පෞද්ගලික සහ රජයේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය රකින නීතිමය යන්ත්‍රණයක් හදනවා

 ඡායාරූපය:

පෞද්ගලික සහ රජයේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය රකින නීතිමය යන්ත්‍රණයක් හදනවා

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ නොමැකෙන සලකුණු තැබූ දේශපාලඥයෝ විරලය. ලලිත් ඇතුලත්මුදලි මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මහපොළ ස්ථාපිත කරමින් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක් කළ පන්නරය අදටත් සුවිශේෂ වේ. 2020 වන විට ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර විශිෂ්ටතා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ තුළ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සමග රැස කළ සාකච්ඡාවකි මෙය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔබ සනිටුහන් කිරීමට අපේක්ෂා කරන සුවිශේෂ සලකුණු මොනවාද?

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන මූලික ගැටලු කිහිපයක් මේ වෙද්දි හඳුනාගෙන තිබෙනවා. දැනට තිබෙන මූලික ප්‍රශ්නය ප්‍රමිතියයි. උපාධිධාරියෙක් බිහිකරන්න රජය මිලියන ගාණක් වැය කරනවා. නමුත් අද රජයේ විශ්ව විද්‍යාලයකින් එන උපාධිධාරියාට තිබෙන පිළිගැනීම විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා.රජයේ විශ්ව විද්‍යාලයක පන්ති සාමාර්ථයක් තිබෙන කෙනෙකුට ජනප්‍රිය පෞද්ගලික පාසලක කෙනෙක් එක්ක තරග කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. එවැනි විශ්ව විද්‍යාල උපාධිධාරියෝ හදලා රටකට ඇති ඵලය කුමක්ද ? ලංකාවේ දැන් රාජ්‍ය අධ්‍යාපනය ඇකිලීගෙන ඇකිලීගෙන යනකොට පෞද්ගලික අංශයේ ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනය පුළුල් වෙමින් යනවා. විශේෂයෙන්ම කලා සහ කලමනාකරණ උපාධිවල ගුණාත්මක භාවය අඩුවෙලා තිබෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තියෙන දැනීම හුඟක් පහළ මට්ටමක තිබීම නිසාත් උපාධිධාරීන් බිහිකරන්න වියදම් කරන මහජන මුදල්වලින් රටට ප්‍රතිලාභ නැහැ. ඒ නිසා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ ගුණාත්මක භාවය, ප්‍රමිතිය වැඩිකිරීම සඳහා දැනට වැඩපිළිවෙල් කිහිපයක්ම අංශ කිහිපයකින් සැලසුම් කරගෙන යනවා. ඒ තුළ පෞද්ගලික සහ රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කරන නීතිමය යාන්ත්‍රණයක් සකස් කිරීමට තත්ත්ව සහතික සහ ප්‍රතීතනය පිළිබඳ කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

අද රජයේ විශ්ව විද්‍යාවලට වඩා දෙස් විදෙස් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් වීමේ ප්‍රවණතා‍ව ඉහළ ගිහින් නේද? ඊට හේතු මොනවාද?

අද බොහෝ වැදගත්, උගත් මධ්‍යම ප්‍රාන්තික දෙමව්පියෝ තමන්ගේ දරුවෝ රජයේ විශ්ව විද්‍යාලවලට යවන්න කැමති නැහැ. ඒ වෙනුවට ඔවුන් විදේශීය විශ්වපවිද්‍යාලවලට යොමු කරනවා වැඩියි. ඒකට හේතුව රජයේ විශ්ව විද්‍යාලවල තිබෙන ඉතා මිලේච්ඡ වද හිංසායි. සමහර ශිෂ්‍ය සංවිධාන විවිධ සංවිධානවල කුළී කොන්ත්‍රාත් කරුවො බවට පත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී නවක වදය සම්බන්ධ දැඩි නීතිරීති ගෙන එන්න කටයුතු කරනවා.ඒ වගේම ශිෂ්‍යත්ව ලබාගෙන විදෙස් රටවල්වල ඉගෙන ගන්න ගිය විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙහේ සේවයට එන්නෙ නැතිව වෙන වෙන රටවල සේවය කරනවා. ගිය වසරේදී එවැනි අය 486 ක් හිටියා. ඔවුන් නිසා මේ වෙද්දි මිලියන 813ක් අපිට පාඩුවෙලා තියෙනවා. ඒ මුදල් අයකරගන්න ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න අපි කටයුතු කරනවා.

