සිරිලක නිදහස් අධ්‍යාපනයේ රන් මාවත සෑදූ පස්යොදුන් රටේ මහා කළු සිංහලයා

 ඡායාරූපය:

සිරිලක නිදහස් අධ්‍යාපනයේ රන් මාවත සෑදූ පස්යොදුන් රටේ මහා කළු සිංහලයා

මෑත යුගයේ අපේ රට නිදහස් කරගැනීම උදෙසා ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ සිට කටයුතු කළ සුවිශේෂ ජාතික වීරයන් තිදෙනෙකුගේ නම් සිහියට නඟා ගත හැකිය. එනම්, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක හා ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නාමයන්ය. මේ තිදෙනාම සෙසු සමකාලීන ජාතික වීරයන්ට නොදෙවෙනි ව එම මහා සත්කාර්යයට මුල් වූයේ තම නැණ බලය, ධන බලය, ශ්‍රමය හා කාලය ඊට නොමසුරුව කැප කරමිනි. සමාසන්න කාල සීමාවකදී එකට ම රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරමින් දේශපාලන කරළියට සපැමිණි මෙම උත්තමයන් තිදෙනාගේ නම් ජාතික ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත්තේය.

රට ඉංග්‍රීසින්ට යටත්ව පැවැති යුගයක මතු දිනෙක රටේ ස්වාධිපත්‍යයක් ලබා ගනු පිණිස පාලන තන්ත්‍රය ස්වදේශිකව සකස් කරලීමේ කාර්යභාරය පියවරෙන් පියවර සැකැසීමේ කටයුත්ත මනා ලෙස ඉටු කරන්නට ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහාෂයාණෝ සමත් වූහ. එවන් නිදහසක් ලබන මතු යුගයේදී සියල් සිරිලක ඇත්තන් බතින් බුලතින්, ධන ධාන්‍යයෙන් හා ගොවිකමෙහි යෙදීමේ ජල කළමනාකාරීත්වයෙන්ද ආඪ්‍ය වූ ආර්ථික පසුබිමක් ගොඩනංවනු පිණිස ජාතියේ මහා ගොවිඳුන් බවට පත්වෙමින් ඉපැරණි යෝධයෙකු මෙන් ඩී. එස්. සේනානායක මැතිඳුන් විසින් ඉටුකළ මහා මෙහෙවර නිසාම පසුකලෙකදී එතුමන් ‘පරාක්‍රම පුනරාවතාරය’ හා ‘ජාතියේ පියා’ ලෙස විරුදාවලි නම්වලින් හඳුන්වනු ලැබිණ.

‘පස්යොදුන් රටේ මහා කළු සිංහලයා’ නමින් හැඳින්වෙමින් කුඩා කල සිට ම රැකි චර්යා ධර්මයන් මඟින් සිය අපදානය අසන්නන්ට - දකින්නන්ට හා කියවන්නන්ට පූර්වාදර්ශ බිම්බයක් බවට පත් කරවමින්, රටේ ඉදිරි පරපුරේ ඇත්තන් උදෙසා ‘නිදහස් අධ්‍යාපන දායාදය’ මතු කර වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ඇමැතිඳුන් විසින් සිදුකරන ලද්දේ මතු කලෙක ලබන එවන් නිදහස් රාජ්‍යයක් උදෙසා ස්වදේශික චින්තනයක් හසුරුවා දේශ මමත්වයකින් යුතු, ජාතික ගරුත්වයකින් යුතු ඉදිරි පරපුරක් බිහි කිරීමය. ඒ උදෙසා එතුමෝ සිය නැණ නුවණ මෙහෙයවා එක්සත්ව, එක්සිත්ව කටයුතු කර රටක් වශයෙන් දියුණුවේ මාර්ගය උදා කරලීම උදෙසා පුළුල් මහා මාවතක් විවෘත කරවීමේ මහා සත්කාර්යයක යෙදුණහ.

ඉලක්කයක් කරා දිවෙන ඊතලයක් මෙන් වූ තම සත් ප්‍රාර්ථනා හා කුසලතා තමන් වෙනුවෙන් නොව රටේ සුවහසක් පොදු මහ ජනතාව වෙනුවෙන් ඇප කැප කළ කන්නන්ගර ඇමැතිතුමෝ එදා එසේ අධ්‍යාපනයේ රන් මාවත නිසි ලෙස පාදා දෙන්නට කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ වසර දහසයකින් පසුව වර්ෂ 1947 පැවැති මහ මැතිවරණයෙන් එතුමන් මතුගම ආසනයේ මන්ත්‍රී පදවියෙන්ද ඉවත් කර දැමීමය. දෛවයේ එක්තරා විස්මයකටද හේතු වන අන්දමින් මේසා සුවිශාල සේවාවක් සිදුකළ ඇමැතිවරයෙකු එසේ සිය ආසනයෙන් පරාජය කර දමන ලද්දේද ධනයෙන් ආඪ්‍ය වූ අධ්‍යාපනඥයෙක් විසින් බවද සඳහන් කළ හැකිය.

අම්බලන්ගොඩ රන්දොඹේ ගමේ මධ්‍යම පන්තියේ නිවෙසක ඉපිද කුඩා කල සිට බලපෑ දහසකුත් එකක් හිරිහැර, කරදර, බාධක හමුවේ අභීත ධෛර්යයකින් යුතුව ඉගෙන සමාජ තත්ත්වයකට පැමිණ මතු දිනෙක තමනට මෙසේ පත් වූ තත්ත්වයට රටේ ඉදිරි පරපුරේ ඇත්තන් උදෙසා පත් නොවිය යුතුය යන නිගමනය ඇතුව කටයුතු කරන්නෙමැයි සිතාගෙන මෙසේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් යුග යුග ගණනාවක් තිස්සේ කටයුතු කළ නමුදු, රට පුරා නගරවරයන්හි ප්‍රාදේශීය විශ්ව විද්‍යාල බඳු මධ්‍ය විද්‍යාල ඇති කරවමින් කටයුතු කළ නමුදු එතුමෝ එදා 1947 දී සිය මතුගම ආසනයෙන් පරාජයට පත්වූහ. තමනට විරුද්ධව සමාජවාදී අධ්‍යාපනඥයෙකු ලෙස සපැමිණ ධන බලයෙන් විය පැහැදම් කර වැඩි ඡන්ද 3614කින් තමන් පරාජයට පත්කළ විල්මට් ඒ. පෙරේරා මහතා හමුවේ අසරණ වන්නට එතුමාට සිදු වූයේය. ඇත්තෙන්ම එම අවස්ථාව එතුමාගේ ජීවිතයේ අතිශය සෝචනීය - අනුවේදනීය අවස්ථාවක්ද වූයේ තමන්ට මෙසේ වූ පරාජයක් අත් වෙතැයි කිසි ලෙසකින් හෝ නොසිතූ හෙයිනි. වසර දහසයක් පුරා මුළු රට පුරාම සිටි ඉදිරි පරපුරක් ජාති, ආගම්, කුල භේද නොසලකා දැනුවත් කරලීමට එතුමන් කළ මෙහෙයට ලැබුණු තිළිණය මෙසේ වූ පරාජයය. මෙහිදී එම ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කළ කළුතර කච්චේරියේ දිසාපතිවරයාගේ මුවින් එය එසේ කියවෙද්දී - එය ඇසූ කන්නන්ගර ඇමැතිතුමාගේ නෙතින් කඳුළු ධාරා කඩා වැටුණේය. එය මෙවේලේ ජයෝන්මාදයෙන් වෙලී සිටි එතුමාගේ විරුද්ධවාදීන්ගේ සිත්වලට පවා අනුවේදනීය තත්ත්වයක් ඇතිකළ මොහොතක් ද විය.

මෙහිදී විරුද්ධවාදී ජයග්‍රාහක නව මන්ත්‍රීතුමා වෙත සුභ පැතූ කන්නන්ගර මැතිතුමන් විසින් කරන ලදැයි කියා වාර්තා වී ඇත්තේ අරුම පුදුම ප්‍රකාශයකි.

“දැන් ඉතින් මම ඇමැතිවරයෙක් තබා මන්ත්‍රීවරයෙක්වත් නොවෙයිනේ. ඒ නිසා මා ඇමැතිවරයා වශයෙන් මෙහි පැමිණි නිල ඇමැති මෝටර් රථයෙන් ආපසු මගේ නිවසට යෑමේ අයිතිවාසිකමක්වත් මට නැහැ. ඒ නිසා කවුරු හරි මගේ හිතවතෙක් තමන්ගේ මෝටර් රථයෙන් මාව මගේ ගෙදරට ඇරලනවාද?” යන්න එතුමාගේ එම ප්‍රකාශය විය. එය එසේ ම සිදුවිය.

මේ මෑතකදී ද සිදුවිණැයි වාර්තා වී තිබෙන පරිද්දෙන් පරාජය වීමෙන් පසුවද තම නිල මෝටර් රථ මාස ගණන් තම නිවෙස්වල තබාගෙන පරිහරණය කරන ඇමැති මැතිවරුනට එදා කන්නන්ගර මැතිතුමා කළ කාර්යය ආදර්ශයකට ගන්නට ද වටනේය.

ඉන්පසුව එතෙක් කල් අධ්‍යාපන අමාත්‍යවරයාව ලැබුණු වැටුප තබා එක සතයකුදු එතුමාට ආදායමක් ලෙස ලැබුණේ නැත. කුමක් හෙයින්ද යත් නිල බලතල තිබෙන සමයේ ලද මුදලකින් පවා කිසියම් ආයෝජනයක් කරන්නට හෝ ගෙවල්, ඉඩකඩම්, යාන වාහන මිලදී ගන්නට හෝ එතුමන් කටයුතු නොකළ හෙයිනි. එසේම තම අමාත්‍යංශය යටතේ කිසිවකුට අයථා කටයුත්තක් කිරීමට හෝ ප්‍රතිලාභ ලැබීමට හෝ ඉඩ නොදුන් හෙයිනි. එකළ ද දැන් වර්තමාන සමයේ සමහර පුද්ගලයන් දේශපාලනයට එන්නේ කෙසේ හෝ හරිහම්බ කරගැනීමම තම පරමාර්ථය කර ගනිමිනි. එහෙත් එසේ නොකළ කන්න්නගර මැතිතුමෝ මන්ත්‍රී පදවිය ද අහිමි වීමෙන් පසුව තම බිරිඳත් සමඟ එකම දුවණියගේ - බෑණාගේ නිවසට වී කාලය ගත කළහ.

පසුකලෙක එතුමනගේ තත්ත්වයෙන් රටට තවත් මෙහෙයක් සලසා ගනු පිණිස එතුමන් ඉන්දුනීසියාවේ කොන්සල් ජනරාල්වරයා වශයෙන් පත් කරන්නට පැවැති රජයේ ඉහළ ඇත්තෝ කටයුතු කළහ. එය එතුමාගේ සිතට සැනසිලිදායක කරුණක් ද විය.

ඉන් අනතුරුව වර්ෂ 1951 පැවැති මහ මැතිවරණයේදී යළිත් සිය රට පැමිණ අගලවත්ත ආසනය තරඟ කර විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට කන්නන්ගර මැතිතුමෝ සමත් වූහ. ඉන්පසුව ඩඩ්ලි සේනානායක රජයේ පළාත් පාලන අමාත්‍ය පදවියට කන්නන්ගර මැතිතුමා පත්කරන ලද්දේය. මෙහිදී එතුමනට යළිත් අධ්‍යාපන අමාත්‍යකම නොදී පළාත් පාලන ඇමැතිකම දුන්නේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමන් කරන ලද කැපිල්ලක් නිසා බව සමහරුනගේ අදහස විය. එය දැනගත් අගමැතිතුමන් කියාසිටියේ කවර අමාත්‍යංශයක වුවද සිය දස්කම් දැක්වීමට හුරු කන්නන්ගර ඇමැතිතුමාට පළාත් පාලන අමාත්‍ය ධුරය පිරිනමන ලද්දේ වර්ෂ 1936 සිට 1951 දක්වා බණ්ඩාරනායක මැතිතුමා දැරූ ඇමැතිකමට සමානව හෝ නැතිනම් ඊට වඩා ඉහළ සේවයක් මෙතුමාගෙන් බලාපොරොත්තුවෙන් බවය. එය සනාථ කරන්නට මෙන් ම කන්නන්ගර ඇමැතිතුමන් පළාත් පාලන අමාත්‍ය ධුරය දැරූ වසර හතර පුරා වූ සේවය බණ්ඩාරනායක සේවයට වඩා ඉහළින් කැපී පෙනුණ බවය.

එහෙත් තමන්ට කවර විෂයක වුවද දක්ෂතා දැක්වීමට නැණ බලය තිබෙන නමුදු, මෙසේ වර්ෂ 1925 සිට පුරා අවුරුදු 31ක් තිස්සේ දේශ සේවයෙහි දේශපාලනයෙහි යෙදීමෙන් අනතුරුව එතුමෝ තමන් ඉන් දැන් විශ්‍රාම ලැබිය යුතුව ඇතැයි සිතා ඒ අනුව වයස 72දී තීරණය කර 1956 මහා මැතිවරණයට ඉදිරිපත් නොවූහ.

ඉන්පසුව එතුමන්ගේ නෑදෑ හිතවතුන්ට දක්නට ලැබුණේ වසර 20ක් පුරා රටේ ප්‍රබල ඇමැතිකම් දෙකක් ම දැරූ කන්නන්ගර මැතිතුමන් සාමාන්‍ය රෝගාබාධවලට ද ලක්ව අසරණව සිටින බවය. විශේෂ වූ ගමනක් බිමනක් යන්නට වාහනයක් පවා නොමැතිව අසරණව සිටින බවය. බෑණාගේ සහ දුවණියගේ කරුණාව මත සිය මැතිණිය ද සමඟ එහි සිටිමින් අසරණව සිටින බවය.

මෙසේ කලක් ගත වී යද්දී හිතවත් කිහිපදෙනෙකුගේ ඇනැවීම අනුව මේ වනවිට රටේ ඉහළම තත්ත්වයේ රජ ගෙදර සිටින තමාගේ ගෝලයෙකු වූ ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමන්ට එත්මෝ තමන් මෙසේ දුක සේ වෙසෙන නිසා එයට ගත යුතු කවර පියවරක්දැයි විමසා ලිපියක් යැවූහ.

 

“ඔබතුමා දැන් කළ යුත්තේ තමන්ගේ වර්තමාන තත්ත්වය ගැන හෙළි කර ඊට අදාළ වෙනත් කරුණුද සඳහන් කර පාර්ලිමේන්තුවේ කතානායකතුමන් වෙත ආයාචනයක් ලෙස ලිපියක් පිළිසරණයක් පතා යැවීමය.” යැයි ඊට පිළිතුරු වශයෙන් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයා එතුමන් වෙත ලියා එවූහ.

සියලු කරුණු කාරණා ඇතුළත්ව දීර්ඝ ලිපියක් එවකට පාර්ලිමේන්තුවේ කතානායකවරයාව සිටි ආර්. එස්. පැල්පොල මහතා වෙත ලියා යැවුණේත් “ මා දැන් සිටින්නේ අන්තිම කාලයේ - මට මේ ඉතිරි සුළු කාලයේ ජීවත් වන්නට පින් පඩියක්වත් ලැබුණොත් හොඳයි” යන මූලික අර්ථයෙන් යුතුව ලියැවුණු එම ලිපියට ප්‍රතිචාර ලෙස එය පාර්ලිමේන්තු සභාගත කර එතුමාගේ සේවයට සලසන පාරිතෝෂිකයක් ලෙස රුපියල් දසදහසක මුදලක්ද, මාසිකව රුපියල් පන්සියයක්ද (පිං පඩියක්) පිරිනමන ලද්දේය.

ඉන්පසු පැමිණි ජාතික රජයේ ඇමැති ඊරියගොල්ල මැතිතුමා එම මාසික මුදල රුපියල් දහස දක්වා වැඩිකරන ලද්දේය. එම මුදලෙන් තමන්ගේ ගිලන් බව යාන්තමකට හෝ දුරු කරගෙන තවත් දින ගණනාවක් හෝ ජීවත් වන්නට එතුමාට හැකිවිය.

අන්තිමේ වර්ෂ 1969 සැප්තැම්බර් 23 වැනිදා ලෝකයාට අසන්නට ලැබුණේ මෙතෙක් කල් අසරණව ජීවත් වූ කන්නන්ගර මැතිතුමා අභාවයට පත් වූ බවය. එය වැඩි පිරිසකට මවිතයට ද හේතු වූ කරුණක් විය.

මෙසේ රටට ජාතියට උදාර මෙහෙවරක් ඉටු කර අභාවයට පත් වූ කන්නන්ගර ඇමැතිතුමන් පිළිබඳව විශේෂයෙන් වර්තමාන පරපුරට අසන්නට කියවන්නට ලැබෙන්නේ අහම්බෙන් මෙනි. එහෙත් එතුමන්ගේ නාමය රටේ, ජාතියේ ඉදිරි පරපුරේ හදවත්වල රන් අකුරින් ලියැ වී තිබිය යුතු එකකි.

එතුමන් පිළිබඳව සමරු ගීතයක් ලියූ ප්‍රවීණ ගීත රචක ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතා එහි සඳහන් කරන්නේ මෙසේය.

සිරිලක නිදහස් අධ්‍යාපනයේ රන් මාවත සෑදූ

විද්‍යාලෝකය ගමට රටට දී මනස නැණස සෑදූ

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුනි ගුණ මහරූ

යුගෙන් යුගේ දරු පරපුර පින්දෙන ඔබමය ඉටු දෙවිඳු

 

සිව්දිග නැණ සිළු දැල්වෙන පෙළහර පා

දෑ නිදහස ඉගෙනුමෙන් සුපුන් කරවා

ගමෙන් රටට උගතුන් ජගතුන් තනවා

විස්කම් පෑ ඔබ රටට ජාතියට අබැටක ණයක් නැතී

සිරිලක නිදහස් අධ්‍යාපනයේ.....

 

තම හිත සුව උදෙසා කිසිවක් නොපැතූ

තම සතු දෑ වුව පොදු යහපතට පිදූ

අධ්‍යාපන දායාදෙන් දැය සැරසූ

ඔබ හට මතුදා නිවන් දකින්නට - ඒ මහ පිනම ඇතී

සිරිලක නිදහස් අධ්‍යාපනයේ.......

වර්ෂ 1931 ජූලි නමවෙනිදා ප්‍රථම වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමෝ අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වූහ. මේ එයින් ගෙවී යන්නේ 87වැනි වසරය. මෙයට පෙර බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවා තිබෙන ඉසුරුපායට පිවිසෙන දොරටුවේ කන්නන්ගර ඇමැතිතුමාගේ සුවිසල් මහා ප්‍රතිමාවක් හා එහි පිටුපස අධ්‍යාපන සේවය මූර්තිමත් කරවන සිතුවම්ද යොදා තිබිණ. එය දකින කාගෙත් මනා ගෞරවය පිරිනැමෙන අවස්ථාවක්ද විය.

ඒ හා සමානම නිමැවුම් පිළිරුවක් මෙය ලියැවෙන ජූලි 10 වැනිදා පැරණි පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිතය. එයින් ද වර්තමාන හා ඉදිරි පරපුරේ ද ගෞරව භක්ති ප්‍රණාමය උදාර මෙහෙයක් සැලසූ ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ නාමය වෙත පිරිනැමෙනු නියතය. මෙවන් උදාර පුද්ගලයන් ජාතියක උත්පත්තිය ලබන්නේද ඉතාමත්ම කලාතුරකිනි.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා