ජනමතය විමසන විකල්ප මොනවාද?

 ඡායාරූපය:

ජනමතය විමසන විකල්ප මොනවාද?

මේ දිනවල ජනතා පරමාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණා ගැන බොහෝ දෙනා කතා කරනු පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පාලනයයි. ප්‍රජාතන්ත්‍රවාදය ආණ්‌ඩුක්‍රමයක්‌ ලෙස සැලකූවිට පැහැදිලි වන්නේ ජනතාව පාලනයට සහභාගි වන ආණ්‌ඩු ක්‍රමයක්‌ බවයි.

සාමාන්‍ය අර්ථයෙන් ගත් කල, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම වැදගත් මාධ්‍ය වන්නේ මැතිවරණයි. ජනතාව සතු බලය කවුරුන් විසින් කුමන කාලයක්‌ හැසිරවිය යුතුද? යන්න තීරණය වන්නේ මැතිවරණ මඟිනි. කෙසේ වෙතත්, ආණ්‌ඩුව සුජාතභාවයෙන් යුක්‌ත ආණ්‌ඩුවක්‌ වන්නේ මැතිවරණවල නිදහස්‌ හා සාධාරණ බව මතයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා ක්‍රියාත්මක කරන ජනතාවගේ ආණ්‌ඩු ක්‍රමයකි කියා කීවේ, 1863 වන විට ඇමරිකාවේ ජනාධිපතිවරයාව සිටි ඒබ්‍රහම් ලින්කන් විසිනි.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ස්‌වරූපය අනුව කොටස් තුනකට වර්ග කොට තිබේ.

1. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය

2. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය

3. සීමිත ප්‍රජාතන්ත්‍රවාදය

කියා කියනුයේ ඒ කොටස් තුනටය.

නීති සම්පාදන කාර්යයට මහජනතාව කෙළින්ම සහභාගී වීම සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ හරය වේ. මෙය මහජනතාව විසින් නීති පැනවීම යනුවෙන්ද හැඳින්වේ. පෙර ග්‍රීසියේ පැවති පෞර ක්‍රමය ගොඩනැඟී තිබුණේ මෙම ක්‍රමය පදනම් කරගෙනය. නමුත් නූතන මහා පරිමාණ රාජ්‍යයන්වල මෙම ක්‍රම‍ය මේ අයුරින්ම භාවිතයට ගැනීම අසීරු තත්ත්වයකට පත් වී තිබේ. නූතන රාජ්‍යයන් භූමි ප්‍රමාණය අතින් විශාල වීමත්, ඒවා තුළ විශාල ජන සංඛ්‍යාවක් ජීවත් වීමත් හේතුවෙන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම අපහසු වී ඇත. එනිසා මෙම රටවලින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවන්නේ මහජනතාව විසින් තෝරා පත් කර ගත් නියෝජිතයන්ගේ මාර්ගයෙන් වක්‍ර ආකාරයකටය. එය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය වේ. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල ද සෘජු උපක්‍රම මඟින් හෝ මහජනතාව පාලනයට සහභාගී කරවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ දැඩි අවධානයක් නූතනයේ පවතී.

එවැනි සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම 4ක් නව ලෝකයේ පවතී.

1. ජනමත විචාරණය

2. ජන ප්‍රාරම්භණය

3. පුනරාවර්තනය

4. ජන මත සමීක්ෂණය

ඒ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම වේ.

ජනමත විචාරණය යනු ආණ්ඩුව පැනවීමට අදහස් කරන වැදගත් නීතියක් හෝ ප්‍රතිපත්තියක් නැති නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ගෙන එන යෝජනාවක් මහජනතාවට ඉදිරිපත් කොට ඒ සඳහා ජනතාව දක්වන ප්‍රතිචාරය නැති නම් දරනු ලබන මතය කුමක්ද යන්න මැන බැලීමය. ජනමත විචාරණයකදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ අදාළ කරුණු ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කොට ඔවුන් එයට එකඟද නැද්ද යන්න ප්‍රශ්නයක් ස්වරුපයෙන් විමසීමය.

එකඟ වන්නේ නම් “ඔව්” යනුවෙන් ද එකඟ නොවන්නේ නම් “නැත” යනුවෙන් ද ඡන්දදායකයා තම කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. ලංකාවේ අපිද ජනමත විචාරණයක අත්දැකීම ලබා තිබේ.

ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය පවත්වන ලද්දේ, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබාදෙනු සඳහාය. එය පළමු වන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වෙයි. ලොවට ජනමත විචාරණ ක්‍රමය මුලින්ම හඳුන්වා දෙන්නේ ප්‍රංශයේ දේශපාලන චින්තකයකු හා දාර්ශනිකයකු වූ ජින් ජැක්‌ රූසෝ විසින් 1762දීය. සමාජ සම්මුති න්‍යාය තුළිනි. රූසෝගේ මතයන් ක්‍රියාත්මක වෙන ප්‍රංශයේ 1973 ක්‍රියාත්මක වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටද ජනමත විචාරණය එක්‌කරන ලදී. 1776 ඇමෙරිකාවේ නිදහස්‌ ප්‍රකාශන සම්මත කිරීමටද ප්‍රාන්ත කීපයකම ජනමත විචාරණ පවත්වන ලදී. ඉන්පසු බ්‍රිතාන්‍යයේද වර්ෂ 1991දී බංග්ලාදේශයේ ජනමත විචාරණය ක්‍රියාත්මක කරන ලද්දේ එතෙක්‌ පැවැති ජනාධිපති ක්‍රමය වෙනස්‌ කොට පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහාය. උතුරු අයර්ලන්තයේ සාම ගිවිසුම අතිබහුතරයකින් අනුමත කරගැනීම සඳහාද 1998දී ජනමත විචාරණයක්‌ පවත්වන ලදී. ඕස්‌ට්‍රේලියාවේ, ස්‌විට්සර්ලන්තය ආදී බොහෝ රටවල ජනමත විචාරණ පවත්වන ලදී.

ජනමත විචාරණයේ අවසාන ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව දීර්ඝ කිරීමට පක්‍ෂව ලාම්පුවට ඡන්ද 3,141,233ක් ලැබීමත් එයට පක්‍ෂව කළයට ඡන්ද 2,605,983ක්‌ ලැබීමත්ය. මේ අනුව ජනතා කැමැත්ත මත පාර්ලිමේන්තුව තවත් වසර 6කින් දීර්ඝ කිරීමට එජාප රජයට හැකි විය.

කෙසේ වෙතත් මේ ජනමත විචාරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ 'කළු පැල්ලමක්' ලෙසද සමහරු අර්ථ දක්වයි.

ප්‍රාරම්භණය

ලංකාවට ආගන්තුක වුවත් මේ ක්‍රමයෙන් මහඟු පල නෙලා ගන්නා රටක් වන්නේ ස්විස්ටර්ලන්තයයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම අතර ඉතාම වැදගත් උපක්‍රමයක් ලෙස ජන ප්‍රාරම්භණය දැක්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට සෘජුවම පාලනයට සහභාගී වීමට ඉඩකඩ ලබාදීම සඳහා මෙම ක්‍රමය ඇතැම් රටවල් ප්‍රයෝජනයට ගනී. ව්‍යවස්ථාදායක අණ පනත් ආරම්භ කිරීමට ජනතාවට ඇති බලය ප්‍රාරම්භණය යනුවෙන් අදහස් කෙරේ. මෙය ආකාර දෙකක් වශයෙන් ක්‍රියාවට නැංවේ.

1. පනවා ඇති නීති සංශෝධනය කිරීමට

2. අලුතින් නීති පැනවීමට

වශයෙනි. මෙම දෙයාකාර අවස්ථාවේදීම අදාළ ක්‍රියාමාර්ගය වන්නේ ඡන්දදායකයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අත්සන් කරන ලද යෝජනාවක් මඟින් අදාළ නීතිය හෝ පනත වෙනස් කරන ලෙස ඉල්ලා සිටීම හෝ අදාළ කරුණ සම්බන්ධයෙන් නීති පනවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමයි. එසේ ආණ්ඩුවට ඉදිරිපත් කෙරෙන්නා වූ ප්‍රාරම්භණ යෝජනා ප්‍රතික්ෂේප කොට ඉවත් කිරීමට බලයක් ආණ්ඩුවට නැත. (ඉඩ කඩක් ද නොලැබේ.) යෝජනාව ජනමත විචාරණයකදී නීතියක් බවට පත් වූ පසු එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අනිවාර්යයෙන් බැඳී සිටී.

නූතන ආණ්ඩු ක්‍රමයන් තුළ සෘජු උපක්‍රමයක් වශයෙන් ප්‍රාරම්භණය බහුලව භාවිතා වන රට ස්විස්ටර්ලන්තය පමණක් වේ. පුරවැසියන් 50,000ක් අත්සන් කරන ලද ප්‍රාරම්භණ යෝජනාවක් මඟින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස හෝ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නීතියක් වෙනස් කරන ලෙස හෝ අලුතින්ම නීතියක් පනවන ලෙස හෝ සන්ධීය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමේ අයිතිය එරට ජනතාව සතු වේ.

යෝජනාව පාර්ලිමේන්තුව පිළිගතහොත් එය පනත් කෙටුම්පතක් ලෙස සකසා ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුය. එහිදී ජනතාව හා ප්‍රාන්ත බහුතරය අනුමත කළහොත් පනත නීතියක් බවට පත් වේ. යම් හෙයකින් පනත එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළද පළමුව එම යෝජනාව ජනමතයකට ඉදිරිපත් කළ යුතුය. ජනතාව එම යෝජනාව අනුමත කළහොත් එය යළිත් පනත් කෙටුම් පතක් ලෙස සකසා දෙවනුවද ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුය. එහිදී ජනතාව හා ප්‍රාන්ත බහුතරය අනුමත කළහොත් පනත නීතියක් බවට පත් වේ. ඉහත කුමන අවස්ථාවකදී හෝ ජනතාව අනුමත නොකළහොත් යෝජනාව හෝ පනත එහිදීම අහෝසි වේ.

පුනරාවර්තනය (ආපසු, නැවත, යළි කැඳවීම)

මහජනතාව විසින් තෝරා පත් කරන ලද නියෝජිතයන් හෝ නිලධාරීන් තමන්ට පැවරී ඇති වැඩ රාජකාරී නිසි අයුරින් ඉටු නොකරන විට ඔවුන් නැවත කැඳවීමට මහජනතාවට ඇති බලය පුනරාවර්තනය යනුවෙන් හැඳින්වේ. මෙහිදී නියෝජිතයාට හෝ නිලධාරියාට එල්ල කරන චෝදනා යම් නියම කරන ලද පුරවැසියන් සංඛ්‍යාවක් අත්සන් කරන ලද පෙත්සමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඡන්ද විමසීමකදී ඡන්දදායකයින් බහුතරය එය අනුමත කළහොත් අදාළ නියෝජිතයා හෝ නිලධාරියා තම තනතුරින් ඉවත් විය යුතුය. මහාචාර්ය ලීකොක් පෙන්වා දෙන ආකාරයට පුනරාවර්තනය මඟින් අදහස් වන්නේ රාජ්‍ය තනතුරක් දරන කවරෙකු වුවද එම තනතුර දැරිය හැක්කේ ජනතාවගේ කැමැත්ත ඇති තාක් කල් පමණක් බවය. යම් අවස්ථාවක ඡන්දදායකයින් බහුතරය තනතුර දරන පුද්ගලයා කෙරෙහි අකමැති වන්නේ නම් ඔහුට ස්වකීය නිලයෙන් ඉල්ලා අස් වීමට සිදුවේ. මෙය සීරුවෙන් හා සැලකිළිමත්කමින් භාවිතයට ගත යුතු ක්‍රමයකි. ලැස්කි පෙන්වා දුන් ආකාරයට, “මහජන නියෝජිතයින් නැවත කැඳවීම පිළිබඳව ඡන්දය පැවැත්විය යුත්තේ අදාළ නියෝජිතයා නියෝජනය කරන ආසනයේ ඡන්දදායකයින්ගෙන් අඩුම වශයෙන් භාගයක්වත් යෝජනාවට කැමැත්ත පළ කළහොත් පමණි. එසේම මන්ත්‍රීවරයා තනතුරින් ඉවත් කළ යුත්තේ ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් අඩුම වශයෙන් 3න් 2ක්වත් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් පමණි.

පුනරාවර්තන ක්‍රමය ස්විස්ටර්ලන්තයේ සහ ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වේ. චීනයේද යම්තාක් ක්‍රියාත්මකය.

ජනතා ආඥා ලබාගැනීම හෙවත්

“ප්ලේබිසයිට් ක්‍රමය”

“ප්ලේබිසයිට්” යන පදය වචනාර්ථයෙන් සලකා බලන විට “ජනතා ආඥාව” යන අර්ථය දෙයි. PLEBISCTIE යන ඉංග්‍රීසි පදය ගොඩනැඟී තිබෙන්නේ PLEBIS සහ SCITIUM යන ග්‍රීක වචන එකට එකතු වීමෙනි. PLEBIS යන පදයෙන් ‘මහජනතාව’ යන්නත්, SCITIUM යන පදයෙන් ‘ආඥාව’ යන්නත් අර්ථවත් වේ. මේ පදනම මත ප්ලේබිසයිට් යන පදය සලකා බලන විට එයින් හැඟී යන්නේ ආණ්ඩුවට නියෝග කිරීමට හෝ අණ කිරීමට ජනතාවට ඇති අයිතිය හෙවත් බලයයි. නමුත් නූතනයේ මෙයින් ‘ජනතා මතය විමසීම’ අදහස් කෙරේ. වඩාත් නිවැරදි ලෙස ප්‍රකාශ කරන්නේ නම් යම් වැදගත් දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් ජනතාවගේ පක්ෂ විපක්ෂ භාවය විමසීමය. මේ අනුව මෙය බොහෝදුරට ජනමත විචාරණයට සමාන බව පෙනේ. නමුත් එක් ප්‍රධාන කරුණකින් මේ දෙක එකිනෙක වෙනස් වේ. එනම් ජනමත විචාරණය භාවිතයට ගැනෙන්නේ නීති පැනවීමට ජනතාවට කෙළින්ම ඉඩ ප්‍රස්ථාව ලබාදීම සඳහාය. ප්ලේබිසයිට් ක්‍රමය මඟින් කරනුයේ ජනතාව නීති සම්පාදනයට සම්බන්ධ කර ගැනීම නොව යම් වැදගත් දේශපාලන ප්‍රශ්නයක් පිළිබඳ ජනතා මතය විමසීමයි. බොහෝ විට ක්‍රමය භාවිතයට ගැනෙන්නේ යම් භූමි ප්‍රදේශයක් පිළිබඳව රාජ්‍යයන් දෙකක් හිමිකම් කියන විට එම භූමි ප්‍රදේශය තුළ වාසය කරන ජනතාව තමන් කුමන රාජ්‍යයකට සම්බන්ධ වීමට කැමතිද යන්න විමසීම සඳහාය. නිදසුන් ලෙස කාශ්මීරයේ හිමිකම සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්ථානය අතර පවතින ආරවුල නිරාකරණය කිරීම සඳහා ප්ලේබිසයිට් ක්‍රමය තුළින් කාශ්මීර ජනතාවගේ අදහස් විමසීමට ඉදිරිපත් වී ඇති යෝජනාව පෙන්වා දිය හැකිය. 1935දී සාර් ප්‍රදේශයේ හිමිකම සම්බන්ධයෙන් ප්‍රංශය හා ජර්මනිය අතර ඇති වූ මතභේදය විසඳනු ලැබුවේ ප්ලේබිසයිට් ක්‍රමය මඟින් ජනතාවගේ අදහස් විමසීමෙනි. එහිදී සාර් ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ජර්මනියේ සමඟ එක් වීමට කැමැත්ත පළ කළ හෙයින් එම ප්‍රදේශ ජර්මනියට යා කරන ලදි.

[ශකිල රාජකරුණා]

 

මාතෘකා