උසස් අධ්‍යාපනය නඟා සිටුවීමට ඔබගේ මඟපෙන්වීම යටතේ මේ වන විට ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

විශ්ව විද්‍යාලවල යටිතල පහසුකම් දියුණු කිරීමට විශාල මුදලක් වැයකර තිබෙනවා. අවුරුදු 70 ක් තිස්සේ නේවාසිකාගාර පහසුකම් දෙන්න පුළුවන් වුණේ සිසු සිසුවියන් හැට දහසකට වගේ අඩු ප්‍රමාණයකට. නමුත් අපේ අලුත් ව්‍යාපෘති නිසා මේ වසර අවසන් වෙද්දි සිසුන් 33600කට අලුතින් නේවාසිකාගාර පහසුකම් ලැබෙනවා. ඒ වගේම වයඹ, සබරගමු වෛද්‍ය පීඨ ආරම්භ කරන්නත් කටයුතු කරගෙන යනවා. මහපොළ අවුරුදු 25කින් විතර තියලා නැහැ. අපි එය නැවත ආරම්භ කරනවා. ඒ වගේම මහපොළ ලොතරැයි පතත් නැවත ආරම්භ කරනවා. ඒවායේ අරමුණ ශිෂ්‍ය සුබසාධනය වැඩි දියුණු කිරීමයි. විශ්වවිද්‍යාලවල තිබෙන ප්‍රශ්න ගැනත් විශේෂ අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් විදිහට අපේ විශ්ව විද්‍යාලවල බාහිර උපාධි සංඛ්‍යාව වැඩිවෙලා තිබුණට ඒවයේ ගුණාත්මක භාවයේ නම් අඩුවීමක් මිස කිසිම වැඩිවීමක් සිදුවෙලා නැහැ. විෂය නිර්දේශය වෙනස් කිරීම පිළිබදව ඊයේත් දීර්ඝ වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග මම සාකච්ඡා කළා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඵලදායි වෙනස්කම් සිදුවේවි. හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය එන්න එන්න වැඩිකරලා තියෙනවා. නමුත් ප්‍රශ්නය එයින් රටට ලැබුණු ප්‍රතිලාභ නම් වැඩිවෙලා නැහැ. දැන් මට සැකයක් තියෙනවා මෙහෙම යද්දි ඉදිරියේදී ජනතාව අධ්‍යාපනයට ප්‍රතිලාභ වැඩි කරනවාට විරුද්ධ වෙයිද කියලා. ඇයි එයින් රටට ප්‍රතිඵලයක් නැහැනේ.

අතීත දේශපාලනය තුළ නොමැකෙන සලකුණු තැබූ උගත් බුද්ධිමත් දේශපාලන චරිත නිර්මාණය වුණා. නමුත් මෑත ඉතිහාසය තුළ එවැනි දේශපාලඥයන් අඩුයි. ඊට හේතුව කුමක් විය හැකිද?

