අදේශපාලනය පිටුදකින නව මැතිවරණ සංස්කෘතිය | ඇස පාදන රැස


අදේශපාලනය පිටුදකින නව මැතිවරණ සංස්කෘතිය

 ඡායාරූපය:

අදේශපාලනය පිටුදකින නව මැතිවරණ සංස්කෘතිය

අප ඉන්නේ පළාත් පාලන මැතිවරණයක අහියසය. සාමාන්‍යයෙන් මෙවැන්නක්  පවසා ලිපිය ආරම්භ කිරීම මෙරටේදී නම් කිසිසේත් අවශ්‍ය වන්නේද නැත. ඒ තරමටම  පළාත් පාලන මැතිවරණයක ප්‍රචාරණ කාල සීමාව ශ්‍රී ලාංකීයන්ට 'රිදෙන්න' දැනෙන  සමයකි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ ක්‍රමවේදය පිළිබඳ ශ්‍රී  ලාංකිකයන්ටම ආවේණික වූ සංස්කෘතියක් පවතී. බොහෝ අවස්ථාවල ප්‍රාදේශීය සභාවට,  නගර සභාවට තරඟ කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ආසන සංවිධායකවරුන්ගේ ගමේ  නියෝජිතයාය. බහුතර අවස්ථාවලදී ආසන සංවිධායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි, එසේත් නැතිනම් පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔවුන්ගේ මැතිවරණ සටන ඇත්තේ  දිස්ත්‍රික්කය පුරාය. මූලික වන්නේ තමන්ගේ ආසනය බව සැබෑය. දිස්ත්‍රික්කය  පුරා ව්‍යාප්ත වූ සංවිධායක සමබන්ධතා මත ආසන සංවිධායකවරයාගේ සාර්ථකත්වය  රැඳි පවතී.  එබැවින් පළාත් පාලන ඡන්දයේදී 'ගමේ එකාව' සතුටු කිරීමට ආසන  සංවිධායකයා වග බලාගත යුතුය.

මේ රැකබලා ගැනීම කිහිප ආකාරයකින් සිදු  වේ. ඡන්ද සටන තුළ ප්‍රචාරණ වියදම් දැරීම, 'කැන්වසින්' සඳහා අවශ්‍ය ආහාර සහ  සැර පාන සැපයීම, පෝස්ටර් කටවුට් බැනර් සහ හෑන්ඩ්බිල් මුද්‍රණය වෙනුවෙන්  පිරිවැය දැරීම එක් ආකාරයක්ය. දෙවැනි ආකාරය එන්නේ ඡන්දෙන් පසුවටය. ඒ  කොන්ත්‍රාත් සඳහා අවශ්‍ය සහය ලබා දිමෙනි.  

පළාත් පාලන නියෝජිතයා යනු  ගමේ රැස්වීමේ පොල්තෙල් පහන දල්වන කෙනාය. පන්සලේ රැස්වීමේ හාමුදුරුවන්ට  යාබදව අසුන් ගන්නා කෙනාය. පාසලේ විදුහල්පතිගේ ආරාධනා නිතරම ලබන කෙනාය. ගමේ  චූදිතයා මුදවා ගැනීමට පොලිසියේ ලොකු මහත්තයාට කෝල් කරන කෙනාය. මළගෙදර  අනිවාර්ෙයන්ම ගුණ කථනයක් කරන කෙනාය, බණ ගෙදරට 'සවුන්ඩ්ස්' නොමිලේ දෙන කෙනාය. මේ  ආකාරයෙන් අනිවාර්ය බලයක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ගොඩනැගීම සාමාන්‍යය.

උදේ  හවස ගමේ දකින මනුස්සයා ඡන්දය ළං වන විට වාහනය වෙනස් කරයි. අඳින පළඳින  ආකාරය වෙනස් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ළං වෙද්දී මුණගැසීම  ලෙහෙසි වන මුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔවුන්ගේ ඡන්දය ළං වන විට දැකගැනීමටත් 'ගාඩ්' හරහා යාමට සිදු වෙයි.

