ඉතිහාසයේ ආණ්ඩුවක් නැතිව ගෙවුණු දවස්

 ඡායාරූපය:

ඉතිහාසයේ ආණ්ඩුවක් නැතිව ගෙවුණු දවස්

මේ දිනවල රටේ ආණ්ඩුවක් නැත. භාරකාර ආණ්ඩුවකුත් නැත. කොහොම වෙතත් සමහරුන් කියන්නේ මීට පෙර ආණ්ඩු නැති අවස්ථා තිබී නැත කියාය. එහෙත් ඉතිහාසය විපරම් කර බලද්දී එහෙම ආණ්ඩු නැතිව තිබූ අවස්ථා ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේත් හමු වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික අංග ලෙස මහජන ස්වාධිපත්‍යය, සමානාත්මතාව, අයිතිවාසිකම්, නියෝජිත ආණ්ඩු ක්‍රමය, කාලීනව පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ, ව්‍යවස්ථානුකූල ආණ්ඩුව, වගකීම් සහිත ආණ්ඩුව , නීතියේ ආධිපත්‍යය, තරගකාරී දේශපාලන පක්ෂ ක්‍රමය, නිදහස් බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, නිදහස් මහජන මතයේ ක්‍රියාකාරිත්වය, යහපාලනය, නිදහස් ජනමාධ්‍ය, පාලකයන් සහ පාලිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව ආදිය ගැන කියවෙයි.

කොහොම වෙතත්, ඕනෑම රාජ්‍යයකට කුමනාකාරයේ හෝ ආණ්ඩුවක් තිබේ. රාජ්‍යයේ කටයුතු කරගෙන යනු ලබන්නේ ආණ්ඩුව විසිනි. එනිසා ආණ්ඩුවක් අත්‍යවශ්‍යය. ඒ කෙසේ වුව, ආණ්ඩු නොමැතිව ගෙවුණු අවස්ථාවන් ගැන විමසා බැලීම වටී.

1952 අගෝස්‌තු මාසයෙන් පසුව මෙරට දෙවන මැතිවරණය පවත්වන්නට නියමිතව තිබිණි. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්‌. සේනානායක මහතා 1952 මාර්තු 21 වැනිදා ගෝල්ෆේස් පිටියේදී අසු පිටින් වැටී 22දා අභාවප්‍රාප්ත වීමත් සමඟ අනපේක්ෂිත ගැටලුවකට ශ්‍රී ලංකාව පත්විය.

ඩී. එස්. ගේ ආණ්ඩුවේ දෙවැනියාව සිටියේ ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකය. එහෙත් ඒ වන විට ඔහු එජාපයෙන් ඉවත්ව ශ්‍රීලනිපය බිහි කිරීමෙහි යෙදී සිටියේය. ඒ නිසා ඊළඟ චරිතය ලෙස ඉදිරියෙන් සිටියේ, ප්‍රසිද්ධ වැඩ හා ගමනාගමන ඇමැති ධුරයත් සභානායක ධුරයත් හෙබවූ සර් ජෝන් කොතලාවලය. ඔහු පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවද නියෝජනය කළ අයකු වීම අදාළ සුදුසුකම් වැඩි කිරීමට හේතු විය.

එහෙත් ශ්‍රී ලංකාවේ දෙවැනි අගමැති ධුරයට පත්වූයේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාය. එහෙත් නව ආණ්ඩුව පිහිටුවීම එතරම් සරල වූයේ නැත. අග්‍රාණ්‌ඩුකාර සෝල්බරි සාමි විදේශගතව සිටි නිසා තීරණයක් ගැනීමද පහසු නොවීය. ඔය අතර මුළු රටම සිටියේ කම්පනයෙනි. ඒ ඩී. එස්. ගේ අභාවය නිසාය. සතියක් පුරා ජනතාව සුසුම් හෙළූහ. ශෝකී ගීත ගුවන් විදුලියෙන් ඇසුණි. රට පුරා නිවසක් පාසා සුදු කොඩි එසැවිණි.

ඒ සියල්ල මැද එජාපයේ අළු යට ගිනිය. ජෝන්, ඩඩ්ලි, ජේ. ආර්. (ජේ ආර් එතරම් තදින් එවක අගමැති සටනේ සිටියේ නැත) මුල සිටම ජේ. ආර්. ජයවර්ධන මහතා 'අගමැතිකමට' බලාපොරොත්තු තබා ගත් බවක් පේන්නට නැත. එහෙත් ඒ සටනේ ජෝන් කොතලාවල සිටියේය. ඔබ්සවර් පුවත්පත එදිනම වාර්තා කරන්නේ 'ඇතැම් කණ්ඩායම්වල සහාය ජෝන්ට නෑ' යනුවෙනි.

සෝල්බරි සාමිවරයා 'නව අගමැති' ධුරයට ඩඩ්ලිට ආරාධනා කරන්නේ ඒ අනුවය. එහිදීවත් ඩී. එස්. සේනානායක ඩඩ්ලි ඊළඟ අගමැති ලෙස නම් කළ බවක් පේන්නට නැත. ඊටත් වඩා විශේෂ කාරණය වන්නේ ඒ වන විටත් ආණ්ඩුවේ 19ක් 'ජෝන් එපා' කියා ජෝන්ටම ලියුමක් ලියා යැවීමය.

'අද උදේ අපි ඔබතුමා සමඟ සාකච්ඡා කළෙමු. විශේෂ කරුණු කිහිපයක් ගැනත් ඔබගේ අවධානය යොමු කරවූයෙමු. ඔබද අප වෙත කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය. අපි ඒ ගැන විමසිලිමත් වීමු. ඒ අනුව අපට හැඟී ගියේ ඒවා ප්‍රායෝගික නොවන, ව්‍යවස්ථා විරෝධී දෑ බවය. ඒ කිසිවක් ඔබගේත්, අපගේත් ඉදිරියේ පැන නැඟී ඇති මහා කාර්යයට පිටිවහලක් නොවේ. එසේම අපගේ අභාවප්‍රාප්ත ගරු නායකයාගේ සිතේ තිබූ අදහස්වලටද එකඟ නොවේ. ඒ නිසා සෝල්බරි සාමි, ආණ්ඩුවක් පිහිටුවීමට ඔබට ආරාධනා කළහොත් අපට ඔබතුමාට පක්ෂ වීමට නොහැකිය.

ඩඩ්ලිට අගමැති වෙන්නට ඩී. එස්. හේතුවක් නොවූ බවට අනෙක් සාක්ෂිය ද්‍රවිඩ කොංග්‍රස් මතයයි. ඔවුන්ද ජෝන්ට අකමැති විය. 'ඩඩ්ලිගේ ආණ්ඩුවකට අපි එකඟයි'

ද්‍රවිඩ කොංග්‍රසය කීවේ එහෙමය. මීට අමතරව ස්වාධීන හා නිදහස් මන්ත්‍රීවරු බොහෝමයක්ම ඩඩ්ලිට එකඟ වූහ. 52 මාර්තු 21 දින සිට දින හතරක්‌ වැඩ බලන අගමැතිවරයකුද නොමැතිව පැවැතියේ අරාජික කාලයකි.

'අගමැතිකම' බලාපොරොත්තුව සිටියත් තමන්ට එය අහිමි කළ බවට චෝදනා කරමින් ජෝන් වියරුවෙන් කෑ ගැසූ බව පැවසේ.

'මම ඩී. ඇස්. සේනානායක මහතාගේ ඥාති පුත්‍රයෙක්. එහෙම සිටියදීත් මට කළ මේ විනාශයට සෝල්බරි සාමිගෙන් පළිගන්නව. ඒ විතරක් නෙවේ, මම ඩඩ්ලිගේ ආණ්ඩුවේ කිසිම තනතුරක් ගන්නේ නෑ'

ජෝන් කෑ ගසා තිබුණේ එහෙම ය.

එහෙත් ඩඩ්ලි ජෝන්ට අමාත්‍ය ධුරයක් දුන්නේය. එහි දිවුරුම් දී උණුසුම යන්නත් පෙර ජෝන් කැනඩාවට ගියේය. 'අගමැති පොරය' පොත එළියට එන්නේ ජෝන් කැනඩා ගිය දවසේමය. රටම කැලඹුණේ ඉන් පසුවය.

'මේක ජෝන්ගේ වැඩක්' හැමෝම කීය.

කැනඩාවට යන අතරේ ජෝන් ඇමෙරිකාවට ගොඩ බැස්සේය. ජෝන් අැමෙරිකාවේ බව දැනගත් ආණ්ඩුව ජෝන්ට පණිවිඩයක් යැවීය.

