චරිතගේ 'ට්විටරයෙන්' හෙළි වන මහින්දගේ ඉන්දියානු සෙල්ලම

 ඡායාරූපය:

චරිතගේ 'ට්විටරයෙන්' හෙළි වන මහින්දගේ ඉන්දියානු සෙල්ලම

2015 ජනාධිපතිවරණය සමයේදී පෙර නොවූ විරූ අත්දැකීමකට මුහුණ දීමට ශ්‍රී  ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට සිදු විය. ඒ ශ්‍රී ලාංකික ජනතාවට නුහුරු  නුපුරුදු නම් සහිත සමාජ මාධ්‍ය ගිණුම් දහස් ගණනක් එකවර ජනාධිපතිධූරාපේක්ෂක  මහින්ද රාජපක්ෂගේ ගුණ වැයීමට පටන් ගැනීමයි. මෙරට සමාජ මාධ්‍ය තුළ  ප්‍රමුඛතම සන්නිවේදන භාෂාව බවට සිංහල භාෂාව පත්ව පැවතියද, මහින්ද රාජපක්ෂගේ  නිල ෆේස්බුක් ගිණුම සිංහල භාෂාව මූලික කොටගෙන ක්‍රියාත්මකව පැවතියද, මෙම  නුහුරු නම් සහිත ගිණුම් හිමියන් දිගින් දිගටම ඉංග්‍රීසි භාෂාවෙන් 'කමෙන්ට්' දමමින්, මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරණය සිදු කරන ආකාරයක් දිස් විය. මේ  බොහොමයකගේ වාසගම් කපූර්, සිං, ඛාන්, ගාන්ධි ආදී ඉන්දියානු සම්භවයක් පැවති  ඒවා වීම විමතියට කරුණක් විය.

මෙවැනි වාතාවරණයක් ඇති වීමට හේතු වූ  කාරණය මාධ්‍යවලින් වසන් කිරීමට රාජපක්ෂ රෙජිමය එවකට දැඩි උත්සහයක් දැරීය. මේ අතර 2014 දෙසැම්බර් 25 දින 'ද හින්දු' වෙබ් අඩවියේ පළ වූ ලිපියකින්  අනාරණය කර තිබුණේ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ මැතිවරණ  සටනේදී සමාජ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කළ අර්වින්ද් ගුප්තා, මහින්ද  රාජපක්ෂගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ මෙහෙයුම මෙහෙයවන බවයි. හින්දු පුවත්පත මෙම‍ කරුණ පිළිබඳව රාජපක්ෂගේ ජනාධිපති කාර්යාලයෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ  ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් ජාතික තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පිරිසක්  ස්වේච්ඡාවෙන්ද තවත් පිරිසක් මුදල් අය කරමින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ  ප්‍රචාරණ ව්‍යාපෘතියට සහය දෙන බව පමණකි.

අර්වින්ද් ගුප්තා මහින්ද  රාජපක්ෂ ජනපතිවරයාට සහය දීම සම්බන්ධව ඉන්දීය මාධ්‍ය කළ විමසීමකදී  අරවින්ද ගුප්තා පවසා සිටියේ මාධ්‍ය මගින් ඒ සම්බන්ධව විමසීම තමාට  හිරිහැරයක් බවයි. 2014 නොවැම්බර් මස ලංකාවට පැමිණියත් කිසිදු දේශපාලකයෙක්  මුණ නොගැසුණු බවත් අර්වින්ද් ගුප්තා හෙළිකොට තිබිණ.

කෙසේ  නමුත්   Graylogic Technologies   නම් ඉන්දියානු ආයතනයක් විසින් මහින්ද වෙනුවෙන්  apps  රාශියක් එලි දක්වා  තිබිණ. ජනපති සමග සෙල්ෆි ලබාගැනීම, ජනපතිගේ සංවර්ධන කාර්යයන් වැනි විවිධ  apps ඒ අතර විය. මෙහි විශේෂත්වය වන්නේ එම appsවලට ප්‍රසිද්ධිය ලබාදෙනු  ලැබූ ජනපතිවරයාගේ නමින් ඇති 'Mahinda Rajapakse 2015-2020' ෆේස්බුක් පිටුවට  ලයික් හා ප්‍රතිචාර දැක්වූ බහුතරය ඉන්දියානුවන් වීමයි.

මේ අතර  පසුගිය දා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන ආචාර්ය චරිත හේරත්, 2015දී  රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය මෙහෙයුම එතරම් සිත්ගන්නාසුලු නොවූ  බවත්, තමන් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ප්‍රචාරණ කණ්ඩායමත් සමඟ සම්බඳතා  පැවැත්වූ බවත් පිළිගෙන ඇත. එමෙන්ම අර්වින්ද් ගුප්තාගේ උපදේශයන්ගෙන් වැඩි  ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කර ඇත. චරිත හේරත් යනු  රාජපක්ෂ රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාය. එමෙන්ම රාජපක්ෂ රෙජිමය තුළ  බලපෑම් එල්ල කළ ප්‍රබල චරිතයක්ද බව රහසක් නොවේ.

2015  ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීම  ඉන්දියානු රජයේ සහ රෝ ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් බව පුන පුනා දැනුද පවසන  විමල් වීරවංශ ප්‍රමුඛ රාජපක්ෂ කල්ලියේ වස්ත්‍ර මුළු ලොවක් ඉදිරියේ උනා  දැමීමට ආචාර්ය චරිත හේරත් කටයුතු කිරීම නම් ප්‍රශංසනීයය.

මාතෘකා

ජනප්‍රිය ලිපි