සුවිසැරිය සහ ලක්ෂ 6000ක නිවාස ව්‍යාපෘතිය දුන්නේ සම්පූර්ණයෙන් ආධාරයක් විදිහට : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

 ඡායාරූපය:

සුවිසැරිය සහ ලක්ෂ 6000ක නිවාස ව්‍යාපෘතිය දුන්නේ සම්පූර්ණයෙන් ආධාරයක් විදිහට : අමාත්‍ය සජිත් ප්‍රේමදාස

“අද ගොඩක් අය අපෙන් අහනවා මොකද්ද මේ රටේ වෙච්ච වෙනස කියලා. ඉන්දියාවෙන් අපිට සුව සැරිය ගිලන් රථ සේවයක් නොමිලේ මෙරටට දෙනකොට ඒකට විරුද්ධව අපේ විරුද්ධවාදීන් උද්ගෝෂණ කළා. පෙළපාළි ගියා. නමුත් අද නොමිලේ ක්‍රියාත්මක මෙම සුවසැරිය ගිලන් රථ සේවයෙන් එය කෑ ගහපු අයත් ප්‍රයෝජන ගන්නවා.

මේක වෙනසක් නෙමෙයිද? ආණ්ඩු පෙරළන්න කියලා පසුගිය දවසේ කොළඹ ඇවිත් හොඳටම බීලා ලයිට් කණු උඩ නැඟලා වෙරි මරගාතේ මහමඟ වැටිල හිටිය අය ගෙනිච්චේ ඉන්දීය රජයෙන් අපිට තෑග්ගක් ලෙස ලබා දුන් සුවසැරිය ගිලන්රථ සේවයෙනුයි. ඒ විතරක් නෙමෙයි ඉන්දියානු රජය අපේ නිවාස ව්‍යාපෘතිය සදහාත් ණය ආධාරයක් ලබා දී තිබෙනවා” යැයි නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 13 වන දින හම්බන්තොට ගොන්නොරුව ප්‍රදේශයේ ඉදිවූ 138 වන උදාගම්මානය වන “සත්සුරුගම“ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි. නිවාස 26කින් සමන්විත මෙම ගම්මානය විවෘත කිරීම සිදු කරනු ලැබුවේ ශ්‍රි ලංකා ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සංදු හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සංදු මහතා හා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා නව ආදර්ශ ගම්මාන ගිවිසුමට අත්සන් තැබිණි.

මෙහිදී උත්සව සභාව අමතමින් වැඩි දුරටත් අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

“අද ශ්‍රීමත් නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගෙන් අපේ රටට රුපියල් ලක්ෂ 6000ක තෑග්ගක් ලැබුණා. ඒ ලැබුණු තෑග්ග නැවත ගෙවන්න ඕන තෑග්ගක් නොවෙයි. ගිනි පොලියට දුන්නු, රට උකසට තියන තෑග්ගකුත් නෙවෙයි.

මතු දරු පරපුර ණය බරින් මිරිකෙන ණය කාරයන් කරන තෑග්ගකුත් නෙවෙයි. ආපහු නොගන්නා, ආපහු නොගෙවන ඉන්දීය ආධාරයක් තමයි අපිට ලැබුණේ. අපෙන් වෙනස ගැන අහන අයට මන් කියනවා අපිට ලැබුණු මේ තෑග්ගත් එක්ක ඒ අයගේ කාලේ වැඩ සන්සන්දනය කර බලන්න කියලා මන් කියනවා. ඒ කාලේ මොනවද මේ රටට, මේ ජනතාවට ලැබුණු තෑගි. ඒ කාලේ මේ රටට තෑගි ලෙස ලැබුණේ ගිනි පොලී ණය විතරයි. ඒ කාලේ පාලකයෝ මහ ලොකුවට කතා කරපු වරාය ගිනි පොලී ණය.

ගුවන්තොටුපොල තෑග්ගත් ගිනි පොලි ණය. සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයත් ගිනි පොලී තෑග්ගක්. වෙනස අහන අයට තව ඕන තරම් උත්තර දෙන්න අපිට පුළුවන්. නමුත් අපේ රජය යටතේ ඉන්දියාවෙන් මේ අපිට ලැබුණු තෑග්ග නැවත නොගෙවන්න ඕන තෑග්ගක්.

“මේ තරම් අපේ රටට සලකණ ඉන්දියන් රජයට කොහොමද අපේ විරුද්ධවාදීන් සැලකුවේ. කියන්නත් ලැජ්ජයි. ඉන්ඩීය රජයට එරෙහිව පෙළපාළි ගියා. විරෝධතා උත්ගෝෂණ පැවැත්තුවා. ඉන්දියානු කොන්සල් කාර්යාලයට එරෙහිව පෙළපාළි ගියා. කෑ ගැහුවා. බෙරිහන් දුන්නා. මේ අය මේ පෙළපාළි ගියේ මිනිස්සුන්ට සේවය කරන්නද? ගෙවල් හදලා දෙන්නද. නෑ. මේ අය විරෝධතා පැවැත්තුවේ තමන්ගේ ආත්මාර්ථකාමි කෑදර දේශපාලන ඉලක්ක ජයගන්නයි.

මේ අය ඉන්දීය රජයට එරෙහිව පෙළපාළි යන වෙලාව වෙනකොටත් ඉන්දීය රජය මෙරටට නැවත නොගෙවන ගිනි පොලියක් ගන්නේ නැති මේ රටේ මහජනතාවට නොමිලේ සුවසැරිය ගිලන් රථ සේවයක් ලබා ඩීලයි තිබුණේ. මේක නොමිලේයි ක්‍රියාත්මක වෙන්නේ. අද වන විට මේ ගිලන් රථ සේවයෙන් විතරක් විශාල පිරිසකට සහන සළසලා තියෙනවා. අම්මලා කී දෙනෙකුගේ නම් ජිවිත බේරලා තියෙනවද.

ඒ විතරක් නෙමෙයි ආණ්ඩු පෙරලන්න කියලා පෙළපාළි වල එන අය අමාරු වෙලා වැටුනමත් ඉස්පිරිතාලයට අරගෙන යන්නේ මේ ගිලන් රථ සේවයට පිංසිද්ධ වෙන්නමයි. හැබැයි අපේ අය නොමිලේ ගිලන් රථ සේවයක් මේ රටට දුන්න මනුස්සයට විරුද්ධව, රටට විරුද්ධව උද්ගෝෂණ කරනවා.

“ආධාරයක් ලැබෙනකොට එහි සම්පූර්ණම ප්‍රතිලාභ යන්නේ ජනතාවටයි. ඒකේ එක එක තොටස් හා ප්‍රතිශත බෙදිලා යන්නේ නෑ කාටවත්. නමුත් ණය මුදලක් ගන්නකොට ඉහළ සිට පහළ දක්වාම විවිධ තරාතිරමේ අයට ඒකේ තියෙනවා විවිධ සන්තෝෂම්. කොමිස් මුදල්.

මේක කටකතාවලින් කියන දෙයක් නෙමෙයි. නොරොච්චෝලේ හදනකොටත් ලොකු ලොක්කන්ට දුන්නා සන්තෝෂම්. දැන් නොරොච්චෝලේ කඩා වැටිලා. ඒ වගේම වරාය හදනකොටත් ලොකු ලොක්කන්ට ලොකු ලොකු ගණන් වලින් සන්තෝෂම් දුන්නා. ඒ සන්තෝෂම් ඒ අයට ලැබුනේ රුපියල් වලින් නෙමෙයි. ඒවා ලැබුනේ ඩොලර් වලිනුයි. ගුවන්තොටුපොල හදනකොටත් ඒක එහෙම තමයි.

මන් මේ ටිකක් කිව්වේ මේ ඉන්න ජනතාවට එදා සහ අද වෙනස කියලා දෙන්නයි. අද ඉන්දියාවෙන් මෙරටට ලැබෙන්නේ ආධාරයක්. මේ ආධාර ලැබෙනකොට ඒකෙන් කාටවත් සන්තෝෂම් යන්නේ නෑ. මේ ආධාර මුදල සම්පුර්ණයෙන්ම එක රුපියල්වත් අඩු නැතිව යන්නේ මේ රටේ නිවාස නැති මිනිස්සු වෙනුවෙන් නිවාස හදන්නයි. මේක තමයි ඇත්ත.

මේක තමයි එදා සහ අද වෙනස. දැන් තේරෙකවා ඇති ගිනි පොලී ණය ගන්න එකේ හා ආධාර ගන්න එකේ වෙනස මොකද්ද කියලා. පුදුමේ කියන්නේ මේ සත්‍ය තේරෙන්නේ නැති, අවබෝධ කරගන්න බැරි කොට්ඨාශයකුත් මේ රටේ ඉන්නවා.

“මන් හැමදාමත් ඉන්නේ පොඩි මිනිහා වෙනුවෙනුයි. පොඩි මිනිහා පැත්තෙයි. මන් ඕනම කෙනෙක් එක්ක එදා සහ අද වෙනස විවාද කරන්න සුදානම්. හැබැයි ඒ කොළඹ තියෙන මාධ්‍ය ආයතන ඇත්ලේ ඉදගෙන නෙමෙයි.මහජනතාවක් ඉදිරියේ. උදාගමක් විවාත කරන් තැනක ඉදන්.

අද මහ කොමසාරිස් තුමාත් එක්කත් අපි මේ ගිවිසු අත්අසන් කරන්න දමා ගත්තේ මේ ගම්මානයමයි. ඒ මහජනතාව ඉදිරියේ ඒ ගිවිසුම අත්සන් කල යුතු නිසයි. මේකෙන්වත් ජනතාව තේරුම් ගන්න ඕනේ ගිනි පොලී ණය හා ආධාර වල ඇති වෙනස. ඒ නිසා දැන්වත් උද්ගෝෂණ නවත්තලා, පෙළපාළි යාම නවත්තලා අපිත් එක්ක එකතුවෙලා මේ රට ගොඩ නගන්න එකතු වෙන්න කියලා" යැයි පැවසිය.

සුරියවැව [නුවන් ජයසේකර]

මාතෘකා