මම 2020 දී ඡන්දය ඉල්ලන්නේ නෑ

 ඡායාරූපය:

මම 2020 දී ඡන්දය ඉල්ලන්නේ නෑ

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 21වෙනි වගන්තියෙන් කියවෙන්නේ 'ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලන බලය ජනතාවගේ කැමැත්ත විය යුතුය. එම කැමැත්ත නිසි කාලාන්තරහිදි පැවැත්වෙන අව්‍යාජ ඡන්ද විමසීම්වලින් ප්‍රකාශ විය යුතුයි' ලෙසය. ඡන්ද විමසීමක් ප්‍රමාද වීම, ඡන්දයක් දූෂිත අකාරයෙන් පැවැත්වීම මෙන්ම වැරැද්දක් බවට මෙරට මැතිවරණ කොමිසම ප්‍රසිද්ධියේ පවසයි. එවැනි පසුබිමක් තුළ පළාත් සභා ඡන්ද විමසීම දිනෙන් දින කල්ගත වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මැතිවරණ කොමිසමටය.ඡන්ද විමසීම් ප්‍රමාදය ගැන ඇත්තම තත්ත්වය දැන ගැනීමට 'රැස' සමඟ මේ සංවාදයට එක් වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි.

 මොකක්ද ඊළඟ ඡන්දය සහාපතිතුමා?

මේ වෙනකොටත් නැගෙනහිර, උතුරු මැද, සබරගමු පළාත් සභාවල කාලය පැනලා. ඔක්තෝම්බර් මාසයෙදී මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා විසුරුවන්න නියමිතයි. ඔය ඡන්ද හයම එකම දිනයක තියනවා නම් තියන්න පුළුවන් ළඟම දවස ජනවාරි 5. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ සියලු දෙනාම එකඟ වෙලා තියණවා ජනවාරි 12 දින හෝ ඊට පෙර පළාත් සභා මැතිවරණය තියන්න.

දකුණ සහ බස්නාහිර පළාත් සභා නියමිත දිනට කලින් විසුරුවොත් පළාත් සභා අටම එකම දිනයේ තියන්න හැකියාව තියනවා. ඌව පළාත් සභාව පමණක් විසුරවන්න නියමිත 2019 ඔක්තෝම්බර් මාසයෙදී.

 පළාත් සභා ඡන්දය කල් දාන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා බව මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා තියනවා. නව ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නම් පැරණි ක්‍රමයට ඡන්දය තියන්න බැරි ඇයි?

එතුමා එහෙම කියපු එක ගැන මට උත්තර දෙන්න බැහැ. නමුත් මේ දේ පැහැදිලි කිරීම වැදගත්.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් බලපැවැත්වුණ නීතිය 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත. ඒ පනත යටතේ 2017 ඔක්තෝ්බර් මාසයේදී කල් පිරුණු පළාත් සභා තුනේ ඡන්දය විසුරුවා සති කීපයකින් පැවැත්වීමට අපි සූදානම් වුණා. ඒ අතර 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් සම්මත කරන්න පාර්ලිමේන්තුව කටයුතු කළා. ඒ නව ක්‍රමය යටතේ සමානුපාතික ක්‍රමය වෙනුවට මිශ්‍ර සමානුපාත ක්‍රමය ආදේශ වුණා.

ඒක හරියට මුල් ගේ කඩලා අලුත් ගෙයක් හැදුවා වගේ. අඩුම තරමේ පරණ ෆවුන්ඩේෂන් එකත් නැහැ. ඒ නිසා දැන් ආයෙත් සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න නම් 2017 අංක 17 සංශෝධන පනත සම්පූර්ණයෙන් ඉවත් කරන්න වෙනවා.

පාර්ලිමේන්තුවේ පනතක් අහෝසි කරලා පරණ පනතක් බලාත්මක කරන්න මැතිවරණ කොමිසමට පුළුවන් නම්, අපි බොහොමයක් දේවල් වෙනස් කරනවා.

අපට එහෙම වෙනස්කම් කරන්න බලය තියනවා නම්, අපි වියදම් වාර්තා ඉදිරිපත් කරන්න, වියදම් සීමා පනවන්න, තරුණයන්ට අනිවාර්ය නියෝජනයක් ලබා දෙන්න, ඡන්දය ඉල්ලන හැම අපේක්ෂකයෙක්ම තමන් අපරාධ වරදකට වරදකරුවෙකු වී නැති බවට සහතියකයන් ඉල්ලන්න කටයුතු කරනවා. ඒත් එහෙම කරන්න බලයක් අපිට නැහැ.

හිටපු ජනාධිපතිවරයාවත් වෙන දේශපාලඥයෙක්වත් අපහසුතාවට පත් කරන්න අපට අවශ්‍ය නැහැ. එතුමාගේ අදහස එතුමා කියලා තියනවා. අපේ පැහැදිලි කිරීම අපි කියනවා.

පළාත් සභා ඡන්දය තියන්න වෙන ගැටලුුවක් ඇත්තෙම නැහැ නේද?

ආචාර්ය තවලිංගම්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළ සීමා නිර්ණය වාර්තාව පෙබරවාරි 14 පළාත් සභා අමාත්‍යවරයාට ලබා දුන්නා. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටත් ඇතුළත් කළා. නමුත් තවම එය සාකච්ඡා වී නැහැ. මේ වාර්තාවට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් මේ සීමා නිර්ණය වාර්තාව සම්මත විය යුතුයි.

අපි අප්‍රේල් මාසයේදීත්, මැයි සහ ජුනි මාසවලදීත් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලීමක් කරලා ලියුම් තුනක් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට යැව්වා. දැන් අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා. කතානායකතුමා කිව්වේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය තියන්න කියලා.

 සභාපතිතුමා මොනවා කිව්වත් දේශපාලඥයෝ නම් ඇඟිල්ල දික් කරන්නේ මැතිවරණ කොමිසමට?

ඒ ගැන කණගාටුයි.

ක්‍රිකට් මැච් එකක් පැරදුණහම පිතිකරුවට වත් පන්දු යවන්නටවත් බැනලා වැඩක් නැහැ. සමස්ත කණ්ඩායමම වගකියන්න ඕන. ඒ වගේ සමස්ත පාර්ලිමේන්තුවම වග කියන්න ඕන. ඒ වගේම මේ විසුරුවලා තියන පළාත් සභා පාලන ප්‍රදේශවල ජනතාවටත් මේ ගැන වගකීමක් තියනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය විසින් මට සංදේශයක් භාර දුන්නා. ඒ හැරුණු කොට ෆේස්බුක් එකෙන්, පෝස්ට් කාඩ්වලින් බනින එකට අමතරව ජනතාවගේ උනන්දුවක් නැති කමත් ගැටළුවක්.

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් වගේම නව දේශපාලන පක්ෂ කිහිපයකිනුත්, සමාජයේ කැපී පෙනෙන චරිත කිහිපයකුත් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කතාබහක් ඇති වී තිබෙනවා. ඒ අතර මහින්ද දේශප්‍රිය නමත් කියවෙනවා...?

මැතිවරණ කොමිසම පිහිටුවලා තුන්වෙනි රැස්වීමේදි මම යෝජනා කළා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඡන්දය ඉල්ලීමේ කැමැත්තකින් ඉන්නවා නම්, ඔවුන් කොමිසමෙන් ඉවත් වෙලා අවම වශයෙන් අවුරුදු දෙකකට වත් පසුව පමණක් ඡන්දයකට ඉදිරිපත් විය යුතුයි කියලා. අපේ නිලධාරීන්ටත් අපි කියලා තියෙන්නේ, යම් කෙනෙක් ඡන්දයට ඉදිරිපත් වෙන්න අදහස් කරනවා නම් කල්වේලා ඇතුව කොමිසමෙන් ඉවත් විය යුතු බව.

තමන්ගේ ඥාතියෙක් බස් එකට නඟිනකම් බස් එක නවත්වගෙන ඉන්නවට විරෝධය පළ කරන අපි අපේ බලපෑම් තියෙද්දී ඡන්දය ඉල්ලීම නිවැරදිද?

ඉන්දියාවේ මැතිවරණ කොමිසමේ ටී.එන්. සෙෂාන් ඡන්දය ඉදිරිපත් වෙලා පැරදුනා. ප්‍රධාන මැතිවරණ කොමසාරිස් වුණු ආචාර්ය ගිල් ඡන්දයට ඉදිරිපත් වෙලා දිනලා කැබිනට් ඇමතිවරයෙක් වුනා. නමුත් ඒ තත්ත්වය සුදුසු නැහැ.

හැටේ දශකයේ ඉඳලා අපේ පවුල දේශපාලන සම්බන්ධකම් තිබ්බ පවුලක්. දේශපාලනය මට දැනෙන මාතෘකාවක්. නමුත් මම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැහැ.

දිනන පරදින එක වෙනම දෙයක්. ඊට වඩා ආත්ම ගෞරවය සහ හෘද සාක්ෂිය බොහොම වැදගත්.

 රාජ්‍ය ආයතනයක්, නව මාධ්‍ය භාවිතයෙන් මහජනතාව සමඟ සෘජු සන්නිවේදනය ඇති කර ගැනීම පිළිබඳව මේ සියවසේ ආදර්ශය බවට පත් වෙන්නේ මැතිවරණ කොමිසම. එසේ වූ මැතිවරණ කොමිසමේ සමාජ ජාල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ සුදානමක් තියනවද?

මැතිවරණ කොමිසම සමාජ ජාලා පරිශීලකයන් එක්ක කරන ගනුදෙනුව කිසිසේත්ම නවත්වන්නේ නැහැ. අදත් ඡන්ද හිමියන් ගණන් ගැනීම අන්තර්ජාලගත (Online) කිරීම ගැන සාකච්ඡාවක් අදත් පැවැත්වෙනවා.

ඒ වගේම අපත් සමඟ එක් වුණු සීයකට අධික සමාජ ජාල පරිශීලකයන් සමඟත් එක්ව වැඩකරගෙන යනවා.

මම පෞද්ගලිකවම කරන මැදිහත් වීම ටිකක් අඩු කරලා, මැතිවරණ කොමිසමේ නිල ගිණුම හරහා සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්ෂමව කරගෙන යනවා. නමුත් මගේ මිත්‍රයන් සමඟ තියන සමාජ ජාල සම්බන්ධතා ඒ විදිහටම තියාගන්නවා.

මට ඡන්ද දායකයන්ට දෙන්න පණිවිඩයක් තියනවා. ඒකටත් රැසෙන් ඉඩ දෙන්න.

හැම දෙනාම තමන්ගේ නම් ඡන්ද හිමි නාම ලේඛනය තමන්ගේ ග්‍රාම නිලධාරීන් හරහා මැතිවරණ කාර්යාලයට එවන්න. දැනට ලැබිලා නැත්නම් මැතිවරණ කාර්යාලය අමතන්න. අගෝස්තු 10 වෙනිදාගෙන් පස්සේ අභියාචනා ආකාරයෙන් පමණයි ඡන්ද හිමිකම් කියන්න පුළුවන්. 2019 ජනවාරි 8 වෙනිදාගෙන පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් ජනාධිපතිවරණය කැඳවන්න. එහෙම වුණොත් මේ ඡන්ද ලැයිස්තුව අනුව තමා ඡන්ද හිමිකම ලැබෙන්නේ. ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති නම්, එහි ප්‍රායෝගික ප්‍රකාශනය වන ඡන්දය සඳහා ඔබට ඇති හිමිකම ආරක්ෂා කරගන්න.

 

[මංජුල සමරසේකර]

මාතෘකා