'ගෞරවාන්විත අවසානයක් ඇතිව මෙම මතභේදය නිරාකරණය කර ගැනීම සඳහා නොපමාව ඉල්ලා ඇස්වීමේ ලිපියක් එවන්න'.

කේබල් පණිවිඩය දුටු ජෝන් වියරුවෙන් කෑ ගැසුවේය.

'මොන අස්වීමක්ද යකෝ, ඒක ගහගනින් තොගෙ පු...' කියා ජෝන් තමාට පණිවිඩය යොමු කළ ඇෙමරිකා එක්සත් ජනපදයේ එවකට ලංකා තානාපති සර් ක්ලෝඩ් කොරෙයා වෙත කඩා පැන්නේය.

මේ එක්කම, ජෝන් තරමක් කලබල විය. ඒ සිය අමාත්‍ය ධුරය අහිමි වෙතැයි කියාය. ජෝන් වහාම ලංකාවට ආවේය. අගමැති ඩඩ්ලිව මුණ ගැසුණේය. අනතුරුව ප්‍රකාශයක් කළේය.

'අගමැති පොරය නම් පොත හේතුවෙන් ඇතිවූ තත්ත්වය ගැන අගමැති සමඟ සාකච්ඡා කළෙමු. මීට මගේ කිසිම සම්බන්ධයක් නැත. මගේ පැහැදිලි කිරීම් අගමැතිතුමා පිළිගත්තේය.'

කෙසේ වෙතත්, ඊට ටික කලකට පසු ජෝන් තමාගේ ජීවිත කතාව ලීවේය. එය 'ආසියානු අගමැතිවරයකුගේ කතාව' නම් විය. එහි තිබෙන කාරණා තරමක් ආන්දෝලනාත්මකය.

ඒ පොතේ 'නැති වූ නායකයා' පරිච්ඡේදයේ මෙහෙම සටහනක් වෙයි.

'ලොක්කා මං නොව ඔහුගේ පුතා වන ඩඩ්ලි සේනානායක තමාගේ උරුමක්කාරයා බවට නම් කළ බව ඇසූ විට මට ඇති වූ පුදුම සහගත හැඟීම් ගැන සිතන්න. මට කිව හැකි එකම දේ මෙය බොරුවක් යන්න පමණි. මා මෙතරම් විශ්වාස කළ නායකයා මෙලෙස මා පහතට හෙළනු ඇතැයි සිතීම පවා පිළිගත නොහැකි විය'.

මෙහෙම කියන ජෝන් පසුව මෙහෙමත් කියයි.

'අද මම ඒ සිදුවීම් දෙස අපක්ෂපාතව බලන විට ඩී. එස්. සේනානායක එවැනි නිර්දේශයක් කිසි විටෙක නොකළ බව හඟින්නට මම පෙලඹෙමි.'

ඒ අනුව ඔහු විසින්ම 'ඩඩ්ලි' ගැන ගොඩනඟා ගත් 'ව්‍යාජය' ඔහු විසින්ම බැහැර කරයි.

කොහොම වෙතත් දින හතරක අරාජික සමයකින් පසු ඩඩ්ලි ආණ්ඩුව පිහිටුවා වැඩි දවසක් කරගෙන ගියේ නැත. ඔහු 1952 මාර්තු 26 වැනි දින අගමැති ලෙස පත් වී රාජකාරි කරන්නේ දින 13කි.

'මට උවමනා ජනතා මතය උරගා බලන්නයි. ඒ නිසා මම ජනතාව වෙත යමි' කියමින් ඩඩ්ලි ආණ්ඩුව විසුරුවා හැරියේය. අගමැතිකමට ඔහු ලොල්ව සිටියා නම් එවැන්නක් කරයිද. ජෝන්ලා කකුලෙන් අදිද්දීත්, බණ්ඩාරනායක මහතා නව පක්ෂයෙන් අභියෝග කරද්දීත් ඩඩ්ලි ජනතාව ඉදිරියට ගියේය.

මැතිවරණයෙන් ඔහු ජයගත්තේ වාර්තාවක් තියමිනි. ඒ මෙරට තුනෙන් දෙකේ බලයක් ගත් පළමු 'ආණ්ඩුව' බිහි කළේත් ඩඩ්ලිය.

නිදහසින් පසු ආණ්ඩුවක් නොමැතිව රට පැවැති පළමු අවස්ථාව ඒකය. ඊට පසුවත් එවැනි අවස්ථාවක් හමුවෙයි.

