තුන්වැනි ලෝකයෙන් පළමුවෙනි ලෝකයට ආ සිංගප්පූරුව​

 ඡායාරූපය:

තුන්වැනි ලෝකයෙන් පළමුවෙනි ලෝකයට ආ සිංගප්පූරුව​

සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාව පසුගිය පනස්පස් වසරක පමණ කාලය තුළ සිංගප්පූරුවේ ගමන්මඟ පිළිබඳ ආපසු හැරීබැලීමට සිත් දෙයි. වෙසෙසින්ම ලී සියෙන් ලූන්ග්ගේ පියා වූද නූතන සිංගප්පූරුවේ නිර්මාතෘද වූ ලී ක්වාන් යූ එරට ගෙන ආ ගමන්මග පිළිබඳ අප දැනට වඩා සාකච්ඡා කළ යුතුය​. ලී ක්වාන් යූ 1965 සිට සිංගප්පූරුවේ වූ පරිවර්තනය පිළිබඳ සටහන් කරන ඔහුගේ ස්වයංචරිතාපදානයට යොදාගෙන ඇත්තේ එය කදිමට සංකේතවත් කරන නමකි. එනම් “From Third World to First” හෙවත් “තුන්වැනි ලෝකයෙන් පළමුවැනි ලෝකයට” යන්නයි.

ලංකාව සිංගප්පූරුවක් නොවේ

අප මූලික වශයෙන් තේරුම්ගත යුතු, එමෙන්ම වරදවා නොගත යුතු තැනක් තිබේ. එනම් අප සිංගප්පූරුව පිළිබඳ අධ්‍යයනය කළ යුත්තේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට නොව සිංගප්පූරුවේ කතාවෙන් පාඩම් ඉගෙන ගැනීමටය​. ම‍ෙය වරදවා ගතහොත් සිදු විය හැක්කේ විනාශයකි. මේ පිළිබඳව වත්මන් අගමැති ලී සියෙන් ලූන්ග් 2014 සැප්තැම්බර් මාසයේ පැවති සිංගප්පූරු සමුළුවේදී පැහැදිලිව කියා සිටියේය​. සිංගප්පූරු සංවර්ධන මොඩලය අනෙක් රටවල ගෙඩිය පිටින් ක්‍රියාවට නගන්නට නොහැකි බව පැවසූ ඔහු සිය රටේ විශාලත්වය මෙන්ම එහි ඉතිහාසය සහ මුහුණ දෙන්නට වූ අභියෝග අනෙක් රටවල්වලින් වෙනස් වීම ඊට​ හේතු ලෙස පෙන්වා දුන්නේය​.  

ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ඡාව

කෙටි කලක් තුළ තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට ගමන් ගත් එකම රට සිංගප්පූරුව නොවේ. නමුත් එසේ වේගවත් ගමනක් පැමිණි අනෙක් රටවලට සාපේක්ෂව සිංගප්පූරුව ගමන්ගත් මග ප්‍රාතිහාර්යයකි. මක් නිසාද සිංගප්පූරුවට කුඩා රටක් ලෙස මුහුණ දීමට වූ අභියෝග සුවිශාල වීමයි. මේ අභියෝගයේ තරම හොඳින්ම වැටහෙන්නේ 1965 අගෝස්තු 9 වනදා සිංගප්පූරු වේලාවෙන් මධ්‍යාහ්නයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය​. 1963 සිට දෙවසරකට ආසන්න කාලයක් මැලේසියානු ෆෙඩරේෂනයෙහි කොටසක් ලෙස පැවති සිංගප්පූරුව නිදහස ලැබුයේ එදිනය​. සත්‍ය වශයෙන්ම නිදහස ලැබුණා නොව මැලේසියාව විසින් ෆෙඩරේෂණයෙන් සිංගප්පූරුව ඉවත් කෙරුණි. කිසිදු ස්වාභාවික සම්පතක් නොමැති කුඩා රටක්, කලාපීය හැලහැප්පීම්ද මැද​, ස්වාධීන ගමනක ගෙන යාමේ අභියෝගය පිළිබඳ ලී ක්වාන් යූ මනාව දැන සිටියේය​. ඉහත කී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මැලේසියාව සහ සිංගප්පූරුවේ එක්සත්කම පිළිබඳ ඔහුගේ බිඳවැටුණ බලාපොරොත්තු පිළිබඳ ප්‍රකාශ කිරීමට ගිය ලී ක්වාන් යූ කිසිවකුත් බලාපොරොත්තු නොවන පරිදි හඬා වැටුණේය​. කෙසේ වෙතත් ඒ මුල් කම්පනයෙන් පසු ලී ක්වාන් යූ තමන්ට අවශ්‍ය ගමන යාමට අදිටන් කරගත්තේය. එම සිද්ධියෙන් පැහැදිලි වූ කරුණ නම් තමන් සතු අභියෝගයේ තරම අවබෝධ කර ගැනීමට ලී ක්වාන් යූ සමත් වූ බවයි.  

අභියෝග

ඔහු මුහුණ දුන් ප්‍රධානම අභියෝග අතර ජනතාවට රැකියා, නිවාස සැපයීම සහ රටේ ආරක්ෂාව සහතික කිරීම ප්‍රධාන වූයේය​. නිදහස ලබන සමය වන විට රටේ සැලකිය යුතු කොටසක් දෙනා බ්‍රිතාන්‍ය යුද කඳවුරුවලට භාණ්ඩ සහ සේවා සැපයීමෙන් ජීවිකාව කරගත් අතර රටේ ආරක්ෂාවටද එම හමුදා රැඳීසිටීම වැදගත් විය. විශේෂයෙන්ම මැලේසියාව දෙසින් එල්ල වන බලපෑම්, ඉන්දුනීසියාවේ පැවති කලබලකාරී තත්ත්වය, වියට්නාමයේ යුද්ධය, දේශීය වශයෙන් කොමියුනිස්ට්වාදීන්ගේ බලපෑම්, ජාතීන් අතර අසමගියක් ඇති වීමේ ඉඩකඩ​ යනාදී කරුණු රටේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය පිළිබඳ අනියතභාවයක් නිර්මාණය කළේය​.  

මේ අතර 1970 දශකයේ මුල් කාලය වන විට බ්‍රිතාන්‍ය හමුදා ඉවත් කරගැනීමට කටයුතු කිරීම ආර්ථිකය මෙන්ම ආරක්ෂාව යන අංශ දෙකෙන්ම සිංගප්පූරුව වෙත අභියෝග එල්ල කළේය​.  

සිංගප්පූරුව නිදහස ලබද්දී තිබුණු වාසිදායක තත්ත්වයන් අතර ප්‍රධාන වශයෙන් දැකිය හැකි වන්නේ රටේ භූගෝලීය පිහිටීමය​. මලක්කා සමුද්‍ර සන්ධිය පැසිෆික් සාගරය දෙසට විවෘත වන ස්ථානයේ පිහිටි සිංගප්පූරුව, මැදපෙරදිග සහ ඈත පෙරදිග අතර නාවික ගමනාගමනයේදී අතිශයින්ම වැදගත් මර්මස්ථානයක් වූයේය​. නමුත් ලී ක්වාන් යූ ඔහුගේ ස්වයංචරිතාපදානයෙහි පැහැදිලි කරන පරිදි යහපත් භූගෝලීය පිහිටීමක වරායක් තිබුණ පමණින් සියල්ල ඉටු වන්නේ නැත​. වරායකට ප්‍රත්‍යන්තයක් (hinterland) සහිතව දියුණු වීම අපහසු කටයුත්තකි. එමෙන්ම නෞකා එහි ආකර්ෂණය කර ගැනීම​ සඳහා සේවා, ඉන්ධන ආදිය සැපයීමද වැදගත්ය​. ඒ සියලු කරුණුද සහිත වූ විටෙක පමණක් භූගෝලීය පිහිටීම වාසියකට හරවා ගත හැකිය​.  

කලාපයේ පැවති අස්ථාවරභාවය හේතුවෙන් ඒ ආශ්‍රිතව ප්‍රත්‍යන්තයක් හෙවත් වෙළෙඳපොළක් සොයාගැනීම නිදහස ලබන සමයෙහි සිංගප්පූරුවට අපහසු කටයුත්තක් විය​. එහෙයින් ලී ක්වාන් යූ උත්සාහ කළේ කලාපයෙන් එපිට වෙත සිය අවධානය යොමු කිරීමටය​. මේ අතරම රට කාර්මිකකරණය කිරීමේද, විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමේද වැදගත්කම ඔහු තේරුම් ගත්තේය. මුල් කාලයේ සුළු කර්මාන්ත කෙරේද අවධානය යොමු කළද වැඩි කල් නොගොස්ම විශාල කර්මාන්ත සහ නව තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කෙරේ සිංගප්පූරුව යොමු විය​. ඒ සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට උත්සාහ කළේය​.  

මෙහිදී ලී ක්වාන් යූ ආයෝජකයින්ට පෙන්වූ එක් ධනාත්මක අංශයක් වූයේ ස්ථාවර දේශපාලන තත්ත්වයකි. 1960 දශකයේදී ලී ක්වාන් යූ වෘත්තිය සමිති සහ විරුද්ධ දේශපාලන නායකයින් මර්දනය කිරීමට ඇතැම් විට ඉතා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළේය​. එකල යම් ප්‍රමාණයකට සත්‍ය වූ කොමියුනිස්ට් භීතියක් රටේ පැවතුණ අතර එය මේ සඳහා පිටිවහලක් වූයේ යයි කිව හැක. කෙසේ නමුත් විපක්ෂය මර්දනය කරන ලද පසු රටේ පවත්නා දේශපාලන ස්ථාවරභාවය යටතේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සිංගප්පූරුවට ලැබුණි.   

කාර්යක්ෂම පාලනය​

කෙසේ වෙතත් විපක්ෂ කණ්ඩායම් මර්දනයට ලක් කළ එකම රට සිංගප්පූරුව නොවේ. නමුත් එම රටවල්වලින් සිංගප්පූරුව වෙනස් වීමට ප්‍රධානම හේතුව නම් නීතියේ ආධිපත්‍යය​, දූෂණය පිටු දැකීම​, කාර්යක්ෂම සහ කාර්ය ශූර රාජ්‍ය පාලනය යනාදී කරුණුය​.  

වත්මන් සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් ලොව වැඩිම වැටුපක් ලබන අගමැතිවරයාය​. ඔහුගේ වැටුප ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ වැටුප මෙන් සිව් ගුණයකි. එමෙන්ම අනෙකුත් කැබිනට් ඇමතිවරුන්ට මෙන්ම රජයේ උසස් නිලධාරීන්ට සිංගප්පූරුව විසින් ඉහළ වැටුප් ගෙවනු ලැබේ. මේ අතර දූෂණයට එරෙහිව දැඩි නීති පනවා තිබේ.  

ජාතීන් අතර සමගිය​

සිංගප්පූරුවේ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් චීන ජාතිකයන්ය​. ඉතිරිය මැලේ, ඉන්දියානු සහ වෙනත් සංක්‍රමණික ජනතාව වෙති. මේ අය අතර සමගිය ආරක්ෂා කර ගැනීම මුල් කාලයේ සිංගප්පූරුවට වූ අභියෝගයක් වූයේය​. විශේෂයෙන්ම යාබද මැලේසියාවේ මැලේ සහ චීන ජාතිකයන් අතර ගැටුම් ඇති වන අවස්ථාවල එම අර්බුද සිංගප්පූරුව වෙත කාන්දු වීමේ අවදානමක් තිබුණි. එහෙයින් සිංගප්පූරුවේ ජාතීන් අතර ප්‍රශ්න ඇති වීම වළක්වා ගැනීම කෙරෙහි රජය විශාල අවධානයක් යොමු කළේය​.  

මුල් කාලයේ සිංගප්පූරුවේ වූ විශාලම ප්‍රශ්නයක් වූ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා තට්ටු නිවාස ක්‍රමය හඳුන්වා දුන් රජය එම තට්ටු නිවාසවල ජන අනුපාතයද ආසන්න වශයෙන් රටේ ජන අනුපාතය අනුව වේ. මේ අතරම සිංගප්පූරුව ක්‍රියාවට නැගූ අනෙක් වැදගත් පියවරක් නම් සියල්ලන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමයි. ශ්‍රී ලංකාව 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ඇති වූ විපාක පිළිබඳව ලී ක්වාන් යූ නිතර පවසා තිබේ. සිංගප්පූරුවේ වසන විවිධ ජාතීන්ට අයත් අයට එකිනෙකා හා අදහස් හුවමාරුව සඳහා ඉංග්‍රීසි මාධ්‍යය යොදාගත හැකි වීම ජනතාව අතර අන්තර් සම්බන්ධය වර්ධනය වීමට හේතු වූ බව රජයේ මතයයි.  

ආයෝජන​

අදටද සිංගප්පූරුව විසින් ආයෝජකයන් දිරි ගැන්වීම කරනු ලබයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගන යාම සඳහා රජයෙන් දිරිගැන්වීම් කරනු ලැබේ. ලෝක බැංකුව විසින් සකස් කරනු ලබන ව්‍යාපාර කිරීමේ පහසුව (Ease of Doing Business Index) පිළිබඳ දර්ශකයෙහි සිංගප්පූරුව දෙවන ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව සිටිනුයේ 111 වන ස්ථානයේය​.  

මේ අතර ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ඇති තවත් එක් වෙනසක් වනුයේ රජයේ ආදායම උපයා ගන්නා අන්දමය. ශ්‍රී ලංකාවේ රජය සිය ආදායම සම්පූර්ණයෙන්ම පාහේ උපයන්නේ බදුවලිනි. සිංගප්පූරු රජය සිය මුදල් ආයෝජනය කරයි. ජාතික ප්‍රාග්ධන අරමුදලක් වන තමසෙක් හෝල්ඩිංස් ආයතනය හරහා එරට රජය දේශීයව මෙන්ම විදේශීයව ආයෝජනයන් සිදු කර තිබේ. එම ආයෝජනයන් මගින් රජයට විශාල ආදායමක් ලැබේ. ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සහ එවන් කටයුතුවල ආයෝජනය කිරීම මගින් රජයටද යම් ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාවේ රජය ඒ දෙස අවධානය යොමු කරන්නේද යන්න ප්‍රශ්නයකි.  

ආකල්ප​

සිංගප්පූරුවේ ඇතැම් නීති රීති ඉතා තදය. තැන තැන කුණු දැමීම​, පොදු ප්‍රවාහන සේවාවන්හි ආහාර ගැනීම ආදිය දැඩි දඩයකට යටත් විය හැකි වරදක් සේ සලකනු ලබයි. පරිසරය ආරක්ෂා කිරීම, මාර්ග නීති ආරක්ෂා කිරීම යනාදී අංශ කෙරේද තද නීති ක්‍රියාත්මකය. කෙසේ නමුත් සිංගප්පූරුවේ සංවර බව සහ නීතිගරුක බව තනිකරම නීති මගින් කළ දෙයක් නොවේ. ඒ සඳහා විශාල දැනුවත් කිරීමේ වැඩසටහන් එරට ක්‍රියාත්මක වුණි. 1968 දී "සිංගප්පූරුව පිරිසිදුව තබා ගනිමු" යන තේමාව යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගුණි. ඉන් කලකට පසු රුක් රෝපණය පිළිබඳවද ව්‍යාපෘතියක් රජය විසින් දියත් කරන ලදී.  

යහපත් සෞඛ්‍ය පුරුදු​, දුම්බීමේ ආදීනව, ලෙඩ රෝග වළක්වා ගැනීම ආදී සෞඛ්‍යමය කරුණු සම්බන්ධ දැනුවත් කිරීම් මාලාවක් වෙනම දියත් කෙරුණි. මේ අතර 1980 - 90 දශක කරා එළඹෙන විට ආචාරශීලී වීම, වැඩිහිටියන්ට සැලකීම​, මාර්ග නීති සුරැකීම​, බලශක්තිය සුරැකීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය ආදිය පිළිබඳ දැනුවත් කිරීම් කරන ලදී. මේ සඳහා විවිධ තරඟ පවා සංවිධානය කිරීමට රජය ක්‍රියා කළ අතරම මේ සියලු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේ දැන්වීම්කරණය පිළිබඳ මෙන්ම අදාළ විෂය පථය පිළිබඳ (සෞඛ්‍යය, අධ්‍යාපනය ආදී) පිළිගත් වෘත්තිකයන් සම්බන්ධ කරගෙනය​.  

මේ අතර​ රටේ ජනතාවට භාවිත කරන්නට සිතෙන ආකාරයේ පොදු ප්‍රවාහන සේවයක් එරට ක්‍රියාත්මක අතර කැළිකසළ බැහැර කිරීමට ඇති තරම් බහාලුම් සැම තැනකම දකින්නට ලැබේ. තවද පොදු ස්ථාන සැම එකකම කාන්තාවන් සහ පිරිමින් සඳහා මෙන්ම ආබාධිත අය සඳහාද වැසිකිලි පහසුකම් එහි වේ. නීති රීති සහ දැනුවත් කිරීම් ක්‍රියාත්මක වන්නේ අවශ්‍ය පහසුකම් සැලසීමෙන් පසුව ය​.  

ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ ක්‍රමය කෙළින්ම ආදේශ කළ යුතු නොවෙතත් ආයෝජන සහ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා කටයුතු කිරීම එරටින් උගත හැකි එක් පාඩමකි. අනෙක් අතින් මානව සම්පත් සංවර්ධනයට අදාළව පොදු ප්‍රවාහනය දියුණු කිරීම​, පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම, මාර්ග නීති සුරැකීම, ආචාරශීලීභාවය සහ කෙටියෙන් ගතහොත් ආකල්පමය සංවර්ධනය පිළිබඳ සිංගප්පූරුවෙන් ගත හැකි ආදර්ශ බොහෝය​. 

[චාමර සුමනපාල]

මාතෘකා