හයිජැක් | ඇස පාදන රැස


හයිජැක්

 ඡායාරූපය:

හයිජැක්

1920 කාලයේ බණ්ඩාරනායක ස්වකීය දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ පෙඩරල් දේශපාලන ව්‍යුහය අනුදත් පුද්ගලයෙකු ලෙසටය. ඔහු දේශපාලනික නායකත්වය දුන් ප්‍රගතිශීලී ජාතික පක්ෂය හඬ නැගුවේ පෙඩරල් වාදයයි. 1927වසරේදී උඩරැටියන් ගෙනා 'ඒකක තුනේ පෙඩරල් රාජ්‍ය' ක්‍රමය ඉක්මවා යන තරමේ පෙඩරල්වාදියෙකු ලෙස ඔහු මුල් යුගය නියෝජනය කළේය. හැබැයි නවසිය තිස් ගනං වනවිට ඔහු ඉන් පස්සට ගියේය. 36-47කාලයේ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඔහු 'පළාත් සභා ක්‍රමයක්' ගැන කතා කළේය. 1940 වන විට ඔහු 'සිංහල මහ සභාව'ගොඩ නගන්නේත්, එහිම හිඳිමින්, ඊට කිසිසේත් අනුගත නොවන 'ජාතික සංගමයේ' හිඳින්නේත් කොහොමද කියන එක ප්‍රහේලිකාවකි.

බණ්ඩාරනායක 55 වෙනතුරු උද්ඝෝෂණය කළේ ඉංග්‍රීසියෙන් සිංහලට සහ දෙමළට මාරු විය යුතු යැයි කියාය. එහෙත් 1955 ඔහු සටන් පාඨය වෙනස් කළේ 'සිංහල පමණයි' කියාය. මේ සටන් පාඨය රැගත් ජාතිවාදීන් මුලින්ම ආවේ ඩඩ්ලි හමු වෙන්නටය. හැබැයි ඩඩ්ලි ඊට එකඟ වූයේ නැත.

එහෙත් බණ්ඩාරනායක ඊට එකඟ විය. 56 මැතිවරණයට රැල්ල හැදුණේ සිංහල පමණයි මුල්කරගෙනය.

සී.ඩබ්.ඩබ්. කන්නංගර යනු දේශපාලකයෙකි. නමුත් ඒ ශ්‍රී ලංකාව තුළ අදත් ගරු බුහුමන් මිස නින්දා නොලබන අතලොස්සටත් මඳක් අඩු දේශපාලකයෙන්ගෙන් කෙනෙකි. කන්නංගර මහතා 1952 දී තම ආසනය පරාද වූයේ රබර් රජ්ජුරුවන්ගේ පුතා හෙවත් විල්මට් ඒ පෙරේරාගේ ජයග්‍රහණය නිසාය. විල්මට් ඒ පෙරේරා යනු ප්‍රබල දේශපාලකයෙකි. සිංහල බෞද්ධ පදනම සහ බෞද්ධ සංස්කෘතික දායාද රැක ගැනීමෙහිලා පටු පරමාර්ථ වලින් තොරව වැඩ කළ සිංහල බෞද්ධ නායකයෙකි. 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පොරොන්දුවත් ඉස් මුදුනින් තබා මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක යනු විල්මට් පෙරේරාගේ මිතුරෙකි. ශ්‍රීලනිප සගයෙකි.1956 දී අගලවත්ත ආසනය වෙනුවෙන් ඡන්දය ඉල්ලීමට විල්මට් ඒ පෙරේරාට බණ්ඩාරනායක ආරාධනා කළේය. විල්මට් ඒ පෙරේරාගේ පිළිතුර මෙබදු විය.

'මගේ හැම සතයක්ම වියදම් කළේ, කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට. ඒත් ඒකට මරු පහර එල්ලවෙන්නේ ඔබගේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියෙන්. මේකෙන් වෙන්නේ බෙදිලා ඉන්න දෙමළ ජනතාව සිංහලයට විරුද්ධ වීම සදහා ඒකරාශී වීම. අනාගතයේ වෙනම රටක් ඉල්ලලා දෙමළ ජාතිකයන් සටන් කළොත් ඒ වන්දිය ගෙවන්න වෙන්නේ ඔබට. ඒ වගේම සිංහල ජාතියේ විනාශයට මේ පනත රුකුලක් වෙනවා. ඒ නිසා මට මේ මැතිවරණයට තරග කරන්න බෑ. ඔබ මගේ මිතුරා නිසා ඔබට විරුද්ධවත් තරග නොකර ඉන්නම්'

එහෙම තුන්කල් දුටු මිනිස්සුත් ඔය අතර සිටියහ.

අන්තිමට එජාපයත් 'සිංහල පමණයි' කියා 56 ඡන්දය කට උඩ තියාගෙන 'අමුතු කරණමක්' ගැසුවේය. ජෝන් කොතලාවල මේ වැඩේ 'බරපතළකම' දැන සිටියේය.

1956 විප්ලවය සිදුකොට වසර කිහිපයක් යන්නට පෙර බණ්ඩාරනායකව ඝාතනය විය. ඔහුගේ දේහයට අවසන් ගෞරව කරන්නට ආ කොතලාවල මෙහෙම කීවේය.

'අපි බැඳලා දාපු බල්ලෝ බණ්ඩා ලෙහලා දැම්මා. අන්තිමට උන් බණ්ඩව හැපුවා.'

කොතලාවල එහෙම කීවේය.

ජාතිවාදි ලේබල් මතින් දේශපාලනය කිරීමේ 'නපුරු ආදීනව'මෙරට ඉතිහාසය මනාකොට අත්විඳ තිබේ. මීට තෙවසරකට පෙර මෙරට තිබුණේ ජාතිවාදී වියරුවට පණ පෙවූ රෙජිමයකි. එකී ඉතිහාසයේ සරදම් අදත් වෙස්මුහුණු පැළඳගෙන විටින් විට මතුවෙමින් තිබේ.

මැතිවරණ හෝ දේශපාලන අරමුණු සපල කර ගන්නට, කලින් කලට බිහිවන ව්‍යාපෘති අතර තවත් එකක් ලෙස වියත්මග හඳුනාගත හැක.

එහෙත් එය උදාරම් බසින් පුරාජේරු කියන තරමේ 'මාර වැඩක්' නොවේ. හරියට බැලුවොත් 'අකුරු කිහිපයක් එහෙ මෙහෙ කොට' අලුත් කවරයක් දමා දී තිබෙන්නේ වෙනත් පිරිසකගේ 'ව්‍යාපෘතියකි. ඒ ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුවේ 'ආර්ථික වැඩපිළිවෙලයි. එය හරියටම එළි දැක්වූයේ 2017 සැප්තැම්බර් 4 දාය.

'බුද්ධියෙන් බලගැන්වූ ශ්‍රීලංකාවක් 2030 යන්න 'වියත් මඟේ' තේමාවය. එය හරි අපූරු වචන හරඹයකි.කොහොමත් 'අරුමෝසම් වචන' ඔවුන් සතුව තිබේ. ඒ වචනවල 'සැරසිල්ල' ඔවුහූ දශකයක් ඉක්මවූ බල ව්‍යාපෘතිය තරකර ගැනීම උදෙසා මනාව පාවිච්චි කළහ.

'බුද්ධියෙන් හසුරවන ආර්ථිකය, බුද්ධිමය තාක්ෂණයෙන් නිපුණ සමාජයක්,දක්ෂ උගතුන්ගෙන් සමන්විත ප්‍රතිපත්ති සහිත රටක් ගොඩනැගීමට කුලය, ආගම, ජාතිය නොසලකා එක්වෙන්න

වියත් මඟ

ලෙස ඔවුන් කියයි. වචන එහෙට මෙහෙට කොට දැමූ 'කොපියක්' ලෙස මෙය හඳුන්වන්නට සිදුවෙයි.

ඒ ඇයි?

ඒ කතාවම මීට වසර දෙකකට පෙර 'යහපාලන' ආණ්ඩුව 2025දක්වා ගෙනා ව්‍යාපෘතිය හැඳින්වූයේ V2025 ලෙසය. 'විස්සයි විසිපහේ පොහොසත් රටක්' ලෙස එය නම්කොට තිබිණි.

එහි හැඳින්වීමේ මෙහෙම සටහනක් එයි.

'දැනුම පදනම් කරගත් ඉහළ තරඟකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ඇත.

V2025

අපි ජාතික අපනයන ක්‍රමෝපායට අනුව නව වෙළඳ ප්‍රතිපත්තියක් සැලසුම් කර ඇත්තෙමු

V2025

“ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක බලාපොරොත්තුව”

වියත් මඟ

දේශීය ව්‍යාපාර සහ සේවකයින්ට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා විදේශ වෙළඳ ගැලපීම් වැඩසටහනක් ගොඩනගමු.

V2025

2030 ඩිජිටල් ආර්ථිකයක් සහ සුහුරු සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි

වියත් මඟ

අපි තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය මත පදනම් වූ අලෙවිකරණ මාධ්‍යයන් ශක්තිමත්කරන්නෙමු

V2025

මේ විදිහට බැලූ විට 'වියත් මඟ' අකුරු එහෙට මෙහෙට කිරීමෙන් නිපදවෙන 'වචන' වල වෙනස හැරපියා අන්තර්ගතය ගෙඩි පිටින් '2025 පොහොසත් රටක්' ව්‍යාපෘතියේ කොපියක්ය.

මේක සත්‍යයද නැද්ද කියා බලන්නට නම්, කළ යුත්තේ ව්‍යාපෘති දෙක එක ළඟ තියාගෙන කියවන එකය.

ආණ්ඩුව මේ වැඩසටහන ඉලක්ක ජයගන්නට අපේක්ෂිත කාලය 2025 ය. 'වියත්මග' අපේක්ෂා කරන කාලය 2030ය.

වෙනස ඒක විතරය.

