හිප්‍රොක්‍රටිස්ව නිරුවත් කරන, වෛද්‍ය සංගමය

 ඡායාරූපය:

හිප්‍රොක්‍රටිස්ව නිරුවත් කරන, වෛද්‍ය සංගමය

තම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් "නොපමාව මිනී මරන බව" පෙරේදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ තර්ජනය කළේය. කොහොමත් "ඉල්ලීම් ලබා නොදුන් වහා" රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය "මිනී මැරීමට" දක්ෂය. ටික කාලයක් පාඩුවේ පූස් පැටව් මෙන් සිටිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හිටි හැටියේ මේ හදිසියේ ඉල්ලීම් මතක් වන්නට ඇත්තේ නිකම්ම නොවේ. මැතිවරණයක් අතළඟ තිබියදී මීය නොකඩා අත ලෙවකන්නේ මොකටද?

සයිටම් අර්බුදය සඳහා ජනතාවාදී විසඳුමක්‌ ලබා නොදීම, එහි ඉගෙනුම ලබන සිසුනට සාධාරණ විසඳුමක්‌ ලබා නොදීම, මූලික වැටුපට අනුපාතිකව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවන් සංශෝධනය නොකිරීම, ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවයේ තෝරාගත් කාණ්‌ඩ සඳහා මූලික වැටුප් වැඩිවීම් ලබාදීමට උත්සාහ කිරීම, විධායක නිලධාරීන් සඳහා ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම පහත හෙළන අයුරින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු රජයේ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පාමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තම මධ්‍යම කාරක සභාව  තීරණය කළ බව වෛද්‍ය අලුත්ගේ, මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මහත් වූ අභිමානයකිනි.

වැඩවර්ජනය කිරීමේ අයිතිය ඇත්තේ කම්කරුවන්ටය. මාක්ස්වාදය අනුව ශ්‍රමය විකුණා ජීවත්වීම හැර වෙනත් ප්‍රාග්ධන හිමිකාරත්වයක් නොමැති පිරිස් කම්කරුවන්ය. ඒ කම්කරුවන් තම වෘත්තීය ප්‍රශ්න විසඳා ගැනීම සදහා අවසන් තුරුප්පුව වන්නේ වැඩ වර්ජනය කිරීමය. එහෙත් මේ යුගය තුළ කම්කරුවන්ට වඩා වැඩවර්ජනය කරන්නේ වෛද්‍යවරුන්ය. වෛද්‍යවරු කම්කරුවෝ නොවෙති. ඔවුහු වැටුප් ශ්‍රමිකයන් වුවද කම්කරුවන් යන වර්ගීකරණයට ඔවුහු ඇතුලත් නැත. වෛද්‍යවරු වෘත්තීයවේදීහු පිරිසකි. ඒ වෘත්තීයවේදීහු කම්කරුවන් ලෙස වැඩවර්ජනය කිරීම තම වෘත්තීයට කරගන්නා අවනම්බුවකි. වෛද්‍යවරු රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීහු වෙති. මාණ්ඩලික නිලධාරීහු විධායක මට්ටමේ ලා සැලකේ. විධායකය නියෝජනය කරන වෛද්‍යවරු වැඩවර්ජනය කිරීම වෘත්තීය ගරුත්වය හා වගකීම නොසලකා හැරීමකි.

වරායේ කම්කරුවෝ දැන් ඉස්සර මෙන් වැඩවර්ජන නොකරති. ලංගමයේ කම්කරුවෝ දැන් ඉස්සර මෙන් වැඩ වර්ජනය නොකරති. ඒ අඩුව පුරවන්නට දැන් වැඩවර්ජනය කරන්නේ වෛද්‍යවරුය. වරාය හෝ ලංගම හෝ වැඩවර්ජන කළ විට සිදුවන්නේ ආර්ථික පාඩුවකි. වෛද්‍යවරුන් වැඩවර්ජන කළ විට අපහසුතාවට පත්වන්නේ හෝ මියයන්නේ රෝගීන්ය. රෝගී ජීවිතයක බෙල්ල මිරිකා ජීවග්‍රහණයට ගනිමින් තම අයිතීන් දිනාගැනීමට කිසිවකුට බලයක් ලැබිය යුතු නැත. එය මූලික මිනිස් අයිතීන්ට පටහැනිය.

වෛද්‍ය වැඩවර්ජන කිරීම සාධාරණීකරණය කරන්නන්ට අනුව වෛද්‍යවරුද කම්කරුවෝය. එවැනි නිගමනයකට එළඹෙන්නේ කුමන දේශපාලන විද්‍යාවකට අනුව දැයි පැහැදිලි නැත. ඔවුන් කම්කරු ගණයේ ලා සැලකුවත් ඔවුන්ට වැඩවර්ජන අයිතිය තිබිය යුතු නොවේ. වෛද්‍යවරුන් වැඩවර්ජනය කිරීම යනු මනුෂ්‍ය ජීවිතයක් බිල්ලට දීමකි.

ලෝකයේ කිසිම රටක හමුදාවකට වැඩවර්ජනය කිරීමේ අයිතියක් නැත. හමුදාවක් විවිධ හේතූන් දක්වමින් වැඩවර්ජනයකට ගියහොත් ඒ රටේ රාජ්‍ය ආරක්ෂාව ඈලියාවට යයි. එලෙසම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද වැඩවර්ජන තහනම් කළ යුතුය. විවිධ දේශපාලනික අරමුණුවලින් යුතුව පක්ෂ දේශපාලනයේ අතකොළු වන වෘත්තීය සමිති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනය කිරීමෙන් ඈලියාවට යන්නේ මනුෂ්‍ය ජීවිතයි.

ක්ෂේත්‍රයේ කාර්මික ආරාවුල් විසදීම සදහා වෘත්තීය නිපුණතාවකින් යුතු පිරිස්වලින් සමන්විත පූර්ණ බලැති විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුය, ක්ෂේත්‍රයේ කාර්මික ආරවුල් පිළිබද පැමිණිලි එම සභාවට දැනුම් දියයුතු අතර ඒවා විසඳීම සදහා එම සභාවට පූර්ණ බලය ලබාදිය යුතුය. එවැනි ශක්තිමත් ක්‍රියාමාර්ගයකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්මික ආරවුල් විසඳාගැනීමට ක්‍රමවේදයක් සකසා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම වැඩවර්ජනයන් තහනම් කිරීම මගින් හැරෙන්නට අමානුෂික හා බොළඳ වැඩවර්ජන ක්‍රියාමාර්ගයන් ගෙන් සමාජය ගලවාගත නොහැක. එනිසා ප්‍රතිපත්තියක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයන් තහනම් කළ යුතුය.

මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි ක්ෂේත්‍රයේ විදග්ධ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත එවැනි විනිශ්චය සභාවකින් කාර්මික ආරාවුල් විසඳා ගැනීම සම්බන්ධයෙන් ගෞරවනීය හා විශ්වාසනීය තහවුරුවක් ලබාගත හැකි අතර රජය එවැනි විනිශ්චය සභාවක තීරණයන් එකහෙලා පිළිගන්නා හා ඒවා ක්‍රියාත්මක කරන නීතිමය බලයක්ද සංස්කෘතියක්ද ස්ථාපිත කළ යුතුය.

සාමාන්‍යයෙන් මීට දශක තුන හතරකට පෙර වෛද්‍ය වෘත්තීයට යොමු වූයේ ඉහළ මැද පාන්තික හා ධනවත් පවුල්වල දරුවන්ය. ඔවුන්ට මූල්‍ය බලය තිබූ අතර අවශ්‍ය වූයේ සමාජ කීර්තිය  හා පිළිගැනීමයි. ඔවුහු ඒ සදහා මුළු වැර යොදා මහන්සි වූ අතර පෞද්ගලික ධනය පවා යොදවා රෝගී සත්කාරයන් සිදුකළහ. පවුල් පසුබිමෙන්ම මූල්‍ය බලයක් තිබූ නිසා මුදල ඔවුන්ට නොවටිනා දෙයක් විය.

එහෙත් පසුකාලීනව විවෘත වූ අවකාශයන් තුළ වැඩි වැඩියෙන් පහළ මධ්‍යම පාන්තික හා නිර්ධන පාන්තික පවුල්වල දරුවෝ වෛද්‍ය වෘත්තීයට යොමු වූහ. සාපේක්ෂව ඔවුන්ට සමාජයේ මූල්‍ය බලයක් නොවීය. ඔවුන් තැත් කළේ කීර්තිය අත්පත් කර ගන්නවාට වඩා මූල්‍ය බලය තහවුරු කර ගැනීමටය. ඒ නිසා බොහෝවිට වෛද්‍ය ආචාර ධර්ම නොසලකමින් ආර්ථික බලය සදහා මහන්සී වී වැඩ කළහ. ඉඩමක් කඩමක් ගෙයක් දොරක් ගමන් කරන්නට වාහනයක් ඉහළ සල්ලිකාර පවුලකින් විවාහයක් වැනි සිහින ලෝකයන් තුළ සැරි සරන්නට පටන්ගත් විට ආචාරධාර්මික බැදීම ලිහිල් විය.

එසේම 1978දී ආරම්භ වූ වෙළෙඳපළ ආර්ථික ක්‍රමය තුළ වානිජ්‍යවාදී නැඹුරුතාවට ඉහළ වටිනාකමක් ලැබුණි. එතක් සමාජ වටිනාකම රැඳී තිබුණේ මානුෂිකවාදීව වුවත් 1978න් පසුව එය වාණිජ්‍යවාදී වටිනාකම්වලට තැන් මාරු වුණි. මේ තත්ත්වයද වෙද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය තුළ බරපතල නොසන්සුන්තා ඇති කළේය. ඇත්ත වශයෙන්ම මේ වනවිට වෙද්‍ය ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දරන්නේ වාණිජ්‍යවාදී නැඹුරුවක් සහිත වෛද්‍යවරුන්ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම සදහා සයිටම් ආරම්භ කරන විට ඊට ශක්තිය ලබාදුන්නේ රාජපක්ෂ රෙජීමයයි. 2008 තරම් ඈතකදී එය අරඹන විට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට උනන්දුවක් නොතිබුණි. එහෙත් එය ආරම්භකර වසර දහයකට ආසන්න කාලයකට පසුව  ඊට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙලෙස හැසිරීම තක්කඩිකමකි. ඒ අනුව පෙනෙන්නට ඇත්තේ සයිටම් විරෝධය ඉක්මවා යන පක්ෂ දේශපාලන අරමුණක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇති බවකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු-තීරණ ගන්නේ වෘත්තීය ගරුත්වයට හානිදායක නොවන අන්දමින් නොවේ. සම සෞඛ්‍යය උපාධිය පිරිනැමීමට අදාළව බරපතල විරෝධයක සිටියේ එම සංගමයයි. පසුව එම පාඨමාලාව වසර තුනකට කෙටි කළේද ඔවුන්ගේ බලපෑම මතය. රජයේ රෝහල්වල හෙදි කාර්ය මණ්ඩලය සමග ද වෙද්‍යවරුන් බොහොමයකට ඇත්තේ නොහොද නෝක්කඩුවකි. රාජකාරියේ දී පවා වෛද්‍යවරු හෙද-හෙදි කාර්ය මණ්ඩලය සමග කතාබහ නොකරති. මේ හිතුවක්කාරී උද්දච්ඡ ස්වරූපය වෛද්‍ය වෘත්තීය ගරුත්වයට හානියකි.

නොච්චියාගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු පසුගියදා රාජපක්ෂ කණ්ඩායමේ පොහොට්ටුවෙන් පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂක රැස්වීමක ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදෙන බව චෝදනා එල්ල විය. ඔහුට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද ප්‍රබලයෙකි. වෛද්‍යවරුන්ට දේශපාලනයේ යෙදීමේ අයිතිවාසිකම් නොමැත. එනිසා ඔහු සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස්ට පැමිණිල්ලක් ලැබී පරීක්ෂා පැවැත්වෙමින් තිබේ. මේ ආදර්ශමත් විය යුතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙක්ගේ නොමනා හැසිරීමයි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට රාජ්‍ය පාලනය සදහා ජනවරමක් ලැබී නොමැත. එහෙත් රාජ්‍ය පාලනයේ තීරණාත්මක මැදිහත්කරුවකු වන්නට ඊට අවකාශය පවතී එසේ හැකිවන්නේ ඔවුන් තම වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගන්නේ නම් පමණි. එම ක්ෂේත්‍රයන් තුළ වියයුතු සමාජ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට පෙරමුණ ගත හැකිය. එහෙත් වෘත්තීය ගෞරවය අහිමි කරගත් පටු පක්ෂ දේශපාලනික වෘත්තීය සමිතියකට ඒ ගෞරවනීය සමාජ මෙහෙවර සම්පූර්ණ කළ නොහැක.

[කේ.ජී.පිලිප් ශාන්ත]