පොරොන්දු

 ඡායාරූපය:

පොරොන්දු

මහ මැතිවරණයක සේයාව මතුවෙමින් තිබේ. එය හදිසියේ ඇතිවූ දේශපාලන කුණාටුවක ප්‍රතිඵලයකි. එය එසේ සිදු නොවුණත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතය. මේ අනුව ජනතාව කුමන හෝ මැතිවරණයකට සූදානමින් සිටින බව පැහැදිලිය. මැතිවරණ දෙපාර්තමේන්තුවද මැතිවරණයක් සඳහා ඕනෑම වෙලාවක සූදානම් බව ප්‍රකාශ කළේය.

මැතිවරණයකට දින නියම වීමත් සමඟ දේශපාලන පක්ෂ අළු ගසා බසා දමා නැඟිටීම සාමාන්‍ය සිරිතයි. ආගම, සංස්කෘතිය, සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය, සදාචාරය, දේශීයත්වය යනාදී බරසාර මාතෘකා පක්ෂ නායක නායිකාවන්ගේ දිවග ළෙල දෙන්නට පටන් ගනී. මළ ගෙවල්, කොටහලු මඟුල්, පිංකම්, පෙරහැර සහ දහඅට සන්නි යනාදී හැම අවස්ථාවක්ම මඟ නොහැර මහජනයා සමඟ කයිවාරු ගැසීම දේශපාලකයන්ගේ සිරිතකි. මැතිවරණාසන්නයේ ඡන්ද දායකයන් පිනවීම සඳහා අත දිගහැර වියදම් කිරීම ඔස්සේ ප්‍රතිපක්ෂ අපේක්ෂකයන්ට වඩා තමන්ට මුදල් හදල් හා සමාජ බලය ඇති බව ඇඟවීමද දේශපාලකයන්ගේ සිරිතය. ප්‍රචණ්ඩත්වය, වරදාන, පක්ෂ මාරු, පෙළපාළි, පෝස්ටර් යුද්ධ, පාතාලය යනාදී සියල්ල මැතිවරණ සමඟ එන සාමාන්‍ය දෑය.

මේ සියල්ල අතර ප්‍රමුඛ වන්නේ 'මැතිවරණ පොරොන්දු'ය.

ලොව ඕනෑම රටක මැතිවරණ පොරොන්දු සාමාන්‍ය ස්වභාවයකි. එහෙත් ඒ පොරොන්දු ඉටු කිරීම උදෙසා කිසියම් සාධනීය මැදිහත් වීමක් දියුණු රටවල දක්නට ලැබේ. කෙසේ වෙතත් තුන්වැනි ලෝකයේ රටවල එවන් තත්ත්වයක් දැකීම උගහටය. බොහෝ විට මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පොරොන්දු මල්ල සුළඟේ ගසාගෙන යයි. ඒ වෙනුවට අමුතුම මාදිලියේ කටයුතු සිදු වෙයි. 48න් පසු මෙරට සියලු මැතිවරණවලදී ප්‍රධාන සහ අවශේෂ පක්ෂ බොහෝ මැතිවරණ පොරොන්දු ලබා දී තිබෙන අතර ඒවායින් ඉටුකර තිබෙන්නේ කීයෙන් කීයද?

බලය ලබා ගැනීමට සේම ගිලිහෙන බලය රැක ගැනීමටත් දේශපාලනඥයෝ සහ පක්ෂ නොයෙක් පොරොන්දු ජනතාවට දෙති. එහෙත් බලය ලැබූ පසු එම පොරොන්දු සිහින බටව පත්වී කිසිදා ඉටු නොවෙයි.

1944දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට 'මෙරට රාජ්‍ය භාෂාව සිංහල' විය යුතු යැයි යෝජනාවක් ගෙනෙන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සිටියේ එජාපයේය. එදා ඔහු ඊට විරුද්ධව ඡන්දය දුන් අතර 1956 මැතිවරණය වන විට බණ්ඩාරනායක මහතා සිටියේ මහජන එක්සත් පෙරමුණ පක්ෂයේය. එදා ඔහුගේ පොරොන්දුවක් වූයේ පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව සිංහල කරන බවටය. එජාපයද ප්‍රචාරය කළේ 'සිංහල බස රජ කරන්න - අලියට ඔබෙ ඡන්දෙ දෙන්න' පවසමිනි.

“මේ ආණ්ඩුව පවතින තාක්කල් හාල් සේරුව ශත විසි පහයි. ලෝකයේ ආහාර තත්ත්වය කුමක් වුවත් ලක්වැසියා හාමතේ නොතබන්නේය.”

ඒ, එක්දහස් නවසිය පනස් දෙකේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුව රටවැසියන්ට ‍දුන් පොරොන්දුවය. පනස් දෙකේ බලයට පත්වූ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන කළේ

අයවැය හරහා එතෙක් ශත විසිහපට දුන් හාල් සේරුව ශත හැත්තෑපහ දක්වා වැඩි කරන්නට යෝජනා කිරීමය.

ඊට එරෙහිව ජනතාව පාරට බැස්සේ එදා මෙදාතුර දැවැන්තම හර්තාලයට පාර කපමිනි. 1953 ඓතිහාසික හර්තාලය තරම් වූ දැවැන්ත බහුජන අරගලයක් අපේ කම්කරු සටන් ඉතිහාසයේ මෙතෙක් සනිටුහන් වී නොමැත. වමේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නායකත්වයෙන් ඇරඹුණු එය ගොවීන් හා සෙසු ජන කොටස්වල සහාය ලැබූ චමත්කාරජනක ජනතා ව්‍යාපාරයක් විය.

ඉරහඳ පවතින තුරු එජාප පාලනයක් යනුවෙන් උදම් ඇනූ ඩඩ්ලිගේ ආණ්ඩුව ගෙදර යැවීමට පනස් තුනේ හර්තාලය පාර කැපුවේය.

1960 පැවැති මහ මැතිවරණයට පෙර ලංකා සමසමාජ පක්ෂය මුද්‍රණය කළ පත්‍රිකාවක සඳහන්ව ඇත්තේ 'හාල් සේරුවක මිල යළි ශත 25 දක්වා අඩු කරන්නට කටයුතු යොදන බවට' වූ ඡන්ද පොරොන්දුවකි.

අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු 1960 පැවැති ඡන්දයේදී පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ පැවැසුවේ මිනීමරුවන්ට නිසි දඬුවම් දීමට හැක්කේ ම.එ.පෙ. බලයට පත්වුවහොත් පමණක් බවය.

1970දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙනා පොරොන්දුවක් වූයේ 'මම හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා' යන පොරොන්දුවය. එතෙක් මෙතෙක් ප්‍රකටම පොරොන්දුවක් වන්නේ ඒකය. “අපේ අම්මා ළඟ එනවා හඳෙන් හාල් ගෙන එනවා” යනුවෙන් කියමින් ශ්‍රීලංකාකාරයෝ උද්දාම වූහ. එහෙත් ඇය බලයට පත් වූ පසු සහල් හිඟය හේතුවෙන් ජනතාවට බත් කෑම අඩු කරන්නට සිදු වූ අතර 'පෝලිම් යුගයක්' ඇති විය. හාල් ප්‍රවාහනය, මිරිස් ප්‍රවාහනය සීමා කරන්නට සිදුවිය.

සමගි පෙරමුණු ආණ්ඩුව පොරොන්දු උඩු හුළඟට අරින විට ශ්‍රීලනිප ආධාරකරුවෝ මෙහෙම කීය.

“සීනි නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපට කියනව නම්
පිදුරු වුණත් අපි කන්නම්”

දේශපාලනය අරුම පුදුම දෛවෝපගත දෑ සිදු කරයි. පනස් එකේ සහල් මිල ඉස්සූ ජේ. ආර්. ජයවර්ධනගේ 77 පොරොන්දුව රටේ ජනතාවට ධාන්‍ය ඇට රාත්තල් අටක සලාකයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් ලබා දීමට පොරොන්දු වෙනවාය කීමය.

එමෙන්ම 77 ජේ. ආර්. දුන් ‍පොරොන්දු අතරේ ප්‍රකටම සහ පසුව හාස්‍යෝත්පාදන පොරොන්දුව වූයේ 'ධර්මිෂ්ට සමාජයක්' බිහිකරන බවට කී කතාවය. පසු කලෙක ඔහුට “මිස්ටර් ධර්මිෂ්ට” යනුවෙන් නමක්ද පටබැඳුණි. මහ ඇදුරු සරච්චන්ද්‍රයෝ ජේ. ආර්ගේ පාලනය උපහාසයට නඟමින් ධර්මිෂ්ට සමාජය යනුවෙන් ‍පොතක්ද ලියූ අතර එජාප මැරයෝ සරච්චන්ද්‍රයන්ට කාණුවක දමාගෙන හොඳ හැටි පහර දුන්හ.

ජේ. ආර්ගේ අනුප්‍රාප්තිකයා වූ ආර්. ප්‍රේමදාස ගෙනාවේ අපූරු පොරොන්දු මාලාවකි.

“සෙරෙප්පු නැති අයට අපි සෙරෙප්පු දෙනවා. සෙරෙප්පු දාන අයට සපත්තු දෙනවා. සපත්තු දාන අයට මේස් දාලා සපත්තු දාන්න පුළුවන් ආර්ථිකයක් අපි හදනවා. නැති බැරි අය ඇති හැකි අය කරවීමේ ජනසවිය ව්‍යාපෘතිය හා හිසට වහලක් සිතට නිවනක්” ඔහුගේ පොරොන්දු මල්ල එසේ විය. ආර්. ප්‍රේමදාස පොරොන්දු වූයේ 'නැති බැරි අය ඇති හැකි අය කරවන' පොරොන්දුවයි. 1994 වන විට පාන් රාත්තලක මිල රු. 5කි. පාන් රාත්තල 3.50කට දෙන පොරොන්දුව මතකයට නැඟෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේදීය.

එක්දහස් නවසිය අසූ දෙකේ සිට මේ දක්වා පැවැති සෑම ජනපතිවරණයකදීම අපේක්ෂකයෝ වැඩිම ප්‍රමාණයක් දුන් පොරොන්දුවක් තිබේ. ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා' යන පොරොන්දුවය.

ඇතැම් අපේක්ෂකයෝ ඒ ‍පොරොන්දුව ලිඛිතව දීමෙන් පමණක් නොනැවතී, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ඉදිරිපිටද දිව්රූහ. වරක් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නිහාල් ගලප්පත්ති ජනපති සටනෙන් ඉවත් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග 'විධායක ජනපති ධූරය අහෝසි කරන බවට' ලිඛිතව පොරොන්දු වීම නිසාය. එහෙත් ඈ එය කඩා දැමුවාය.

“ජනපතිවරයා නීතියේ අණසකට ඉහළින් හා උසාවිවල අධිකරණ ක්‍ෂේත්‍රයට බාහිරව තැබීම ගැන අපි විරුද්ධ වෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනුව ජනාධිපතිවරයා පෞද්ගලිකව හා නිල වශයෙන් කරණු ලබන සියලුම ක්‍රියා සම්බන්ධයෙන් නීතියේ රැහැනින් මිදුණු පුද්ගලයකු බවට පත්කර තිබේ. ජනාධිපතිගේ හා අගමැතිගේද සියලු විධායක බලතල එක් පුද්ගලයකු වෙත රඳවා ගෙන නාමික රාජ්‍ය නායකයකුට හිමි නීති බලපෑමෙන් මිදී සිටීමේ වරප්‍රසාදය විධායක ජනපතිවරයකුට ලැබිය යුතු යැයි කීම මහජනතාව මුලා කිරීමකි” යනුවෙන් 78දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කීවාය.

ජේ. ආර්. ආණ්ඩුවේ අගමැති වූ ආර්. ප්‍රේමදාස කීවේ විධායක ජනපති තිබෙන රටේ අගමැති තනතුර 'පියන් තනතුරක්' බවය. ප්‍රේමදාසගෙන් පසු ජනපති පුටුවේ වාඩි වූ ඩී. බී. විජේතුංග විධායක බලතල සේප්පුවක දොරගුළු දමා දැහැමෙන් සෙමින් රට පාලනය කළේය.

පාන් රාත්තල (ගෙඩිය) 3.50කට දෙන පොරොන්දුව රැගෙන ආවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේදීය. ඈ ඊට දූෂණය - භීෂණය නැති කරන පොරොන්දුවද දුන්නාය. චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනපති ධුරය අහෝසි කරන බවට දුන්නේ ලිඛිත පොරොන්දුවකි. ඒ ජවිපෙන් ඉදිරිපත් වූ නිහාල් ගලප්පත්තිටය. ඔහු මැතිවරණ සටනින් ඉවත් වූ අතර චන්ද්‍රිකා දිනුවාය. පොරොන්දුව සුළඟට ගිය අතර ඈ දෙවැනි වරටද ජනාධිපතිවරණයට විත් දිනුවාය.

2001 දෙසැම්බර් මහ මැතිවරණයට තරග වැදුණු රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූයේ නංගිලාට මල්ලිලාට බ්‍රේස්ලට් දාන්න පුළුවන්, බුලත් හපන අයට චුයිංගම් හැපිය හැකි ආර්ථිකයක් ගොඩනඟන්නට තමාට හැකි බවය. එහෙම කියා ජය ගත්තද වික්‍රමසිංහ මහතා 'බ්‍රේස්ලට් හෝ චුයිම්ගම්' නොදෙන බව වටහා ගෙනදෝ ජනතාව දෙවසරකින් ඒ ආණ්ඩුව පෙරළා දැමීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසු ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂය. ඔහුද කීවේ විධායක ජනපති ධුරය ඉක්මනින් අහෝසි කළ යුතු බවය. චන්ද්‍රිකා මෙන්ම මහින්දද විධායක ජනපති ක්‍රමය වෙනස් නොකළේය.

ඔහු දෙදහස් පහේදී දුන් ප්‍රධාන ඡන්ද ‍පොරොන්දු අතරේද විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ ‍පොරොන්දුවද තිබුණේය.

දෙදහස් දහයේ ජනපතිවරණයේදීද විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ජනපති අපේක්ෂකයෝ රැසක් කීවෝය. එහෙත් පොරොන්දුව ඉටු නොවිණි. 2015දීද එම පොරොන්දුව කරළියට ආ නමුත් සහමුලින් ඉටු නොවිණි. කෙසේ වෙතත් ජනතාව හැමදාම මේ පොරොන්දු වෙත ආශක්ත වෙති. ඉටු වුවත්, නොවුණත් බලාපොරොත්තු තියා ගනිති.

මහජනයා මෙවැනි පුද්ගලයන්ට කැමති වන්නේ බලගතු පුද්ගලයන්ට සමීප වීමෙන් තමන්ටද යමක් කරගත හැකි වේය යන ආකල්පයෙනි. තම දරුවන්ට රැකියා ලබා දීම, ජනප්‍රිය පාසලක් ලබා දීම, පොලිසියට බලපෑම් කර නඩු හබවලින් නිදහස් වීම යනාදී නහුතයක් කරුණු මෙහිදී ජනතා කැමැත්ත තීන්දු වීම කෙරෙහි බලපායි. එහිදී පුද්ගලයා කවුරු වුණත් කමක් නැත. මේ අනුව බහුතර කැමැත්තෙන් මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන පුද්ගලයන්ගෙන් බහුතරය කඳබඩ සහ හයිකාරකම පමණක් ඇති පුද්ගලයන් වීම වැළැක්විය නොහැකිය. එම ලක්ෂණ නොමැති, මුදල් හා සමාජ බලය නොමැති, මහජන සේවය පරම කොට සලකන මානව හිතවාදියකු මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට ඇපත් නැතිව ගෙදර යෑමට සිදුවනු ඇත.

රටේ දැවෙන ප්‍රශ්නයක් වන රැකියා ප්‍රශ්නය විසඳන බව මැතිවරණවලදී දේශපාලකයෝ පොරොන්දු දෙති. එහෙත් බලය ලැබීමෙන් පසුව රැකියා අවස්ථා හිමිවන්නේ මැතිවරණයේදී උදවු කළ පවුල්වල අයටය. රජයේ බැංකු වැනි ආයතනවලට බඳවා ගැනීමේදී අනුගමනය කළ පිළිගත් ක්‍රමවේදය පවා බැහැර කරමින් දේශපාලන අත පෙවීම් සිදුවූ ඉතිහාසයක් මෙරට පවතී.

පවත්නා දේශපාලන ක්‍රමය ජාඩියට මූඩිය මෙන් ඡන්දදායකයාටත් දේශපාලකයාටත් ගැළපේ. එය වෙනස් කිරීමද අතිශය දුෂ්කර කටයුත්තකි. විෂම කොට නොසලකන සාධාරණ සමාජයක් පිළිබඳ අපේක්ෂාවක් මහජනයාට ඇතැයි කිසිවකුට කිව හැකිය. එවැනි සමාජ තීරුවක් සිටින බව අසත්‍යයක් නොවේ. එහෙත් බහුතර ජනතාවගේ මතය එය නොවන බව දත යුතුය. අල්ලපු ගෙදර එකාට කෙළවා දමා තමන්ගේ එකාට කරවා ගැනීමේ දේශපාලන චින්තනය මේ රටේ මහජනතාවගේ දේශපාලන චින්තනය යැයි කීමෙහි වරදක් නොපෙනේ. එසේ සිතන මතන ඡන්දදායකයන් ජීවත් වන රටක බල ලෝභයෙන් තොර යහපත් දේශපාලකයන් සිටී යැයි සිතීමද මළම මළ විකාරයකි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යැයි අප නිදහසෙන් පසුව පවත්වාගෙන ගොස් ඇත්තේ පිරිහුණු මජර දේශපාලන ක්‍රමයකි. එය වෙනස් කිරීමට දැරූ හැම උත්සාහයක්ම අවසන් වී ඇත්තේ පැතූ දේ ඉටු නොවූ කලකිරීමෙනි. ඒ කලකිරීම ඇත්තේ ටික දෙනකුටය. බහුතරය දුක මිහිරක් කොට ගෙන කුණපය සොඳුරු ඕවිල්ලක් කරගෙන දැහැමෙන් සෙමෙන් ජීවත් වෙති. එවැනි තවත් නරනාටකයක් දැක ගැනීමේ අවස්ථාව ළඟදීම උදාවනු ඇත. ඔව්. මැතිවරණයක් සමඟ ඡන්ද පොරොන්දු අත ළඟ!

[ප්‍රවීණ විජයවර්ධන]

මාතෘකා