77  රැල්ල හදන්න ජේ.ආර්. දාපු සෙල්ලම්

 ඡායාරූපය:

77  රැල්ල හදන්න ජේ.ආර්. දාපු සෙල්ලම්

එතෙක් මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලද දැවැන්තම ජයග්‍රහණයක් වන්නේ එක්සත් ජාතික පක්ෂය 77 ලද ජයග්‍රහණයයි. මෙරට මැතිවරණ ඉතිහාසය දෙස විමසුම් හෙලන සියලු දෙනා 77 මැතිවරණය විශේෂකොට සලකන හේතු බොහොමයක් වෙයි. 70දී ආසන 17ක් පමණක් ලබාගෙන ලසසපයටත් වඩා පහළට වැටුණු එජාපය නැවත නැගිටියි කියා බොහෝ දෙනෙක් කල්පනා කළේ නැත. එහෙත්,දේශපාලනය මොනතරම් 'වෙනස් වන සුලුද' යන්න 77දී මොනවට පැහැදිලි විය. 70 ලැබූ පරාජයෙන් පසු, ජේ.ආර්- ඩඩ්ලි සමඟ එක්ව රටපුරා ගියේය. ඒ පක්ෂ සංවිධාන කටයුතු සඳහාය. ඒ අතර අසාධ්‍ය වූ ඩඩ්ලිගේ අභාවය පක්ෂයට බලවත් පාඩුවක් විය.

ඩඩ්ලි‍ගෙන් පස්සෙ

එහෙත් ඒ වන විටත් ජේ.ආර්. වෙනුවට ඇම්.ඩී.බණ්ඩා පෙරට ගැනීමේ ඕනෑකමක් සමහරුන්ට තිබිණ. ඩඩ්ලිගේ මළගමදා ජේ.ආර්. වෙනුවට සභාව ඇමතීමේ පළමු ඉඩ වෙන්කළේ බණ්ඩාටය.

එහෙත් ජේ.ආර්. තමන්ට ලද අවස්ථාවේදී ඩඩ්ලි වෙනුවෙන් කළ සංවේදීම ගුණ කථනය කළේය.

'සුබ රාත්‍රියක් වේවා ප්‍රිය කුමරුනි,දෙවියෝ අහසින් විත් ඔබට ආශිර්වාද ගීත ගායනා කෙරෙත්වා' කියමින් ජේ.ආර්., ඩඩ්ලිට සමු දෙද්දී ලක්ෂ සංඛ්‍යාත ජනතාව බෙහෙවින් සංවේදී වූහ.

ඉන් පසුව ජේ.ආර්. ක්‍රමානුකූලව පක්ෂයේ බලය ශක්තිමත් කරගත්තේය.

ඔහු 77 මැතිවරණයට මුහුණ දෙන්නේ 70 විය සපිරුණු වියපත් නායකයෙකු ලෙසින්ය. එහෙත් ඔහු ඕනෑම අභියෝගයකට සමත්කම් පාන 'සෙන්පතියන්' කිහිපදෙනෙක් හඳුනාගෙන සිටියේය. පක්ෂයෙන් ඉවත්වගොස් සිටි ප්‍රබලයෝ පක්ෂයට ඈඳා ගන්නට කටයුතු කළේය. 'පුරවැසි පෙරමුණ' හදාගෙන වෙනම ගමනක් යමින් සිටි 'ප්‍රේමදාස' තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස නැවත පක්ෂයට සම්බන්ධ කොට ගත්තේය. එය එතෙක් එක්සත් ජාතික පක්ෂය නොකළ සුවිශේෂී මැදිහත් වීමක් විය. පවුල, කුලය, ධනය මුල්කොටගෙන එතෙක් 'නායකයින්' ගොඩනැගූ රටාවක් එජාපයේ තිබුණ අතර ඊට එරෙහිව සාධනීය 'කැරැල්ල' ගැසුවේ ජේ.ආර්. ය. කුල ව්‍යුහය පිළිබඳව මනා අවබෝධයකින් ඔහු කටයුතු කළේය.

ඊටත් වඩා පක්ෂයට වෘත්තීය සමිතියක් බිහි කිරීමේ පුරෝගාමියා ජේ.ආර්. ය. ඩඩ්ලි පවා ඊට එකඟ වූයේ නැත. එහෙත් 77 ජයග්‍රහණයේ ගාමක බලය වූ ජාතික සේවක සංගමය සහ ජාතික වතු කම්කරු සංගමය බිහිකළේ ජේ.ආර්ය. ධනවාදී පක්ෂයකට 'වෘත්තීය සමිති' නොගැලපෙන බව එතෙක් සිටි නායකයෝ විශ්වාස කළහ.

'දැදිගම' අතුරු මැතිවරණය

ජේ.ආර්. පක්ෂ නායකයා වූ ගමන්ම මුහුණ දුන් මුල්ම මැතිවරණය 'දැදිගම' අතුරු මැතිවරණයයි. සමඟි පෙරමුණ බලවත්ම අවස්ථාවේ පැවැති ඒ මැතිවරණය ජේ. ආර්. ජයග්‍රහණයෙන් හමාර කළේය. ඉන් ඔබ්බට තිබූ අතුරු මැතිවරණ 4ම ජේ.ආර් එජාපයට දිනවා දුන්නේය.

ඔය අතර ජේ.ආර්. ආණ්ඩුවට එරෙහිව සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළේය. නායකයෙකු ලෙස ජේ. ආර්.ගේ දෘඪ අධිෂ්ඨානයේ තරම එහිදී ඔහු පෙන්වීය. මැතිනිගේ බලකොටුව වූ අත්තනගල්ලේදී ඔහු අපූරු සිදුවීමකට මුහුණ දුන්නේය. සත්‍යග්‍රහයට පෙරාතුව අත්තනගල්ල පිහිටි විහාරයකට වන්දනාව සඳහා ජේ.ආර් යමින් සිටියේය. හිටිගමන් විහාරයේ පියගැට පෙළදී කිසිවෙක් 'පිහියක්' ගෙන ජේ.ආර්ට අනින්නට පැන්නේය. ජේ.ආර්. බිඳකුදු නොසැලී 'දාමරිකයාට' සිනා සුණේය. ඒ එක්කම පිටට තට්ටුකොට

'මම යන්නේ බුදුන් වැඳලා භාවනා කරන්න. තමුන්නැහෙත් එන්න'

දාමරිකයා ජේ.ආර් සමඟ විහාරයට ගියේය.

'ඔබතුමා මේ සත්‍යග්‍රහ තිය තිය කාලේ නාස්ති කරන්නේ ඇයි. ඔබතුමා ළඟදීම අගමැති වෙනවනේ'

විහාරයෙන් පිටතට එන අතර දාමරිකයා ජේ.ආර්ට කීවේය.

සමහරු ජේ.ආර්ගේ උපක්‍රම 'තේරුම්' නොගත්හ. ජේ.ආර් කරගෙන ගිය සත්‍යග්‍රහ තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ජේ.ආර් ඊට විරුද්ධ නොවූ නිසා පාක්ෂිකයෝ ජේ.ආර් වෙතින් ඈත් වෙන්නට පටන් ගත්හ. සමහරු සේනානායක 'ලේ' තිබෙන 'රුක්මන් සේනානායක'ට පක්ෂය භාර දිය යුතුයැයි අරගල කළහ.

වීදි සටන්, ඔලුගෙඩි හුවමාරු ආදි ජනප්‍රිය සාධක හරහා 'සමඟි පෙරමුණ' පෙරලන්න එජාපයේ සමහරු වෑයම් කරද්දී ජේ.ආර් ඊටත් වඩා උපක්‍රමශීලී විය.

'ආණ්ඩුව ඇතුළෙන්ම ගිනි ගන්න දවස ළඟයි'

ජේ.ආර් හිතවතුන්ට කීවේය. කී ලෙසම සභාගයේ ගැටුම් පටන් ගත්තේය. මැතිනිය, දරුවන්, බෑනා, සේම සංධානගත පක්ෂද 'ගින්නට පිදුරු' දමමින් උන්හ.

77 ජයග්‍රහණය වෙනුවෙන් ජේ.ආර් 74 වෙනකොට සියල්ල සූදානම්කොට තිබුණේය. පක්ෂ බලමුලු සංවිධානය කොට තිබූ අතර ජයග්‍රාහී යාන්ත්‍රණය පෙරට ගෙනවිත් තිබිණ.

'මට උවමනා තුනෙන් දෙකේ බලයක් අභිබවා යන රජයක්' ජේ.ආර් කියා තිබිණ.

ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ප්‍රේමදාස ඔහු වේගයෙන් ඉදිරියට ගෙනාවේය. ඔහුගේ සෝපහාසයෙන් යුක්ත මුඛරිකම ජේ.ආර් මනාව උපයෝගීකොට ගත්තේය. ජේ.ආර්ගේ ගමන නොරිස්සූ සමහර ප්‍රබලයෝ 'පෙරලෙන නැවක්' බදු සමඟි පෙරමුණට' මුක්කු ගැසූහ. ෆිලික්ස් ඩයස්ලා ඒ මෙහෙයුම 'හිරිකිතයක් නැතිව' සිදු කළහ.

1975 වනවිට එජාපය සීරුවෙන් සිටියේය. 75 එනවිට මැතිනියගේ ආණ්ඩුව වෑයම් කළේ තවදුරටත් ආණ්ඩුවේ කාලය දික් කරගැනීමටය. 'දැන් මොනවද කරන්නේ?' හැමෝම කල්පනා කළේය. ජේ ආර් උපායශීලී තුරුම්පුව පාවිච්චි කළේය. 'සියලු දෙනා ඉල්ලා අස් වෙමු. එවිට අතුරු මැතිවරණ තියන්න වෙනවා.'

ජේ.ආර් සිය නියෝජිතයින්ට කීය. අන්තිමට තීන්දු කළේ ජේ.ආර් තනිවම ඒ අභියෝගය භාර ගන්නටය. ඔහුගේ අස්වීමෙන් පුරප්පාඩුව සඳහා අතුරු මැතිවරණය පැවැතියේය. ප්‍රතිවාදියා ජේ.ආර්.පී සූරියප්පෙරුමය. ප්‍රතිපලය අනුව ජේ.ආර් දිනුවේ වැඩි ඡන්ද 26000කින්ය.

එජාපය සමාජවාදී පක්ෂයක්?

75 මැයි 1වෙනිදා එජාපය පැවැත්වූ 'මැයි රැලිය'එජාප ඉතිහාසයේ ආශ්වාදනීයම සහ විප්ලවීයම මැයි රැලියක් විය. 'සුළං හමන අත' මනාව වටහාගෙන සිටි ජේ.ආර් රුවල ගැටගසන ක්‍රමය ගැන අවබෝධයෙන් සිටියේය.

'මම අද ප්‍රකාශ කරනවා තමුන්නාන්සේලාට. එක්සත් ජාතික පක්ෂය දැන් සමාජවාදී පක්ෂයක්. අපිට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක්' එතෙක් මෙතෙක් එජාප ඉතිහාසයේ මේ ප්‍රකාශය සුවිශේෂ එකකි. රුක්මන් සේනානායක ඒ වනවිට වෙනම අරගලයක යෙදී සිටියේය. ඒ පක්ෂයේ බලය සියතට ගැනීමය.

76 අප්‍රිල් 30 පක්ෂ විධායක සභාවේ අනුමැතියෙන් ජේ ආර් රුක්මන්ව නෙරපා හැරියේය. පක්ෂයේ උරුමකරුවන්ගේ අවසන් පුරුක නෙරපීම ගැන කිකලකවත් පශ්චත්තාප නොවූ ජේ.ආර්. 'දැන් මහ පිම්ම පනින්න ලෑස්ති වෙන්න'යි එවක පක්ෂයට අලුතින් එක් වූ ඔක්ස්ෆර්ඩ්, හාවර්ඩ් බුද්ධිමතෙකු වූ ලලිත් ඇතුලත්මුදලි සමඟය.

සිරිමාවෝ සහ ඉන්දිරා

77 වනවිටත් මැතිනිය සිහිනයක සිටියාය. ඒ 'මැතිවරණය නැවත කල් දැමීම'ගැනය.

ඊට සමාන සිදුවීම් අල්ලපු රටේ ඉංදියාවේද සිදුවෙමින් තිබිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මෙරට අගමැති වන විට ඉන්දියාව භාරගන්නේ ඉන්දිරාය. අනුර බණ්ඩාරනායක ඒ ආණ්ඩුවේ තිරය යට චරිතයක් වන විට ඉංදියාවේ රජීව් ගාන්ධි චරිතයක් විය. ආණ්ඩු දෙකම මැතිවරණ කල් දමා තිබිණ. 75 දී ඉන්දිරා ඉන්දියාවේ හදිසි නීතිය දැම්මාය.75 සිරිමාවෝ මෙරට හදිසි නීතිය මෙන් විරෝධතා, සත්‍යග්‍රහ තහනම් කළාය.

සියල්ල මැද 77 මැතිවරණය නොපවත්වා බැරි තැනට 'මැතිනිය'පත්ව සිටියාය. 77 තිබුණේ අධික අවුරුද්දකි. පෙබරවාරි 29 ජේ ආර් එජාප අපේක්ෂකයින් සියලු දෙනා කොළඹට කැඳවීය. මැතිවරණ මෙහෙයුම සඳහා 10 දෙනෙකුගේ කමිටුවක් ඔහුට අවැසි විය. පැමිණි අපේක්ෂකයින් සියලු දෙනාට ජේ.ආර්. පත්‍රිකාව බැගින් ලබා දුන්නේය.

'මැතිවරණ මෙහෙයුම් කමිටුව සඳහා සුදුසු 10 ඔබ කැමති ලෙස පිළිවෙලින් ලියා එවන්න. මිනිත්තු තුනක් තුළ එය සිදු කරන්න. 'උපදෙස එය විය. අපේක්ෂකයෝ අමන්දානන්දයෙන් සිය ප්‍රියතමයින් 10 න් ලියා යැවූහ.

'දැවැන්ත මැතිවරණ' ජය උදෙසා ජේ.ආර්. සියල්ලන්ගේම සහය ගත්තේ එහෙමය. මැතිවරණය මෙහෙයවීමේ බලය ඒ තෝරාගන්නා 10 දෙනාට පිළිවෙලින් ලැබෙන බලතල අනුව පැවරිණ.

අවසානයේදී තේරුණු 'මෙහෙයුම් කමිටුව'මෙසේය.

ආර්.ප්‍රේමදාස ගාමිණි දිසානායක

ඒ.සී.එස්. හමීඩ් ඩබ්.දේවනායගම්

ගාමිණී ජයසූරිය රොනී ද මෙල්

ඊ.ඇල්. සේනානායක ලලිත් අඇතුලත්මුදලි

සිරිල් මැතිව් ඇල් බී හුරුල්ලේ

77 'මහා ජයග්‍රහණයේ'මෙහෙයුම් කමිටුව එහෙම විය.

71වියේ සිටි ජේ.ආර්. නාඹර තරුණයෙකු මෙන් ක්‍රියාකාරීවත්, තවුසෙකු මෙන් තැන්පත්වත්, සෙන්පතියෙකු සේ නිර්භීතවත් රට පුරා ගියේය.

ජේ.ආර්ගේ මැතිවරණ වේදිකාව අපූරු සංකලනයකින් යුක්ත විය. ආර්ථික පුනරුදය ගැන ඔහු කතා කළේය. සදාචාරවත් රටක් ගැන ඔහු කතා කළේය. ආර්.ප්‍රේමදාස ජනතාව ඇඳ බැඳ තබාගනිමින් උපහාසය මුසු වූ විවේචන එල්ල කරමින් ශ්‍රීලනිප කඳවුරට පහර දුන්නේය. ගාමිණී දිසානායක ආකර්ශනීය ලෙස තර්කානුකූලව ජනතාව සමීපකොට ගත්තේය. උන්මාදනීය ජන ගඟක් සෑම තැනම එජාපය වෙනුවෙන් 'රැළිගසා' තිබිණ.

ජූලි 21 මැතිවරණය පැවැත්විණ. 71 වියැති නායකයෙක් ඉතිහාසයේ යෝධ ජයග්‍රහණය අත්පත් කරදෙන මැතිවරණය එය බව කිසිවෙක් සිතන්නට නැත. මැදියම් රැයේදීත් ප්‍රතිපල ආවේ නැත. එහෙත් ගණං කරන මධ්‍යස්ථානවල 'රහස්' ජේ ආර් දැනගෙන සිටියේය.

'හෙට ගොඩක් වැඩ තියෙනවා, අද ටිකක් විවේකය ඕන'

එහෙම කී ජේ.ආර්. නිදාගන්නට ගියේය.

ජූලි 22 පාන්දර පළමු ප්‍රතිඵලය නිකුත් විය.

මුල්ම ප්‍රතිපලය සමන්තුරේය. එය, එජාපය ඉහළින් දිනා තිබිණ. එතැන් සිට නිකුත් වූ ප්‍රථම ප්‍රතිපල 10ම එජාපය දිනා තිබිණ. දිගින් දිගටම ප්‍රතිපල වලින් ඉදිරියෙන් සිටියේ එජාපයයි. ශ්‍රීලනිපය යාන්තමින් ආසන 8ක් ලද අතර ඉනුත් 3ක් බහු ආසන වලින්ය. උතුරේ බලය ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ලද අතර, එය පසෙකින් තැබූ විට එජාපය ලද ප්‍රතිපලයෙහි සාමාන්‍ය අගය සියයට 58කට කිට්ටු විය.

වම නැත්තටම නැති වූ හැටි

1977 මැතිවරණය වනවිට පිළිගත් දේශපාලන පක්‌ෂ ලෙස තහවුරු වී තිබුණේ පක්‌ෂ 07කි. අපේක්‌ෂකයින් 756 දෙනෙක්‌ නාමයෝජනා ඉදිරිපත් කළ අතර 461 දෙනෙක්‌ විවිධ දේශපාලන පක්‌ෂ වලිනුත් 295 දෙනෙක්‌ ස්‌වාධීන අපේක්‌ෂකයින් ලෙසත් ඉදිරිපත් වූහ. එහෙත් පැවැති සියලු මැතිවරණ වලට වඩා ඉහළ ප්‍රතිශතයක්‌ 1977 මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කර තිබූ අතර සංඛ්‍යාත්මකව එය 87.7% ක තරම් ඉහළ අගයක්‌ ගත්තේය.

ප්‍රතිඵල අනුව සියලුම වාමාංශික හා ප්‍රගතිශීලි පක්‌ෂවලට එකදු ආසනයක්‌ හෝ ජයගත නොහැකි විය.

1970 මැතිවරණයේදී සම්ප්‍රදායික වාමාංශික පක්‌ෂ දේශපාලන ඉතිහාසයේ ස්‌වර්ණමය යුගය සටහන් කළත් 77දී එහි ඛේදනීයම යුගය සටහන් කරගත්හ.

ජේ.ආර්. අමාත්‍ය මණ්ඩලය හැදූ හැටි

මැතිවරණ සටනේදී කැපවූ පිරිස ගැන ජේ.ආර්. හොඳ නිරීක්ෂණයක සිටියේය. කාටවත් ගැති නොවී 'තනතුරු' පිරිනමන්නට ජේ.ආර්ට පහසු වූයේ තනි පක්ෂයක් ලෙස බලය සතු වූ නිසාය.

හවස 4 වන විට 'තේ පැන් සංග්‍රහයකට ජනපති මන්දිරයට එන ලෙස තෝරාගත් පිරිසකට ආරාධනා ලැබිණ. කිසිවෙක් සිදුවන්නට යන දේ නොදැන සිටියහ. පැමිණි සියලු දෙනාට කිසියම් කවරයක් ලැබිණ. එහි වූයේ ඔවුන්ට ලැබුණු අමාත්‍ය තනතුරයි. ජේ ආර් ජයවර්ධන චරිතාපදානයේ දැක්වෙන්නේ 'ලැබෙන අමාත්‍යාංශය කුමක්දැයි' දැනගෙන සිටියේ ප්‍රේමදාස පමණක් බවය. හමීඩ් සහ ඊ.ඇල්. සේනානායකට පමණත් ඔවුන් ඉල්ලා සිටි අමාත්‍යාංශ ලැබී තිබිණ.

ජේ.ආර්ගේ කැබිනට් එකේ අලුත් මුහුණු

70 මැතිවරණයෙන් එජාපය සේදී ගිය විටත් පාර්ලිමේන්තුව නියෝජනය කළ අපූරු තරුණ නායකයෙක් ජේ.ආර්ට සිටියේය. ඔහු ගාමිණී දිසානායකය. තම කැබිනට්ටුවේ 'සිහින සැබෑ කරන' අමාත්‍යාංශයක් ඔහුට දෙන්නට ජේ.ආර්. කටයුතු කළේය. ඒ ඉඩම් සහ මහවැලි අමාත්‍යාංශයයි. රට සංවර්ධනය කරන ගමනේ තවත් පෙරටුගාමියෙක් ලෙස ලලිත් ඇතුලත්මුදලිද අමාත්‍ය මණ්ඩලයට පත්විය. රොනී ද මෙල්, නිශ්ශංක විජේරත්න දෙදෙනාටද කැබිනට් මණ්ඩලය විවර විය. 1977 ජූලි 28 ජේ ආර් මහනුවරදී දිවුරුම් දුන්නේය.

එතෙක් මෙතෙක් දැවැන්තම බලයක් හිමිවූ ආණ්ඩුව හැදුවේ ජේ.ආර්. ජයවර්ධනය. අනෙක් අතට එහෙම ආණ්ඩුවක් හැදූ වියපත්ම නායකයා ඔහු වීමය.

[රංජිත් කුමාර ]

මාතෘකා