දශකයක් ඉක්මවා මෙරට ආර්ථිකය, සමාජය සේම මිනිසුන්ගේ හුස්ම ගැනීම පවා පාලනය කළ ඉකුත් ආණ්ඩුවේ පාලකයෝ මුල් පේලිවල අසුන්ගෙන සිටියදී, එවක එහි උපදේශකයින් ලෙස සිටි පිරිස් දෙසුම් පවත්වති.

ඒවා බරසාරය. පරමාදර්ශීය. ආහ්ලාදයෙන් යුක්තය. නමුත් 'වියත් මග'ගැන එහිම සම්පත්දායකයෙකු වූ දයාන් ජයතිලක ඩේලි ටෙලිග්‍රාෆ් වෙත මෙහෙම ලියා තිබේ.

“ආරක්ෂාව, මානව හිමිකම් සහ ඒවාට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් ඔහු දරන, කවුරුත් දන්නා ආකල්ප අනුව බලන විට, උතුරු සහ නැගෙනහිර සම්බන්ධයෙන් ඔහු එදිරිවාදී ස්ථාවරයන් ගනු ඇත. දකුණේ විසම්මුතිය ඔහු නොඉවසනු ඇත. උතුරට ලැබෙනු ඇත්තේ ගාසා තීරයට (ඊශ්‍රායලයෙන්) ලැබුණු සැලකිල්ලයි. වැලිවේරිය න්‍යාය දකුණේ බහුලව දක්නට ලැබෙනු ඇත. තවත් ‘රතුපස්වල’ දෙක තුනක් සහ ඊටත් වැඩියෙන් ලැබෙනු ඇත. දැඩි මතධාරී කඳවුර තුළට, විදේශ කටයුතු සම්බන්ධයෙන් නව-හුදෙකලාවාදයක් රිංගන අතර, ඉස්ලාමාබාද්-බේජිං අක්ෂය වඩාත් සවිමත්ව ඊශ්‍රායලය කෙරෙහි වැඩි පරායත්ත වීමක් දැකිය හැකි වනු ඇත. ආණ්ඩුව මෙහෙයවන අභ්‍යන්තර කල්ලිය හිස ඔසවනු ඇත. පශ්චාත්-යුද්ධ ශ්‍රී ලංකාව, බළකොටු රාජ්‍යයක් බවට පරිවර්තනය කෙරෙනු ඇත. සමාජය, ආර්ථිකය සහ රාජ්‍යය තුළට රටේ ආරක්ෂක අංශ කාවැදීමෙන් ඇති කෙරෙන බලපෑම, ප්‍රජාතන්ත්‍රවාදය පැමිණීමට කලින් ලතින් ඇමරිකාවේ පැවති, තුර්කියේ සහ අග්නිදිග ආසියාවේ පැවති ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍යය මොඩලය දෙසට වන මහා පිම්මක් සඳහා තල්ලුවක් දෙනු ඇත.”

ගෝඨාභය එතොත් වෙන්නේ කුමක්ද කියා ඔහු එහෙම අනතුරක් අඟවා තිබේ.'ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් රටක් පතන 'යහපාලන' ආණ්ඩුවේත් 'ඒකාධිපති වියරු'රටක් පතන ගෝඨලාගෙත් වෙනස වටහා ගැනීම මේ මොහොතේ වටින්නේය.

ස්විස් ජාතික මනෝ විද්‍යාඥ කාල් යුං මෙහෙම කියා තිබේ.

“ඒකාධිපතියන් යනු ගෝත්‍රික නායකයන්ය. ගෝත්‍රයකට තමන්ගේම වන පුද්ගල නායකයෙක් සිටී. මේ නායකයා සැරිසරන්නේ, ඔහුගේ විශේෂිත වූ අනුගාමිකයන් සමඟයි. එය රදළ ආණ්ඩුවකි. එවිට, එතැනින් ‘රාජ්‍යය’ බිහිවෙයි. එම රාජ්‍යය වනාහි භූතයෙකි. එය, පුද්ගල නායකයෙකුගේ කැඩපත් පිළිබිඹුවකි. මේ භූත රාජ්‍යය, තමන්ගේම කතිප්‍යාධිකාරය නිර්මාණය කර ගනී. රාජ්‍යය ද, පල්ලිය මෙන්, ජනතා උද්‍යෝගය තමන් කෙරෙහි ඉල්ලා සිටී. ආත්ම-පරිත්‍යාගය සහ ආදරය තමන් කෙරෙහි ඉල්ලා සිටී. ‘දෙවියන් පිළිබඳ බිය’ ආගම තුළ කේන්ද්‍රස්ථානයක් ගන්නේ කෙසේ ද, ඒ ආකාරයෙන්ම, ඒකාධිපතියා ද රටට අවශ්‍ය කරන බිය සැපයීමට වගබලා ගනී.”

අනුන්ගේ ව්‍යාපෘති තමන්ගේ කර ගැනීමත් ඒවා හයිජැක් කිරීමත් සමහරුන්ගේ හැටිය. එහෙත් අනුන්ගේ පා සටහන් මත ඇවිදින්නාට තමනගේ පා සටහන් පෙනෙන්නේ නැත.

[රංජිත් කුමාර ]

මාතෘකා