අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ගෝඨා වසර පහක් වැඩිපුර ඉල්ලනවා

 ඡායාරූපය:

අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ගෝඨා වසර පහක් වැඩිපුර ඉල්ලනවා

අමාත්‍ය මලික් සමරවික්‍රම

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත්මග නම් සංවිධානයේ සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අසාමාන්‍ය ලෙස උත්කර්ෂයට නැංවීමට සමහරු කටයුතු කරන ආකාරය පෙනෙන්නට ඇත. වියත්මග සමුළුව ප්‍රවර්ධනය කිරීමේ නොයෙක් කතා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර සිට සමාජ ජාල සහ සමහර විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් සිදුකිරීමට එම සංවිධානය කරයුතු කර තිබිණ. මෙය බොහෝ දෙනා තුළ එදින 'අලුත්' යමක් සිදුවෙතැයි බලාපොරොත්තු ඇති කෙරුවා විය හැකිය.

කෙසේ වෙතත් අවසානයේදී එදින ගෝඨාභය රාජපක්ෂ කළ කතාවේ ප්‍රධාන කාරණා කිහිපය එකින් එක ගෙන බැලූ විට මෙහි සැබැවින්ම වෙනසක් සිදුව ඇත. එනම් රජය ඉදිරිපත් කළ 'දැක්ම 2025' (V 2025) ආර්ථික සැලසුම සහ දැක්ම ප්‍රකාශයම, ක්‍රියාත්මක කිරීම සඳහා අමතර වසර පහක් ඉල්ලා තිබීමයි.

තම කතාව තුළ ගෝඨාභය, ආර්ථික සංවර්ධනය රටේ සියලුම ප්‍රශ්නවලට විසඳුම බවද ප්‍රකාශ කර ඇත. මෙය ඉතා නිවැරදිවම අපගේ අවධානය සම්පූර්ණයෙන්ම ආර්ථික වර්ධනය කෙරෙහි යොමු කිරීමටත් වැඩි පිරිසකගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට කටයුතු කිරීමේත් හේතුවයි. අපගේ රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය ආදී ක්‍රියාමාර්ග යොමුව පවතින්නේද මේ දිශාවටමය.

වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ආර්ථිකයක් වීම සඳහා ආර්ථික ව්‍යුහය වෙනස් කළ යුතු බවද ඔහු මෙහිදී පවසා ඇත. වර්තමාන රජය තරඟකාරීත්වය ඉහළ නංවමින් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහාද හේතුව මෙය බව ඉතා පැහැදිලිය.

වඩාත් සිත් ගන්නා සුළු ප්‍රකාශය බවට පත්ව ඇත්තේ 'ශ්‍රී ලංකාවට සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් අවශ්‍ය' බව ගෝඨාභයගේ කතාව අතරතුරදී ඔහු ප්‍රකාශ කරයි. මෙය 100%ක්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ කාරණයක් වන අතර මෙම වචනවලින් එලෙසම අගමැතිවරයා බොහෝ වතාවක් පවසා ඇත.

විද්‍යාව සහ තාක්ෂණය දියුණු වෙමින් පවතින බවත් අන්තර්ජාලය මූලික කොටගත් ව්‍යාපාර සංවර්ධනය වෙමින් පවතින බවත් ඔහු පවසා ඇත. නව සේවා කර්මාන්ත ලෙස සංචාරක කර්මාන්ත සහ වෛද්‍ය සංචාරක කර්මාන්තයත් තොරතුරු තාක්ෂණ සන්නිවේදනය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රද අන්තර්ජාලය භරහා ප්‍රවර්ධනය කළ යුතු බවද මෙහිදී කියවී ඇත.

'ඩිජිටල් ආර්ථිකයක් සහ සුහුරු සමාජයක් අපට නිර්මාණය කළ හැකියි' යැයි ද මෙහිදී සඳහන්ව ඇත. ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය හරහා දැනටමත් ක්‍රියාත්මක 'සුහුරු සමාජ කව' හරහා රජය සිදු කරමින් ඇත්තේද එම ක්‍රියාවය. ඩිජිටල් ආර්ථික මූලෝපාය අප ක්‍රියාත්මක කරන්නේද මේ සඳහාය. ආර්ථිකයේ ඉල්ලුම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ නිෂ්පාදන ක්ෂේත්‍රය හරහා මෙය මූලිකව ක්‍රියාත්මක කීරිමටද රජය කටයුතු කරයි.

සෘජු විදෙස් ආයෝජන දිරිමත් කිරීම සහ පහසුකම් සැපයීම සඳහා ප්‍රතිපත්ති සැකසී නොමැති බවද මෙහිදී සඳහන්ව ඇත. ඉලක්කගත අයෝජන ප්‍රවර්ධනය සඳහා දැනටමත් ආයෝජන මණ්ඩලය පියවර ගණනාවක් ගෙන ඇත. එළඹෙන මාසය වන විට සම්පූර්ණයෙන්ම මාර්ගගත වෙබ් ද්වාරයක් (ඔන්ලයින් වෙබ් පෝර්ටල්) විවෘත කෙරෙණ අතර සියලුම ආයෝජන අනුමැතියන් එකම ස්ථානයකින් ලබා ගැනීමේ පහසුකම ලබා දෙනු ඇත

වරාය ආශ්‍රිත කලාප ඇති කිරීම අවශ්‍යතාවයද මෙහිදී මතු කර ඇත. එය මේ වනවිටත් හම්බන්තොර වරාය ආශ්‍රිතව සිදු කරමින් පවතී. කොළඹ වරාය ආශ්‍රිතවද මෙය ගොඩනැගෙමින් ඇත. මෙගාපොලිස් අමාත්‍යාංශය වාරය ආශ්‍රිත මෙම ස්ථාන උතුරු කොළඹ ප්‍රදේශයේ දැනටමත් හඳුනාගෙන ඇත.

ඔහුම වගකිව යුතු අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිරිකිරීමේ ව්‍යාපෘතිය ගැන විමසීමේදී ඔහුගේ මෙම ප්‍රකාශය කෙතරම් ගැටලු සහගතදැයි පැහැදිලි වේ. ඇස්තමේන්තුව මෙන් අට ගුණයක පිරිවැයක් දරා ඇති මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා අමතර බිලියන 100ක මුදලක් අවශ්‍ය වී ඇත. අපගේ ආරක්ෂක අංශවලට පහසුකම් සහිත මූලස්ථානයක අවශ්‍යතාව ඇති බව සත්‍යයකි. නමුත් සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ හැකි මුදල් කැප කරමින් අට ගුණයක් වැඩියෙන් මුදල් වැය කරමින් නොවේ.

රජයේ මුදල් නව කර්මාන්ත ආරම්භ කිරීමට යොදවනවා නම් ඒවා ලාභදායි විය යුතු බවත් ඒවා ලාභදායි ලෙස කළමණාකරනය කළ යුතු බවද ගෝඨාභය පැවසීම පුදුම සහගතය. මන්ද මිහින් ලංකා, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි විශාල වශයෙන් අලාභ ලැබූ ආයතන, පවතින රජයට කෙතරම් ගැටලු ඇති කර ඇතිවාදැයි ඔහු නොදන්නවා විය නොහැක.

මෙලෙස සලකන විට "වියත්මග" යැයි පවසන සමුළුවක් හරහා ගෝඨාභය කර ඇත්තේ පවතින රජයේ ව්‍යාපෘති එම වචනවලින්ම සහ සමාන තේරුම් ඇති වෙනත් වචනවලින්ම යළිත් ඉදිරිපත් කිරීම මිසක් අන් කිසිවක් නොවේ. ඊටත් වඩා පැවති රාජපක්ෂ පාලනය විසින් අර්බුධයට ඇද දැමූ ව්‍යාපෘති පිළිබඳව නැවත මතකයට නැංවීමටත් ඔහු උත්සහ ගෙන ඇති බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වන කරුණකි.

මාතෘකා