'මට පුද්ගලික ඉලක්කයක් නැහැ' : ඇමති චම්පික රණවක

 ඡායාරූපය:

'මට පුද්ගලික ඉලක්කයක් නැහැ' : ඇමති චම්පික රණවක

වමෙන් පටන්ගත්ත ඔබ දකුණෙන් නැවතිලා.

ඔව් මම මුල් කාලයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙක්. පසුව කාලානුරූපීව අපි තීරණ ගන්නවා. අනෙක, ඔය කියන වාමාංශික, දක්ෂිණාංශික වගේ දේවල් දැන් ප්‍රායෝගික නෑ. අපි ප්‍රායෝගික විය යුතුයි. ඉස්සර පරම්පරාවක් බිහිවෙන්න අවුරුදු හැත්තෑවක් වගේ කාලයක් ගියා. දැන් අවුරුදු එකහමාරෙන් පරම්පරාවක් බිහිවෙන තරමට ලෝකය පරිවර්තනය වෙලා.

එහෙම බැලුවම ආණ්ඩුවට පරම්පරා දෙකක වයස?
ඔව්.

ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ?
හොඳ නරක දෙකම තිබෙනවා. යහපත් දේ වැඩියි. බලන්න දැන් මැතිවරණයක් තියෙනවා. රජයේ ආදායම වැඩිකරගෙන තිබෙනවා. මාධ්‍ය නිදහස ඇතිකළා. අධිකරණය ස්වාධීන කළා. මානව නිදහස ස්ථාපිත කළා. මේවා ජයග්‍රහණ.

එතකොට මොනවද පරාජයන්?
ජනතාව බලාපොරොත්තු තියාගෙන හිටියේ හොරුන්ට, මංකොල්ලකාරයින්ට දඬුවම් දෙයි කියලා. තාමත් ඒක නිසි වේගයකින් වෙලා නෑ. ඒ ගැන ජනතාව ඉන්නේ කළකිරිලා. රාජපක්ෂ කල්ලිය ඇතුළු පිරිසට එරෙහි පරීක්ෂණ කඩිනම් කරන තුරු ජනතාව බලාගෙන හිටියා.

ගිය ආණ්ඩුවේ අමාත්‍යාංශ දෙකේම වැඩ පෙන්නපු 'චම්පික'මේ ආණ්ඩුවේ ෆේල් වගේ නේද?
ඒක සහමුලින්ම බොරු. එක පැත්තකින් රාජ්‍ය ආයෝජන නැතිව අපි වැඩ කරනවා. අනෙක් පැත්තෙන් අධිකාරිමය බලයකුත් නෑ. ඒත් අපි වැඩ කරනවා. ඔතනින් එලියට බැහැලා ගෝල්ෆේස් පැත්තට ගියොත් ඔබට අපේ වැඩ පේනවා.

මොනවද?
වරාය නගර ව්‍යාපෘතිය. ඒක රටේ විශාලතම පුද්ගලික ආයෝජන ව්‍යාපෘතියක්. ඒකට තිබ්බ පාරිසරික ගැටලු, කොමිස් ආදී සියල්ල නැතිකරලා ඉතාම විධිමත් ව්‍යාපෘතියක් බවට පත්වෙලා තියෙනවා.

ඒක චීනෙන් කරන වැඩක්නේ. වෙන මොනවද?
කවුරු කළත් අපේ අමාත්‍යාංශය හරහා වෙන්නේ. භෞතික සංවර්ධනයට එහා ගිය පුද්ගල සංවර්ධනයක් මෙම රට තුළ අපි ඇතිකරල තියෙනවා. ඒ වගේම කොළඹ නගරය අද විධිමත්ව අප ගොඩනඟනවා. කොළඹ නගරයේ මලපවාහන පද්ධතිය 1860 සුද්දා දැම්මේ.

ඔබගේ අමාත්‍යාංශය දැවැන්ත ව්‍යාපෘතියක්නේ. කොහෙන්ද සල්ලි?
සිංගප්පූරුව ගොඩනැගුණේ ඒ අයගේ ධනයකින් නෙමෙයි. ඒ අය වටපිටාවක් හැදුවා අනිත් අයගේ ධනය ගලා එන්න පුළුවන් විදිහට. ඩුබායි ගොඩනැගුණේ ඒ අයගේ ධනයකින් නෙමෙයි. අනිත් අයගේ ධනය ගලා එන මාර්ග හදපු එකයි ඒ අය කළේ. දැන් ඩුබායිවල තමයි ලෝකයේ ප්‍රධානම රන් වෙළෙඳපොළ තියෙන්නෙ. නමුත් ඩුබායි කියන්නෙ රත්තරං ඇටයක්වත් හදන රටක් නෙමෙයි.

සමහරු කියන්නේ කොළඹ ලස්සන කළේ ගෝඨාභය කියලා?
 අපි ගෝඨාභය වගේ මල් හිටවන්න යන්නේ නැහැ. අපි මුලින් හදන්නේ කුස්සියයි වැසිකිළියයි. ඒ අවුරුදු සිය ගණනක් පරණ මේ වැසිකිලි මලනළ පද්ධතිය අපි ඊළඟ අවුරුදු තුනේදී විධිමත් කරනවා. බේරේ වැවට කැළි කසළ යවපු යුගය, ඒ වගේම මට්ටක්කුලියෙන්, වැල්ලවත්තෙන් මහ මුහුදට කැළිකසළ යවපු යුගය නවත්වා මේ මුළු කොළඹම මල අපවහන පද්ධතිය විධිමත් කරන වැඩ පිළිවෙළ අද අපි ක්‍රියාත්මක කර තිබෙන බව.

මිනිස්සු කියන්නේ දැනෙන යමක් කරලා නෑ කියලනේ?
මේ ආණ්ඩුව පාරවල් කාපට් කරන ආණ්ඩුවක් නෙමෙයි, ඒක මතක තියාගන්න. මේ ආණ්ඩුව සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අධ්‍යාපනය  දියුණු කරන ආණ්ඩුවක්. අද කොළඹ මහ රෝහලේ අංග සම්පූර්ණ සේවාවන් සැපයෙනවා. ඖෂධ වර්ග 400ක මිල ගණන් අඩුකරලා සහනය දීලා තියෙනවා. හදවත් රෝගයෙන් පෙළෙන  ඕනෙම කෙනෙකුට අද ගිහිල්ලා ඒ හදවත් රෝගයට නොමිලේ බයිපාස් ප්‍රතිකාර ලබාගන්න අවස්ථාව ලබාදීලා තියෙනවානේ. ඒ ඔක්කොම අපි මේ පාලනය යටතේ සිදුකර තිබෙනවා. ඒ වගේම අපි පාසල් හැම එකේම, ළඟම පාසල හොඳම පාසල හැටියට දියුණු කර තිබෙනවා. පොතපත දීලා ඇඳුම් පැළඳුම් දීල විතරක් නෙමෙයි අපේ දූ දරුවන්ට ටැබ් එක අතට දෙන යුගයක් අපි මේ ආණ්ඩුව ඇතුළේ හදලා තිබෙනවා.

දූෂිතයන්ට දඬුවම් නැහැ, විමර්ශන නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ වගේ චෝදනා  එල්ල කරනවා.මේ රටේ දූෂණ නොවුණා යයි කියන්න කාටවත් පුලුවන්ද?, බෑ.. මෙතන වුණේ ජාතික මංකොල්ලයක්. ඒවා පෞද්ගලික දූෂණ නෙමේ. රාජ්‍ය දේපළ භාවිත කරපු දූෂණ.

කොතනද වරද?
කරපු සූක්ෂම හොරකම් හොයන්න තරම් දක්ෂභාවයක් සූක්ෂ්මභාවයක් අපේ නීති ක්ෂේත්‍රයේ ඉන්න කට්ටියට නැහැ. ඊළඟ කාරණය දේශපාලන වශයෙන් සමහර අයට නීතිය ක්‍රියාත්මක නොවී ඒ අයට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය වෙන බව පැහැදිලියි. කාලයක් යද්දී තමන්ගේ නඩුවේ ස්වභාවය දැනගන්න චූදිතයාට හැකියාව ලැබෙනවා. සමහර නඩු ඇහිලා තීන්දු එනකොට අවුරුදු ගාණක් යන්න පුලුවන්.

සාමාන්‍යයෙන් මේ කල් මැරීමේ වාසිය යන්නේ විපක්ෂයට නේද?
ඔව්. ඒක අවාසනාවන්ත තත්ත්වයක්.

ගිය ආණ්ඩුවේ ගල්ලෙන බින්ද ඔබ මේ ආණ්ඩුවේ හරි තැන්පත් වගේ?
කොහොමද එහෙම කියන්නේ.

කෝ මොකුත් සද්දයක් නෑනේ?
මාධ්‍යයට වීරයෝ වෙන්න ප්‍රකාශ නිකුත් කරන එක නොවේ වෙන්න ඕන. අපි අපේ වැඩේ හරියට කරනවා. අපි ඇවිල්ලා විවේචකයෝ නෙවෙයි. අපි තීරණාත්මකව අමාත්‍යාංශ හරහා අපේ ආදර්ශය රටට දෙනවා. දෙක, ප්‍රතිපත්තිමය කාරණාවලදි පෙරට එනවා. තුන, අවශ්‍යවෙලාවේදී තීරණාත්මකව මැදිහත් වෙනවා.

ඔය කීවට හෙළ උරුමේ දැන් ඔබ විතරක් හුදකලා වෙලා, හැමෝම වගේ ගිහින් නේද?
නෑ, එහෙම හිතෙන්නේ නෑ. අවස්ථාවාදයෙන් තොරව අපි වැඩ කරනවා. හෙළ උරුමය බිහිකළේ භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා දැන් නෑ. අනෙක් ගියපු අය ගැන කතා කරන එකේ පලක් නෑ.

හිතෙන්නේ නැද්ද හැංගි හොරා නැතිව කෙලින්ම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා නම් හොඳයි කියලා?
ඒ පක්ෂය තවදුරටත් වෙනස් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. පරම්පරාගතව හිමිවෙලා තියෙන තත්ත්වයෙන් මිදෙන්න ඕන. නව පරපුරටත් ඉඩ දෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පක්ෂයටත් අනාගතයක් නෑ.

ආණ්ඩුව ඇතු‍ෙළ් ප්‍රශ්න කියල හැමෝම කියනවා?
සමහර මාධ්‍ය සමහර දේවල් එහෙම උලුප්පලා පෙන්වනවා. විපක්ෂයට හිතවත් මාධ්‍යයත්් තියෙනවනේ. නමුත් ඒවා ඇත්ත නෙවේ.

මැතිවරණය ලෑස්තියි, ප්‍රතිපලය කොහොමද?
මේ පුංචි ඡන්දේ ඉල්ලන්නේ මහින්ද මහත්තයානේ. ඉතින් මහින්ද රාජපක්ෂ තුන්වෙනි පාරටත් පරදිනවා.

ඒත් කෝ ඔබතුමාලගේ කැම්පේන්?
අපි ඊයේ තමයි වැඩ පටන්ගත්තේ.

ඒත් පොහොට්ටුව වැඩට බැහැලා?
එයාලා කොහොමත් සද්දෙට ආසයිනේ.

දෙදාස් විස්සෙදි අනෙක් පැත්තෙන් ගෝඨාභය එනවලු?
එයා අමෙරිකන් පුරවැසියෙක්නේ.

එයාට ඡන්දෙට එන්න කලින් මෙහේ පුරවැසියෙක් වෙලා එන්න කියන්න. එයාට එන්න අයිතියක් තියෙනවා

ඔය කීවට ආවොත් අභියෝගයක් නේද?
පළවෙනි එක එයාට එන්න මහින්ද ඉඩ දෙන්නේ නෑ. මහින්දගේ සිහිනය නාමල්. දෙක ගෝඨා සංවර්ධන වැඩ කළේ මහින්ද දුන්න ධනස්කන්දෙන්. ප්‍රේමදාස ආණ්ඩුවේ කුරේ හිටියා. චන්ද්‍රිකා ආණ්ඩුවේ එස්. බී කියලා ඡන්ද මැසිමක් හිටියා. මහින්ද ආණ්ඩුවේ ගෝඨා හිටියා.

ඇත්තටම එතුමා ආවොත් හොඳද?
මොකෝ නැත්තේ. මහින්දලා, බැසිල්ලා ඉන්නේ ඇත්ත ස්වභාවය වසන් කරගෙන. ගෝඨාභය ඉන්නේ සළුපිළි නැතිව. එයා ආවම අපිට පාරෙදි මේ ප්‍රශ්නය විසඳ ගන්න පුලුවන්.

ඔබේ දේශපාලන ඉලක්කය කුමක්ද?
මට පුද්ගලික ඉලක්ක නෑ.

[රංජිත් කුමාර සමරකෝන්]