රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය​ නායකයා

 ඡායාරූපය:

රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය​ නායකයා

දේශපාලනය පිළිබඳ උනන්දුවක් තිබුණු තරුණයකු වශයෙන් මා ආදර්ශයට ගත් පුද්ගලයෝ කිහිප දෙනෙක්ම​ වූහ. මේ පුද්ගලයින් සුවි‍ශේෂී වූ ලක්ෂණවලින් යුක්ත වූ හෙයින් එසේ මගේ ගෞරවයට පත් විය​. කෙසේ වෙතත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඔවුන් අතර නොවුණි.
ප්‍රේමදාස ප්‍රතිපත්ති සහ ඔහුගේ පාලන ක්‍රමවේද පිළිබඳ මගේ අදහස් හේතුවෙන්, තිස්වසරක් මුළුල්ලේ ඔහුගේ මාධ්‍ය ලේකම් වූ මගේ බාප්පා එවන්ස් කුරේ සහ මා අතර නිරන්තර මත ගැටුම් ඇති විය​. එවන්ස්ගේ දැඩි අප්‍රසාදයට හේතු වන පරිද්දෙන් ප්‍රේමදාසගේ පාලන සමය තුළ ඔහුගේ ප්‍රතිපත්ති මගේ නිර්දය විවේචනයට බඳුන් විය​. ජනාධිපති ප්‍රේමදාසගේ දඩබ්බර සහ ජනප්‍රියවාදී නායකත්ව ශෛලිය සමඟ මා සැසඳූයේ වඩා බහුශ්‍රැත සහ විචක්ෂණ ලක්ෂණ පෙන්නුම් කළ ලලිත් ඇතුලත්මුදලිගේ ක්‍රියාපිළිවෙළය​.
මා හා තර්ක විතර්කයෙන් තවත් ඵලක් නොවී ඉවසිය නොහැකි තැන ඔහු මා හට යමක් පැවසුවේය. “මතු දවසක​, ඔහු මෙන් නායකයින් අපට නැති කාලයකදී ඔබ ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගතිලක්ෂණ සහ කැපවීම අගය කරාවි. ඔබ තවම තරුණයෙක්. ඔබට ප්‍රමාණවත් තරම් අත්දැකීම් නැහැ. ඔහුගේ නායකත්වයේ අගය ඔබට නොවැටහෙන්නේ එනිසයි.” මගේ බාප්පා වැරදි බව කාලයා විසින් ඔප්පු කරනු ඇතැයි මම සිතුවෙමි. නමුත් සෑම උදෑසනකම හිරු නගින්නේ යම් සේද​, ඔහුගේ ප්‍රකාශයද එතරම්ම සත්‍යයක් බව දැන් මට වැටහේ.
රණසිංහ ප්‍රේමදාස ඝාතනයට අදට වසර 25 ක් සපිරේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඝාතනයට ලක් වූ එකම විධායක ජනාධිපතිවරයා ඔහුය. සත්‍ය වශයෙන්ම​ LTTE සංවිධානයට ආයුධ සැපයීම ඔහු විසින් සිදුකරගත් බලවත් වරදක් වූ හෙයින්, ඇතැමුන් ඔහුගේ ඝාතනය පිළිබඳව ඔහුටම දොස් පවරනු දිස් වේ. ඔහුගේ ප්‍රතිවාදීන් වූයේ LTTE සංවිධානය පමණක් නොවේ. ලක් ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් එකම ජනාධිපතිවරයා ඔහුය​. එයින් ඔහු ජය ගත්තේ ඉන් පෙර නොවිරූ දේශපාලන සහ ව්‍යවස්ථාමය උපක්‍රමයන් භාවිත කරමිනි. අනෙක් අතට​ ජනාධිපති ධුරයට ඡන්දයෙන් පත් වූ අවසන් එක්සත් ජාතික පාක්ෂිකයාද වන්නේ ප්‍රේමදාස මහතාය​. ඔහුගෙන් පසුව පත් වූ ඩී.බී. විජේතුංග එම ධුරයට තෝරාගන්නා ලද්දේ ප්‍රේමදාස ඝාතනයෙන් පසුවය​.
ප්‍රේමදාස ඝාතනයෙන් විසිපස් වසරකට පසු ඔහු පිළිබඳ සිතන විට​ එවන්ස් කුරේගේ වදන් මා තුළ දෝංකාර දෙයි. මන්ද​ ඔහුගෙන් පසු කාලයේ පැමිණි නායකයන් පිළිබඳව යම් අවබෝධයක් අපට ඇති බැවිනි. 
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජනාධිපතිවරුන් අතරින් ජනාධිපති ප්‍රේමදාස විශේෂිත පුද්ගලයකු වීමට හේතුවක් වන්නේ ඔහු ලබාගත් සියල්ල මහත් වූ උත්සාහයෙන් ළඟා කරගත් දේ වීම නිසාය. ඔහු දේශපාලන පරපුරකින් පැවත ආවේ නැත. උසස් පන්තියේ අධ්‍යාපනයක් ලැබුවේද නැත. ඔහු ජීවත් වූ සමයේදී බොහෝ දෙනා ඔහුගේ මෙම සමාජ පසුබිම විවේචනය කළේ පසුගාමී අදහස්ද ඈඳා ගනිමිනි. ප්‍රේමදාස මහතා සිය නායකත්වය සඳහා පන්නරය ලද්දේ මෙවන් අභියෝග සහ බාධක මැදින් ගමන් කරමිනි.
ඇඟලුම් ක්ෂේත්‍රය රටේ දියුණුවට බලපෑ හැකි අන්දම දුටු ඔහු එම ක්ෂේත්‍රය දියුණු කිරීමට රැඩිකල් පියවර ගත් අතර එම දියුණුවේ වාසිය, ඒ සඳහා සිය දහඩිය මහන්සිය සහ කුසලතාවයෙන් දායක වූ, ගම් දනව්වල වසන දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව කරාද ගලා යන ලෙසට කටයුතු සැලසීය. වර්තමානයේද අප රටෙහි දුප්පත්කම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානම රාජ්‍ය ව්‍යාපෘතිය වන ‘සමෘද්ධි’ ව්‍යාපාරයට මූල බීජ සැපයූ ජයසවිය ව්‍යාපාරයේ මුල් නිර්මාණකරුවා වූයේද ප්‍රේමදාස මහතාය​.
ජනාධිපති ප්‍රේමදාසගේ කාර්යසාධනයන් පිළිබඳ මට වඩා දැනුවත් වූ බොහෝ දෙනා සිටිති. නමුත් ඔහු ළඟින්ම ඇසුරු කළ එවන්ස් කුරේ මා හා බෙදාගත් කරුණු කාරණා අනුව​ ප්‍රේමදාස මහතා එතරම් විශාල කර්තව්‍යයන් ප්‍රමාණයක් කෙටි කාලයකදී ඉටු කළ අන්දම පිළිබඳ මනා අදහසක් මට ලැබිණ​.
ජනාධිපති ප්‍රේමදාසට දක්ෂයින් හඳුනාගැනීමේ ඉවක් තිබුණි. ඔහු වටේ සිටියේ එකල වූ දක්ෂතම පරිපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් ය. ආර්. පාස්කරලිංගම්, බ්‍රැඩ්මන් වීරකෝන්, කේ.එච්.ජේ. විජේදාස​, එවන්ස් කුරේ සහ සුසිල් සිරිවර්ධන වැනි දක්ෂයින් ඔහු තමා වෙත ළං කරගත්තේය​. මොවුහු සිය රාජකාරියට කෙතෙක් කැප වීමෙන් කටයුතු කළේද යත්, පිටතින් බලා සිටින්නකු ඔවුන් දකින්නට ඇත්තේ ප්‍රේමදාසගේ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගැනීමට විසිහතර පැයම කැප වී කටයුතු කළ පිරිසක් ලෙසය​.
රණසිංහ ප්‍රේමදාස මහතා මුල් තැන දුන්නේ විනයට සහ කැපවීමෙන් රාජකාරියෙහි යෙදීමටය. ඔහු පාන්දර 3.30න් පසු පිබිදුණේ කලාතුරකිනි. අධ්‍යාපනික සුදුසුකම්වලින් ඔහුට තිබුණු මදිපාඩුව ඔහු පියවා ගත්තේ කාර්යශූරත්වයෙනි. විනයානුකූලව රාජකාරියෙහි යෙදීමේදී කැපකිරීම් කරන්නට වන බව දත් හෙතෙම ඒ පිළිබඳ අධෛර්ය නොවී දිගටම කටයුතු කළේ පුද්ගලික ලාභය තකා නොව, තම කාර්යය සාධනය පිළිබඳ උරුමයක් ඉතිරි කිරීමටය​. විවේචනයන්ටද ඔහු පිළිතුරු දුන්නේ වඩා කාර්යශූරව වැඩ කිරීමෙනි.
තමා සමීපයේ සිටින්නන් වෙත ඔහු දැක්වූ පක්ෂපාතීත්වය පූර්ණ එකක් විය​. නමුත් එය ඔවුන්ගේ කැපවීම මත රඳා පැවතිණ​. පාන්දර 3.30 සිට 4.30 දක්වා කාලය තුළ සිය උපදේශකයින්ට සහ අනෙකුත් නිලධාරීන්ට ඔහුගෙන් ලැබෙන දුරකථන පණිවිඩ ඊට කදිම සාක්ෂියක් වූයේය.​. සෑම දිනකම තම උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔහුට දැනගැනීමට අවශ්‍ය වූ අතර කැපවීමෙන් කටයුතු නොකරන නිලධාරීන්ට සහ ඇමතිවරුන්ට ඔහුගේ උදහසට ලක් වීමට සිදු විය​.
මෙම ප්‍රායෝගික භාවිතය හේතුවෙන් වැඩක් කිරීමට කැමති පිරිස ඔහු අගය කළෝය. කාර්යශූරත්වයෙන් රාජකාරි කළ හැකි නිලධාරීන් ප්‍රේමදාස මහතා කරා ළං වූ අතර ඔහුද ඔවුනට අවස්ථාව සලසා දුන්නේය​. මේ අතර​ රටේ දරිද්‍රතාව පිටුදැකීම ඔහුගේ ප්‍රධානම අරමුණ වූයේය. මේ අනුව​ නගරයට පමණක් සීමා වූ පානීය ජලය​, නවීන මං මාවත්, නවීන පාසැල් සහ වෛද්‍ය පහසුකම් ගමට ද ගෙනයෑම ඔහුගේ ප්‍රධාන ඉලක්කයක් වූයේය​.
නායකයකු ලෙස ඔහු තමා යටතේ වූවන්ගේ කාර්යශූරත්වය මෙන්ම කල්ක්‍රියාවද පිළිබඳ අවධානය යොමු කළේය.  තමන්ට සමීපතමයින් සිය කැබිනට් මණ්ඩලයට පත් කළ ඔහු අනෙක් මන්ත්‍රීන් සිය ආසනවල දියුණුව කෙරේ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වූයේ ඔවුනට අවශ්‍ය ප්‍රතිපාදනද ලබාදෙමිනි.
ඔහුගේ ඇමතිවරුන් කුමක් හෝ නිදහසට කරුණක් කියාපාමින් ලොව වටා සවාරි ගැසීමට හෝ සිය කාර්යාල සහ නිවාස පොදු මහජන මුදලින් අලංකාර කිරීමට හෝ යොමු වී නම් ප්‍රේමදාස මහතා කෙසේ ප්‍රතික්‍රියා දක්වයිද යන්න අපට සිතාගත හැක​. ඔහුගේ සමයේ කිසිදු රාජ්‍ය බලධාරියකුට හෝ නිලධාරියකුට එවන් නාස්තිකාර කටයුතු සඳහා ඉඩ ලැබුණේ නැත​.
