කථානායකවරයාට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකියි

 ඡායාරූපය:

කථානායකවරයාට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකියි

ඇමැති වාසුදේව නානායක්කාර

මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන ඇති කථානායක කරූ ජයසූරිය මහතාට නව ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළ නොහැකි බවත් තමන් ඇතුළු පිරිසට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කතානායකවරයා විසින් නියම කර ඇති බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (05) බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.

‘‘දැනට අරලියගහ මැදුරේ නීති විරෝධිව රැඳී සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට එසේ සිටීමට ඉඩකඩ දී තිබෙන්නේ අපේ නීතිය අසරණ වී තිබෙන නිසා නෙමෙයි. හදිස්සියේ එතුමා පිට කිරීම ඒ තරම්ම චාරිත‍්‍රානුකූල නොවන නිසයි. මේ වෙච්ච බල පෙරළිය ජනතා බලයේ මහිමයෙන් සිදු වූ දෙයක්. මේක හදිස්සියේ සිදු වූවාට කාලයක් තිස්සේ සිදු වූ සිද්ධි දාමයක් වෙනවා. පෙබරවාරි 10 පැවති පළාත් පාළන ඡන්දයෙන් හිමි වූ ජනවරමත් එක්ක මේක ආරම්භ වුණා.

මේක ව්‍යවස්ථානුකූලද නීත්‍යානුකූලද කියලා එක්සත් ජාතික පක්ෂය විමසීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රකාශයට අනුව එය අපිට තීන්දු කරන්න බැහැ. මේක තීන්දු කරන්න පුළුවන් එක්කො අධිකරණයටයි. අනික් පැත්තෙන් මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම මේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව කටයුතු කරමින් සිටිනවා. මෙතනදී ඒකත් එක පරීක්ෂණයක් වෙනවා. නීත්‍යානුකූලභාවය පිළිගන්න නිසා තමයි රාජ්‍ය යන්ත‍්‍රණයේ අනුකූලත්වය ලැබී තිබෙන්නේ. ඒක පිළිගන්නේ නැත්නම් අධිකරණයකට යා යුතුයි.

මේ රජය ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් යන දෙකම නොපවත්වා කල් දැමීමේ උපක‍්‍රමයක් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරමින් සිටි බවට අපිට තොරතුරු ලැබී තිබුණා. මේ අයට ඡන්දයකට මුහුණ දෙන්න විදියක් නැහැ. ඒ නිසා ඡන්ද නොපවත්වන ආණ්ඩුවක් කොහොමද හදාගන්නේ කියන එක වික‍්‍රමසිංහ මහතාගේ ඊළඟ වුවමනාව වී තිබුණා.

ජනාධිපති ඝාතන සැළැස්ම මගින් ඔහු තනි බලයක් ඔහුගේ අතට ගැනීමට සැලසුම් කළාය කියන සැකය අනික් අතට තියෙනවා. මේ අවදානම් තත්වයන් මඟහරවා ගැනීමට අවශ්‍ය නිසා ජනාධිපතිවරයා තීන්දු කළා ව්‍යවස්ථානුකූලව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බලය නැති කරන්න. ඒ මගින් මේ රටේ ඇතිවෙන්න ගිය අවදානමක් නැති කරලා තියෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සැලසුම් තවදුරටත් මේ රටේ ක‍්‍රියාත්මක වුණොත් මේ රටටත් පොදු ජනතාවටත් විශාල අහේනියකට සහ අවාසනාවකට මුහුණ දෙන්න වෙනවා. ඔහු බලාපොරොත්තු වූ පිම්ම පනින්න අපි ඉඩ ලබාදුන්නේ නැහැ. කොළඹට රැස් වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඒකට සාක්ෂි දරාවි’’

මාතෘකා