එදා 'රජු' රැක්කා සේ මෙදා විනය රකින වේත්‍රධාරියා

 ඡායාරූපය:

එදා 'රජු' රැක්කා සේ මෙදා විනය රකින වේත්‍රධාරියා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ “වේත්‍රධාරී”, ලංකාවේ රාජ්‍ය තනතුරු නාමාවලියේ වන විශේෂ තනතුරකි.මෙම වේත්‍රධාරී යන වචනය ඇතැමෙකුට නුහුරු වචනයකි. ඇතැමෙක් මෙය අර්ථ දැක්වීමට හා අර්ථය දැනගැනීමට මහත්සේ වෙහෙස වූ අවස්ථා ඇත. ඉංග්‍රීසි භාෂාවෙන්, වේත්‍රධාරී “Serjeant –at-Arms” (සාර්ජන්ට්-ඇට්-ආර්ම්ස්) වශයෙන් ශබ්දකෝෂයන් හි දක්වා ඇත. තවද, පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව ලියවී ඇති ලෝ පතල ග්‍රන්ථයක් වන “Erskine May” (අර්ස්කින් මේ ) හි, 22 වැනි පළකිරීමේ, 133 වැනි පිටුවේ වේත්‍රධාරීවරයා යනු පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීයකු වශයෙන් පැහැදිලි කර ඇත.

1884 වසරේ දී, බ්‍රිතාන්‍යයේ අග්‍ර විනිශ්චයකාර කොල්රිජ් සාමිවරයා විසින් වේත්‍රධාරීවරයාගේ වගකීම මෙසේ පැහැදිලි කර ඇත.

“ පාර්ලිමේන්තුවට තමා විසින්ම ක්‍රියාත්මක වීමට නොහැකි අතර, ඒවාට ක්‍රියාත්මක වීම පිණිස නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්ත්වය ද අවශ්‍ය වේ. පාර්ලිමේන්තුවේ නියෝග ක්‍රියාවට නැංවීම සඳහා අධිකාරිය ඇති බවට පිළිගැනීමට ලක්ව සිටින නීත්‍යනුකූල නිලධාරියා වන්නේ වේත්‍රධාරීවරයායි”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද වේත්‍රධාරී තනතුර මුල්තැනක් ගනී. මෙහිදී, වේත්‍රධාරීවරයා යනු පාර්ලිමේන්තුවේ විනය පරිපාලනය කරන සහ නියෝග ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇති නිලධාරීයා වශයෙන් හැඳින්වීම නිවැරදිය. ‘වේත්‍රය’ යනුවෙන් මෙහිදී හඳුන්වනු ලබන්නේ ‘සෙංකෝල’යයි. සෙංකෝලය පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය වේ.

රාජකීය පාලන යුගය සම්බන්ධ ඉතිහාසය අධ්‍යයනයේදී පෙනී යන්නේ වසර 800ක පමණ කාලයක සිට මෙම ධුරය යම් යම් සමාජීය, ආර්ථික හා දේශපාලනමය වෙනස්කම් වලට ගොදුරු වෙමින් පැවැති බවය. රාජ්‍යත්වය ඉවත් වී, ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය ආදේශ වීමත් සමඟ වේත්‍රධාරී ධුරය කැපී පෙනෙන තත්ත්වයකට පත්වී ඇති බව නොරහසකි.

ප්‍රංශ අධිරාජයෙක් වු පිලිප් ඔගස්ටස් රජු, වසර 1200 දී, ඔහු ඝාතනය කිරීමට සැලසුම් කල ඝාතකයින්ගෙන් බේරීම සඳහා පෞද්ගලික ආරක්ෂක කණ්ඩායමක් සුදානමින් තබාගත් බව මේ සම්බන්ධව අධ්‍යයනයේ දී හමුවේ. මෙම රාජකීය නිලධාරී කණ්ඩායමට රාජ්‍ය ලාංඡනය ඔබ්බවා සකස් කල ශක්තිමත් දැව යෂ්ටියක් රජු විසින් ලබා දී ඇති බවත් කල් ගතවෙත්ම රජු විසින් මෙම යෂ්ටිය ඝන ලෝහයෙන් දැකුම්කලු ලෙස නිම කරවු ආයුධයක් බඳු යෂ්ටිය “ සෙංකෝලය”වශයෙන් නම් කළ බවත් සඳහන් වේ. එකල ආරක්‍ෂක කණ්ඩායමේ මූලික කර්තව්‍ය වූයේ ඔගස්ටස් රජුට ආරක්‍ෂාව සැපයීම සහ රාජ සභාවට පැමිණීමේදී හා පිටව යාමේ දී රජු ආරක්‍ෂිතව ගෙන ඒම හා කැටුව යාමයි.