වර්තමාන දේශපාලන සන්දර්භය තුළ උගතුන්ට බුද්ධිමතුන්ට මේ රටේ විශේෂ පිළිගැනීමක් නැහැ. දේශපාලන සන්දර්භය තුළ වගේම ජනතාව තුළත් එහෙමයි. අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති වින්දට ජනතා නියෝජිතයෝ තෝරාගැනීමේදී එහෙම බුද්ධිමත් භාවයක් පෙන්වන්නේනැහැ. ජනතාව දේශපාලඥයෝ අල්ලස් ගන්නවා,කොමිස් ගහනවා කියල දොස් කිව්වට මේ රටේ වැඩිපුරම හොරකම් කරන්නේ කොමිස් ගහන්නේ ජනතාවමයි.. මොකද ජනතාව ඡන්දෙ දෙන්නේ පගාවට. මොකද ඡන්දෙ කාලේ බෙදන ප්‍රමාණය අනුව තමයි මනාප ප්‍රමාණය වැඩිවෙන්නේ. ඡන්දාදායකයා හොඳටම දන්නවා මේ මනුස්සයා බෙදන්න ගෙදරින් ගෙනාව දෙයක් නැහැ. බෙදනවා නම් බෙදන්නේ ජනතාවගෙන් හොරකම්කරපු දෙයක්, මුදලාලි කෙනෙක්ගෙන් කොමිස් ගත්ත දෙයක් තමයි කියලා. එතතොට එහෙම නියෝජිතයො පත්කරපුවාම තවදුරටත් ඔහුට දේශපාලනයේ රැඳී සිටින්න කොමිස් ගහන්න, හොරකම් කරන්න වෙනවා නේද කියන එක ගැන ජනතාවට අවබෝධයක් නැහැ. අවබෝධය තියෙන අයත් නොදැණුනා සේ ඉන්නවා.

උගත් බුද්ධිමත් දේශපාලඥයෙක් විදිහට එවැනි තත්ත්වයක් යටතේ මේ රටේ දේශපාලඥයෙක් වීම ගැන ඔබ කණගාටු වෙනවාද?

මම කළකිරෙන්නේ නැහැ. දේශපාලනය කියන්නේ අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. වැඩකිරීමයි කළකිරීමයි දෙක එකට ගැලපෙන්නෙ නැහැ. මගේ ක්‍රමය තමයි කරන රට සහ ජනතාව වෙනුවෙන් මම කරන සේවය කිසිම කෙනෙකුගෙන් කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී හැකි උපරිමයෙන් ඉටුකිරීම. ඒ නිසා මා තුළ කළකිරීමක් නැහැ.

උසස් අධ්‍යාපන ඇමැති ධුරයට අමතරව ඔබ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරයත් දරනවා. ඒ තුළ විශාල ආයතන සංඛ්‍යාවක් ඔබට පැවරී තිබෙනවා. එය අභියෝගයක් නොවේද?

එක ආයතනයක් දෙකක් තිබුණත් අභියෝගයක් තමයි. ඒ බොහෝ ආයතන මම භාරගන්න අවස්ථාවේ ගැටලුකාරී තත්ත්වයන් මත තිබුණේ. උසස් අධ්‍යාපනය ගත්තොත් වෛද්‍ය පීඨ හය අවුරුද්දක් වහලා තිබුණා. ඊළඟ අවුරැද්දේ ළමයින්ට එන්නත් බැරිව හිටියේ සයිටම් වගේ ප්‍රශ්න නිසා. ඒවා අපි සතියෙන් දෙකෙන් විසඳුවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ, චිත්‍රපට සංස්ථාවේ ගැටලු තියෙනවා. චිත්‍රපට ශාලා වැහෙමින් යනවා. ඒවාටත් අපි තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා කිසිම ආයතනයක් මට දරන්න බැරි, ඔරොත්තු නොදෙන තරම් අභියෝගයක් නෙවෙයි.

පුරාවිද්‍යා දේපල සහ ගොඩනැගිලි ආරක්ෂා කිරීම සඳහා පවතින නීතිරීති ප්‍රමාණවත්යැයි ඔබ විශ්වාස කරනවාද?

