අහිමි වූ මන්ත්‍රී විශ්‍රාම වැටුප

 ඡායාරූපය:

අහිමි වූ මන්ත්‍රී විශ්‍රාම වැටුප

‍ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා(9දා) මධ්‍යම රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විසිරුවනු ලැබිණි. පාර්ලිමේන්තුවේ වසර 5ක කාලය සම්පූර්ණ නොවන මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමිවන අතර, එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මෙවර පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 71 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වන බව වාර්තා වේ. එමෙන්ම වසර 5ක කාලයක් විවිධ වරප්‍රසාද සහිතව සේවය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට විශ්‍රාම වැටුපක් ලබා දිය යුතු නැති බවටද සමහර දේශපාලන සහ සිවිල් සංවිධාන අදහස් පළ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සම්පූර්ණ පාර්ලිමේන්තු වාරය අවසන් කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රීවරයකුගේ මූලික වැටුපෙන් තුනෙන් එකක් විශ්‍රාම වැටුප ලෙස හිමිවන අතර, මෙවර පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමි වන මන්ත්‍රීවරු අතර, මීට පෙර පාර්ලිමේන්තු වාරවලදීද නියමිත කාලය සම්පූර්ණ කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරු වීම නිසා විශ්‍රාම වැටුපට හිමිකම් කීමට නොහැකි වූ මන්ත්‍රීවරු කිහිපදෙනකු සිටීමද විශේෂත්වයකි. පාර්ලිමේන්තුව විසුරුවීම නිසා විශ්‍රාම වැටුප අහිමි වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඒ පිළිබඳව 'රැස' කළ විමසීමේදී මෙසේ අදහස් දැක්වූහ.


විශ්‍රාම වැටුපට වඩා රට වටිනවා

හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා

මට මගේ ජීවිතයටත්, විශ්‍රාම වැටුපටත් වඩා මගේ රට වටිනවා. පාර්ලිමේන්තුව විසුරුවීම ඉතාම හොඳයි. පැවති ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයෙන් රට මුදා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුව තිබූ දෙයක්. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින්, ජාතික සම්පත් විකුණමින්,රටේ ආර්ථිකය කඩා වට්ටමින්, පාතාල ලෝකයට හිස ඔසවන්නට අවස්ථාව සලසමින් පැවති ආණ්ඩුව කටයුතු කරද්දි මීට කලින් පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් ගෙනාවත් ඒකට අත්දෙකම උස්සන්න සූදානමින් හිටපු කෙනෙක් මම. බිරිඳයි දරුවොයි එක්ක බඩගින්නේ ඉන්න සිද්ධ වුණත් මම කවදාවත් රට පාවාදෙන මජර දේශපාලනයක යෙදෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා රට වෙනුවෙන් මේ ගත්ත තීරණය ගැන මම හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ පළමු තැනට මාව පත්කළ ජනතාව ඉදිරියට යන්න මට හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා නැවත මැතිවරණයකට යන්න කිසිම බයකුත් නැහැ. විශ්‍රාම වැටුප අහිමිවීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තීරණය ගැන ඉතාම සතුටින් ඉන්නේ.


තාත්තා කිව්වෙත් විශ්‍රාම වැටුපක් ඕන නෑ කියලා

හිටපු එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

මීට අවුරුදු ගණනාවකට කලින් මගේ පියා තමයි මුලින්ම කිව්වේ විශ්‍රාම වැටුපක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නැහැ කියලා. මොකද රාජ්‍ය සේවකයොත් තමන්ගේ විශ්‍රාම වැටුප ලබාගන්නේ වසර ගණනාවක් සේවය කරලා. ඒ නිසා අවුරුදු පහක් පාර්ලිමේන්තු හිටියයි කියලා විශ්‍රාම වැටුපක් කාටවත් අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි පාර්ලිමේන්තු එන බොහොමයක් යමක් කමක් සහිත අය. ඉතින් ඒ අයට විශ්‍රාම වැටුපක් කිසිසේත්ම අවශ්‍ය නැහැ. මම නම් පෞද්ගලිකව ඉන්නේ මගේ පියාගේ මතයේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ කියන මතයේ. මම හිතන විදියට ඉදිරියටත් එහෙම වෙනවා නම් හොඳයි. පාර්ලිමේන්තුවේ ඉඳන් ජනතාවට සේවය කරන එක ස්වේච්ඡාවෙන් කළ යුතු සේවයක් කියලා මම හිතනවා.