තවද, වර්ෂ 1279 දී බ්‍රිතාන්‍යයේ රජකම් කළ 1වැනි එඩ්වඩ් රජු, එතුමාගේ ආරක්ෂාව සඳහා වේත්‍රධාරීවරුන් 24 දෙනෙකුගේ බලමුළුවක් තබා ගෙන සිටි බවද පැවසේ. පසුකාලීනව බ්‍රිතාන්‍ය රජුගේ පාලනය පාර්ලිමේන්තු ක්‍රමය දක්වා විකාශනය වීමේදී, මෙම වේත්‍රධාරීවරුන් අතරින් කැපී පෙනෙන එක් නිලධාරීයෙක් රජු පෙරටුකර පාර්ලිමේන්තුවට පිවිසීමේ චාරිත්‍රය ආරම්භව, ඔහු සෙංකෝලය උරහිස දරා පාර්ලිමේන්තුවට පැමිණ ඇත. මෙහිදී, රජුට තිබු රාජ්‍ය හා පාළන මෙන්ම සංධාන වැඩකටයුතු හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී රජුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූ අවස්ථා උදාවී ඇත. එහෙත් පාර්ලිමේන්තුව අනිවාර්යයයෙන්ම රැස්විය යුතු බැවින්, එම අවස්ථා සම්පූර්ණ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට එහි ප්‍රධානියා වශයෙන් කථානායකවරයෙකුත්, රජු වෙනුවට රජුගේ බලතල පිළිඹිබු කරන සෙංකෝලයත්, සෙංකෝලයේ බාරකාරත්වයට වේත්‍රධාරීවයාත් රජු විසින් පාර්ලිමේන්තුවට පිරිනමා ඇත.

පාර්ලිමේන්තුවට මෙම පිරිනැමීම සිදුකර ඉතිහාසයට එක්ව ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි රිචර්ඩ් රජුය. එම කාල වකවානුව තුළ වේත්‍රධාරී ධුරය පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කළ බව පැහැදිලි වේ. ඒ අනුව කථානායක ධුරය ස්ථාපිත වු මුල්ම කාලයේ සිට පහත දක්වන කරුණු ප්‍රධාන කොට වේත්‍රධාරී විසින් අදාල රාජකාරිය ඉටුකර ඇත.

· කථානායකවරායා පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වන සහ රැස්වීම් අවසානයේ නික්ම යන අවස්ථාවේදී පාර්ලිමේන්තු අධිකාරී බලය සංකේතවත් කරන සෙංකෝලය රැගෙන එතුමා පෙරටුකර ගමන් කිරීම.

සභාවාරයන් පැවැත්වෙන අවස්ථාවේ සභාවේ විධායක නිලධාරියා වශයෙන් එහි රැඳී සිටිමින් මුලසුන නිකුත් කරන නියෝග ක්‍රියාත්මක කිරීම.

වේත්‍රධාරීවරයාගේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් තවත් පාර්ලිමේන්තුව සහ සම්බන්ධව විශේෂ අවස්ථාවන් හා තොරතුරු සඳහන් කිරීමට තිබුණ ද, මෙම ලිපියෙන් දීර්ඝ ඉතිහාසයක් සම්බන්ධව කරුණු ගොනුකිරීමට ඉඩකඩක් නොමැත.

පාර්ලිමේන්තුවේ හා පාර්ලිමේන්තු සභාවේ ප්‍රධාන නිලධාරීයා වශයෙන් කටයුතු කිරීමට බැඳී සිටින්නේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයායි. එහෙත් පාර්ලිමේන්තු සභා ගර්භයේ විනය පවත්වාගැනීම හා ආරක්ෂක කටයුතු වලදී කථානායකවරයා වෙත සෘජුවම වගකීමට වේත්‍රධාරීවරයා බැඳී සිටී. මේ අනුව කැපී පෙනෙන කරුණක් වන්නේ වේත්‍රධාරී තනතුර මහලේකම්වරයා යටතේ පැවතුන ද, මහලේකම්වරයා හා වේත්‍රධාරීවරයා විසින් වෙන් වෙන්ව ඇතැම් කරුණු සම්බන්ධයෙන් කථානායකවරයා වෙත වගකීමට හා මුලසුණෙන් ලැබෙන අණ ක්‍රියාත්මක කිරීමට සෘජුව බැඳී සිටීමයි.

ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය අධ්‍යයනයේ දී, බ්‍රිතාන්‍ය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල වශයෙන් ස්ථිර වේත්‍රධාරි තනතුරක් පත්කර ඇත්තේ වර්ෂ 1405දී බව දැනගැනීමට හැකිය. එසේ ප්‍රථමවරට පත්වූ වේත්‍රධාරී වශයෙන් ගෞරවය ලබා ඇත්තේ ‘නිකලස් මෝඩිට්’ මහතාය.

1930 වසරේ දී, ලංකාවට හඳුන්වා දුන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ආකෘතිය යටතේ ලංකාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවනු ලැබිණි. එම සභාවේ බලතල අර්ථවත් කිරීම වෙනුවෙන් සෙංකෝලයක් ද නිර්මාණය විය. සෙනෙට් මණ්ඩලයේ එය භාරව සිටි නිලධාරියා ඒ අවස්ථාවේ හඳුන්වන ලද්දේ, ජෙන්ට්ල්මන් අෂර්“Gentleman Usher” නමිනි. (සෙනෙට් මණ්ඩලයේ සෙංකෝලය වර්තමාන වේත්‍රධාරී යටතේ පාර්ලිමේන්තුවේ තැන්පත්ව ඇත) මෙසේ කල්යත්ම 1947 වසරේ දී, සෙනෙට් මණ්ඩලයට අමතරව ලංකා පාර්ලිමේන්තුවට ද, වේත්‍රධාරී තනතුරක් අවශ්‍ය බවට තීරණය කර ඇත. ඒ අනුව එවක කොළඹ පොලිස් කොමසාරිස් තනතුර හෙබවු ආර්. එස්. ස්මයිල් මහතා ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වේත්‍රධාරීවරයා වී ඇත. එදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරුන් සිව් දෙනෙකු සේවය කර ඇති අතර වර්තමාන වේත්‍රධාරී සමඟ අද වන විට , වේත්‍රධාරීන් පස් දෙනෙකුගේ සේවය ලැබී තිබේ. පාර්ලිමේන්තුවේ වර්තමානයේ භාවිතා කරන වේත්‍රය හෙවත් සෙංකෝලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් 1949 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ත්‍යාගයක් වශයෙන් ලැබූවකි. එහි භාරකාරීත්වය දැරීමද වේත්‍රධාරී තැනගේ ප්‍රමුඛ වගකීමකි.

· 1947 – 1961 දක්වා - ආර්. එස්. ස්මයිල් මහතා

· 1961 - 1970 දක්වා - ජේ. ඒ. ආර්. ද සිල්වා මහතා

· 1970 - 1996 දක්වා - රොනී අබේසිංහ මහතා

· 1996 - 2006 දක්වා - විජය පල්ලියගුරුගේ මහතා

· 2006 සිට අද දක්වා - අනිල් පරාක්‍රම සමරසේකර මහතා

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අංක 65(3) වගන්තිය ප්‍රකාර පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් කථානායකවරයාගේ අනුමැතියට යටත්ව වේත්‍රධාරී පත්කිරීම සිදුකරනු ලබයි. කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා පත්කිරීම පාර්ලිමේන්තු සභාවට නිවේදනය කිරීම සම්ප්‍රදායානුකූල ක්‍රියාවකි. වේත්‍රධාරී විශ්‍රාම ගැනීමේදී එම අවස්ථාවේ දීත් පාර්ලිමේන්තුව ඔහුගේ සේවා ඇගයීමක් සම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබයි.

රාජකීය පාලන තන්ත්‍රයෙන් උරුම වූ රන් පැහැයෙන් යුත් දර්ශණීය අසිපතක් (කඩුවක්) වේත්‍රධාරීවරයා සභාවේ පැළඳ සිටින්නේ, ඔහුගේ උත්සව නිළ ඇඳුමේ අංගයක් නිසාවෙනි. (වර්තමානයේ මෙම අසිපත පැළඳීම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට පමණක් භාවිතා කරනු ලබයි.) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ උත්සව අවස්ථාවල දී, ඒ වෙනුවෙන් නිම කළ , අති අලංකාර නිල ඇඳුමක් සහ සාමාන්‍ය උත්සව හා පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් වෙනුවෙන් සුදු පැහැති විශේෂ නිල ඇඳුමක් වේත්‍රධාරී වෙනුවෙන් පිළියෙල වී ඇත. එසේම රටේ නායකයා වන ජනාධිපති පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වන අවස්ථාවේ එතුමන් පිළිගැනීමේ සාම්ප්‍රදායික නිලධාරියා වන්නේද වේත්‍රධාරී වරයාය.

මෙම තනතුර සම්බන්ධව හා මෙම කටයුතු පිළිබඳව සැලකීමේදී, වේත්‍රධාරීවරයා හැදින්වීම සදහා භාවිතා කරනු ලබන “Serjeant-at-Arms” යන්න නීතිමය හා චාරිත්‍රානුකූල නිලයක් බව එන්සයික්ලොපීඩියා (Encyclopedia Page 2784) හි, දක්වා ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන වේත්‍රධාරී තනතුර අනිල් පරාක්‍රම සමරසේකර මහතා හොබවන අතර ඔහු පාර්ලිමේන්තුවේ පස්වැනි වේත්‍රධාරීවරයා වශයෙන් පාර්ලිමේන්තු ඉතිහාසයේ ලියැවේ. නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය වේත්‍රධාරී වන අතර සහකාර වේත්‍රධාරී වන්නේ කුෂාන් ජයරත්න මහතාය.

[පී. ලක්ෂ්මන් කුමාර]

මාතෘකා