයත් කැමති නැහැ.

ඒ කියන්නේ එජාපය බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභයද?

ඔව්, අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය තමයි.

එජාපය සමග 2015 මැතිවරණයට කලිින් එකට සිටිය සිවිල් සමාජ සංවිධානවල සහාය මෙවර නොලැබෙන තත්ත්වයක් තියෙනවා නේද? දැන් ඔවුන් ජවිපෙ සමග එක්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා?

සිවිල් සමාජය එක්ක අපි කලින් කරන්න හිටිය හොඳ දේවල් කරන්න අපිට ලැබුණේ නැහැ. දැන් බලන්න ජාතික සමගිය පිළිබඳ අපේ ගමන යා යුතු වේගයට අපිට යන්න බැරි වුණා. ස්වාධීන කොමිෂන් වුණත් යම් තැන්වලදි හිර වුණා. මාධ්‍ය නිදහස දුන්නත් ශක්තිකගෙ වගේ ප්‍රශ්න ආවා. ඒවට ඇත්තටම අපිට උත්තර දෙන්න අමාරුයි. ආණ්ඩුවේ මතවාද දෙකක් තියෙනවානේ. අපේ මතවාදය එක්ක යන එකක් නෙමෙයි මාධ්‍යවේදීන් සිරගත කරන එක. ඒ නිසා ඒ දේවල් ගැන කල්පනාවෙන් බලන්න ඕන. ඒ නිසා මම හිතනවා අවසානයේදී සිවිල් සමාජයත් අපිත් සමග එකට හිටගනියි කියලා. මොකද අපි මැතිවරණයට එන සන්ධානය මොන තරම් ධනාත්මකද කියලා ඔවුන්ට ඉදිරියේදී වැටහෙයි.

කුසල් පෙරේරාගේ සිද්ධියේදී ජනාධිපතිවරයා නේද මැදිහත් වෙලා ඔහුව අත්අඩංගුවට ගන්න එක වැෙළැක්වූවේ?

කුසල්ගේ සිද්ධියේදී මම තමයි මුලින්ම ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් දාලා ඒ ගැන කථාව පටන් ගත්තේ. ඒ අතර ජනාධිපතිතුමා දුරකථන ඇමතුමක් දුන්නද දන්නේ නැහැ. එයාව අත්අඩංගුවට ගන්න කිව්වේ කවුද කියල දන්නෙත් නැහැ. නමුත් අපි නම් ඒ වගේ වැඩවලට කොහෙත්ම සම්බන්ධ නැහැ.

 2015ට ප්‍රථම ඔබ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ප්‍රබල විවේචකයෙක්? ඒ විවේචකයා දැන් කෝ?

ඔව්, ආණ්ඩුවේ ඉන්න නිසා යම් බැඳීමක් තියෙනවා තමයි. නමුත් විවේචන කළ යුතු තැන්වලදි විවේචන ඉස්සරහට ගන්නවා. උදාරහරණ ලෙස දැන් යෝජනා වෙලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසමේ බලතල අඩුකරන්න. ආර්ථික තීරණ ගැනීමේදී විශේෂයෙන් විදුලි බලය මිලදී ගැනීමේදී වගේ අවස්ථාවලදී ඔවුන්ගේ බලතල ශුන්‍ය කරන්න. අපි ඒකට සීයට සීයක්ම විරුද්ධයි.

ඒවගේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ජපන් ආධාර අරන් ඉදිකරනවට මම විරුද්ධයි. ඒව පෞද්ගලික අංශය එක්ක එකතුවෙලා ව්‍යාපාර මට්ටමිනුයි කරන්න ඕන. රජය වරාය දෙස බලන්න ඕන ඉඩම් හිමියා විදිහටයි. ඒකේ කුලිය එකතු කරගන්න. මේකට ඩොලර් මිලියන පන්සීයක් දානවට වඩා ඒ මුදල්වලින් කරන්න අපිට තව වැඩ තියෙනවා. ආණ්ඩුවේ හිටියට ආණ්ඩුව කරන හැම දේකටම අපි එකඟ වෙන්නේ නැහැ.

ඔබ නිරන්තරයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ගැන අවධානයෙන්ද ඉන්නේ? දිනකට ඔබ අමාත්‍යාංශයේ පැය කීයක් වැඩ කරනවාද?

අපි ඇත්තටම බැහැලම වැඩ කරනවා. පාර්ලිමේන්තු දිනවල පාර්ලිමෙන්තු යන්න කලින් වැඩ කරනවා. අනිත් දිනවලදී උදෙන්ම අමාත්‍යාංශයට එනවා.

ඒත් ජනතාවට සහ රටට ආර්ථික දියුණුවක් දැනෙන්නේ නැහැනේ?

ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමතිවරයා විධිහට මේ දිනවල මට ලොකු වැඩක් නැහැ. මොකද දැන් ලොකු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු වෙන්නේ නැහැනේ. ඒ නිසා පොදු සැපයුම් විෂය පථය හරහා තමයි අපි වැඩකරන්නේ. උදාහරණ ලෙස සියලුම මිල සූත්‍ර හැදෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. ඉස්සර සිදු වුණේ පෙට්‍රල් මිල එහෙම ඉහළ ගිය එක විතරයි. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යද්දි ඉහළ යනවා. ලෝක වෙළෙඳපොළේ මිල පහළ ගියාට කවදාවත් ලංකාවේ පෙට්‍රල් මිල පහළ ගියේ නැහැ. 2008 වගේ පෙට්‍රල් මිල ඩොලර් 135ට ගියා. ලංකාවෙත් මිල ඉහළ ගියා. ඊට පස්සේ ලෝක වෙළෙඳපොළේ පෙට්‍රල් මිල ඩොලර් 30ට වැටුණා. මෙහෙ මිල කීයෙන්ද අඩු වුණේ එහෙම අඩු වුණේ නැහැ. දැන් ඒක වෙනවා. ඒක කළමනාකරණය අපේ අමාත්‍යාංශය හරහා කරනවා.

මෙවැනි කළමනාකරණයක් තිබිලත් ඇයි මේ රජයට විරුද්ධව එක්වරම වැඩවර්ජන රැලි පැන නඟින්නේ?

කලින් එහෙම වුණේ නැත්තේ එහෙම කළා නම් වෙඩි තියලා මරනවානේ. වෘත්තිය සමිති උද්ඝෝෂණවලදි රොෂේන් චානකට වෙච්ච දෙයින් පස්සේ වෘත්තිය සමිති කට වහගත්තනේ. තියෙන නිදහස එක්ක වෘතිය සමිති ඒ දේවල් කරනවා ඒකත් ඒ අයගේ අයිතියක්නේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඒ තරම් දුර දිග ගියේ ඇයි ඔබලා වැනි ආර්ථික විශේෂඥයන් ආණ්ඩුවෙ සිටියදීත්?

මුලින් කවුරුවත් මේකේ බැරෑරුම්කම තේරුම්ගත්තේ නැහැ. ඒකයි හේතුව. 2015 මාර්තු මාසේ මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පතක් මා සමග තිබුණු සාකච්ඡාවකදි මේකේ බැරෑරුම්කම ගැන මුලින්ම මමයි කථා කළේ. මම අර්ජුන් මහේන්ද්‍රන් නම් මම ඉල්ලා අස්වෙලා කියලා එදා මම කිව්වා. ඒ වගේම මේක හොයල බලන්නත් කිව්වා. මම තමයි ඉස්සෙල්ලාම එහෙම කථා ක‍ෙළ්. අන්තිමට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටිය මාව අවුරුදු දෙකහමාරකට සයිබීරියාවට යැව්වා. විදේශ කටයුතු අමාත්‍යාංශයට. මම ඒ අමාත්‍යාංශයේ කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ.

අලුත් මැතිවරණයකට යන්න කලින් ඉස්සෙල්ල මැතිවරණයේ පොරොන්දු ඉටු කිරීම ගැන සතුටුද? හොරු ඇල්ලීම සහ ඝාතනවලට දඬුවම් දීම වගේ?

නැහැනේ, කොහොමද සතුටු වෙන්නේ. හැබැයි ඒකට හේතුවකුත් තියෙනවා. අපි අධිකරණයට බලපෑම් කරන්නේ නැහැනේ.

ඉදිරියේ ජනාධිපතිවරණයක් පැමිණියහොත් කවුද එජාප අපේක්ෂකයා?

එජාප අපේක්ෂකයා වෙන්න ඕන කවුද කියලා කවුරු කවුරුත් දන්නවා. ලංකාවේ ඉන්න හැමෝම දන්නවා. නිවැරදි වෙලාවෙදි සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සහ ආශිර්වාදයෙන් ඒක සිදු වෙයි.

ඒ අපේක්ෂකයා කවුරු වුණත් සුළු ජාතීන්ගේ ආශිර්වාදය ඇති අයෙක් විය යුතුයි නේද?

ඒ අනිවාර්යයිනේ. අපි විශ්වාස කරනවා අපි ඉදිරිපත් කරන අපේක්ෂකයාට ඔවුන්ගේ සහාය ලැබෙයි කියලා.

පාස්කු ප්‍රහාරය සහ එම ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය ආණ්ඩුවට කොහොම බලපායිද ඉදිරි මැතිවරණයකදි?

ඒක ගැන අපි හිතන්න ඕන. විශේෂයෙන්ම අපේ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ වෙන්නේ මේ රටේ කතෝලිකයන්ගේ දැවෙන ප්‍රශ්න. ඒකට අපි ඇහුම්කන් දෙන්නම ඕන. උන්වහන්සේට තියෙන වේදනාවත් එක්ක කියන දේවල්වලට සමහර විට දේශපාලනඥයන්ට අමාරු වෙනව තමයි. නමුත් අපි දේශපාලනය කරනව නම් ඒ විවේචන ඉවසන්න ඕන. නැත්නම් දේශපාලනය නොකර ඉන්න ඕන. ඒ නිසා මම උන්වහන්සේගේ විවේචනවලට ප්‍රතිවිවේචන කරන්නේ නැහැ.

ජවිපෙත් ජනපති අපේක්ෂකයෙක් ගැන කියනවා. ඒ ගැන තක්සේරුවක් තියෙනවාද?

එයාලත් කියනවා තමයි. අපි බලමු.

අවසානයට මුහුණ දුන්නු පුංචි ඡන්දය ආණ්ඩුව පරාජය වුණා. එහෙම තියෙද්දි ඉදිරි මැතිවරණ දිනන්න හිතන්නේ පරාජය ගැන විග්‍රහයක් කරගෙනද?

මේ මැතිවරණ දෙක සන්සන්දනය කරන්න බැහැ. වෙනස් සන්දර්භ දෙකක්නේ එතන තියෙන්නේ. පුංචි ඡන්දය තිබුණ කාලේ බඩු මිල හිතාගන්න බැරි තරමට හුඟක් ඉහළ ගිහිල්ල තිබුණේ. දැන් එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා ප්‍රතිඵලය වෙනස්.

දින 51ක් ආණ්ඩු බලය ගිලිහිල තිබුණ අවස්ථාවෙදි තිබුණ එකමුතුකම දැන් කෝ?

අවශ්‍ය වෙලාවට අපි ඔක්කොම හරියට වැඩේට එකතු වෙනවා.

ආණ්ඩුව කරන වැඩ ජනතාව දන්නේ නැත්තේ ඇයි?

අපි කරන වැඩවල බෝඩ් ගහන්නේ නැහැ. ගැහුවත් වැඩේ විතරයි තියෙන්නේ. අපි ගැන දාන්නේ නැහැ. දේශපාලනඥයො වන්දනාමාන කරන සංස්කෘතිය අහෝසිකරන්නයි අපි වැඩ කරන්නේ. ඒ නිසා වැඩේ මිසක් වැඩේ ගැන ලොක කථා නැහැ.

 

සංවාදය [වසන්ත රනිල් කුමාර]

මාතෘකා