1964 දෙසැම්බරයේ රාජාසන කතා විවාදය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් සිරිමාවෝගේ ආණ්ඩුව පෙරළුනි.

ඊට පසු 65දී සම සමාජ, කොමියුනිස්ට්, ශ්‍රී ලංකා තුන් හවුල එක්ව මැතිවරණයට තරග කළ අතර ඒද ආන්දෝලනාත්මක සමයක් විය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හත් හවුලට ඩඩ්ලි සේනානායක මහතා නායකත්වය දුන් අතර ප්‍රතිඵලය තියුණු විය. ඉදිරියෙන් සිටියේ ඩඩ්ලිය.

‘මැතිනිය ඉල්ලා අස්වෙන්න එපා. අපි දවස් දහයකින් පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගනිමු.” කොල්වින්, ඇන්ඇම් වැනි වාමාංශික නායකයන්ගේ උපදෙස් එහෙම විය. එහෙත්, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි පිරිසක්ම කීවේ ‘ඉල්ලා අස්වී ජනමතයට ඉඩ දෙමු’ කියාය.

ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පාක්ෂිකයෝ වීදි බසින්නට වූ අතර ශ්‍රීලනිප පාක්ෂිකයෝ අරලියගහ මැදුර මුර කරන්නට වූහ. එජාපය තැන තැන රැලි තැබූ අතර ගැටුම්ද ඇති විය.

මැතිනිය අස් වෙන්නේත්, එජාපය පස්සට යන්නේත් නැත. දැන් බලය යන්නේ අග්‍රාණ්ඩුකාරවරයා අතටය. සාමාන්‍යයෙන් එවක බලවත් අගමැතිය.

එවක මැතිනියගේ ලේකම්වරයාව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා සිය ‘අරලියගහ මැදුරේ සපන්දනය’ කෘතියේ තැනක මේ අර්බුදය ගැන සටහන් කොට තිබේ.

ඔහු පවසන්නේ එවක පුවක් ගෙඩියට හසුව සිටියේ ගොපල්ලව මහතා බවයි. ඔහු එක් අතකින්, මැතිනියගේ ඥාතියකි. අනෙක් අතින් අග්‍රාණ්ඩුකරුය. තීරණාත්මක මොහොතේ විලියම් ගොපල්ලව (එවක ආණ්ඩුකාර) මැතිනිය හමුවිය.

“මම මේ ඔබට කතා කරන්නේ රටේ අග්‍රාණ්ඩුකාරවරයා හැටියට පමණක් නොවෙයි. ඔබේ සමීපතම වැඩිහිටි ඥාතියකු හැටියටයි. මම කෙටියෙන් කියන්නම්. තවත් රට අවුල් නොකර වහාම තනතුරින් ඉල්ලා අස්වෙන්න.”

ඔහු කෙලින්ම අගමැතිනියට කීවේය.

මේ අනුව බොහෝ අසීරුවෙන් මැතිනිය සිය ඉල්ලා අස්වීම ලීවාය. දින කිහිපයක අරාජික සමය එයින් පසු නිමා විය. ඊට අමතරව මෙරට දේශපාලනයේ විවිධ අවස්ථාවල ගැටලු අර්බුද මතුව තිබේ. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය, ආර්. ප්‍රේමදාස මහතාගේ ඝාතනය වැනි අවස්ථා ඉතා තීරණාත්මක ලෙස අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය කරනු ලැබීය.

ඊට පසු මෙවර අධිකරණ නියෝගයක් අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු අගමැති හා අමාත්‍ය මණ්ඩලය තනතුරු දැරීම අත්හිටුවා තිබේ. මෙවර විශේෂතා කිහිපයක් තිබේ. එකක්, එය අධිකරණ නියෝගයකි. අනෙක් අතට මෙතෙක් අගමැති හා ඇමැතිවරු සතුව තිබූ බලය ජනපති වටා ගොනු වීමකි. එහෙම බැලුවොත් වත්මන් ජනපතිට අසීමිත බලයක් ලැබී තිබේ.

කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ නායකයන් ප්‍රඥාගෝචරව කටයුතු කිරීමය. ඒ සඳහා ඉතිහාසයේ පාඩම් උපයෝගී කර ගැනීම ඉතා වටී.

මාතෘකා