පාර්ලිමේන්තුව කුමක්ද?

 ඡායාරූපය:

පාර්ලිමේන්තුව කුමක්ද?

ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව තිබී නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනි දිනය. ඊට මාස 4කට පමණ පෙර එනම් 1947 ඔක්තෝබර් 14 වැනි දින අප රටේ පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමේ සුවිශේෂී වැදගත්කමක් ඇත. මේ වසරට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකොට වසර 71ක් සපිරේ.

‘පාර්ලිමේන්තු’ යන වචනය ඉප දී ඇත්තේ ලතින් භාෂාව ප්‍රධාන කොටගත් ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ යන යුරෝපීය භාෂාවලිනි. මෙම භාෂාවලින් ‘කතාකරනවා’ යන්න හඳුන්වන්නේ ‘පාර්ලා’ (Parla) යනුවෙන්ය. පාර්ලා යන්නට ‘මෙන්ටම්’ යන ලතින් වචනය එක් වී පාර්ලිමෙන්ටම් (Parli Mentum) විය. මෙන්ටම් යන්නෙහි තේරුම රැස් වන ස්ථානයයි. මේ අනුව පාර්ලිමෙන්ටම් යනු කතා කිරීමට රැස් වන ස්ථානය වේ. රටේ ප්‍රශ්න, ජනතාවගේ ප්‍රශ්න, කතා කරන, විසඳුම් සොයන ස්ථානය නම් වූයේ පාර්ලිමෙන්ටම් යන නමිනි. එය එංගලන්තයේ සුද්දාට ‘පාර්ලිමන්ට්’ වී අපට පාර්ලිමේන්තුව විය.

"පාර්ලිමේන්තුව විවෘත කරමින් ඔබතුමා විසින් කරන ලද කරුණාබර කතාවට පිළිතුරු ස්‌තූති යෝජනාවක්‌ ගෞරවයෙන් යුතුව ඉදිරිපත් කරන්නෙමි. මෙය විශේෂ අවස්‌ථාවක්‌ වී තිබෙන්නේ එය නව පාර්ලිමේන්තු සැසිවාරයක්‌ විවෘත කිරීම නිසා පමණක්‌ නොව අප රටේ දිගු ඉතිහාසයේ සිදු වූ අතිශයින් වැදගත් සිද්ධියේ විශිෂ්ටත්වය හේතුකොට ගෙන මැනවින් කැපී පෙණෙන නිසාද වේ. නැවත වතාවක්‌ අපි නිදහස්‌වී සිටිමු. කිසිම මිනිස්‌ ජාතියකට මතකයෙන් පමණක්‌ ජීවත්විය නොහැකි බව සත්‍යයක්‌ වන අතර, අනාගතයට

මඟ පෙන්වීම සඳහා තමන්ගේ යටගියාව ඔවුනට ශක්‌තිය හා ප්‍රබෝධය ලබාදෙන බව ද එවැනිම වූ සත්‍යයකි. අපගේ වර්තමානය හා අනාගතය දෙස බැලිය හැක්‌කේ, ඒවා යටගියාව නම්වූ පසුතලය මත තැබීමෙන් පසුවය."

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු සිංහල කතාව කරමින් එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා එලෙස කීය.

ලතින් භාෂාවෙන් උප්පැන්නය දුන්නත් පාර්ලිමේන්තුවේ මවු රට එංගලන්තයයි. එංගලන්තය යටතේ පාලනය වෙමින් නිදහස ලැබූ රටවලට සුද්දෝ පාර්ලිමේන්තු ක්‍රමය දායාදයක් හැටියට දුන්නෝය. අපේ රටේ පවතින මේ පාර්ලිමේන්තු ක්‍රමය බිහි වූයේ 1948 නිදහස ලබාගැනීමත් සමඟය.

1972 මැයි 22 දින 1 වැනි ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඩොමීනියන් තත්ත්වය නිම විය. පාර්ලිමේන්තුව, ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කිරීම විශේෂත්වයකි. එවකට වසර 5ක් වූ නිල කාලය වසර 6ක් දක්වා දීර්ඝ කරන ලදි.

1972 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු මන්ත්‍රීන් සංඛ්‍යාව 225 දක්වා වැඩි කරන ලදී. එසේම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1977 ඔක්තෝබර් මස ගෙන එන ලද සංශෝධනයන් මගින් විධායක ජනාධිපති ධුරය ඇතිකිරීම විශේෂ සිදුවීමකි. මහජනතාව විසින් ඍජුවම ඡන්දයෙන් තෝරාපත්කර ගනු ලබන විධායක ජනාධිපති ධුරයක් ඇතිවීමත් සමඟම අප රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ කැපී පෙනෙන වෙනසක් ඇති විය. එනම් විධායක ජනාධිපති ක්‍රමයේ හා පාර්ලිමේන්තු ක්‍රමයේ සංකලනයක් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් ඇරඹිණි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වන පාර්ලිමේන්තුව මහජන ඡන්දයෙන් තේරීපත්වන මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් සහ ජාතික ලැයිස්තුවෙන් පත්වන 29 දෙනෙකුගෙන් සමන්විත වේ. ධුර කාලය වසර 6කි.

පාර්ලිමේන්තු ගැටුම්, වාද විවාද සිදු වුවද ආසියානු මහාද්වීපයේ පැරණිම සහ මනාව සංරක්ෂණය වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් අප රට සතුය. බොහෝ ආසියානු රටවල් රැසක හමුදා කුමන්ත්‍රණ, කැරලි, කෝලාහල යනාදිය නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානි සිදුවූ අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඒකාධිපති පාලන තන්ත්‍ර එම රටවල බිහි විය. එහෙත් විවිධ ගැටලු හා අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිව පැවතීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය.

පාර්ලිමේන්තුව යනු ලංකාවේ ව්‍යවස්ථාදායකය හැඳින්වෙන නම බවත්, ව්‍යවස්ථාදායකය යනු රටට අවශ්‍ය නීති සම්පාදනය කරන තැන බවත්, එය උත්තරීතර ආයතනයක් බවත් පැවසේ. එහෙත්, එය ඉන් එහාට ගිය අර්ථයක් මෙවක සපයයි. දැන් අපේ පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබෙන්නේ තුවාල සිදුවී මහ රෝහලට ඇතුළත් කරන ලද මන්ත්‍රීන් ගැනය. අවම අධ්‍යාපන සුදුසුකම්වත් නැතිව දියවන්නාව තරණය කළ නියෝජිතයන් ගැනය. කෝටි ප්‍රකෝටි ගණනට අලෙවි වන ජාවාරම්කාර මන්ත්‍රීලා ගැනය. කුණුහරප සහ ත්‍රාඩ හැසිරීමෙන් යුක්ත ත්‍රස්ත පන්නයේ මන්ත්‍රීලා ගැනය.

මෙකළ දකින්නට ලැබෙන පිළිකුල්ම සිදුවීම එළිවෙන ජාමෙට පක්ෂ මාරු කිරීමය. එය සහමුලින්ම විහිළුවක් වී තිබේ.

 

නීති සකසන තැන වන පාර්ලිමේන්තුව තුළ සිටිය යුත්තේ ඒ කාරණය සම්බන්ධයෙන් දැනුමක්, ගෞරවයක් ඇති, අන් මතවලට ගරු කරන, කිසිවකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා නොකරන පිරිසක් වුවද සැබවින්ම අද සිදුව තිබෙන්නේ කුමක්ද?

බුද්ධිමත් සංවාද මණ්ඩපයක් වෙනුවට වහසි බස් දොඩන ගැලරියට කතා කරන හිස් මිනිසුන් සමූහයක් සිටින තැනක් බවට එය පත්ව තිබේ.

වරක් චරිත හේරත් ‘කනට ගහන’ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය'නමින් ලිපියක් කලම්බො ටෙලිග්‍රාෆ් වෙත ලියා තිබිණි. එහි තැනෙක මෙවන් සටහනක් තිබිණි.

එක් දිනයක පාර්ලිමේන්තුව වාර්තා කළේ එදින තිබූ බරපතළම ප්‍රශ්නය වූයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු එකම නිළියක සඳහා අයිතිවාසිකම් කීම බවය. ‘නිළිය කාගේද?’ කියා චිත්‍රපටයක් සැදිය හැකි පන්නයේ ඉතාමත් ප්‍රාථමික, සදාචාර විරෝධී සංවාදයක් රට ඉදිරියේ මේ මන්ත්‍රීවරුන් දෙදෙනා පෙන්නුම් කළෝය. මේ මන්ත්‍රීවරුන් රාත්‍රියට කරන්නේ කුමක්දැයි හෝ නිදාගත්තේ කොහේදැයි කියා දැනගැනීමේ අවශ්‍යතාවක් රටේ ජනතාවට නැත. එසේම තමන් පෙම් කරන්නේ කාටදැයි දැනගැනීමේ අවශ්‍යතාවක්ද රටේ ජනතාවගෙන් බහුතරයකට නැත (එවැනි ඕපාදූප අවශ්‍ය කුඩා කණ්ඩායමක් සිටිය හැකිය). අනෙක් අතට පාර්ලිමේන්තුවේ නොමැති කාන්තාවක් විෂය වස්තුව ලෙසින් ගනිමින් ඇය ගැන හබයක් කරන තැනක් බවට පාර්ලිමේන්තුව පත් වීම මගින් එක් අතකින් පෙන්නුම් කරන්නේ පාර්ලිමේන්තුවේ පරමාර්ථය වූ අපේ මතය නියෝජනය කරන්නට යැවූ නියෝජිතයාට සිදූ වී ඇති දේය. අනෙක් අතට මෙයින් බරපතළ සදාචාර ප්‍රශ්නයක්ද මතු කරන්නේය. එම කාන්තාවට පිළිතුරු දිය නොහැකි සභාවක ඇය ගැන බලසම්පන්න පිරිමින් දෙ‍ෙදනකු රටම ඉදිරියේ සිදු කරන මේ අපහාසය මගින් පෙන්නුම් කරන්නනේ බරපතළ සදාචාර කඩා වැටීමකි'

කෙටියෙන්ම කිවහොත්, 2017 සම්පූර්ණ වර්ෂයේ දී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සඳහා වියදම් වී ඇති සම්පූර්ණ වියදම රුපියල් 2, 443, 534, 315කි. පාර්ලිමේන්තුව රැස්වී ඇත්තේ දින 95කි. එක් දිනයක් පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැය වූ මුදල

රුපියල් 25, 721, 413ක් හෙවත් රුපියල් මිලියන 25කි.

මත්ත්‍රී වැටුප රුපියල් 54, 285ක් වන අතර සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1000ක්ද රියැදුරු දීමනාව

රුපියල් 3, 500ක්ද සභාවාරවල දී ලැබෙයි. පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගීවීමට එක් දිනකට රුපියල් 2, 500 බැගින් හිමිවන් අතර කාරක සභා රැස්වීම් දීමනාද ලැබෙයි. ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීමක් නැතිව කාරක සභා රැස්වීමකට පැමිණියහොත් ඔහුට දිනකට

රුපියල් 2, 500ක් හිමි වෙයි.

එපමණක්ද මසකට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් 100, 000 බැගින් හිමිවෙන අතර දුරකථන බිල්පත් සඳහායැයි කියමින් රුපියල් 50, 000 ක් ලැබෙයි. කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව්දෙනෙකුට මසකට රුපියල් 10, 000ක දීමනාවක්ද වර්ෂයටම නිදහස් තැපැල් දීමනාව ලෙස රුපියල් 350, 000 ක් වටිනා මුද්දරද ලැබෙයි.

මේ සියල්ල මහජන නියෝජිතයකුට ලැබීම පිළිබඳ ගැටලුවක් නැත. ඒ ඔහු සැබෑ මහජන නියෝජිතයෙක්නම්ය. එහෙත් මේසා විශාල දීමනා සහ වරප්‍රසාද ලබාගෙනත් මහජන අවශ්‍යතාව වෙනුවෙන් පෙනී නොසිටින්නේනම් එය මොනතරම් අවාසනාවක්ද?

2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වූ දින 58ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් මන්ත්‍රීවරුන් 200කට වඩා පැමිණ ඇත්තේ එකම එක දිනයක් පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150කට වඩා පැමිණ ඇත්තේ දින 19ක් පමණි. ඒ අනුව දින 29ක්ම පාර්ලිමේන්තුව රැස්ව ඇත්තේ මන්ත්‍රීවරුන් 150ක්වත් නැතිවමය.

තමන් වෙනුවෙන් නියෝජනයට යවන මහජන නියෝජිතයන්ගේ ක්‍රියා කලාපය එලෙස නම් එවන් රටක ජනතාව කෙතරම් අවාසනාවන්තද?

මාතෘකා