වැඩිම පිරිසක් සමඟ කැන්වසින් යාමට හැකිවීම ප්‍රාදේශීය සභා ඡන්දය ජය ගැනීමේ පළමු පියවර යැයි  ඔවුහුද, ඡන්ද දායකයෝද සිතති. ලොකුම කටවුට් එක යනු එහි තවත් එක් පියවරකි. බඩු  මල්ලක්, ටකරමක් හෝ කක්කුස්සි පෝච්චියක් දෙන්න තරම් මූල්‍යමය ශක්තියක්  ඇත්නම් ඔහු ප්‍රාදේශීය සභාවේ 'ලොකු කෙරුමෙක්' වෙන්න තරම් මනාප සංඛ්‍යාවක්  ගැනීමට හැකි අයෙකි. මොවුන්ගේ පෝස්ටර් බොහෝ විට අනාගත සභාපති, අපේ ගමෙන්  නගරාධිපති වැනි වැකිවලින් සැරසීම දැකිය හැක්කකි. ඉඳහිට විරුද්ධ පක්ෂයක කාර්යාලයකට ගලක් ගැසිය හැකි වීම මැතිවරණ සටනේ ප්‍රබලත්වය කියා පෑමකි.  

සප්පායම සරු වීම නම් ඡන්දය ඉල්ලීමට මූලික සුදුසුකමක් මිස ජයග්‍රහණයේ සේයාවක් නොවේ.

මේ  අපටම ආවේණික වු පළාත් පාලන මැතිවරණ සංස්කෘතියයි. ඒ සංස්කෘතියට මෙවර දැඩි පහර කිහිපයක් එල්ල වී ඇත. ඡන්ද සටන ආරම්භයට පෙරම ආසනය පුරා බලය පැතිරවීම  ඔවුන්ගේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගන්න සිදු විය. ඒ මැතිවරණ ක්‍රමයේ සිදු වූ  වෙනස්කම් නිසාය. පළාත් පාලන මැතිවරණය තුළ මනාප ක්‍රමය සම්පූර්ණයෙන් අවසන්  වී ඇත. 'ගමේ මිනිහා' ට වඩා කැපී පෙනෙන සහ ඉහත කියූ ලෙස 'බලවත්' ඡන්ද සටනක  නිරත වූ අපේක්ෂකයා වැඩිම මනාපයෙන් තෝරා පත් කර ගමට නියෝජිතයෙකු අහිමි කරන  ක්‍රමය අවසන් වී ඇත. ගමක් ගමක් පාසා අපේක්ෂකයන් සියලුදෙනා පක්ෂ කාර්යාල ගොඩ නැගීමේ අවශ්‍යතාවයක් දැන් නැත. එක කොට්ඨාසයකට එක් කාර්යාලයක් පමණක්  ලැබී ඇත.

මෙවර මැතිවරණයේදී ස්වාධීන මැතිවරණ කොමිසමට 'සාපේක්ෂව  ස්වාධීනව' කටයුතු කිරීමේ වැඩි ඉඩක් ලැබී ඇති බව පෙනෙන්නට ඇත. ඒ ස්වාධීනත්වය  බන්දේසියක තබා ලබා දුන් දෙයක් හෝ ඉබේ පහළ වූවක් නොවන බව ඇත්තය. නමුත්  පසුගිය කාල පරිච්ඡේදයන්හි මැතිවරණ කොමසාරිස් දැරූ ආතතියට සාපේක්ෂව මේ තත්වය  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කළ, හඬ නැගූ මහජනතාව ලැබූ ජයග්‍රහණයක් බව  අලුතින් කිව යුත්තක් නොවේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට නොයෙක්  පිරිසකගේ නොයෙක් සැලසුම් පැවති බව අරුමයක් නොවේ. එම සෑම සැලසුමකට  එරෙහිවම සියුම් ක්‍රමෝපායමය සැලසුම් තුළින්  යළි යළිත් පළාත් පාලන මැතිවරණ  මාතෘකාවේ ප්‍රකෘතිය පවත්වා ගන්නට මැතිවරණ කොමිෂන් සභාවත්, ජනමාධ්‍යයත්  ප්‍රමුඛ වැඩ කොටසක් සිදු කළෝය. ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැඩි  දෝෂාරෝපණ එල්ල විය. විරුද්ධ පක්ෂ වේදිකාවේත්, කැබිනට් මණ්ඩල රැස්වීමේත්,  මහින්ද දේශප්‍රිය කුප්‍රකට චරිතයක් විය. ඒ මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය  තුළ මහජන පීඩා අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග අප මුලින්  කී පළාත් පාලන ඡන්ද  සටනේ සංස්කෘතියට නොගැලෙපෙන නිසාය.  

වෙනදා අපේක්ෂකයා වටකොටගත්  ආධාරකරුවන් සිය දෙනාට මෙදා ගෙයින් ගෙට යෑමට වරම අහිමි විය. බැලූ බැල්මට  අපේක්ෂකයාට මෙයින් පිරිවැයේ අඩුවක් සිදු වුවද ප්‍රධාන අපේක්ෂකයන් මෙයට  කැමති වූයේ නැත. 'අදේශපාලනික' ඡන්ද සංස්කෘතිය තුළ අන් අපේක්ෂකයන්ගෙන් තම 'බලයේ' අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඔවුන් භාවිත කළ ඒ පිළිවෙත ඔවුන්ට අහිමි  වීම ඊට හේතුවයි. කටවුට් වල ප්‍රමාණයේ සීමාවක් පැනවිණි. භෞතිකව පමණක් නොවේ, මානසික ඡන්ද අල්ලස් දීමද තහනම් විය. එතැනින් නොනැවතී ඒ සම්බන්ධ නීතිය  ක්‍රියාත්මක වීමද ඇරඹිණි. කොළඹ මහ නගර සභාවේ සිට මොනරාගල දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය සභා දක්වාම නීතිය එක ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ විය. අප මුලින්  පැවසූ ආකාරයට ආසන සංවිධායකයාගේ සහය ලෙස 'හදිසියේ' ලැබෙන සංවර්ධන ව්‍යාපෘති  පෙන්වමින් ඡන්දය ගැරීම ඔවුන්ගේ විකල්පය බවට පත් වී තිබිණි. දැනට සති කීපයකට  පෙර එම අවස්ථාවද අහුරමින් මහජන බදු මුදලින් කරන ව්‍යාපෘතිවල 'ඇගයීම'  ප්‍රාදේශීය දේශපාලඥයාට නොලැබෙන සේ දැන්වීමක් ඇලවීමට මැතිවරණ කොමිසම කටයුතු  කර තිබිණි.  

සෑම දිස්ත්‍රික්කයකම පිහිටි මැතිවරණ කාර්යාල හරහා  දිස්ත්‍රික්ක පැමිණිලි කාර්යාංශ ආරම්භ කර ඇත. වැඩි වපසරියක් සහිත  දිස්ක්‍රික්ක සමහරක ප්‍රදේශීය පැමිණිලි සම්බන්ධීකරණ කාර්යාල පවත්වාගෙන යයි. ඊට අමතරව විද්‍යුත් ලිපින හරහා, 'කොමිසමට කියන්න' (Tell Commission) ෆේස්බුක් පිටුව සහ  සමූහය හරහා, ලිඛිතව, වාචිකව ක්‍රමවත් සහ අක්‍රමවත් ක්‍රම ගණනාවක් හරහාම  මැතිවරණ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී ඇතිවා මෙන්ම, ඒ  පැමිණිලි සම්බන්ධ ක්‍රියාත්මක වීමද සෘජු සහ වේගවත් වී ඇත.

ප්‍රධාන  දේශපාලන ප්‍රවාහය නියෝජනය නොකරන සහ එලෙස නියෝජනය කළද පළාත් පාලන මැතිවරණය  වෙනුවෙන් වැඩි පිරිවැයක් දැරීමේ හැකියාව නැති අපේක්ෂකයන් රැසකගේ නොමඳ  ප්‍රශංසාවට මෙම ක්‍රමය පාත්‍ර වී ඇත. ඊටත් වඩා නිදහස, විකෘති කිරීම් වලින්  තොර ප්‍රජාතන්ත්‍රවාදය සහ අනවශ්‍ය බලපෑම් පිළිකුල් කරන මැතිවරණ සංවේදී ජනතාවට නම් මේ වනාහි ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයකි.

ඒ සියල්ලටම වඩා දේශපාලනය උදෙසා අදේශපාලනික බලපෑම් කරන මැතිවරණ ප්‍රචාරණ  උපක්‍රම පැරදවීමේ, එම පසුගාමී මැතිවරණ සංස්කෘතිය වෙනුවට නව මැතිවරණ  සංස්කෘතියක් ආරම්භ කිරීමේ ස්වර්ණමය අවස්ථාවකි.

මාතෘකා