පවතින නීතිරීති ප්‍රමාණවත් බවයි මගේ හැඟීම..අපිට නිලධාරින්ගේ ප්‍රමාණයේ ප්‍රශ්නයක් තිබෙනවා.ඒ සඳහා අපි 2000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරියේදී බඳවාගන්නවා. මේ වෙනකොට අපේ ලෝක උරුම අටම සංරක්ෂණ විදිහට අපි කරගෙන යනවා. දැනට අපේ ලෝක උරුම තුනක ගැටලු තිබෙනවා. ඒවත් නිරවුල් කරගන්න කටයුතු කරමින් සිටිනවා. ඒ අතරින් ගාල්ලේ ක්‍රීඩාංගණය ඉවත් කරන්න යනවා මාධ්‍ය ඔස්සේ මතයක් යනවා. එහි ඇත්ත තත්ත්වය පැහැදිලි කළ යුතුයි. ඒ ක්‍රීඩාංගණයේ තිබෙන ප්‍රේක්ෂකාගාරය හදද්දි නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර දීම ප්‍රතික්ෂේප කළා. නමුත් පොලිසිය දාලා මිනිස්සුන්ට එන්න නොදී ඒක හැදුවා. ඊටපස්සේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒක කඩන්න කිව්වා. නමුත් කැඩුවේ නැහැ. ඒක අදටත් අනවසර ඉදිකිරීමක් විදිහට තිබෙනවා. ඒ ප්‍රේක්ෂකාගාරය ඉවත් කළේ නැත්නම් අපිව ලෝක උරුමයෙන් කපයි. අදටත් ලංකාවේ වැඩිම සංචාරක ආදායම් ලබන ප්‍රදේශය තමයි ඔය ප්‍රදේශය. ඒ වගේම ලංකාවෙ දකුණු පළාතටම තිබෙන එකම ලෝක උරුමය. ඒක නැතිවුණොත් අපේ සංචාරක කර්මාන්තයේ ආදායම විශාල වශයෙන් පහළ යයි.

සිරගෙවල්වල දඬුවම් ලබමින් සිටියදී පවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අපරාධකරුවන්ට විරුද්ධව මරණ දඬුවම ලබාදීමට රජය ගත් තීරණය ගැන හිටපු අධිකරණ ඇමතිවරයකු ලෙස ඔබේ අදහස කුමක්ද?

අපේ වගේ රටක අපරාධකාරයෝ මර්දනය කරන්න තියෙන ප්‍රධාන ක්‍රමවේදය තමයි බය. බය නැතිතාක් කල් ඔවුන් අපරාධ කරනවා. අද අපේ රටේ අපරාධකාරයන්ට අපරාධ කරන්න සුරක්ෂිතම තැන තමයි බන්ධනාගාරය. ඒ නිසා මම කියන්නේ කුඩු ජාවාරම්කාරයෝ එල්ලනවා නම් නම් ඒ එක්ක බන්ධනාගාර නිලධාරිනුත් එල්ලන්න ඕන. මොකද හිරකුටිවල ඉන්න අපරාධකාරයන්ට දුරකතන ගිහින් දෙන්නේ බන්ධනාගාර නිලධාරීන්. නමුත් මරණ දඬුවම දීම තුළින් මේවායේ යම්කිසි අඩුවීමක් ස්ථිර වශයෙන්ම සිදුවෙනවා. හොරුන්ගේ තක්කඩින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විතරක් මානව හිමිකම් යොදනවාද නැත්නම් රටේ සමස්ත ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා අපරාධකාරයෝ කිහිප දෙනෙක් එල්ලලා මරණවාද කියලා තීරණය කරන්න වෙනවා.

ඔබ අමාත්‍යාංශ දෙකේම වැඩ කටයුතු සාර්ථකව ඉටු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. නමුත් පක්ෂයේ වැඩවලින් තරමක් ඈත්වෙලා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ ගැන අදහස කුමක්ද?

එහෙම කියන්න බැහැ. මොකද අමාත්‍යංශ දෙකම අයිති ආණ්ඩුවට. පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට ගෙනාව අණපනත් සියල්ලටම සම්මත කරගන්න මමත් මගේ සහයෝගය දැක්වුවා. ඒ වගේම පක්ෂයේ කටයුතුවලටත් අවශ්‍ය අවස්ථාවේදී මගේ සහයෝගය දෙනවා. ඒ කිසිවකින් ඈත්වෙලා නැහැ.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා