එජාපයේ දොර ඇරිය හැටි ජේ. ආර්. හෙළි කරයි

 ඡායාරූපය:

එජාපයේ දොර ඇරිය හැටි ජේ. ආර්. හෙළි කරයි

දෙවන කොටස

අපේ මන්ත්‍රීවරුන්ගේ ගණන අඩු වන්නට පුළුවන්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පරදවන්නට බැහැ. ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ.

පක්ෂයක් දියුණු වීමට ප්‍රජාතන්ත්‍රවාදී රටක වැඩ කිරීමට දර්ශනයක් තිබෙන්නට ඕනෑ. ක්‍රියා පටිපාටියක් තිබෙන්නට ඕනෑ. අපේ පක්ෂයේ එහෙම ක්‍රියා පටිපාටියක් තිබුණා නිදහස ලැබෙන්නට පෙර. දැන් අපි අලුත් දර්ශනයක් අනුවයි වැඩ කරන්නේ. ඒ ගැන විස්තර කරන්නට වුවමනා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ව්‍යාපාරයක්, නිවහල්, ධර්මිෂ්ට සමාජයක් ඇති කරන්නට මහජනයාගෙන් වරමක් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම දර්ශනයක් තිබෙන පක්ෂයකට තිබෙන්නට ඕනෑ විනයක්. රෙගුලාසියක් තිබෙන්නට ඕනෑ. ඒවා අපේ පක්ෂයේ ව්‍යවස්ථාවේ තිබෙනවා. ඒ ව්‍යවස්ථාව අනුවයි අපි ක්‍රියා කරන්නේ. හැම අවුරුද්දේම සම්මේලනයක් පවත්වනවා. අපි පැරදුණු දවසේ සිට, මම නායකත්වය ගත් දවසේ සිට, 1973 සිට හැම අවුරුද්දේම සම්මේලන පවත්වා තිබෙනවා. ඒ සම්මේලනයේදියි සභාපති ඇතුළු නිලධාරීන් තෝරන්නේ. නීතිය අනුව අපේ විධායක මණ්ඩලය අවුරුද්දකට දෙතුන් වරක් රැස් වෙනවා. ඒ රැස්වීම්වලට දාහක් එනවා. සම්මේ නයට දහදාහක් එනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය මාස්පතා රැස් වෙනවා. අපේ තරුණ සමිති රට පුරා තිබෙනවා. කාන්තා සමිති තිබෙනවා. බලවත් වෘත්තීය සමිති තිබෙනවා. ඒවාත් නිතරම රැස්වෙනවා. සාකච්ඡා කරනවා. වැඩිදෙනාගේ ඡන්දයෙන් හැම තීරණයක්ම ගන්නවා.

අපේ පක්ෂයට දර්ශනයක් තිබෙනවා. ව්‍යවස්ථාවක් තිබෙනවා. රෙගුලාසි තිබෙනවා. නායකයෙක් ඉන්නවා. නායකයා තෝරන්නේ සම්මේලනයෙන්. ඒ නායකයා පස්සේ අපි ඔක්කොම යන්නට ඔනෑ. ඒ නායකයා හොඳ නැත්නම් මාරු කරන්නට පුළුවන්. නමුත් නායකයා තේරුණු පසු ඒ තේරූ නායකයා පස්සේ යන්නට ඕනෑ. අපේ පක්ෂය මේවා හොඳට ඉගෙන ගෙන තිබෙනවා. මම කීවාක් මෙන් අපේ නායකයන් සමඟ නොයෙක් නොයෙක් හබ තිබුණා. නමුත් ඒ නායකයා පස්සේ ගියා. මගේ අදහස් කිසි දවසක වෙනස් කළේ නැහැ. ඩී. එස්. සේනානායක මහතා සමඟ හැප්පුණා. ඩී. බී. ජයතිලක මහතා මා සමඟ හැප්පුණා. කොපමණ හැප්පුණත් ඩී. බී. ජයතිලක තුමා තමයි කැලණියට මා හඳුන්වා දුන්නේ. එතුමාගේ ආසනයට මා හඳුන්වා දුන්නා. එතුමා ඉන්දියාවට ගියා. “මෙන්න හොඳ තරුණයෙක් සිටිනවා, එයාට ඡන්දය දෙන්න” කියා එතුමා මා කැලණියට හඳුන්වා දුන්නා. එතුමාට මම කෘතඥ වෙනවා. මට වැඩ කළේ ඩී. එස්. සේනානායක මහතා. නමුත් ඒ උදවිය සමඟ අපි හැප්පුණා. මෙහෙම තවත් හැප්පෙන්නට ඕනෑ. මේ තරුණ උදවිය මා සමඟ හැප්පෙන්නට ඕනෑ. සම්මේලනයේදී, කැබිනට් මණ්ඩලයේදී හැප්පෙන්නට ඕනෑ. එහෙම හැප්පිලා බලන්නට ඕනෑ දිනන්නේ කවුද කියා.

