බෝම්බ ගහල වට්ටන්න බැරි වුණු මාව කයිවාරු ගහල වට්ටන්න බැහැ

 ඡායාරූපය:

බෝම්බ ගහල වට්ටන්න බැරි වුණු මාව කයිවාරු ගහල වට්ටන්න බැහැ

අමාත්‍ය රාජිත සේනාරත්න

ඔබට ජාතිවාදය, ආගම්වාදය එක්ක ති‍ෙයන ගැටුම මොකක්ද?

ජාතිවාදය තියෙන්නේ සීමිත කොටසක් ළඟයි. අපේ රටේ සාමාන්‍ය ජනතාව ළඟ ජාතිවාදය නැහැ. එහෙම තිබෙනවා නම් මම වගේ කෙනෙක් දිගින් දිගටම ජයගන්නේ නැහැ. ඉතිහාසයේ මම 2002 සිට 2004 දක්වා එක්සත් ජාතික පක්ෂ රජය තුළ සටන් විරාම ගිවිසුම ආරක්ෂා කිරීමට කැප වුණා. 2004 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාද වෙද්දී මම ලක්ෂ ගණනකින් ජය හිමිකර ගත්තා. අපේ පළාතේ ජනතාව ජාතිවාදී නැහැ. 2015 මහ මැතිවරණයේදී විදුලි පුටු, දේශප්‍රේමය කථා කරද්දී තමයි ජනතාව එම ඊනියා දේශප්‍රේමීන්ව පරාද කළේ. ඊනියා දේශප්‍රේමීන්ට ප්‍රහාර එල්ල කළ මට මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා දුන්නා. ජනතාව ජාතිවාදි නැහැ. මේ ජාතිවාදීන් ඉන්නේ දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් අතරයි. එම පිරිස ජාතිවාදය රට තුළ වපුරවනවා. ඒ වපුරන්නේ ජාතිවාදී හැගීමෙන් ඇති ඡන්ද ටික ලබාගන්නයි. එය තමයි සත්‍ය කතාව. ඕනෑම ජාතිවාදී කෝලහලයක දී ඉතාම සුළු පිරිසක් තමයි මෙම ප්‍රචණ්ඩත්වයට එක් වෙන්නේ. පොදු මහජනතාව කලකිරීමෙන් කථා කරන්නේ.

ත්‍රස්තවාදය නිර්මාණය කළේ දේශපාලනඥයින් විසින්. එම තත්ත්වය තවදුරටත් ඉදිරියට රැගෙන යන්නේ ද දේශපාලනඥයින් විසින්.කවදද මේක නවත්වන්නේ?

ඇත්ත. මෙම තත්ත්වය නිර්මාණය කළේ දේශපාලනඥයින් විසින්. ඉතිහාසයේ දේහපාලනඥයින් මෙම ප්‍රශ්නය නිර්මාණය කළා. මෙයට විරුද්ධව දේශපාලන නායකයින් නැගිටිය යුතුයි. අගමැතිතුමා අද පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා. රණවිරුවන් වගේම යුද්ධයෙන් මියගිය ජනතාවත් සැමරීමට අයිතියක් තිබෙන බව. ඒ ආකාරයට අපේ රටේ නායකයින් සියල්ල ආත්ම ශක්තිය කරගෙන මේ කාලකණ්නී ආගම්වාදයට, ජාතිවාදයට විරුද්ධව නැගිටිය යුතුයි. අනාගතයේ ඡන්ද දිහා බලලා කෑදරකම, බඩජාරිකම නිසා මිනිසුන් බිල්ලට දෙන්නේ නායකයින් නොවෙයි. නායකයින්ට ප්‍රතිපත්ති තිබිය යුතුයි.

කවුද ඇත්තටම ජාතිවාදය වැපිරීම පිටිපස්සේ ඉන්නේ?

ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම ජාතිවාදය වපුරලා බලයට පැමිණීමයි. කුරිරු ජාතිවාදය නිසා මුළු මහත් සුළු ජාතින් ප්‍රතික්ෂේප කළා. අදත් ඡන්දයකට එන්න කියන්න, කොහොමද ඡන්ද දිනන්නේ කියලා බලන්න. අදත් දිනන්න බැහැ. ඔවුන්ට අදත් නිවැරදි වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. යුද්ධය අවසන් කළාට පසුව හැසිරිම අනුව තමයි මෙම තත්ත්වය උදා වුණේ. මම උදාහරණයක් කියන්නම්, යුද්ධයෙන් පසු නෙල්සන් මැන්ඩලාගේ හැසිරිම කුමක්ද? මුගාබේ හැසිරුණේ වෙනත් ආකාරයකටයි. ඔහු අන්ත ජාතිවාදියෙක් ලෙස හැසිරුණා. රටත් විනාශ කළා. මම මහින්ද රාජපක්ෂටත් කිවුවා නෙල්සන් මැන්ඩෙලා වගේ වෙන්න කියලා. ඔහු තෝරා ගත්තේ මුගාබේ චරිතයයි. එ් මුගාබේ තමයි තවමත් ජීවත් වන්නේ.

ප්‍රභාකරන් මහත්තයා යනුවෙන් කරපු ඇමතීම අහම්බයක්ද?

ප්‍රභාකරන්ට මහත්තයා කියන එක වැරැදි නම් විජේවීරට මහත්තයා කියන එකත් වැරදියි. විජේවීර නෝනා මහත්තයාද? ඒ වගේම ප්‍රභාකරනුත් නෝනා මහත්තයා ද? නැහැ. මහත්තයා. මොකක් ද එහි වෙනස? ලංකාවේ සියලු දෙනාම කාට හරි මහත්තයා කියලා කියන්නේ සම්පුර්ණ චරිතය නිර්වචනය කරලද? නැහැනේ.

ජාතිවාදය නිමා කරන්න ඇත්තටම බැරිද?

ඕනෑම කාලයක ජාතිවාදයේ ශබ්දය වැඩියි. ජාතිවාදයට එරෙහිවීමේ ශබ්දය අඩුයි. ජාතිවාදයට එරෙහිවිම තියෙන්නේ බුද්ධියේයි. ජාතිවාදය තිබෙන්නේ කටෙයි. බුද්ධියට ශබ්දයක් නැහැ. කටට ශබ්දයක් තිබෙනවා.

යුද සැමරුම් නතර කරන්න බැරි මොකද?

පසුගිය රජය තුළ තමයි ජාතිවාදීන් සිටියේ. අද රජය තුළ ඉතා අල්ප වශයෙන් ඉන්නේ. සුළුතරයක්. ජාතිවාදය පාලනය කිරිම පහසු නැහැ. තුන්කු අබ්දුල් රහමන් වරෙක ප්‍රකාශ කරනවා මැලේසියාවේ තිබු ජාතිවාදය පිළිබඳව. ජාතිවාදය අරගෙන භූමි පුත්‍ර ආකල්පය අරගෙන විප්ලවය කඩාකප්පල් කරනවා. ලංකාවේ 50 දශකයේ සිටි සියලු කම්කරු පන්තිය විනාශ වුණේ මේ ජාතිවාදී ප්‍රශ්නය නිසයි. එය හොඳ ආයුධයක්. එම ආයුධය භාවිත කරන ලොව කිසිම නායකයෙක් පූජිත වූයේ නැහැ. රටවල් පාලනය කිරිමට ජාතිවාදය හොඳ ආයුධයක්. රටක් දියුණු කිරිමට ජාතිවාදයෙන් බැහැ. ජාතික සමඟිය තුළින් පමණයි රටක් දියුණු කළ හැක්කේ.

ජාතිවාදයට එරෙහිව ඔබේ තියෙන ඇරියස් එක මොකක්ද?

මම 80 දශකයේ සිට කෑ ගසනවා. මගේ ඇගේ බෝම්බ කෑලි 04 ක් තියෙනවා. 03 ක් තියෙන්නේ JVP බෝම්බ ප්‍රහාරයකින්. එකක් තිබෙන්නේ එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකින්, ඔය දෙකම තියාගෙන ඉන්න එකම පුද්ගලයා මමයි. මම අහන්නේ JVP බොම්බ කැලී 03 මම නිදාගෙන ඉන්න විට තියලා ගිය ඒවාද? එල්.ටී.ටී.ඊ බෝම්බ කැල්ලක් ප්‍රභාකරන් හිනෙන් ඇවිත් ඇඟ ඇතුළේ තියලා ගියේ නැහැ. බෝම්බ ප්‍රහාරවලට ලක්වෙලා තමයි බෝම්බ කෑලි තිබෙන්නේ. මම දෙකෙන්ම බේරුණා. මට නම් ඔබ බෝම්බ කෑලි 04 කිසිම වෙනසක් නැහැ. කිසිම වෛද්‍යවරයෙක් ප්‍රකාශ කරලා නැහැ මෙම බෝම්බ කැබලි සිංහල, දෙමළ, බෝම්බ කෑලි කියලා. මම තමයි කියන්නේ මේ බෝම්බ කෑලි

එල්.ටී.ටී.ඊ හා JVP ප්‍රහාර වලින් එල්ල වුණ ඒවා කියලා. බෝම්බ ගහලා වට්ටන්න බැරිවුණ මාව ඔය කයිවාරු ගහලා වට්ටන්න බැහැ. මාධ්‍යවේදීන්ටත් මම ඒක කියනවා. ඔය වගේ මාධ්‍යවේදීන් දහස් ගණනක් හමු වෙලා තිබෙනවා. ඔවුන් දැන් ආගිය අතක් නැහැ. රාජිත සේනාරත්න තවම ගමන යනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා යුද්ධයෙන් අහිංසක දෙමළ ජනතාව මියගිය බව පිළිගත් අය...?

උදය ගම්මන්පිල මහතා 2015.09.27 රාවය පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක සදහන් වෙනවා. අහිංසක දෙමළ ජනතාව ඝාතනය කළ අයට දඩුවම් ලබාදිය යුතු බව. ඒ අයත් පිළිගන්නවා අහිංසක දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය බව. එය තමයි මමත් කියන්නේ. මිනිසුන් මැරෙන්නේ නැති යුද්ධයක් තිබුණා නම්, එය විශිෂ්ටයි. මම නම් එහෙම යුද්ධයක් ගැන අහලා නැහැ.

කරුණා අම්මාන්ට සහ පිල්ලෙයාන්ට පසුගිය රජය සැලකුවා නේද?

කරුණා, මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වුණා. පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමැති වුණා. එම අයට ඔය රණවිරුවන් සැලියුට් ගැහුවා. භික්ෂූන් වහන්සේලා අරන්තලාවේ දීඝාතනය කළ පොලීසියේ 600 ක් ඝෘතනය කළ කරුණා අම්මාන්ට සහ පිල්ලෙයාන්ට පොලීසියේ අයත් සැලියුට් ගැහුවා. ගෝඨාභය රාජපක්ෂ කරුණා අම්මාන්ට එංගලන්තයට යන්න හොර පාස්පොට් හැදුවා. එවැනි දේ කළ අය ද රණවිරුවන් කියන්නේ. මම කියන්නේ? කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට සැලකුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ අයගේ පැත්තෙන් බලනවා නම් ඔය කියන විදිහ වැරදියි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා