පින්ලන්ත ආදර්ශ අපේ විදිහට ක්‍රියාත්මක කරනවා : අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

 ඡායාරූපය:

පින්ලන්ත ආදර්ශ අපේ විදිහට ක්‍රියාත්මක කරනවා : අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

 පළාත් පාලන ඡන්දෙට ඇයි ආණ්ඩුව බය වෙලා?
ආණ්ඩුව බය වෙලා නෑ. මොකටද ආණ්ඩුව බය වෙන්නේ? විපක්ෂයයි බයවෙලා ඉන්නේ. ආණ්ඩුව වැඩ කරලා ති‍ෙයනවා. හිටපු ජනාධිපතිවරයාව දෙසැරයක්ම පරාද කරලා තියෙන්නේ.  

කුරුණෑගල ලොකු සටනක් තියෙයි නේද?
පාර්ලිමේන්තු ඡන්දෙදිත් අපි කුරුණෑගල දිස්ත්‍රික්කේ තැපැල් ඡන්දෙත් දින්නා. මේ සැරේ අපි විශිෂ්ට ජයක් ලබනවා.

පාසල් බෑගයේ අධික බර ගැන 'රැස' පුවතට ඔබතුමා ප්‍රතිචාර දක්වලා තිබුණා...?
  තව මාස 3කින් පස්සේ සාමාන්‍ය පෙළින් උසස්පෙළට යන හැම ළමයෙකුටම, ගුරුවරයෙකුටම හොඳ ප්‍රමිතියක් ති‍ෙයන ටැබ් එකක් දෙනවා. ඒ ගැන බොහොමයක් දේවල් කරලා අවසානයි. අපි ටැබ් ලක්ෂ දෙකක් මිලදී ගන්නවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5000කට වැඩිය වියදම් කරනවා. දැන් ප්‍රසම්පාදන වැඩ බොහොමයක් ඉවරයි. කැබිනට් පත්‍රිකාවත් දාලා තියෙන්නේ. හෙට අනිද්දා ඇණවුම් කරනවා. එතකොට උසස්පෙළට කිසිම අච්චු පොතක් ඕන වෙන්නෙ නෑ. බෑග් ඕන වෙන්නෙත් නෑ.

පාසල් නිල ඇඳුම් කූපන් නිසා ඇඳුම් ගන්න යන්න දෙමව්පියන්ට වෙනම වියදමක් දරන්න වෙනවා කියලා චෝදනාවක් ති‍ෙයනවා....?
නෑ නෑ..ඒක වැරදියි. අපි සමීක්ෂණයක් කළා, 30% පාවිච්චි කරන්න බැරි තත්වයේ ඉතාම බාල වර්ගයේ රෙදි ඉස්සර දීලා තියෙන්නේ. ඒකෙන් දේශපාලඥයොත් ඔක්කොම ගැහුවා. නිලධාරිනුත් ගැහුවා. ගබඩාවලට කෝටි ගණන් වියදම් කළා.
ඇමතිවරුන්ගේ සාක්කුවට ගියපු එක මම කළේ මිනිස්සුන්ට දෙන එක.

සුරක්ෂා රක්ෂණ ක්‍රමය ගේන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවය ප්‍රවර්ධනය කරලා, නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කරන්නද?
ඔය කතා ඔක්කොම කියන්නේ දේශපාලනයෙන් බංකොලොත් මිනිස්සුනේ. මොනව කරන්න ගියත් ඔච්චරයි. නිදහස් අධ්‍යාපානය ගේන්න ගියහමත් ඔහොමනේ කිව්වේ. ඉස්සර මම අවුරුදු විසි ගණන් වලින් පාර්ලිමේන්තු එනකොට මන්ත්‍රීවරයෙක් විදිහට මට තිබුණෙත් ලක්ෂ 2ක රක්ෂණයක්. දැන් ලක්ෂ 45ක් මේ රටේ ළමයින්ට.... රජයේ, පෞද්ගලික, ජාත්‍යන්තර සහ සාමනේර හිමිවරුන්ට...මේ හැමෝටම අපි ලක්ෂ 2ක රක්ෂණය ගානේ දීලා තියනවා.
මේක නිදහස් අධ්‍යාපනයේ ජයග්‍රහණයක්. ඔය මේවා බලාගෙන ඉන්න බැරුව ඉන්න අය කියන කතා. දෙම්ව්පියන්ට මේක කොච්චර අස්වැසිල්ලක්ද? පෞද්ගලික රෝහලක නතර වුණොත් රුපියල් ලක්ෂයක් ගෙවනවා. රජයේ රෝහලක නතර වුණොත් දවසකට රුපියල් දාහ ගානේ ගෙවනවා. දෙමව්පියන්ට අනතුරක් වෙලා මියගියොත් හරි ආබාධිත වුණොත් වන්දියක් හරි ගෙවනවා.

අධ්‍යාපනය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඔබ පින්ලන්ත අධ්‍යාපන චාරිකාවක නිරත වුණා. මොනවද ලැබුණ ප්‍රතිලාභ?
පින්ලන්තයේ ප්‍රායෝගික අධ්‍යාපනයට මුල් තැන දීලා ති‍ෙයනවා. සතියකට පැය 20ක් විතර සමහර පන්තිවල උගන්වන්නේ. එහි අනිත් ඔක්කොම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඒ වගේම මනස සුවපත් කිරීම සඳහා ක්‍රියාකාරකම්. මේ ආදී විදිහට රැකියා වෙළෙඳපළට ගැලපෙන විදිහට වෘත්තීය සුදුසුකම් ඉහළ නංවමින්, දැනුම පදනම් කරගත්ත සමාජයක් බිහිකරන්න අවශ්‍ය පදනම අධ්‍යනය කරලා ඒ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ. අපි ඒ ක්‍රමයම ගේන්න ඕන නැහැ. නමුත් අපිත් අපේ ක්‍රමයට ගැලපෙන්න අපේ ආර්ථිකයට ගැලපෙන විදිහට ඒ ආදර්ශ ඔස්සේ වෙනස්කම් කරන්න මම ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් දීලා තියනවා. අපේ සැලසුම හැකි ඉක්මනින් මේවා කරන්නයි.

ළඟදී කුණු ගොඩක් වැටුණා නේද? මොකක්ද මේ ඔබතුමා හඳුන්වලා දීපු ලැප්ටොප් නැටුම?
ඇත්ත වශයෙන්ම මේක මගේ වැඩක් නෙමේ. මේක අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි, සංස්කෘතික අමාත්‍යාංශයයි කරපු දෙයක්. එකම දේ මගේ විද්‍යාපීඨවල ළමයි අරගෙන තිබුණා. මම ඒක නවත්වන්න කියලා නියෝග කළා.