'එජාපයට ආයෙ බලය දෙන්නේ පොදුජන පෙරමුණ' : දයාසිරි ජයසේකර | ඇස පාදන රැස


'එජාපයට ආයෙ බලය දෙන්නේ පොදුජන පෙරමුණ' : දයාසිරි ජයසේකර

 ඡායාරූපය:

'එජාපයට ආයෙ බලය දෙන්නේ පොදුජන පෙරමුණ' : දයාසිරි ජයසේකර

ශ්‍රීලනිපේ ඡන්දෙ වැඩ කොහොමද?
ඉතා හොඳ තත්වයකට අපි ඇවිත් තියනවා. අපි හිටපු තැන ඉඳලා ඉහළට අපි ඇවිත් තියනවා. ජයහ්‍රහණය දක්වා අපි මේ ගමන අරන් යනවා. ශ්‍රි ලංකා නිදහස පාක්ෂිකයෝ අපිවටා එකතු වී ඉන්නවා පැහැදිලිවම.

ඔහොම කිව්වට තුන්වෙනි බලවේගේ වුනොත් ලැජ්ජාවක් නේද?
ඒක අනාගතේ තීරණය වෙයි. ඒක ජනතාවගේ අතේ තියන තීන්දුවක්. අපි අපේ නිවැරදි වැඩකොටස කරලා තියනවා. අපි විප්ලව කරලා කැරළි ගහලා යූඇන්පියට බලය දෙන්න සූදානම් නෑ.

දයාසිරි ජයසේකර මහත්මයා ගෙයින් ගෙට යනවා කියලා ආරංචියි. ඇයි පළාත් පාලන මැතිවරණයක ඇමති කෙනෙක් ගෙයින් ගෙට යන්නේ?
ගෙයින් ගෙට නෙමේ, අපි දැන් ශ්‍රීලනිප අය අරන් ඉවරයි. දැන් එජාප අය අපිට ගෙයින් ගෙට එන්නලු. ඇත්තටම ඔය බයවෙච්ච මන්ත්‍රීවරයෙක් කරපු ප්‍රකාශයක් තමා. එයාලා මිනිස්සුත් එක්ක හිටපු නැති එකෙ ප්‍රථිපල තමා. ශ්‍රීලනිපෙ රැස්වීම් ටික තියලා ඉවරයි. දැන් අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ එකතු කරගන්න වැඩේ තමා කරන්නේ. ඒකට ඉතිං ගෙයින් ගෙට යන එකේ වටිනාකමක් තියනවා.

කුරුණෑගල දේශපාලන තත්වය කොහොමද? පඬුවස්නුවර ශ්‍රීලනිපය දිනයිද?
අපි පැහැදිලිවම පඬුවස්නුවර ආසනය දිනනවා. ජනතාව සැදී පැහැදී ඉන්නවා ඒ ජයග්‍රහණය අපිට දෙන්න.

ක්‍රීකට් ගැන කතා කළොත්, හතුරුසිංහ ඔබතුමාගේ ජාමේ බේරුවා නේද?
එහෙම කියන එක වැරදියි. මොකද අපිට ඒකට වැඩ පිළිවෙලක් තිබුණා. විශේෂයෙන්ම අපි අපේ පුහුණුකරුවන් වෙනස් කරන එක, ඒ වගේම ක්‍රීඩකයන් ආබාධවලින් ගලවගෙන එයාලව ඉස්සරහට ගෙනියන එක, ඊළගට අවුරුදු 15න් පහළ ඉඳලා 17න් පහළ 19 පහළ ජාතික සංචිත හදන එක...මේ සියල්ල ඒ එක ක්‍රියාදාමයක ප්‍රථිපලයක්. මේක ඉවසන්න බැරි වුන කට්ටියට මේක ප්‍රශ්ණයක් වෙලා තිබුනට අපි අපේ පාසුවේ අපේ ගමන ගියා. ඉදිරි ජයග්‍රහණ මෙතැනින් නතර වෙන්න විදිහක් නෑ. ස්ථාවර, එකදිගට ජයග්‍රහණ ලබන හොඳම කණ්ඩායමක් බවට මේක පත් කරන්න අවශ්‍ය ඉතුරු වැඩ පිළිවෙල තමා අපි හදාගෙන යන්නේ.

ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් තුමා ලබා දෙන්න නියමිත විගණන වාර්තාව ලැබුණද?
නෑ. ඒක සමාන්‍යයෙන් අපිට ඒ ගොල්ලෝ එවන්න ඕන. දින 15කට කලින් ඒක එවන්න ඕන. ඒක තාම ලැබිලා නම් නෑ. ඒක ලැබුනට පස්සේ තමා ඒක සාකච්ඡාවට භාජනය කරන්නේ.

ඒ සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තුවක් තියනවද?
අත්‍යවශ්‍යම කාරණයක් නෙමේ. නමුත් කිසියම් පාර්ශවයක් ඒක කරන්න ඕන කියලා කියනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ..අපි ඒක කරන්න සූදානම්.

මේ දෙපිරිසම චෝදනා එල්ල කරගන්නවා. ක්‍රීඩා ඇමතිවරයා විදිහට මොනවද කියන්න තියෙන්නේ?
ඔය එකම කණ්ඩායම තමා දෙකට බෙදිලා ඉදිරිපත් වෙන්නේ. හැමතැනම ඔහොමයි වෙන්නේ. ඒක සාමාන්‍ය සිදුවීමක්. බලමු ඉතිං අපිත් එක්ක වැඩ කරනකොට කවුද තේරෙන්නේ කියන එක මට වැඩක් නෑ. ඔලිම්පික් කමිටුව ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක වැඩ කරනවා නම් මට ප්‍රශ්නයක් නෑ.

මැයි මාසයේ ක්‍රිකට් නිළවරණය තියනවා. වර්තමාන ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට යහපාලනය රැක් ගැනීම වෙනුවෙන් ඉවත් වෙන්න නේද යන්නේ?
මම දැනං හිටියේ නෑ එහෙම කාරණයක්. බලමු ඉතිං එතුමා ගන්න තීරණයත් එක්ක. එතුමා කොහොමත් අවුරුදු 2ක් ඉන්නවා කියලා තමා අපිට ප්‍රකාශ කරලා තිබ්බේ. අවුරුදු 4ක් එතුමට ඕන නම් ඉන්න පුළුවන්. නමුත් ඒක අවුරුදු 2 දක්වා ව්‍යවස්ථාවෙන්ම අඩු කරගෙන තිබ්බා. එතුමට කැමැති නම් ආයෙත් තරඟ කරන්න පුළුවන්. ඒක ඉතිං එතුමගේ තීරණයක්.