රාජපක්ෂවරු ගත් ණය පියවීමට සිදුවී ඇත්තේ ජනතාවටයි

 ඡායාරූපය:

රාජපක්ෂවරු ගත් ණය පියවීමට සිදුවී ඇත්තේ ජනතාවටයි

ඇමැතිනී තලතා අතුකෝරල

රාජපක්ෂ පාලන සමයේ අත්තනෝමතික ලෙස ලෝක බැංකුවෙන් ගත් ණය පියවීමට සිදුවී ඇත්තේ අහිංසක ජනතාවගේ බදු මුදලින්, වත්මන් යහපාලන ආණ්ඩුව විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණය, ස්වාධීන කර තිබෙන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා (26) පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට කෘෂි උපකරණ බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනි.

“ඉතිහාසයේ සිටම නොයෙකුත් වැඩසටහන් රජයන් මඟින් දියත් කොට තිබෙනවා. අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවන්න ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ පටන්ගත් ජනසවිය ව්‍යාපෘතියේ සිට විවිධ වැඩසටහන් දියත් කළා. අපි වගේ රටවල්වලට දියුණු වෙන්න නම් මේ වගේ වැඩසටහන් දියත් වෙන්න ඕන. පසුගිය වසර 20 තුළ සමෘද්ධි ව්‍යාපාරය හරහා අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවන්න මොනවාද කළේ කියලා අපි සොයා බැලිය යුතුයි. මොකද දුප්පත්කම අඩුවෙලා නැහැ. අද වන විට ලක්ෂ 14ක් සමෘද්ධිය ලබනවා. නමුත් මේ ව්‍යාපෘතීන් තුළින් ජනතාව සවිබල ගැන්වීමක් සිදුව නැහැ.

ජනාධිපතිතුමාගේ රජයේ අරමුණ ඔබගේ ගෙවත්තේ වැඩපළේ කෘෂි කාර්මික වගාවන් ව්‍යාප්ත කරවීමයි. වසර තුනක් පුරාවට අපි රජයක් ලෙස මේ රටේ වැරදි විදිහට ක්‍රියාත්මක වු දේවල් නිවැරදි කරන්න උත්සාහ කළා. හැබැයි එහෙම නිවැරදි දේ කරනවාට ගොඩාක් අය කැමති නැහැ වගේ පේනවා.

අපේ රටට අද වන විට ආදායම් ලබන කර්මාන්ත නැති වෙමින් යනවා. ඇගළුම් කර්මාන්තය පසුගිය වසර 20ක් තුළ විනාශ කළා. තේ කර්මාන්තයත් එහෙම විනාශ වුණා. අද අපේ රටට ආදායම් නැති තත්ත්වයට පත්කර තිබෙනවා.

මට අද බය නැතිව කියන්න පුළුවන් අධිකරණයට කවුරුත් ඇගිලි ගහන්නේ නැහැ. විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව තීරණ දෙන්න පුළුවන්. අද මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට යාමේ අවස්ථාව විනිසුරුවරුන්ට තිබෙනවා. පිටින් එක එක්කෙනා ගෙනත් අධිකරණයට පත් කරන්නේ නැහැ.

අපි රජයක් ලෙස සංවර්ධන කටයුතුවලට රජයේ වියදම් සඳහා යොදවන්නේ බදු මුදල්. ඒ මුදල් ජනාධිපතිතුමාගේවත්, අගමැතිතුමාගේවත්, මගේවත් නොවේ. ඔබේ මුදල් ඒ සියල්ලට වැය කරන්නේ 2014 වසරේදී අපේ රටට ණය දෙන්න ලෝකයේ රටවල් කැමති වුණේ නැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණයේ ස්වාධීනත්වය මානව හිමිකම් නැහැ කියලා ලෝකයා අපිව ප්‍රතික්ෂේප කළා. අද ඕනම කෙනෙකුට තමන්ගේ නඩුව වෙනුවෙන් අසාධාරණයක් වෙනවා නම් අපි පෙනී සිටිනවා. අද පොලීසිය රාජ්‍ය සේවය ස්වාධිනයි. අපි මේවා සියල්ල ස්වාධීනව හදලා තිබෙනවා.

අපි අද වන විට හොරකම නාස්තිය දූෂණය වංචාව අඩු කරලා තිබෙනවා. මම කියන්නේ නැහැ සම්පුර්ණයෙන්ම නැති කරලා තිබෙනවා කියලා. ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් අල්ලස් අර ගෙන අහුවුණා අපේ අගමැතිතුමා පත් කරපු මහබැංකු අධිපතිතුමා වංචා කළා. ඒවාට දඩුවම් ලැබෙයි. අපි ගොඩාක් මහන්සි වෙලා විශේෂ අධිකරණ ගෙනාවේ දිනපතා නඩු අහලා. දුෂිතයින්ට දඩුවම් දෙන්නයි.

අද අපි සමෘද්ධි ව්‍යාපාරය නිවැරදි තැනට ගේන්න කටයුතු කරගෙන යනවා. සමහර අය මේවාට විරුද්ධව උද්ඝෝෂණය කරන්න පුළුවන් ඒක ඒ අයට තිබෙන අයිතියක්. නමුත් අපි ජනතාව රට වෙනුවෙන් හරි දේ හරි වෙලාවට කරනවා. බඩු බෙදපු යුගය, නිකන් දුන් යුගය අපි අවසන් කළ යුතුයි. ඔබ වෙනුවෙන් රජය ලබාදෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ලබාගන්න එහෙම වුණොත් අපිට රටක් ලෙස ඉදිරියට යන්න පුළුවන්. ” යැයි අධිකරණ ඇමතිනිය පැවසුවාය.

[අසේල ලියනගේ]

මාතෘකා