මගේ අදහස් වැරදි වන්නට පුළුවන්. තරුණ ප්‍රධානියෙක් මට නැහැ. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, මම කොච්චර හැප්පුනාද? 1970 එතුමා පැරදුණාම මම කිව්වා එතුමාට “තමුන්නාන්සේ අස්වෙන්න ඕනෑ” කියා. එතුමා ඇසුවා “ඇයි?” කියා. “තමුන්නාන්සේ පැරදුණ නිසා” කියා කීවා. යුද්ධ නායකයෙක් කවුරු වුණත් පරාජයට පත් වුණාම අස්වෙලා වෙන කෙනෙක් පත් කරනවා. මම කීවා “මට දෙන්නට ඕනෑ නැහැ නායකත්වය” කෙනෙකු පත් කරන්නට කියා සම්මේලනයට කියන්ට ඕනෑ. සම්මේලනයෙන් කෙනෙකු පත් කළාම අපි දෙදෙනාම එතුමාට උදවු කරන්නට ඕනෑ. සම්පූර්ණ උදවිය දෙන්නට ඕනෑ කියා. අන්න එහෙමයි පක්ෂයක් ගෙනියන්නේ. ඒ විදියටයි දිනන්නේ. දැන් බලන්න එංගලන්තයේ කම්කරු පක්ෂය. කැලහැන් තුමා අස්වුණා. ඒගොල්ලන් දැන් කෙනෙකු ඡන්දයෙන් තෝරනවා. කවුරු තේරෙයිද දන්නැහැ. පක්ෂයේ ඔක්කොම එයාට වැඩ කළේ නැත්නම් කම්කරු පක්ෂය අවුරුදු දහයක් එංගලන්තයේ මන්ත්‍රී තරග දිනන්නේ නැතිලු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්තියක් නැහැ. මොකක්ද දැන් තිබෙන ප්‍රතිපත්තිය කවුරුවත් දන්නේ නැහැ. පක්ෂයේ ව්‍යවස්ථා නැහැ. 1977 පැරදුණු දවසේ සිට අවම සම්මේලනයක් නැහැ. මේ මොන විහිළුවක්ද? සම්මේලනයක් නැහැ. විධායක මණ්ඩලයක් නැහැ. මොකක්ද ‘පොලිටි බියුරෝ’ කියා රැස්වෙනවා විතරයි. ඊයේ පෙරේදා රැස්වීමකට අමුත්තන් ඇවිත් සිටියා. දැන් අත්තනගල්ල ආසනය හතර පස්දෙනෙක් ඉල්ලනවා. හැමතැනම දැන්වීම් අලවනවා. ජේ. පී. ඔබේසේකර, චන්ද්‍රිකා කුමාරතුංග, අනුර බණ්ඩාරනායක, ස්ටැන්ලි තිලකරත්න නොයෙක් නොයෙක් අයගේ නම් ගහලා ඉල්ලනවා. එහෙම නම් දර්ශනයක් නැහැ. ව්‍යවස්ථාවක් නැහැ. නායකයෙක් නැහැ. මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිවුණු නිසා එයාට මන්ත්‍රී තරග රැස්වීම්වලට එන්නට බැහැ. මන්ත්‍රී තරග සඳහා අපේක්ෂකයන් තෝරන්නට බැහැ. මන්ත්‍රී තරඟ රැස්වීම්වලට කතා කරන්නට බැහැ. දේශපාලන පක්ෂවල නායකත්වය ගන්නට බැහැ. නමුත් ඒවා විසඳෙන්නේ නැහැ. අනෙක් නායකයන් වෙව්ලනවා, බයයි. ඇයි තීරණයක් ගන්නේ නැත්තේ? අපට එයා ඕනෑ. මෙයා ඕනෑ කියා නායකයකු තෝරන්නට ඕනෑ. නායකයෙකු නැතිව කොහොමද නැවක් මුහුදේ යන්නේ? කොතැනකට යාවි දැයි දන්නේ නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක පක්ෂයක් නොවෙයි රංචුවක්. හිස් ගොඩක්. කොහේ යනවද කියා දන්නේ නැහැ. මොනවාද කරන්නේ දන්නේ නැහැ.

අපි එක්සත් ජාතික පක්ෂය නියම කර තිබෙනවා ප්‍රතිපත්ති අනුව වැඩ කරන්නට. කුලයක් - ජාතියක් බලන්නේ නැතිවයි අපි වැඩ කරන්නේ. මම නායකත්වයට පත්වුණාට පස්සේ අපේ පක්ෂයේ විප්ලවයක් ඇතිවුණා. සේනානායක, ජයවර්ධන, කොතලාවල ආදී උදවියයි එතෙක් කාලයක් අගමැති ධුරය දැරුවේ. ප්‍රේමදාස මහතා ඒ වංශවලට අයත් නැහැ. අපි එතුමා අගමැති ධුරයට පත් කළා. දොර විවෘත කළා. එයට පෙර එක්සත් ජාතික පක්ෂයේ දොරවල් ඇරුණේ අර පවුල් තුනෙන් කෙනෙකු ඇවිත් දොරට තට්ටු කළාම විතරයි. දැන් දොරවල් ඇරලා. තට්ටු කරන්නට වුවමනාවක් නැහැ. හොඳම මිනිහා දැන් දොරෙන් ඇතුළු වෙලා. සත්‍ය ජයගන්නට ඕනෑ. බණ්ඩාරනායක මැතිණිය තවම ඉගෙනගෙන නැහැ. ඉගෙන ගන්නට ඕනෑ මැතිනියනි. නැත්නම් තමන්ගේ පක්ෂය දියුණු වන්නේ නැහැ. ඉගෙන ගන්නට ඕනෑ. මම කැමතියි ඉගෙන ගන්නවා නම්, දේශපාලනය කියන්නේ සටනක්.