කිසිදු අවස්ථාවක සිය සාර්ථකත්වයෙන් සෑහීමකට පත් නොවූ ජනාධිපති ප්‍රේමදාස සැම විටම විශ්වාස කළේ රජයක්, දේශපාලන පක්ෂයක් මතු නොව සාමාන්‍ය පුද්ගලයකු පවා දිනෙන් දින දියුණුවටම පත් විය යුතු බවයි. එහෙයින් තමා ලද කීර්තිනාමයෙන් නොනැවතුණු ඔහු දිගින් දිගටම වඩා ප්‍රබල වූ අභියෝගයන්ට මුහුණ දීමට කටයුතු කළේය​.
සිය ජීවිතය තුළ බොහෝ දෑ ස්වෝත්සාහයෙන් ලබාගත්තකු වශයෙන් ප්‍රේමදාස මහතා සිය කටයුතුවලදී විෂය මූලික සහ ප්‍රායෝගික වූයේය​. පුදුමාකාර ලෙස ධෛර්යසම්පන්න විය. යමක් පිළිබඳ සිහින දැකිය හැකි නම් එය අත්කරගත හැකි බව ඔහු සිතුවේය​. ඔහු පසුබැස්සේ නැත​. ඔහු හා රාජකාරි කිරීම අපහසු වුවද ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් වෙනත් නායකයකු නොකරන පරිද්දෙන් පෙනී සිටියේය​. එහෙයින් ඔවුන්ගේ පක්ෂපාතීත්වය ලද්දේය​.
ඔහුගේ කථිකත්වය මිනිසුන් වසඟ කළේය. ඔහු විනය අපේක්ෂා කළ අතර තමාද විනයගරුක විය​. සෑම දෙයක් පිළිබඳව පසු විපරමක නිරත වූ ඔහු කිසිවක් තමන්ට මග හැරීමට නුදුන්නේය. මෑත ඉතිහාසයේ වෙනත් කිසිදු නායකයකුගෙන් එම ගුණය ඒ ආකාරයෙන් දක්නට ලැබී නැත. සිව් වසරක ජනාධිපති ධුර කාලයකදී ලාංකික ග්‍රාමීය ජනතාවගෙන් විශාල පිරිසක් අතර දේවත්වය හා සමාන තත්ත්වයකට ඔහු නැගීසිටියේ එම ජනතාව දුප්පත්කමින් මුදවාගෙන, ගෞරවණීය ජීවිතයක් ඔවුනට අත් කරදීම සඳහා කළ කාර්යභාරය හේතුවෙනි.
රණසිංහ ප්‍රේමදාස යනු අප්‍රතිහත ධෛර්යයකින්, විශාල ශක්තියකින් සහ අනුපමේය කුසලතාවකින් හෙබි අයකු වූයේය. එවන්ස් කුරේ වරෙක සඳහන් කළ පරිදි ඔහු පුද්ගලයකු නොව ආයතනයක් මෙන් වූයේය​.
බොහෝ කලකට පෙර මා ප්‍රේමදාස මහතා පිළිබඳ එතරම් විශාල ගරුත්වයක් ඇත්තකු නොවිණි. නමුත් 1993 මැයි දිනය සහ ඉන් පසු ලාංකික දේශපාලන ගමන්මඟ පිළිබඳ සිතන විට මට නිසැකව සිහියට නැඟෙන්නේ එවන්ස් කුරේගේ වචනයි. අද අප අතර නැති මගේ බාප්පා  සත්‍ය ලෙසම සමාදානයේ සැතපෙනවා ඇත​. ඒ, එදා ඔහු හා වාද විවාද කළ කරුණ සම්බන්ධයෙන් ඔහු සෑහෙන දුරට නිවැරදි බව මට අද පිළිගන්නට සිදුව තිබෙන බැවිනි. 

 

ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

මාතෘකා