ජනවාරි 08 බලාපොරොත්තු ජනපති රකිනවා

 ඡායාරූපය:

ජනවාරි 08 බලාපොරොත්තු ජනපති රකිනවා

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර

 මේ වෙලාවේ ඡන්දයකට යන්න සූදානමක් තිබෙනවාද?

ඡන්දය තීරණය කළ යුත්තේ ජනාධිපතිතුමා විසින්. එතුමාට තවදුරටත් 33 – 2 වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවශ්‍ය බලතල තවමත් තිබෙනවා. අප පුළුවන් තරම් උත්සාහ කරනවා පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයක් ඇති කරගෙන ඉදිරියට යන්න.

 සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිස, වගන්තියෙන් වගන්තිය වෙනම ගෙන එය අර්ථකථනය කිරීමේදී නෛතිකභාවය පිළිබඳ ගැටලුවක් මතුවෙනවා නේද?

සමහර වගන්ති සන්සන්දනය කරමින් අර්ථ නිරූපණය කරන අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 70 වැනි වගන්තිය තියෙන්නේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සහ අවශ්‍යකරන කටයුතු කිරීම සම්බන්ධවයි. එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ වෙලා නැහැ. සමහර වෙලාවට ඇතැම් වගන්ති සමඟ බද්ධ වී ඇති සංශෝධන තියෙනවා. ඒවා අතෑරිලා තියෙන අවස්ථාත් නැතුවාම නෙවෙයි. එහෙම වුණාම ව්‍යවස්ථාවේ වගන්තියෙන් වගන්තිය තමයි අර්ථකථනය කරන්න වෙන්නේ. සමස්ත වගන්ති එකතු කර එක තීරණයකට එන්න බැරි අවස්ථා තියෙනවා.

 පොදුජන පෙරමුණ කියා තිබුණා ඔවුන් ඇමතිකම් ගන්නේ එන අය ආවට පස්සේ කියලා. දැන් ඔවුන් ඇමතිධුරවල දිවුරුම් දෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි සියලු දෙනා ඇවිත් කියන එකද?

තව අය එනවා. අපි මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්නේ ඒවට අවශ්‍ය ඉඩකඩ ලබාදීලා තමයි. ආණ්ඩුවක් විදියට රට ඉදිරියට ගෙන යන්න ඕන. අමාත්‍යාංශවල වැඩකටයුතු සිදු වෙන්න ඕන.

සාමාන්‍යයෙන් අමාත්‍යාංශ 30ක් පමණයි පත්කරන්න පුළුවන්. ඒ නිසා 30ට අමතරව යම් අමාත්‍යාංශයක් තිබේ නම් ඒවා ඉබේම ජනාධිපතිතුමාගේ යටතට පත් වෙනවා.

 මේ කැබිනෙට්ටුව ඉතිහාසයේ අඩුම ආයුෂ ඇති කැබිනට් මණ්ඩලය වෙයිද?

අපට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. මං හිතන්නේ නෑ ප්‍රශ්නයක් වෙයි කියලා. අපට ඉදිරි ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්. කැබිනට් මණ්ඩලය ස්ථාවර කර ගැනීම සහ ඉදිරියට රට වෙනුවෙන් අවශ්‍ය කරන කටයුතු කිරීමයි අපේ බලාපොරාත්තුව.

 ශ්‍රීලනිපයේ පැවති අර්බුදයෙන් ගොඩ එන්න පොහොට්ටුව එක්ක එකතුවුණා කියලා කකාවක් ඇහෙනවා?

අපට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. 2018 පෙබරවාරි 10 වැනිදා තිබුණු ඡන්දයෙන් අපි ඡන්ද ලක්ෂ 15ක් ගත්තා. එතැනින් පස්සේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ වගේම විශේෂ යෝජනාවලියක් පක්ෂයට ඉදිරිපත් කළා. පක්ෂය එය පිළිගත්තා. අද එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඡන්ද ප්‍රමාණය තව වැඩිකර ගැනීමේ හැකියාව තිබුණා. කලින් අපි දෙකට බෙදිලා හිටියා. එක් මතවාදයක සිටි පක්ෂ දෙකක් එකට එකතුවීම නිසා අද ශ්‍රීලනිපයටත් පොදු ජන පෙරමුණටත් වාසියක් ලැබිලා තියෙනවා. අද ලංකාවේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය මේ පක්ෂ දෙකේ එකතුවීමයි. එය ශ්‍රීලනිපයටවත් පොදු ජන පෙරමුණටවත් නොවෙයි, රටක් විදියට සියලු දෙනාට වටිනවා. රටට ආදරේ කරන, රටේ ප්‍රගතිශීලී බලවේග එකට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ගිය රට බෙදීමේ හා විකිණීමේ ව්‍යාපෘතියට එරෙහිව පුළුල් බලවේගයක් මේ වෙද්දී හැදිලා තියෙනවා.

 ඉදිරියේ අත ලකුණ අමතක කර පොහොට්ටුවෙන් මැතිවරණවලට ගියොත් හොඳයි කියලත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවා?

ඒක තවම තීරණය කර නැහැ. පොදු ලකුණකින් ඡන්දයට යන්න ඕනෑ කියන තීරණයේ අප කවදත් හිටියා.

 දෙදහස් පහළොවේ ජනවාරියෙදී යහපාලනයක් ගැන බලාපොරොත්තු වුණු හැට දෙලක්ෂයක ජනතාව අමතක කිරීම ගැන ඔවුන් ඉන්නේ කලකිරීමෙන් බව කීවොත්?

ජනමතය වෙනස් වුණා කියලා මං හිතන්නේ නැහැ. මොකද 2015 ජනවාරි 08 ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු පහුගිය අවුරුදු තුනහමාරේ ඉෂ්ට වුණේ නැහැ. ජනවාරි 8ට සහය දුන් විවිධ බලවේගම ඒ බව කියලා තිබුණා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. යහපාලනය නිවැරදිව ගෙනයන්නයි ජනාධිපතිතුමාට ජනතාව බලය දුන්නේ. එජාපයට යහපාලනය හදන්න ජනතාව ජනවාරි 08 ඡන්දය දී තිබුණේ 106ක ධුර ගණනක් සඳහා පමණයි. ඉතිරි ඡන්ද ප්‍රමාණය ක්‍රියාත්මක කළේ අපිත් එක්ක එකතු වෙලා. නමුත් බලාපොරොත්තු වුණු විදියට ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි නිසයි මේ අර්බුදය නිර්මාණය වුණේ. හැම දෙයක්ම වෙනුවෙන් එකවර පෙනී ඉන්න බැරි වුණත් ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 ලබාදුන් ජනමතය වෙනුවෙන් පෙනී සිටීම අතාරින්නේ නැහැ.

 යහපාලනයේ ගැටලු තිබෙන බව කීවත්, මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ගමනක් යන්න කියලා ජනවාරි 8 යහපාලනය ගේන්න ඡන්දය දුන් ජනතාව කීවේ නැහැ නේද?

රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැති ආණ්ඩුවක් හදාගන්න එක හොඳයි කියලා අපි හිතුවා. හේතුව රනිල් වික්‍රමසිංහ මහතා සහ ඒ මහතා වටේ හිටපු කිහිපදෙනක් එක්සත් ජාතික පක්ෂයේ අදහස්වලටවත් ගරු නොකරන තත්ත්වයක හිටියේ. මේ සියලුම අර්බුදවලට හේතුව ඒක. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටින පක්ෂයට ජනාධිපතිතුමා ආරාධනා කළේ.

එහි නායකයා විදියට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 70ක පමණ විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ කටයුතු කළා. 106ක් එක්ක දුවන්න බැරි නම් 70ක් එක්ක මේ ගමන යන්න ඕනෑ කියලා ජනාධිපතිතුමා කල්පනා කරන්න ඇති. එහි කිසිම ප්‍රජාතන්ත්‍රවිරෝධී බවක් නැහැ. ඉස්සරහට කොහොමද දේවල් වෙන්නේ කියලා ජනාධිපතිතුමා කතා කරයි. 106ක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ බලය පෙන්නුවා. නමුත් ඒක දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට කරන්න බැහැ.

 මේ වෙලාවේ රටේ දේශපාලන අර්බුදයක් තිබෙන බව පිළිගන්න සිදුවෙනවා නේද?

ඔව්. අනිවාර්යයෙන්ම.

 මේ සමඟ විදේශ ආයෝජන නතර වන බවත් ඇහෙනවා....?

ඒක සම්පූර්ණ බොරුවක්. කථානායකතුමා තමයි විදේශ ආයෝජන නතර වෙලා කියන්නේ. විදේශ ආයෝජන නතර වුණාද නැද්ද කියලා එතුමා කියන්නේ පදනම්විරහිතව.

දෙවැනි කාරණය රනිල් වික්‍රමසිංහ මහතා මේ කාරණය කිවුවේ ජාත්‍යන්තර ප්‍රජාවට. රටේ ජනතාවට එතුමා කතා කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම ගියේ තානාපතිවරු හොයාගෙන. ඒ නිසා මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළේ එතුමා. රනිල් වික්‍රමසිංහ මහතා කියන ඕනෑ දෙයක් කරන්න ජාත්‍යන්තර ප්‍රජාව සූදානම්. ඒ නිසා එතුමා මේ රටටද ආදරේ, ජාත්‍යන්තරයටද ආදරේ කියන ප්‍රශ්නය මතු වෙනවා. ජාත්‍යන්තරය විසින් අපට කරන බලපෑම සාහසිකයි. ජාත්‍යන්තර බලපෑම්වලින් ලංකාවේ දේශපාලනය ක්‍රියාත්මක කරන්න හදනවානම් ඒකෙ ලොකු වරදක් තියෙනවා.

නව අගමැතිවරයාගේ පත්වීම නීත්‍යනුකූලයි. මීට පෙර හතළිස් දෙවතාවක් පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කර තියෙනවා, කවුරුත් ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. 2004 මේ විදිහටම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුව කල් තිබ්බා. කවුරුත් පෙළපාළි ගියේ නෑ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් ඒ අයට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින්, අර්ථ නිරූපණය පිළිබඳ අදහසක් ගන්න.

 කථානායකවරයා කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියා බහුතරයක් ඉල්ලා සිටින බවත්....?

පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය ජනාධිපතිතුමාට තියෙනවා. ඒ බලයට අභියෝග කරන්න කිසිම කෙනකුට බැහැ. මේ කථානායකතුමා යූඇන්පීයේ කථානායක බවට පත්වෙලා. එතුමාගේ තිබුණු මධ්‍යස්ථ බව දැන් නැහැ. මේ ඔවුන් කරන්නේ රට අස්ථාවර කරන ක්‍රියාවලියක්.

 මංගල සමරවීර හිටපු මුදල් ඇමතිගේ අයවැය තමයි මේ ගේන්න හදන්නේ කියලත් ඇහෙනවා....?

මම දන්නේ නැහැ ඒ සම්බන්ධව.

 බඩු මිල, තෙල් මිල, බස් ගාස්තු අඩුවීම අයවැය අවසන් වනතුරු පමණද?

මේ ආණ්ඩුව පත්වුණු ගමන් බේකරි නිෂ්පාදනවල මිල, ත්‍රීවීලර් ගාස්තු මිල ඔවුන් විසින්ම අඩු කළේ ආණ්ඩුවට පවතින ආදරය නිසා. දැඩි ලෙස අය කළ බදු වත්මන් මුදල් ඇමතිවරයා අඩු කළා. දේශීය කර්මාන්ත නඟා සිටුවීමට අවශ්‍ය පසුබලය සැපයුවා. මේවා තාවකාලික ක්‍රියාදාමයන් නොවෙයි. ජනතාවාදී අයවැයක් හා ජනතාවාදී ආර්ථිකයක් හදන එකයි අපේ මූලික අරමුණ.

 බඩු මිල අඩු කරලා ආර්ථිකය ශක්තිමක් කිරීමට හැකියාවක් ලැබේවිද?

බද්දක් අඩු කළාම බඩු මිල අඩු වෙනවා. රට ගෙන යෑමට තිබෙන මුදල කළමනාකරණය කර ගැනීම අපේ යුතුකමක්. 2020 වනතුරු ගෙවීමට දැවැන්ත ණය බරක් තිබෙනවා. ණයත් ගෙවාගෙන, ආර්ථිකය ගොඩනැඟීමේ කාර්ය කරන්නේ කොහොමද කියන එක බැලිය යුතුයි. ඒ නිසයි ආනයන අඩු කරගන්න, අපනයන වැඩි කරගන්න ඒ තුළින් ජංගම ගිණුමේ ශේෂය පුළුවන් තරම් අඩු කරගන්න උත්සාහ කරන්නේ. විදේශ රටවල සිටින සේවකයන් ලංකාවට එවන මුදල්වලට අපි එපා කියනකොට බදු ගැහුවා. ඒ නිසා ඔවුන් හොර ක්‍රමවලින් එවන්න ගත්තා. එවැනි බදු නතර කළේ අපි. එවැනි උපාය මාර්ගවලින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි කළ යුත්තේ.

සංවාදය [රසිකා හේමමාලි]

ඡායා [සමන් ශ්‍රී වෙදගේ ]

මාතෘකා