සාධාරණව දේශපාලනයේ යෙදෙන අයට පැවැත්ම වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි

හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

යම්කිසි දේශපාලනඥයෙක් පමණටත් වඩා පොහොසත් නම් ඔහු හොරෙක්, තක්කඩියෙක් විය යුතුයි කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. දේශපාලනඥයා සරල විය යුතුයි. මහජනතාවට සේවය කරන අතර ලැබෙන දෙයින් සෑහීමට පත්විය යුතුයි. අරමුණු සහ ඉලක්ක පොදුවිය යුතුයි. දේශපාලනයට පැමිණීමට පෙර මම ගුරු සහ නීතිඥ වෘත්තින්හි වෘත්තිකයෙක් ලෙස කටයුතු කළා. ඒ නිසා එම වෘත්තීන් තුළින් අපි ජීවන ක්‍රමය සකස් කරගෙන තිබෙනවා. නමුත් කිසිම වෘත්තියක නියැළෙන්නේ නැතිව දේශපාලනයට ඇවිත් ඉතා කෙටි කලකින් කෝටිපතියන් බවට පත්වන දේශපාලනඥයන් ගැන ජනතාව බුද්ධිමත්ව තීරණ ගත යුතු බවයි මගේ අදහස. සාධාරණව දේශපාලනයේ යෙදෙන දේශපාලනඥයන්ට ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි. නමුත් පැවති ආණ්ඩුව යටතේ අපේ රට පැවැති අස්ථාවර තත්ත්වය තුළ පාර්ලිමේන්තුව විසුරුවීම නිසා විශ්‍රාම වැටුප අහිමි වීම ගැන මම කිසිසේත්ම කනගාටු වන්නේ නැහැ.


ප්‍රශ්නය විශ්‍රාම වැටුප නෙමේ, අත්තනෝමතික තීරණයයි

හිටපු එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

කවුරුහරි දේශපාලනඥයෙක් පාර්ලිමේන්තු එන්නේ විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් නම් ඔහු සැබෑ ජනතා සේවකයෙක් නෙමෙයි. ජනතා සේවයට නම් එන්නේ ඔවුන්ට විශ්‍රාම වැටුප වුවමනාවක් නැහැ. මෙතන ප්‍රශ්නය තියෙන්නේ විශ්‍රාම වැටුප අහිමිවීම නෙමෙයි.

ප්‍රශ්නය තියෙන්නේ නීති විරෝධී ලෙස, අත්තනෝමතික ලෙස, ඒකාධිපති වියරුවෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැනයි, අපිට ගැටලුව තියෙන්නේ.

හෙට දවසේ නැවත වතාවක් කවුරු හරි මහජන බලයෙන් අගමැති වුණොත්, එයාගේ මූණ කළුයි, එයාගේ කන රතුයි, මම එයාට කැමැති නැහැ, ඒ නිසා මට එයාව අගමැති කරන්න බැහැ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා කියන්න පුළුවන්. අපි විරුද්ධ ඒකට. විශ්‍රාම වැටුප නැති වීම ගැන නම්

සත පහක දුකක් නැහැ.


රට වෙනුවෙන් වැඩ කිරීමේදී කැප කිරීම් කරන්න වෙනවා

හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක දිනුෂාන්

අපි විශ්‍රාම වැටුප හෝ වැටුප ගැන හිතලා නෙමේ මේ තීරණයට එකඟ වුණේ. අපි හිතුවේ රට ගැන. මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය ගැන හිතලා, රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීමට ගත්ත තීරණයක්. ඒ නිසා විශ්‍රාම වැටුප කියන දේ ගැන කිසිම තැකීමක් නැහැ. අපේ වගකීම වෙන්නේ රට වෙනුවෙන් වැඩ කිරීම. රට වෙනුවෙන් වැඩ කිරීමේදී කැප කිරීම් කරන්න වෙනවා. ඒ නිසා විශ්‍රාම වැටුප අහිමි වීම කාටවත් ප්‍රශ්නයක් විය යුතු නැහැ.

විශ්‍රාම වැටුප විතරක් නෙමේ, රට තියෙන්නේ අනෙක් සියලු දේටත් වඩා ඉදිරියෙන්. එහෙම වරප්‍රසාද අවශ්‍ය නම් අපිට 2015දී රජය එක්ක එකතු වෙලා ඇමති ධුර ගන්න තිබ්බා. ඒවත් කැප කරලා හිටපු අපිට විශ්‍රාම වැටුප අහිමි වීම ගැන කිසිම කනගාටුවක් නැහැ.


වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නෙමෙයි අපි දේශපාලනය කරන්නේ

හිටපු එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

විශ්‍රාම වැටුප අහිමි වුණා කියලා ඒ පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. තනතුරු, තානාන්තර, වරදාන, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. තනතුරු, තානාන්තර වෙනුවෙන් අපි අපේ පක්ෂය සහ පක්ෂයේ ප්‍රතිපත්ති මෙතුවකට පාවා දීලා නැහැ. එහෙම කරන්න අවශ්‍ය නම් මීට කලින් කරන්න තිබුණා අපිට. ඒ නිසා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට විශ්‍රාම වැටුප අහිමි වුණා කියන එක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම පෞද්ගලික ඒ සම්බන්ධයෙන් චුට්ටක්වත් හිතන්නෙවත් නැහැ.


විශ්‍රාම වැටුප අහිමි වන මන්ත්‍රීවරු

ජාතික ලැයිස්තුව

1. මලිත් ජයතිලක - එජනිස

2. අංගජන් රාමනාදන් - එජනිස

3. ජයම්පති වික්‍රමරත්න - එජාපෙ

4. අශු මාරසිංහ - එජාපෙ

5. එම්. නවාස් - එජාපෙ

6. එම්. සල්මාන් - එජාපෙ

7. ඒ. හෆීස් - එජාපෙ

8. සිරිනාල්ද මැල් - එජාපෙ

9. ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා - ඉතඅක

10.සරත් ෆොන්සේකා - එජාපෙ

කොළඹ

11. එස්. එම්. මරික්කාර් - එජාපෙ

12. මුජිබර් රහුමාන් - එජාපෙ

13. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - එජාපෙ

14. උදය ගම්මන්පිල - එජනිස

ගම්පහ

15. හර්ෂණ රාජකරුණා - එජාපෙ

16. කාවින්ද ජයවර්ධන - එජාපෙ

17. චතුර සංදීප ⁣සේනාරත්න - එජාපෙ

18. ප්‍රසන්න රණතුංග - එජනිස

19. ප්‍රසන්න රණවීර - එජනිස

20. සිසිර ජයකොඩි - එජනිස

21. ඉන්දික අනුරුද්ධ - එජනිස

කළුතර

22. පියල් නිශාන්ත ද සිල්වා - එජනිස

23. ලක්ෂ්මන් විජේමාන්න - එජාපෙ

24. නලින්ද ජයතිස්ස - ජවිපෙ

මහනුවර

25. ලකී ජයවර්ධන - එජාපෙ

26. එස්. වේළුකුමාර් -එජාපෙ

27. ආනන්ද අලුත්ගමගේ -එජාපෙ

28. අනුරාධ ජයරත්න - එජනිස

මාතලේ

29. රංජිත් අළුවිහාරේ - එජාපෙ

30. රෝහිණි කුමාර විජේරත්න - එජාපෙ

නුවරඑළිය

31. නඩරාජා තිලකේෂ් - එජාපෙ

ගාල්ල

32. බන්දුලාල් බණ්ඩාරිගොඩ - එජාපෙ

33. විජයපාල හෙට්ටිආරච්චි - එජාපෙ

මාතර

34. නිරෝෂන් ප්‍රේමරත්න - එජනිස

35. කාංචන විජේසේකර - එජනිස

36. සාගල රත්නායක - එජාපෙ

හම්බන්තොට

37. ඩී.වී.චානුක දිනුෂාන් - එජනිස

දිගාමඩුල්ල

38. දයා ගමගේ - එජාපෙ

39. ⁣ඊබ්‍රාහිම් මොහොමඩ් මන්සූර් - එජාපෙ

40. කවීන්ද්‍රන් කෝඩිස්වරන් - ඉතඅක

මඩකලපුව

41. ජී. සිරිනේෂන් - ඉතඅක

42. එස්. විජෙයාන්ද්‍රන් - ඉතඅක

ත්‍රිකුණාමලය

43. අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් - ඉතඅක

44. ඉම්රාන් මහරුෆ් - එජාපෙ

කුරුණෑගල

45. තුෂාර ඉඳුනිල් අමරසේන - එජාපෙ

46.ජේ.සී.අලවතුවල - එජාපෙ

47.නලින් බණ්ඩාර - එජාපෙ

පුත්තලම

48. හෙක්ටර් අප්පුහාමි - එජාපෙ

49. සිසිර කුමාර - එජාපෙ

50. අශෝක ප්‍රියන්ත - එජාපෙ

51. සනත් නිශාන්ත පෙරේරා - එජනිස

රත්නපුර

52. හේෂා විතානගේ - එජාපෙ

53. ඒ. ඒ. විජේතුංග - එජාපෙ

54. කරුණාරත්න පරණවිතාන - එජාපෙ

කෑගල්ල

55. තාරක බාලසූරිය - එජනිස

56. සාරති දුෂ්මන්ත - එජනිස

57. සුජිත් සංජය පෙරේරා - එජාපෙ

58. තුසිතා විජේමාන්න - එජාපෙ

59. සන්දිත් සමරසිංහ - එජාපෙ

අනුරාධපුර

60. චන්දිම ගමගේ - එජාපෙ

61. රහුමාන් ඉස්තාන් - එජාපෙ

පොලොන්නරුව

62. නාලක කොලොන්නේ - එජාපෙ

63. අනුර සිඩ්නි ජයරත්න - එජාපෙ

යාපනය

64. ධර්මලිංගම් සත්‍යදරන් - ඉතඅක

65. ඊෂ්වරපාදම් සරවනභවන් - ඉතඅක

වන්නි

66. චාල්ස් නිර්මලනාදන් - ඉතඅක

67. සිවප්‍රකාශම් සිවමෝහන් - ඉතඅක

68. කාදර් කාදර් මස්තාන් - එජනිස

බදුල්ල

69. චමින්ද විජේසිරි - එජාපෙ

70. අරවින්ද කුමාර් - එජාපෙ

මොණරාගල

71. ආනන්ද කුමාරසිරි - එජාපෙ

මාතෘකා