එක්සත් ජාතික පක්ෂයේ අපි මේ රටේ විප්ලවයක් කර තිබෙනවා. අපේ පක්ෂයේ පමණක් නොවෙයි, අපේ රටේත් විප්ලවයක් ඇතිකර තිබෙනවා. කාගේ වුණත් උත්පත්තිය බලන්නේ නැතිව කුලය, ලෙය බලන්නේ නැතිව හැමදෙනාටම තමන්ගේ උත්සහයෙන් දියුණු වන්නට පුළුවන් නම්, තමන්ගේ ශ්‍රමයෙන් දියුණු වන්නට පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා උසස් කර, ඔහුට උසස්ම තැන දෙන්නට බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ විප්ලවයක් ඇතිකර තිබෙනවා. රටේ විප්ලවයක් ඇතිකර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුරුදු දෙකකින් වෙනස් කළා. ලෝකයේ දියුණු වන වෙනත් රටවල් දිහා බලා අපිත් ඒ වගේ ජනාධිපතිවරයකු සිටින ආණ්ඩුක්‍රමයක් ලෙහෙසියෙන් වෙනස් කරන්නට බැරි, පැත්තෙන් පැත්තට යන්නට බැරි, ස්ථිර ආණ්ඩුවක් තිබෙන, පාර්ලිමේන්තුවේ කැමැත්ත නැතිව හදිසි නීති යටතේ ක්‍රියා කරන්නට බැරි මේ වගේ ආණ්ඩුක්‍රමයක් හොඳ නැද්ද කියා කවුරුත් බලනවා. අපේ තරුණ - තරුණියන් රැකී - රක්ෂා ලබාදීම පටන් ගත්තා විතරයි. ක්‍රම ක්‍රමයෙන් තවත් රැකී රක්ෂා ලැබේවි. අපි ආරම්භ කර තිබෙන ව්‍යාපාර, සංවර්ධන ව්‍යාපාර, අවුරුදු 2500කින් නොතිබුණු සංවර්ධන ව්‍යාපාරයක්.

මහවැලි ගඟ ව්‍යාපාරය, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය මේවා විශාල වැඩ. සුළු - පුංචි වැඩ නොවෙයි. අද ලෝක බැංකුව කියනවා තමුන්නාන්සේලා යනවා ඉක්මන් වැඩියි කියා. නිවාස ප්‍රශ්න, නිදහස් වෙළෙඳ කලාපය. ඒවා ගැන කියා දෙන්නට වුවමනා නැහැ. මේ රටේ අවුරුදු 2500කින් නොකෙරුණු සංවර්ධන කටයුතු මේ ආණ්ඩුව පටන්ගෙන තිබෙනවා. මේ නගරය කොච්චර වෙනසි වෙලාද කියා මම අද ඇවිදගෙන එනවිට දැක්කා. මට බොහොම කනගාටුයි ජීවන වියදම වැඩිවෙනවාට. බොහොම කනගාටුයි හැමදෙනාටම රැකී රක්ෂා නොලැබීම ගැන. ටිකක් ඉවසීමෙන් ඉන්නට ඕනෑ. වැඩ කළේ අවුරුදු තුනයි. තව අවුරුදු හතක් ඉඩ දෙනවා නම්, අවුරුදු 12ක කාලයක් වැඩ කළාම බලන්න මේ රටේ ඇතිවන වෙනස. ඉවසගෙන ඉන්නට ඕනෑ. අපේ තැන ගන්නට කාටද පුළුවන්? මේ කැඩිච්ච රංචුවටද? කණ්ඩායමටද? බෑ. ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලන්ට කරන්ට බෑ. ඒ නිසා ඉවසීමෙන් ඉන්න. එක්සත් ජාතික පක්ෂයේ උදවිය වෙනස් වන්නට එපා. නොයෙක් නොයෙක් කරදර තිබුණාට එක්සත් ජාතික පක්ෂයෙන් වෙනස් වන්නට එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය තමන්ගේ හෘදයෙන් අසා බලන්න. අපට පුළුවන්ද ඒ පක්ෂය පස්සේ යන්නට? අපි යන්නේ මොනවටද? මොන අභිප්‍රායක් ඉටුකර ගන්නටද? කොච්චර දුර යන්නටද? කොහොමද යන්නේ? කල්පනා කර බලන්න. එසේ කල්පනා කර බලා අවුරුදු තුනක් ඉවර වුණාම හරියට වෙලාවට මන්ත්‍රී තරගයක් තියන්නට නියම කර ඇති වෙලාවට ඒ මන්ත්‍රී තරගය අපි තියෙනවා. තමුන්නාන්සේලා ඒ වෙලාව වන තෙක් ඉවසීමෙන් එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතුවලට සම්පූර්ණ ආධාර දෙන්න යැයි මා ඉල්ලා සිටිනවා.

මාතෘකා