තාත්තලා - බාප්පලා පුතාලා සහ විමල්ලා

 ඡායාරූපය:

තාත්තලා - බාප්පලා පුතාලා සහ විමල්ලා

දින කිහිපයක සිට, විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ 'අමුතු රංගනයක' යෙදෙමින් සිටී.' මං වීරයා' වීමේ නොතිත් ආශාවකින් මඬිනු ලැබ සිටින හෙතෙම සාමාන්‍යයෙන් පොල් කට්ටේ කිඹුලන් දකින්නෙකු බව ප්‍රකටය.

තමන්ගේ චතුර කථිකත්වය තුළින් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කරන්නට සමත් වූ කිහිප දෙනෙක් අපට හමු වෙයි. ඉන් එක් අයෙක් වන්නේ හිට්ලර්ය. හිට්ලර් ස්වකීය විසුළු පෙනුම වසන්කොට ගත්තේ 'උන්මාදනීය' කථිකත්වය තුළිනි. එකී කථිකත්වයට වශී වූ ජර්මන් ජනයා ඔහුට පාලනය භාර දුන්නේය.

ඔහු නතර වුණේ ලොව තෙවැනි තැනට වැඩිම ජනඝාතන කළ ත්‍රාඩ මිනිසා බවට පත් වෙමිනි.

පොල්පොට් චතුර කථිකයෙකි. ඔහු රටේ පාලනය භාර ගත්තේය. නතර වුණේ මිලියන ගණනක ඝාතකයා වෙමිනි.

ඈත ඉතිහාසයෙන් මෑත යුගයට ආ විට අපට හමු වන චතුර කථිකයා විමල් වීරවංශය. ඕනෑම ජාතිවාදී දෙයක්, තම අරමුණු වෙනුවෙන් සූක්ෂ්මව පාවිච්චි කිරීමේ හැකියාව විමල් සතුව තිබේ. සමහරු කියන්නේ එය 'ලජ්ජාව' නැමති නහරය කැපූ විට සිදු වන සාමාන්‍ය තත්ත්වයක් බවය. වරක්, රුපියල් කෝටි 9ක රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තැබිණි. ඒ සඳහා අධිකරණයෙන් දුන් නියෝගයකට එරෙහිව මෑතකදී ඔහු උපවාසයක් ගෙන ගියේය.

ඊට පෙර වතාවක් ඔහු මෙලෙසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරෝධය දක්වමින් තවත් උපවාසයක් කෙළේය. එය අවසන් කෙරුණේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර ටිකක් ඔහුට පෙවීමෙනි.

මීට සති කිහිපයකට පෙර විමල් වීරවංශ පිළිබඳව අපූරු සටහනක් ප්‍රියන්ජිත් විතාරණ විසින් මුහුණු පොතේ සටහන් කොට තිබිණි. ප්‍රියන්ජිත් විතාරණ යනු විමල්ගේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් වරයාය. එම දිගු සටහනෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.

"වීරවංශ මහතාට අනුව මේ සියල්ල සිදුවන්නේ ඇමරිකානු – ඉන්දියානු න්‍යාය පත්‍රයකට යටත්වය. බටහිර හා ඉන්දියානු මැදිහත් වීම අසත්‍යයක් යැයි මම කිසි විටක නොකියමි. එය සම්පූර්ණ සත්‍යයකි. එසේම එය බරපතළ සංකීර්ණ ක්‍රියාවලියකි. එය වීරවංශ මහතා කියන තරම් සරල නැත. ඔහු කරන්නේ රස කතා කීපයක් කියා ඒ සංකීර්ණ ක්‍රියාවලිය ඔහුට ප්‍රතිවිරෝධී පුද්ගලයින් කීප දෙනෙකු මත පැටවීමයි. ඔහුට අනුව බැසිල් රාජපක්ෂ 'රෝ ඔත්තුකරුවෙකි.' හෙට දවසේ ගෝඨාභය රාජපක්ෂ 'CIA' නියෝජිතයෙකු යැයි කීමට ඔහුට බැරි නැත. යම් ලෙසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු හා කිනම් හෝ ප්‍රශ්නයකට අමනාප වුණොත් එය එසේ සිදුවනු ඇත. මම ඊට එක් උදාහරණය කියන්නෙමි. අද වීරවංශ මහතාගේ ගජ මිතුරා වී සිටින්නේ ටිරාන් අලස් මහතාය. නමුත් මීට වසර කීපයකට උඩදී වීරවංශ මහතාට අනුව ටිරාන් 'රෝ' ඔත්තුකරුවෙකි. ඒ ඔහු වීරවංශ මහතාගේ මතයට එකඟ නැති කාලයේය. දැන් ඔවුන් දෙදෙනා සිටින්නේ එකම න්‍යාය පත්‍රයේය. වීරවංශ මහතාට අනුව ඔහු ලියයි. ඒ නිසා වීරවංශ මහතා දැන් ඔහුව 'රෝ' සංවිධානයෙන් මුදවාගෙන දේශප්‍රේමියෙකු බවට පත් කර තිබේ. මා කියූ එම උදාහරණය බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතමි. එදා වීරවංශ මහතා දුන් පූර්ව නිගමන නිසා වටිනා මිනිසුන් කීදෙනෙකු දෙස අප වපර ඇසින් බලා ඇත්ද? ඊට හොදම උදාහරණය

පී.බී. ජයසුන්දර මහතායි. විමල්ට අනුව ඔහු බටහිරට විසින් මෙහෙයවූ ආර්ථික ඝාතකයායි. ඔහුගේ විග්‍රහයට අනුව නම් දැන් ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු කලාපය බාර නියෝජිතයා විය යුතුය. මා දන්නා පරිදි එතුමා කුරුණෑගල ප්‍රදේශයේ සිය ඉඩමක් වවාගෙන විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි. ඒ නිසා මා වීරවංශ මහතාගේ පූර්ව නිගමන කිසිවක් පිළිගන්නේ නැත. ඔහුගේ පුරෝකතන සම්පූර්ණයෙන් අසත්‍යය මත පදනම් වූ පුස් මතය."

වත්මන් ආණ්ඩුවේ 'සෙම්ප්‍රතිශ්‍යාව' ගැන කතා කරන විමල්ට එදා හිටපු ආණ්ඩුව ගැන කී කතා අමතකය. කෝටි ප්‍රකෝටි ගානක ණය කන්දක් සහිත රටක් මහින්ද 'යහපාලන ආණ්ඩුවට' භාර දුන් බව අද විමල්ලාට අමතකය. නමුත් විමල් ඒ දවස්වල වරක් මෙහෙම කීවේය.

'මුදල් ලබා නොදීම නිසා උරණ වෙනවා නම් අමාත්‍යාංශ ගණනාවක ඇමැතිවරු උරණ වෙන්න ඕනේ. ගොඩාක් අය මේ වගේ මත පළ කරනවා. මුදල් ලැබීමේ අඩුපාඩුවක් නැතිව නෙවෙයි. නමුත් ඒකම නෙවෙයි ප්‍රශ්නය.

යුද්ධයෙන් පස්සේ අපේ ආර්ථිකය නවමු මාර්ගයකට අපි හැරෙව්වා. ඒ ආදායම වැඩි කරලා අපේ නිෂ්පාදන වැඩි කරන්න මාර්ගයක්. අපි චීනයත් එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුමට යනවා. සුළු පරිමාණ නිෂ්පාදකයන් මහ පරිමාණ නිෂ්පාදකයෝ කරන්න අපි ණය ගෙනාවා අඩු පොලියට. අපි දිරිගැන්වීම් කළා. අපි සහල්, බඩඉරිඟුවලින් ස්වයංපෝෂිතයි. හැබැයි අපි හිතපු තරමටම නිෂ්පාදනය වර්ධනය වෙලා නැහැ. ඒ වෙනුවට අපේ වෙළෙඳ පරතරය වැඩිවෙලා. රුපියල බංකොලොත් වෙලා. රුපියල අඩු නිසා ගෙවන්න තියෙන ණය ඩොලර් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. උද්දමනයට බලපෑම් කරනවා. බැංකු පොලී අනුපාතයට බලපානවා. මේ වගේ අහිතකර බලපෑම් වෙලා. පී.බී. ජයසුන්දර කියන්නේ අද මුදල් අමාත්‍යාංශයේ ඉන්න එකම චරිතය. මුදල් අමාත්‍යාංශය සුද්ද කරලා තියෙන්නේ.

ඉන්න ඔක්කොටම උසස්වීම් දීලා, දඬුවම් මාරු දීලා යවනවා. මේක තනිකර හමුදා කඳවුරක නැති ඒකාධිපති පාලනයක් තියෙන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අවුරුදු ගණනාවක් හිටියේ ජනාධිපතිවරයා මුදල් ඇමැතිවෙලා හිටිය ආණ්ඩුවල. චන්ද්‍රිකාගෙ කාලෙත් මෙයා.

දැන් බලන්න පොහොර, පොහොර හිඟයක් හදලා ප්‍රශ්නයක් හදලා පස්සේ පොහොර ගෙනැල්ලා දානවා. පෞද්ගලික අංශයේ විශ්‍රාම පත් හදන්න ඕනේ කම්කරු අමාත්‍යාංශයෙන්. හැබැයි හැදුවේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒ හදපු එක කම්කරු අමාත්‍යාංශයට දුන්නේ නැහැ. වෘත්තීය සමිති එක්ක කතා කරන්න දුන්නේ නැහැ. කෙළින්ම දැම්මා පාර්ලිමේන්තුවට. ඉතින් ගොවියෝ පාරට ආවා. එයාලා හැදුවාට කමක් නැහැ. අඩු ගාණේ කම්කරු අමාත්‍යාංශයට දුන්නා නම් වෘත්තීය සමිති එක්ක කතා කරලා අඩුපාඩු හදනවා.

ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් විදියට මම එන්නේ. මම තනියෙන් ආණ්ඩුව කරනවා නෙවෙයි. අපෙත් අදහස් තියෙනවා. ඒ අදහස් අපි කියනවා. අපි රැඳිලා ඉන්නේ රටට දියුණුවක් ගේන්න මිසක් වෙන පරමාර්ථයකින් නෙවෙයි. ඒක නිසා පැකිළීමකින් තොරව අපි කියනවා ඒක කල්ගිහිල්ලා පිළිගන්න අය ඉන්නවා. මුලදීම පිළිගන්න අය ඉන්නවා. තව අවුරුදු 2ක් යනකොට විමල් වීරවංශ කිව්වේ ඇත්ත කියලා මට දැන් බනින අයත් කියනවා. ඒක මම දන්නවා. ඒ නිසා මම බය නැතිව කියනවා ඔය ජයසුන්දර ඔය තනතුර දාලා යන්නේ නෑ ලේසියෙන්. යන්නේ ඊළඟට එන මිනිහකුටත් ඒක කරගන්න බැරි තත්ත්වයකට හදලා.

ඒකේ ආයේ දෙකක් නැහැ. මම කරුණාකරලා ඉල්ලනවා මේ ටේප් එක පරිස්සම් කරලා තව අවුරුදු දෙකක් තියාගන්න. අන්න ඒ අවුරුදු දෙකට පස්සේ මේ කෑල්ල දාන්න රටටම අහන්න.”

– විමල් වීරවංශ : 11. 06. 2013

අවුරුදු දෙකකින් රටේ බෙල්ල තොණ්ඩුවකට හිරවෙන බව විමල් කීවේ 2013 දීය. යහපාලන ආණ්ඩුව ආවේ හරියටම විමල් අර්බුදය පුපුරා යනවාය කීව වසරේදීය. ඒ කියන්නේ 2015දීය.

ඔහු මෙහෙමත් කීවේය.

''කුඩුවලට ඇබ්බැහි වුණා වගේ තමයි ණයවලට ඇබ්බැහි වුණාම. මේ රටේ ආර්ථික ඝාතකයෝ ඉන්නවා. පහුගිය අවුරුදු 10-15 ඇතුළත අර අඩු පොලියට ණය ගන්න කාලය පනිනකම් ඉඳලා වැඩි පොලියට ණය ගන්න යෝජනා ඉදිරිපත් කරන අය ආර්ථිකය පාලනය කරන අමාත්‍යාංශවල ඉන්නවා. මේවා කරන්නේ දේශපාලනඥයෝද? දේශපාලනඥයෝ වැරැදි මේවා හොයලා මේ තක්කඩින්ව හිර ගෙදර නොයවන එකට. ඒකට දේශපාලනඥයෝ වගකියන්න ඕනේ.

ණය ගේන්න අමුතුවෙන් කෙනෙක් ඕනේ නැහැ. ලෝකේ පුරා හෙට්ටියෝ ඉන්නවා. ඉල්ලන එකාට ණය දෙනවා. මේ මනුස්සයා පෙන්නන්නේ එයා නැත්නම් මේ රටට ණය ගේන්න බැහැ. එයා තමයි ණය දෙයියා කියලා. අපි කාවද රවට්ටන්නේ. මේ රටට අපි කියන්න ඕනේ නැද්ද එක බිලියනයක ණය අරගෙන රෝලක් ගහන රටක් කියලා. ඒ රෝල කවද වෙනකම් අපි ගහන්නද? කවදා හරි දවසක් එන්නේ නැද්ද ඒ රෝල ගහන්න බැරි. ඒ දවස ගැන අපි හිතන්න ඕනේ නැද්ද. අපි නොහිතා ඒ දවස ගැන කල්පනා නොකොට ගියොත් ඒ දවස උදාවෙනවා වළක්වන්න අපිට බැහැ. ඒක අපි කැමැති වුණත් නැතත් වෙනවා. එදාට තමයි අන්තර්ජාතික බලවේග අපේ කරටියෙන් අල්ල ගන්නේ. මේ ආර්ථික ඝාතකයෝ ගහන්නේ මේ මුළු රටටම. මේවාට කතා නොකර ඇමැතිවරු විදියට අපි ඉඳලා මොකටද? ඒක වැරැදි නම් හෙට මේ ඇමැතිකමින් අස්වෙන්න මම ලෑස්තියි.''

විමල් වීරවංශ – 15.02.2013

විමල් එදා එහෙම කීවේ මහින්දලා ගිය ගමන දැකලාය. හැබැයි එහෙම කීව විමල් ආණ්ඩුවෙන් නම් එළියට බැස්සේ නැත. ඒ තබා ඊළඟ මැතිවරණයේදීත් ඔහු කළේ 'ආර්ථිකය' කාබාසිනියා කළ කල්ලියට උදවු කරන එකය.

ඒ නිසාම විමල්ගේ කතාව බොල් උඩු බිරිල්ලක් පමණක්ම විය.

දැන් ඔහු පාර්ලිමේන්තුවේත්, මහ පාරේත්, පක්ෂ කාර්යාලයේත් 'සෙමෙන් මනස වැඩෙන' දරුවෙක් සේ හැසිරින්නේ ඇයි කියන්න නම් දන්නේ නැත.

වසර 2016 අවසන් වන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 417,913 ක් වී ඇති අතර, එය වසරක් තුළ රුපියල් 44,451ක වැඩි වීමක් බව විගණකාධිපතිවරයා වාර්තා කර තිබේ. විගණනය සඳහා ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තාවලට අනුව, 2016 දෙසැම්බර් 31 වැනිදා වන විට ගෙවිය යුතු දේශීය සහ විදේශීය ණය සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 8.9 ක් (රුපියල් මිලියන 8,860,770 ක්) බව පැවසේ. ඒ 'පවුලක්' සහ අන්තේවාසිකයින් පිරිසක් රටට ශේෂ කළ දෑය.

එක දෙයක් පමණක් කියන්නට පුළුවන. ඒ තාත්තලා, බාප්පලා, පුතාලා,සහ විමල්ලා යන සියල්ලෝම එකතු වී 'ණය' පිරුණු රටක් බිහි කළ බවය.

මාතෘකා

ජනප්‍රිය ලිපි