ඉස්සරහට ගියොත් ජොනී, පස්සට ගියොත් ෆොනී, තියරිය රටට දැන් වුවමනායි : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

 ඡායාරූපය:

ඉස්සරහට ගියොත් ජොනී, පස්සට ගියොත් ෆොනී, තියරිය රටට දැන් වුවමනායි : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

කැබිනට් සංශෝධන යේ පළමු අදියර සිදුවුණේ පසුගිය සති අන්තයේය. ජනාධිපති ලේකම ්කාර්යාලයේදී පැවැති මෙම කැබිනට් සංශෝධනයට අනුව රටට දැනුණු වෙනසක් සිදුනොවුණු බව බහුතරයකගේ අදහස විය. මේ මොන විසුළුවකදැයි ඇතැම්හු ප්‍රකාශ කළහ. ඉදිරි සති දෙක තුළ නැවත කැබිනට් සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ විණි. මේ සියලු යෝජනා, චෝදනා අතර තුර අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ සාකච්ඡා කළෙමු.

කැබිනට් සංශෝධනය විසුළුවක් බවට කෙරෙන ප්‍රකාශ ගැන මොකද කියන්නෙ?

එක එක්කෙනාගේ දෘෂ්ඨිකෝණ අනුව එය සිදුකළ හැකියි. ඒක තමන්ගෙ දෘෂ්ඨිකෝණය අනුව සිදුවන දෙයක්.

ඇත්තටම මේ කැබිනට් සංශෝධනය කළේ කවර අරමුණකින්ද ඇමැතිතුමා?

ඒක මටත් තේරුම් ගන්න බෑ.

සාමාන්‍යයෙන් කැබිනට් එකක් සංශෝධනය කරන්නෙ වැඩ බැරි අය ඉවත්කරන්න. අකාර්යක්ෂම අය වෙනුවට කාර්යක්ෂම අය පත්කරන්න. එහෙමත් නැත්නම් දේශපාලන වශයෙන් නාහෙට නාහන අයව සල්ලං කරලා තමන්ට අවශ්‍ය විධිහට හීලෑ කරගන්න. ඒත් මේ කරපු කැබිනට් සංශෝධනයේ තියෙන්නේ මොකක්ද?

ඔය කියන කිසි අරමුණක් නෑ. ඒ නිසා මටත් මේක තේරෙන්නෙ නෑ.

නීතිය හා සාමය ජෙනරල් සරත් ෆොන්සේකාට දෙන බව කියැවුණත් ඒක සිද්ධ වුණේ නෑ. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරු අල්ලන්නෙ නෑ කියන එකද ඒ සංශෝධනයෙන් කියන්නෙ?

සරත් ෆෝන්සේකා මැතිතුමාට ඒ විෂය දුන්න නම් මම කැමැතියි. නමුත් ඒක එතුමාට ලැබුණේ නෑ. සරත් ෆොන්සේකා මැතිතුමා කියන්නේ හරියට යුද්ධය කරන්න කටයුතු කළ හමුදා ප්‍රධානියා. එතුමාට ඒ කාලෙ  රණවිරුවෝ අතර තිබුණු පොදු මතයක් තිබුණා. ඒ තමයි ‘ඉස්සරහට ගියොත් ජොනී, පස්සට ගියොත් ෆොනී’ කියලා. ඒකෙ තේරුම මම කියන්න යන්නෙ නෑ. නමුත් පොලිස්පතිට බලපෑම් නොකරන, සාර්ථකත්වය වෙනුවෙන් නායකත්වය දෙන්න හොඳ විනයක් තියෙන කෙනෙකුට ඒ වගේ අමාත්‍යංශයක් දෙනවා නම් ඒක වැදගත් බවයි මගේ පෞද්ගලික මතය.

ඇත්තටම දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් කළාට ඔබගේ යහපාලන ආණ්ඩුව නිකං නිවට ඇම්බැට්ට වගේ කියලා චෝදනා කළොත්?

