අභාවවාචික අත්දැකීම් හා ජවිපෙ අනාගතය

 ඡායාරූපය:

අභාවවාචික අත්දැකීම් හා ජවිපෙ අනාගතය

ප්‍රාදේශීය සභාවක හෝ දෙකක හෝ බලය ලබා ගන්නට ඉලක්ක කර ගත් මැතිවරණ ව්‍යාපාරයක් ගෙනගිය ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ හතකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මුළු දිවයිනෙන්ම ලබාගත් අතර එය පාවිච්චි කළ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 6.26%කි. එමෙන්ම  දිවයිනෙන්ම ලැබූ පළාත් පාලන ආයතන ආසන සංඛ්‍යාව 432කි. ඒ අනුව ඔවුන් පක්ෂයක් ලෙස වර්ධනය කරගෙන ඇත්තේ සතුටු විය හැකි ජයග්‍රහණයකි.

ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් ලබන ජයග්‍රහණය එම පක්ෂයට සතුටුවිය හැකි වුවත් රටට සතුටුවිය හැකි මට්ටමක නොතිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනයට විශාල දේශපාලන අවකාශයක් ඇතත් එය පිරවීමට සමත් දේශපාලනයක් ජවිපෙ සතුව නැති බව පෙනෙන්නට තිබේ. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ කුඩා ඡන්ද සංඛ්‍යාවක් අසීරුවෙන් ගෙන සතුටුවීමේ ජයග්‍රහණයක් පමණක් ඔවුන් ලැබීමය.

වත්මන් ගෝලීය දේශපාලන සංදර්භය සැලකුවහොත් ලෝකය පුරා හමා යන්නේ නව ලිබරල්වාදී වැඩපිළිවෙලකි. ඊට දෘෂ්ටිමය වැඩපිළිවෙලක් මෙන්ම ක්‍රියාත්මක වැඩපිළිවෙලක්ද පවතී. ලෝකය පුරා ක්‍රියාත්මක වන එම වැඩපිළිවෙල තුළ පරණ අර්ථයෙන් වාමාංශයකට ලෝකය පුරා ඉඩක් නොපවතී. එනම් සුභසාධනවාදී රාජ්‍ය කේන්ද්‍ර කරගත් වාමාංශයකට තාර්කික භාවයක් නොපවතී.

නව ලිබරල්වාදය තුළ සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණයන් බරපතල ප්‍රවිපාකයන් ඇතිකරයි. එහෙත් එමඟින් ධනය ඇති පන්තිය මෙන්ම අතරමැදි පන්තියද තෘප්ත කෙරේ. නමුත් ආන්තීකරණය වූ සමාජ කොටස තව තවත් ආන්තීකරණයටම තල්ලු කෙරේ. නව ලිබරල්වාදය කරපින්නා ගත් ධනපති පක්ෂ ධනය ඇති පන්තිය හා අතරමැදි පන්තිය සමඟ අත්වැල් බැදගෙන සිටී. නමුත් ආන්තීකරණය වූ සමාජ තීරුව අත්හරිමින් සිටී.

ධනපති ආණ්ඩු සමාජයක ආන්තීකරණයට ලක්වූ සමාජ කොටස් අත්හරින විට ඔවුන් පීඩනයට පත්වේ. ඒ පීඩනය සමඟ විකල්ප සමාජ දේශපාලනයක අරුණළු උදාවේ. ලෝකය පුරා විවිධ රටවල නිර්මාණය වෙමින් පවතින්නේ මෙවැනි දේශපාලන රික්තයකි. එහෙත් ඒ අවකාශය සම්පූර්ණ කිරීමට විකල්ප දේශපාලන බලවේගයන් අසමත්ය.

ලෝකයේ බොහෝ වාමාංශික පක්ෂ උත්සාහ කරන්නේ සුභසාධනවාදී දේශපාලන පැකේජයකින් මේ අවකාශය පුරවා, නව ලිබරල්වාදයට මුහුණ දෙන්නටය. එහෙත් සුභසාධනවාදය දැන් යල්පැනගොස්ය. අතාර්කිකය. අවලංගුය. එහෙත් එක්සත් රාජධානියේ ජෙරමි කෝබින්ගේ සිට ශ්‍රී ලංකාවේ අනුර කුමාර දිසානායක දක්වා ඉල්ලා සිටින්නේ සුභසාධනවාදී රාජ්‍ය ව්‍යුහයකි. සටන් කරන්නේ සුභසාධනවාදී රාජ්‍ය ක්‍රමයක් වෙනුවෙනි.
ට්‍රාන්ෆේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් වූ වර්ගීකරණයට අනුව ලෝකයේ අඩුම වංචා හා දූෂණ සිදුවන රට වන්නේ ඩෙන්මාර්කයයි. වැඩියෙන්ම වංචා හා දූෂණ සිදුවන බව වාර්තාවන්නේ සෝමාලියාවෙනි. එම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට හිමිවන්නේ 95 වැනි ස්ථානයයි.

ලාංකික සමාජය 1978දී ආර්ථික වශයෙන් ව්‍යුහාත්මක වෙනසකට ලක්විය. එතෙක් ආර්ථිකයේ ආංශික වර්ගීකරණය තුළ කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ට තිබූ ප්‍රතිශතාත්මක පංගුව වෙනස් වෙමින් සේවා  අංශයේ ප්‍රතිශතාත්මක පංගුව වැඩිවිය. සේවා අංශය බොහෝ විට පවතින්නේ කොමිස් හා ලාභාංශ මතිනි. එය වංචා හා දූෂණයන්ට උල්පතකි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිශතාත්මකව 60%ක තරම් මට්ටමකට කළු ආර්ථික ක්‍රියාකාරීත්වයකින් යුක්තය.

මහා පරිමාණයෙන් සිදුවන වංචා හා දූෂණයන්ට හැම ආණ්ඩුවකම සම්බන්ධයක් පවතී. ආණ්ඩු බලයෙන් තොරව එවැනි මහා පරිමාණ වංචා හා දූෂණ සිදුවිය නොහැක. වංචා හා දූෂණ මහජන ධනය විනාශ කිරීමක් මෙන්ම රටක සංවර්ධනයට බරපතල ලෙස හානි කරන්නකි. එහෙත්, එමඟින් සිදුවන විශාලම විනාශය වන්නේ වංචා හා දූෂණයට ලක්වන මුදල් වෙළෙදපළ තුළ ආයෝජනයට ලක්නොවීමයි. විශාල වංචා හා දූෂණයන් සිදුකරන මහා පරිමාණ හොරු එම මුදල් ආයෝජනය නොකර සමුච්ඡකරණයට (Capital Accumulation) ලක්කරයි. මූල්‍ය සමුච්ඡකරණය ධනේශ්වර ක්‍රමයේ විශාලම අගතියයි.

ඉහළ සමාජ ස්ථරයේ හා පහළ සමාජ ස්ථරයේ  සිදුවන වංචා හා දූෂණවල ස්වරූපය එකිනෙකට වෙනස් වේ. ඉහළ සමාජයේ මෙන් පහළ සමාජයේ සිදුවන වංචා හා දූෂණවල කළු සල්ලි මූල්‍ය සමුච්ඡකරණයට ලක් නොවේ. එනම් එම මුදල් වෙළෙදපොළ ක්‍රියාකාරීත්වයෙන් ඈත්කර නොතබයි. ඔවුහු එම මුදල් ආයෝජනයට ලක්කරන අතර එනිසා වෙළෙදපොළ තුළ ක්‍රියාකාරීත්වය ඉහළ නගී. එය වෙ‍ෙළඳපොළ ශක්තිමත් කිරීමටත් (stability of money market) මූල්‍ය ගලනය (Cash flow) පවත්වාගෙන යෑමටත් දායක වේ.

ධනපති වෙළෙදපොළ තුළ සිදුවන වංචා හා දූෂණ සෑම විටම අගතිගාමී ලෙස ක්‍රියා කරන්නේ නැත. සමහර අවස්ථාවන්හි දී එවැනි වංචා හා දූෂණ වෙළඳපොළ තුළ ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකරයි. කුඩා පරිමාණ මූල්‍ය සොරුන්ගේ වංචා හා දූෂණ මූල්‍ය සමුච්ඡකරණයට ලක්නොවීමත් ඒවා වෙළඳපොළ ශක්තිමත් කිරීමට දායකවීමත් ප්‍රශස්තය. ඒ අනුව ආර්ථිකයේ සිදුවන චලනයන් තාර්කිකව හා ව්‍යුහාත්මකව විග්‍රහ කරගැනීමට විමුක්ති ව්‍යාපාරයක් සමත්විය යුතුය.

යම් දේශපාලන ව්‍යාපාරයක් දූෂණය හා වංචාව වැළැක්වීමට පෙරට එන්නේ නම් දූෂණයෙන් හා වංචාවෙන් යැපෙන සමාජ කොටස් ඒ දේශපාලන පක්ෂය හඳුනාගන්නේ සතුරෙකු ලෙසය. එනිසා දූෂණයට හා වංචාවට වියුක්තව එරෙහිවීමත් සංවිධිත ඇගයීමක් ඒ සම්බන්ධයෙන් නොවීමත් යම් දේශපාලන ව්‍යාපාරයක් මඟින් නොකළ යුත්තකි. ලංකාව වැනි රටක මහා පරිමාණ වංචා හා දූෂණ අවම කළයුතු බවට තර්කයක් නොමැත. එහෙත් ඒ අයුරින්ම සමාජයේ පහළ ස්ථරයන්හි පැතිර පවත්නා වංචා හා දූෂණ අවම කිරීමට ඉක්මන් වීම දේශපාලනිකව වරදකි.

ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයක දී දූෂණ හා වංචා විරෝධය කරපින්නා ගන්නේ අහඹු ලෙස නොවේ. ඊට මූලික හේතුව එම පක්ෂය අතරමැදි පන්තිය මත පදනම් වීමයි. මේ කාලයේ අතරමැදි පන්තියේ දේශපාලනය පදනම් වන්නේ දූෂණ හා වංචාවන්ට එරෙහි වීම මතය. ජනතා විමුක්ති පෙරමුණ වංචා හා දූෂණ විරෝධය හරහා උත්සාහ ගත්තේ අතරමැදි පන්තියේ ආකර්ශණය දිනාගැනීමටය. එහෙත් ඒ අතරමැදි පන්තියේ අවිඥාණික ආශාව වූ මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයේ දී වීරයා බවට පත්වන විට ජනතා විමුක්ති පෙරමුණ අසරණ විය.

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් තම ඡන්ද පදනම වර්ධනය කරගන්නේ අතරමැදි පන්තියෙනි. ඒ සමාජ තීරුව තුළ තවත් දේශපාලනයකට අවකාශයක් නොමැත. වරෙක රනිල් වික්‍රමසිංහගේ ග්‍රහණයට ද තවත් වරෙක මහින්ද රාජපක්ෂගේ ග්‍රහණයට ද ලක්වන අතරමැදි පන්තියට අවශ්‍ය වන්නේ ආකර්ශණීය නායකයෙකි. අනුර කුමාර දිසානායක ආකර්ශණීය වුවත්, ප්‍රභූ පන්තියේ නායකයකුගෙන් ගැලවී අනුර කුමාර දිසානායක කරා එන්නට තරම් අතරමැදි පන්තියේ ශක්තිය දුර්වලය. ඔවුන් උත්සාහ ගන්නේ ශාරීරික පීඩාවකින් තොරව විනෝදය ලබාගන්නටය. ඒ විනෝදය ලබාදෙන්නේ මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ පමණි.

ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අතරමැදි පන්තියේ දේශපාලනය අතහැරිය යුතුය. එසේම තම පක්ෂය සටන් වදින්නේ හා අරගල කරන්නේ සමාජවාදය වෙනුවෙන්ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැයි පැහැදිලි නිගමනයකට ආ යුතුය. පක්ෂ නායකයෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව අරගල හා භාවිතය තීන්දු කරති. එහෙත් පක්ෂ සාමාජිකයෝ ඒවා අර්ථ දක්වා ගන්නේ සමාජවාදී විප්ලවය වෙනුවෙන් තම පක්ෂය පෙනීසිටින බවට අවබෝධ කරගනිමිනි. මේ පරස්පරය ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමනට යෝග්‍ය නොවේ.

වත්මන් දේශපාලන සන්ධර්භය තුළ පන්ති දේශපාලනය අතාර්කිකය. නිර්ප්‍රභූ පන්ති දේශපාලනයක යෙදෙමින් දේශපාලන ආධිපත්‍යයක් සමාජය තුළ නිර්මාණය කරගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.  ඒ සඳහා අවශ්‍ය වන්නේ බරපතල දැනුමකි. ඒ දැනුම තම පක්ෂ කාඩරය හා බෙදා හදා ගන්නා සැලසුමකි. එසේ නොවන්නට ඉතිහාසය පුරා සිදුවූ දේ අනාගතයටත් සිදුවීම වළක්වන්නට කිසිවකුට නොහැකිය.

[කේ.ජී.පිලිප්  ශාන්ත]

මාතෘකා