බලය නැතිදාත් බැබළුණු මිනිස්සු

 ඡායාරූපය:

බලය නැතිදාත් බැබළුණු මිනිස්සු

බලය පසුපස හඹායෑම මනුස්ස ස්වභාවයය. බලය අත් නොහැරීමද ස්වභාවයය. එහෙත් බලය අහිමි වූ විට හෝ අහිමි වන බව දැනෙන විට එය අත්හැර යෑම දුර්ලභ තත්ත්වයකි. පරාජයෙන් පසු පවා සමහරු ඊට නිදහසට කාරණා අටෝරාසියක් කියන අතර පරාජයේ වගකීම භාර ගන්නේ කලාතුරකින්ය. 1956 අප්‍රේල් 5 දින පැවැති මැතිවරණයේදී අපූරු සිදුවීමක් දකින්නට ලැබිණ.

ඒ එතෙක් මෙතෙක් මැතිවරණ පරාජයකදී පරාජිත පිලේ නායකයා විසින් සිදු කළ අනගිතම කතාව ජෝන් කොතලාවල මහතා විසින් සිදු කිරීමය. නාගෙට නාහන සෙල්ලක්කාරයකු සේ සමහරු කොතලාවලයන්ව දුටුවද ඔහු ස්වකීය කෙටි පාලන සමය තුළ බොහෝ දෑ

සිදු කළේය.

එහෙත්, බණ්ඩාරනායකයන්ගේ පංචමහා බලවේගය විසින්, කොතලාවලගේ පක්ෂය පරාජය කරනු ලැබීය.

ප්‍රථම දින ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව ඒ ඒ පක්ෂවලට ලැබුණු ආසන ගණන මෙසේය.

මහජන එක්සත් පෙරමුණ - 27

එක්සත් ජාතික පක්ෂය - 8

නව ලංකා සම සමාජ පක්ෂය - 4

කොමියුනිස්ට් පක්ෂය - 1

ස්වාධීන - 1

කෙසේ වෙතත් එවර සිය පරාජය භාරගත් කොතලාවල අපූරු කතාවක් සිදු කළේය. පහත දැක්වෙන්නේ ඒ කතාවය.

“අද මම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියවිලි අග්‍රාණ්ඩුකාරතුමාට භාර දුනිමි. පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමේ නායකයා වන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට, අභිනව ආණ්ඩුව පිහිටුවන ලෙස ආරාධනය කරන මෙන් මම අග්‍රාණ්ඩුකාරතුමාට උපදෙස් දුනිමි. එක්සත් ජාතික පක්ෂය පාලන බලය භාර දුන්නේය. මෙයින් පසු මගේ පක්ෂයත්, මමත් මහජන මන්ත්‍රී මණ්ඩලයේ විරුද්ධ පක්ෂයේ වෙනම කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන්නෙමු. එහි සිටිමින් අපේ පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය නොකොට රටේ සුබසිද්ධිය සඳහා කටයුතු කරන්නෙමු. රටේ සහ මහජනයාගේ යහපත පිණිස වන සෑම කටයුත්තකටම සහයෝගයත් අනුබලයත් දෙන්නෙමු.

“මම අවුරුදු දෙකහමාරක් අගමැති වශයෙන් ක්‍රියා කළෙමි. මේ කාල සීමාව තුළ ඇත්ත වශයෙන්ම මගේ පක්ෂය පාලන බලය පැවැත්වූ මුළු කාලය තුළ රටේ සාමය පැවැතුණේය. දියුණුව කරා ගමන් කළේය. අප විසින් නීතියත් සාමයත් පවත්වා තිබේ. මහජනයාගෙනුත්, රජයේ සේවකයන්ගෙනුත්, පුවත්පත්වලිනුත් මට සහාය ලැබුණු බව මා පිළිගන්නේ කෘතඥතා පූර්වකවය. ඔවුන් අලුත් ආණ්ඩුවටද එම සහයෝගය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මා අගමැති පදවිය භාරගන්නා විට තිබුණේ රු. 3,60,00,000ක් නමුත් අපි අලුත් ආණ්ඩුවට රු. 19,70,00,000ක් ඉතිරි කර තබන්නෙමු.

“චීනයට හා බුරුමයට අත්තිකාරම් වශයෙන් දී තිබෙන රු. 6,50,00,000ක මුදල මීට ඇතුළත් නැත. භාණ්ඩාගාර ණය කුවිතාන්සි පිට ලබාගෙන තිබුණු කෙටි කාලීන ණය ප්‍රමාණය රු. 18,40,00,000 සිට රු. 6,00,00,000 දක්වා අඩු කරන්නටද, මහ බැංකුවෙන් ලබාගෙන තිබුණු රු.7,00,00,000ක්ද අර්ධ ආණ්ඩු දෙපාර්තුමේන්තුවලින් ලබාගෙන තිබුණු රු.5,90,00,000ක්ද ආපසු ගෙවීමට අපට හැකිවිය.

“අපේ සාවුරුදු සංවර්ධන වැඩපිළිවෙළ සඳහා මේ මුදල පසුගිය දෑවුරුදු හය මාසය තුළ රැස්කර ගත හැකිවීම අපේ සතුටට කාරණයකි. රටට ඉතාම විශාල යහපතක් සැලසෙන පරිදි මේ මුදල අලුත් ආණ්ඩුවට පාවිච්චි කළ හැකි විය යුතුය. මගේ ආණ්ඩුව සහල් මිල අඩු කිරීම ගැන සලකා බැලීම අතපසු කළේ නැත.

“බුරුමයෙන් හා චීනයෙන්ද වඩා අඩු මුදලට සහල් ලබා ගැනීමට අපට මෑතකදී පුළුවන් වූ නිසා මහජනයාට ඉතා සතුටුදායක වන පරිදි සහල් මිල තවත් අඩු කළ හැකි බව අපට පෙනී ගොස් තිබේ. එසේ වුවත් අපට එය පෙනී ගිය කෙණෙහිම සහල් මිල අඩු කිරීමට අදහස් නොකළේ, එසේ කළා නම් එය ඡන්ද ගුණ්ඩුවකැයි සැලකිය හැකි නිසාය. අපේ අදහස වූයේ මහා මන්ත්‍රී තරගයෙන් පසුව සහල් මිල අඩු කිරීමේ ප්‍රකාශය කිරීමටය.

“එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් ඡන්දදායකයන් විශාල සංඛ්‍යාවටත්, පක්ෂයේ සාමාජිකයන්ටත් මම මගේ සාතිශය කෘතඥතා පූර්වක ස්තූතිය පිරිනමමි. ඒ සමඟම ඔවුන්ගෙනුත් අනිත් සියලුම රට වැසියන්ගෙනුත් මා ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන සැලකිල්ල නොඅඩුවම දක්වන ලෙසත්, එහි අයිතිවාසිකම් සහ වරප්‍රසාදයන් ආරක්ෂා කරනු පිණිස නිරන්තර සෝදිසියෙන් සිටින ලෙසත්ය.

“අවශ්‍යතාව උද්ගත වුවහොත් රටේ ආරාධනය පිළිගැනීම පිණිස මගේ පක්ෂයත් මමත් සූදානමෙන් සිටිමු. බණ්ඩාරනායක මහතාට ස්වකීය අභිනව පදවියෙහි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සඵලවත් ලෙස කරගෙන යා හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි.”

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා