කථානායක නිසා මනූෂ නොමග ගිය හැටි

 ඡායාරූපය:

කථානායක නිසා මනූෂ නොමග ගිය හැටි

අත්තනෝමතික සහ ව්‍යවස්ථා විරෝධී ලියවිල්ලක් සමාජ දේහයට කරනු ලබන බරපතළ අපරාධය කෙතරම්ද යන්න පසක් වන්නේ මනූෂ නානායක්කාර තරුණ මන්ත්‍රීවරයාගේ පක්ෂ මාරුවට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය දෙස බලන විට ය.

'ගරු කථානායකතුමා නිකුත් කළ නිවේදනය මගින් වඩාත් බැරෑරුම් කරුණු ඉස්මතු කර ඇති බව මාගේ විශ්වාසයයි. ගරු කථානායකතුමන්ගේ නිවේදනය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම, ව්‍යවස්ථානුකූල නොවන, නීත්‍යනුකූල නොවන සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඉදුරාම පටහැනි ක්‍රියාදාමයකි. විශේෂයෙන්ම ගරු කථානායකතුමන්ගේ නිවේදනයේ පහත සඳහන් කොටස් උපුටා දැක්වීමට කැමැත්තෙමි.'

යනුවෙන් ආරම්භ කරන ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සහමුලින්ම පාහේ පදක කොට ගන්නේ කථානායකවරයාගේ ව්‍යවස්ථා විරෝධී 'මතය' උපුටා දක්වමින් ය.

“පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම්වලට පෙර පැවති තත්ත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි“ යනුවෙන් ඔහු කථානායකවරයාගේ 'ඊනියා'ලියවිල්ල උපුටා දක්වයි. අනතුරුව මෙසේ සටහන් කරයි.

'උද්ගතවී ඇති වාතාවරණය හමුවේ කථානායකතුමාගේ ප්‍රකාශය පිළිගනිමි. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිව ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස පිළිගනිමි.'

මනූෂ මන්ත්‍රීවරයාගේ ලිපියෙහි හරය ඒකය.

එය එසේ නම් මේ වැරදි පූර්වාදර්ශය කාගේද? කථානායකවරයාගේය.

මනූෂ නානායක්කාර යනු තරුණ මන්ත්‍රීවරයෙකි. ඔහු ස්වකීය පක්ෂ මාරුවට යොදා ගන්නේ කථානායකවරයා විසින් ලියනු ලබන ලියවිල්ලය. බරපතළ වන්නේ එතැනය. නීතියට පටහැනි, ව්‍යවස්ථා විරෝධී, පක්ෂග්‍රාහී ලියවිල්ල මන්ත්‍රීවරයකු දේශපාලන තීන්දුවක් සඳහා පොලඹවාලනු ලැබ තිබේ. සරලව කිවහොත් මනූෂ වැරදි තීන්දුවකට යොමුකර තිබෙන්නේ කථානායකවරයාගේ පක්ෂග්‍රාහී ලිපිය ය.

පාර්මේන්තුව නියෝජනය කරන 116 දෙනකු නොව 225 දෙනාම අත්සන් කර ලිපියක් බාර දුන්නද ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කල් තබන ලද පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කැඳවීමේ හැකියාවක් කථානායකවරයාට නොමැති බව කථානායකවරයා නොදැන ඉන්නට නොහැක. එහෙත් ඔහුගේ පක්ෂග්‍රාහී පිළිවෙත සියල්ලට වඩා පෙරට විත් තිබේ.

මේ මොහොතේ ආණ්ඩුවට ස්වකීය බහුතරය පිළිබඳව කිසිදු ගැටලුවක් නැත. එහෙත් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කෑමොර දෙන කිසිවෙක් ජනපති සතු බලතල පිළිබඳව තැකීමක් කරන්නේ නැත.

1978 දෙවන ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 – 3 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාර අවසාන කර කල් තැබීමේ පූර්ණ අයිතියක් ඇත. පාර්ලිමේන්තුවේ වාර අවසාන කොට කල් තැබීමේ නියෝගය ජනාධිපතිවරයා අත්සන් කළ මොහොතේ සිට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කථානායකවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ක්‍රියාත්මක වීමේ බලය අත් හිටුවේ. පාර්ලිමේන්තුව කල් තැබූ විට නැවත කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. එසේ වාර අවසාන කිරීමක් කරන විට නැවත කැඳවන දිනයක් නියම කළයුතු අතර දින නියම කර තිබුණද ජනාධිපතිවරයාට අවශ්‍යය නම් දින තුනකට නොඅඩු කාලයක් කල් දී ඊට පෙර දිනයක පර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ජනාධිපතිවරයා සතු වේ.

ඉතා අර්බුදකාරී වාතාවරණයක මෙරට කථානායක ධූරයට පත්වූ කෘතහස්ත දේශපාලනඥයකු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා කරු ජයසූරිය මහතාගේ පක්ෂග්‍රාහී ලියවිල්ල ගැන මෙසේ පවසයි.

'පාර්ලිමේන්තුව කල් දැමීම හෝ වාර අවසාන කිරීමේ ජනාධිපතිතුමාට තිබෙන බලයේ කිසිදු වෙනසක් 19වන සංශෝධනයේ සිදුවී නැහැ. හැත්තෑවැනි වගන්තියෙන් පාර්ලිමේන්තුව කල්දැමීම හෝ වාර අවසන් කිරීමේ සම්පුර්ණ බලය තිබෙන්නේ ජනාධිපතිතුමාටයි. කථානායකතුමා සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. මේ ක්‍රියා සම්බන්ධයෙන් කථානායවරයාට එරෙහිව නීතිමය පියවර ගත හැකියි.'

කථානායකවරයාගේ හා අග්‍රාමාත්‍යරයාට අයිතීන් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යනු අනු නීතියක් වන අතර රටේ පවතින සියලු නීති ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරායට තිබෙන බලය කථානායකවරයා හෝ අගමැතිවරයා ක්‍රියාවට නැංවීමට ගියහොත් එතැන ඇති වන්නේ ගැටුමකි.

ඒ ගැටුම රටේ දේශපාලන අස්ථාවරභාවයකට මුල් විය හැකිය. එවැනි අර්බුදයක් ඇති වුණහොත් එය කොහෙන් කෙළවර වේදැයි සිතිය නොහැකිය.

කථානායකගේ පක්ෂග්‍රාහී බව

හදවතට දැනෙන දේ අනුව කථානායකවරයාට කටයුතු කළ නොහැක. ඔහු 'කථානායක' මිස පක්ෂයක ඉත්තෙක් නොවේ.

එහෙත් කථානායකවරයා එකී ව්‍යවස්ථාපිත නීති පාගා දමමින් 'තවදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ'බවට ලිපි ලියමින් සිටී. ආණ්ඩුවර ඔහු යොමු කරන අභියෝගය බහුතරය පෙන්වන්න කියාය. බහුතරය පෙන්වා ආණ්ඩුවේ බලයට අභියෝග කළ යුත්තේ විපක්ෂයේ විනා බහුතරය තිබෙන ආණ්ඩුව නොවේ.

'දේශාපාලන වශයෙන් කථානායකතුමාව පොලඹවපු අය එක දිගටම කීවේ එය එකසිය ගාණක් අත්සන් කර තිබෙන නිසා පාර්ලිමේන්තුව කැඳවන්න එතුමාට අයිතිය තිබෙන බවයි. කොහොමද කථානායකතුමාට ඒ අයිතිය තිබෙන්නේ. ව්‍යවස්ථාව කියන්නේ අපේ රටේ උත්තරීතර නීතිය. කිසිම කෙනකුට බෑ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න. 225 දෙනාම අත්සන් කර දුන්නත් කාටවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බැහැ.'

යනුවෙන් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ගෙනෙන තර්කය නිවැරදිය.

මේ මොහොතේ විපක්ෂයට කිසිදු ගැලවීමක් නැත. ඔවුනට ඉතිරිව තිබෙන විකල්ප ගැන විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මනාව පැහැදිලිකොට දුන්නේය.

'මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රශ්න කළ නොහැකි බලයක් ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, අමාත්‍ය මණ්ඩලයේ නායකයා සහ සේනාධි නායකයා යන නායකකම් හතරම තිබෙන්නේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයාගේ විශ්වාසය අනුව බහුතරයකගේ විශ්වාසය දිනාගත හැකි යැයි කල්පනා කරන තැනැත්තා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමයි එදා සිට අද වන තෙක් අපේ රටේ ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. එහිදී ගණන් හදන්න එකතු කරන්න අවස්ථාවක් නැහැ. හැබැයි පත් කරන අගමැතිවරයා අභියෝගයක් ගන්න ඕනෑ. ඒ අභියෝගය ගන්න ක්‍රම දෙකයි තිබෙන්නේ. විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒකට මුහුණදී ජය ගැනීම. දෙවැන්න පනතක් පරාජය වීම. සාමාන්‍ය පනතක් පරාජය වුණොත් ඒ කෙටුම්පත නීතියක් නොවී පවතිනවා. මුදල් පනත පරාජය වුණොත් පාර්ලිමේන්තුව විසුරුවන්න සිදුවෙනවා.'

දැනට තිබෙන තත්ත්වය අනුව අලුතින් පත්වුණු ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මූලික කර්තව්‍ය වන්නේ ලබන අවුරුද්දට යන්න අයවැය ලේඛනයක් සම්මත කර ගැනීමයි. විපක්ෂයට කළ හැකි එකම කාර්යය අයවැය ලේඛනය පරාජය කිරීමයි.'

තර්කානුකූල නොවන, ව්‍යවස්ථානුකූල නොවන, නීත්‍යනුකූල නොවන පදනම් විරහිත මතවල එල්බගෙන 'වැරදි මතයක්' සමාජගත කිරීම වගකිවයුතු තනතුරක සිටින්නකුට තරම් නොවේ. වියපත් කරු ජයසූරිය මහතා නොමේරූ කථානායකවරයකු බව පමණක් මේ මොහොතේ ඔප්පුකොට තිබේ.

[මොහොමඩ් ෂිල්මි]

ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති

මේ අවස්ථාවේදී කථානායකවරයා විසින් ඔහු පිළිගනු ලබන්නේ දැනට පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ පැවති ආණ්ඩුවේ අගමැතිතුමාව තමයි ඔහු විසින් පිළිගනු ලබන්නේ කියලා. මා දකින විදිහට ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකිරීමක් නොව තම අභිමතය පරිදි ක්‍රියා කිරීමක් තමයි එහි පෙනී යන්නේ. මන්ද ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනව එය ශ්‍රේෂ්ඨාධිකරණයෙත් සාකාච්ඡාවට භාජන වුණා, එනම් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කල් තැබීම, සැසිවාරය අවසන් කිරීමේ බලය ගැන. ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිතුමාට අවස්ථා තුනක් තිබෙනවා. යම්කිසි විදිහකින් පාර්ලිමේන්තු සැසිවාරයක් කල්තබා තිබෙන අවස්ථාවක නැවත කැඳවන්න, ඊට අමතරව විසුරුවා හැරීමේ බලය තිබෙනවා යම් යම් සීමාවන්ට යටත්ව. තුන්වැනි කාරණය පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කිරීමේ බලය. ඒක ජනාධිපතිවරයකුට තිබෙන බලයක්.

ඒ බලය මත ජනාධිපතිතුමා විසින් ඊළඟ සැසිවාරයේ දිනය නියම කර පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර තිබෙනවා. එවැනි අවස්ථාවක නැවත වරක් කැඳවීමේ එකම බලය තිබෙන්නේ ජනාධිපතිතුමාට පමණයි. ඒකත් ව්‍යවස්ථාවේ ලියැවී තිබෙනවා. යම් අවස්ථාවකදී නව සැසිවාරයක් පටන් ගැනීමට ප්‍රථම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියා ජනාධිපතිතුමාට හැඟෙනවා නම් එතුමාට පුළුවන් කැඳවන්න. හැබැයි කථානායකතුමාට එය කළ නොහැකියි. කථානායකතුමාට යම්කිසි පාර්ශ්වයකින් ඉල්ලීමක් කළොත් පාර්ලිමේන්තුව සාමාන්‍ය ආකාරයට කල්තබා තිබෙන විට කථානායකට කැඳවීමේ බලය තිබෙනවා. නමුත් මෙතැනදී වෙලා තිබෙන්නේ සැසිවාරය අවසන් කිරීමයි. ඒ නිසා කථානායකට එම බලය නැහැ. කථානායකට කළ හැකිව තිබෙන්නේ මුලදි කථානායකතුමා කළ ආකාරයට ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා සිටීමයි.

ඊළඟට කථානායකතුමා කළ ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම අත්තනෝමතිකයි. ඒ බලතල කොහෙවත් සඳහන් වෙලා නැහැ. මේ විදිහට කථානායකවරාය ක්‍රියා කිරීමට යෑමේදී අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා, පේන විදිහට ඒ අයහපත් තත්ත්වය ඇතිවෙමින් තිබෙනවා. එතුමාගේ ඒ ප්‍රකාශය බරපතළ බලෑමක් විය හැකියි ඉදිරි පාර්ලිමේන්තු කටයුතුවලට. එතුමා කියන්නේ පාර්ලිමේන්තුව පටන් ගන්න දවසට අගමැති ලෙස පිළිගන්නේ හිටපු අගමැතිවරයා කියන එකයි. ජනාධිපතිතුමාට තිබෙන බලතල යටතේ එය අභියෝගයට ලක්වී නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුව තුළ. එවැනි අවස්ථාවක අගමැතිතුමා පැමිණ අගමැති ලෙස ක්‍රියාකිරීම වළක්වමින් ජනාධිපති යම් පියවරක් ගන්නවා නම් ඒක තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකියි ව්‍යවස්ථාවට පටහැණිවීම නිසා.

කථානායකවරයාගේ ප්‍රකාශය තුළ එයට විවිධ අර්ථ නිරූපණ දීලා ක්‍රියා කළ හැකියි යමකුට. එය ව්‍යවස්ථානුකූලව සිදුකළා නම් ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ කථානායකට කිසිම විදිහක හැකියාවක් නැහැ ජනාධිපතිගේ බලතල ලබා ගැනීමට.

මාතෘකා