මම දකිනවා අපි හදපු ප්‍රජාතන්ත්‍රවාදයේ වේදිකාව උඩින් ගිහිල්ලා හොරු, දේශපාලන සටකපටයෝ තමන්ගේ අරමුණු ඉටුකරගන්න හදනවා කියලා. අපි හදපු වේදිකාව මත ඉඳල ඒ ක්‍රමවේදය විනාශ කරන එක තමයි ඔවුන්ගේ අපේක්ෂාව වෙලා තියෙන්නෙ. ඉතින් මම හිතන්නෙ අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා රටට නිදහස ලබාදුන්නට ඒක වනසන්න හදන අයට විරුද්ධව දැඩිව කටයුතු කළ යුතු බවයි.

හොඳයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ ඉන්න ඇමැතිවරුන්ගේ සංශෝධනය ඉදිරි සති දෙක තුළ සිදුකරන බව කියැවෙනවා?

ජනාධිපතිතුමා ඒක කිව්වනෙ. ඒක රටම දැනගත්තා.

එතැනදී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ඔබේ ඇමැති ධුරයත් සංශෝධනය වන බව කියැවෙනවා?

එහෙම කියැවෙනවා.

වෘත්තීය පුහුණු අමාත්‍යංශය වගේ අමාත්‍යංශයක් ඔබට ලැබෙන බව ආරංචියි?

මට අමාත්‍යංශයක ලොකු පොඩිකමක් නෑ. මොකක වුණත් මම මගේ රාජකාරිය කරනවා.

ඇයි ලොකු අමාත්‍යංශ ගන්න ඔබේ කැමැත්තක් නැද්ද?

මම 2014 නොවැම්බර් 21 වැනිදා තාන්න, මාන්න, වරදාන ඔක්කොම අහක දාලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ආණ්ඩුවෙන් එළියට බැස්ස කෙනෙක්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක එදා හිටියේ මමත්, එම්.ඩී.එස්.කේ. ගුණවර්ධන මැතිතුමාත් පමණයි. අනිත් අය එන්න හිටියත් වරදාන, වරප්‍රසාද වලට තියෙන ආශාව නිසා නතර වුණා. අපි ආවේ යම් අරමුණකින්. ඒ එද්දී මම මහලේකම්කමවත්, කෘෂිකර්ම ඇමැතිකමවත් ඉල්ලුවේ නෑ. ඒ නිසා අදත් මට එහෙම ලොකු අරමුණක් ආශාවක් නැහැ.

පොහොර සහනාධාර ප්‍රශ්නය, ගොවීන්ගේ ගැටලු ඔබව අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්න හේතුවුණා වෙන්න බැරිද?

නැහැනෙ. පොහොර සහනාධාරයට මුදල් දෙන්න තීරණය කළේ පෞද්ගලිකව මම නොවෙයි. ඒක අපේ ආණ්ඩුවේ තීරණයක්. ශ්‍රී ලංකා රජයේ තීරණයක්. අපි එහෙම කරලා හිතුවේ රට ඇතුළෙ රසායනික පොහොර භාවිතය පාලනය කරන්නයි. මොකද රජරට, වයඹ ඉන්න වකුගඩු රෝගී ජනතාව ලොකු අර්බුදයක්. අපේ පුරවැසියා නිරෝගීව තියාගන්න යන වැඩපිළිවෙලේ එක පියවරක් තමයි මේ මුදල් ලබාදීම. ඒත් ඒක හරියට ජනගත වුණේ නෑ. එය කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මගේ විතරක් වැඩක් නොවෙයි. ආණ්ඩුවක් විදිහට සියලු දෙනා එක්ව ඉදිරියට ගෙන යායුතු වැඩක්. ඒත් ඒ දේ වුණේ නෑ. නමුත් මගේ අමාත්‍යධුරය සංශෝධනය වනවා නම් ඒ සඳහා පොහොර ප්‍රශ්නය හේතුවෙන්න බෑ. මොකද එතන එහෙම ප්‍රශ්නයක් නැති නිසා.

දැන් කෘෂිකර්ම අමාත්‍යංශය හැටියට ගොඩනැගිල්ලකට අවුරුදු ගණනක් තිස්සේ ආණ්ඩුව බදු මුදල් ගෙවනවා. මේ වගේ වැඩත් ඔබට ධුරය අහිමිවෙන්න හේතුවක් වෙන්න ඇතිනේද?

වැරදි කතාවක්. ඒ කියන ගොඩනැගිල්ල මේ දුමින්ද දිසානායකගෙ උවමනාවට ගත්ත එකක් නොවෙයි. ඒක සිද්ධ වුණු ඇත්ත කතාව මොකක්ද කියලා බලන්න. පාර්ලිමේන්තුවට උවමනා වුණා මගේ අමාත්‍යංශය තියෙන තැන ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගන්න. එතැනදී අපේ අමාත්‍යංශයට ඉන්න පුළුවන් වර්ග අඩි ලක්ෂයක බිමක් තියෙන ගොඩනැගිල්ලක් මට අවශ්‍ය වුණා. ඒක හෙව්වේ පාර්ලිමේන්තුව, අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලය, මගේ අමාත්‍යංශයේ නිලධාරීන්. ඔවුන් සොයාගත්තු තැන තමයි මේක. ඒ අනුව මෙම ගොඩනැගිල්ල අපට අවශ්‍ය පරිදි බෙදා වෙන්කරගන්න අපිට සිද්ධ වුණා. එවිට කාලයක් ගතවුණා. එහෙම නැතිව මට හුදෙකලාව ඒවගේ තීරණයක් ගන්න බෑ.

අපි මෙහෙම හිතමු. 2014 නොවැම්බර් 21 ඔබ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක. නමුත් අද ඔබ දෙදෙනා ටිකක් විරසක වෙලා නේද?

අපි අතර කිසිම විරසකයක් නෑ. මම ආවේ වාසි ප්‍ර යෝජනවලට නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ප්‍රතිපත්තියක් තිබුණා. මම ඒ ප්‍රතිපත්තිය පිළි අරගෙන එළියට ආපු අමාත්‍යවරයෙක්. මටත් අවශ්‍ය වුණේ ඒ යහ අරමුණු දිනවන්න. එහෙම යද්දී ජනාධිපතිතුමායි, මමයි අතර විරසකයක් ඇතිවෙන්න කිසිම ඉඩක් නෑ. මට සැඟවුණු න්‍යාය පත්‍ර නෑ. ඒක එතුමා හොඳට දන්නවා.

එහෙනං අමාත්‍යංශය මාරු කරන්නෙ?

ඒක මම දන්නෙ නෑ. ඇතැම් අය නම් මගෙයි, ජනාධිපතිතුමාගෙයි අතර විරසකයක් ඇතිකරන්න උත්සහ ගන්නවා ඇති. ඒවගේ අය කේලම් කියලා අපිව බිඳවන්න උත්සහ ගන්නවත් ඇති. ඒත් ජනාධිපතිතුමා හොඳ වැටහීමක් ඇති ගැඹුරු දේශපාලනඥයෙක්. ඒ නිසා එතුමාට කිසිම ගැටලුවක් නැතිව බොරු කියන අයත්, සැඟවුණු අරමුණු ඇති අයත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි අතර කිසිම ගැටලුවක් නෑ. ඔහුයි මමයි තාත්තයි, පුතයි වගේ හොඳින් දේශපාලනය කරනවා.

අපිට නම් පේන්නෙ දෙදෙනා දරණ මතයන්හි පරතරයක් ඇතිවෙමින් තිබෙනවා කියලයි?

අනේ නෑ. අපි 2014 නොවැම්බරයේ එළියට බැස්ස අරමුණ ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා. ජනාධිපතිතුමාත් දිවිහිමියෙන් කටයුතු කරන්නේ ඒකට. අපි අතර කිසිම වෙනසක් සිදුවෙලා නෑ. එතුමා දන්නවා දැන් පක්ෂය ඇතුළෙ ඉන්න එතුමා එක්ක ඉන්න පුද්ගලයා මම කියලා.

ඔබ කිව්වා පටු අරමුණු පෙරදැරිව ජනාධිපතිතුමාගෙන් ඔබව බිඳවන්න උත්සහ කරන පුද්ගලයෙකු ගැන? ඒ වගේම ඔබ මැතිවරණ පරාජය පිටුපස වගකීම සමස්තය දරාගන්න කතාවකුත් කිව්වා? මේ ප්‍රකාශ තුළ ප්‍රබල පණිවුඩයක් තිබෙනවා?

අපි විශාල පක්ෂයක්. ඒවගේ පක්ෂයක මැතිවරණය මෙහෙවන්න මහ ලේකම්වරයාට පමණක් බෑ. ඒ නිසා අපි ආරම්භයේදීම මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කළා. මේ කමිටුවම මැතිවරණයේ ප්‍රතිඵලයේ වගකීම් ගතයුතුයි. එහෙම නැතිව බෝක්කු ගානෙ, ගස් ගානෙ මට විතරක් දොස් කියලා හරියන්නෙ නෑ කියලයි මම කිව්වෙ.

කවුද ඔය මැතිවරණ කමිටුවේ සභාපති?

අපේ මැතිවරණ කමිටුවේ සභාපතිකම දුන්නේ සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමාට. ඔහු කොළඹ ඉන්න නිසා මෙහෙයුම සංවිධානය කිරීමේ කටයුතු බාරදුන්නේ ඔහුටයි. මමයි, මහින්ද අමරවීර ඇමැතිතුමයි හිටියේ රටේ ඈත දිස්ත්‍රික් දෙකක.

ඒ කියන්නේ පරායේ වගකීම කෙළින්ම ඔවුන්ට යනවා කියලා නේද?

මම කියන්නේ පරාජයේ වගකීම තනියම බාරගන්න කියලා නොවෙයි. එතැනදී සමස්ත වගකීම අපි බාරගනිමු. නමුත් ඒක පෞද්ගලිකව මගේ වැඩක් කියලා ඇඟ බේරගන්න හදන්න එපා කියලයි මම කියන්නෙ.

මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුව ගෙදර යවන්නත් සමහරු උත්සහ කළානෙ?

දැන් ඉදිරියට පළාත් සභා මැතිවරණය තියනවානෙ. ඒක දිනන අය කිව්වොත් පළාත් පාලන තෝරාගැනීම් දැන් අවලංගුයි, අපියි දිනුම් ඒ නිසා ඉවත්වෙන්න කියලා ඒක ගැලපෙනවද? නෑනෙ. ජනවරමක් යටපත් කරන්න කාටවත් බෑ. මේ ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ ඒකාබද්ධ ආණ්ඩුවක් විධිහට රට කරවන්නයි. ඒකට එරෙහිවෙන්න කියලා කියන එකම විසුළුවක්.

ඒ කියන්නේ මේ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා කියන එකද?

අනිවාර්යයෙන්ම. මම පෙනී සිටිනවා. ජනාධිපතිතුමාත් පෙනී සිටිනවා. අපි ජනවරම සැමවිටම ආරක්ෂා කරනවා.

දැන් සිද්ධ වෙන දේවල් අනුව, ඔබේ හැසිරීම් අනුව ඔබේ දේශපාලන අනාගතය එක්සත් ජාතික පක්ෂයෙන් කෙළවර වේවි වගේ?

අනේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය අතහැරයන කෙනෙක් නොවෙයි. හැබැයි මම මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා. එය තමයි ජනතා වරම. ඒ වෙනුවෙන් වැඩකරලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවෙන් එළියට ආපු යහපත් රටක් හැදීමේ අපේක්ෂා එක්ක මම හැමදාමත් හිටගන්නවා.