“ගොරකා දඩමස් කරන” නීති තර්ක

 ඡායාරූපය:

“ගොරකා දඩමස් කරන” නීති තර්ක

“ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ ආ යුතුයි” යන කියමන සනාථ කරමින් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින ආකාරයක් අපට පසුගිය සතියේ දකින්නට ලැබුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද සිටින පතුළක් නොපෙනෙන ළිඳට වැටුණේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අසීමිත වාර ගණනක් ජනාධිපතිධුරය දැරිය හැකි බවට ව්‍යවස්ථාව සංශෝධනය කර ගත් නිසයි. එසේ නොවුණා නම් ජනතාවට 2015 දී ජනාධිපතිවරණයක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ පූර්ණ නිල කාලයම ධුරය දරමින් සිට ගෞරවණීය ආකාරයට විශ්‍රාම යාමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව හිමි වෙනවා. ඒත් අසීමිත බල තණ්හාව සහ කේවට්ට උපදේශකයෝ ඒ සියලුම අවස්ථාවන් අහිමි කරලා මහින්ද රාජපක්ෂ මහතාව පතුළක් නොපෙනෙන පාළු ළිඳකට තල්ලු කරලා දැම්මා. ඒ ෆැසිස්ට්වාදයට පාර කැපූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගිනුයි.

යළිත් මහින්ද රාජපක්ෂ මහතාගේ මේ අසීමිත බල තණ්හාව සහ රාජපක්ෂ මහතා වටේ සිටින කේවට්ට උපදේශකයෝ 2015 දී වැටුණ ළිං කටින්ම ගොඩ ඒමට මගක් සොයමින් සිටිනවා. ඒ “19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන්නේ නැහැ” යැයි තර්ක කරමිනුයි. මේ කුතර්කය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින නීති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වැන්නන් අද මහින්ද රාජපක්ෂ මහතාට ලණු දෙමින් සිටින්නේ කෙසේ හෝ රාජපක්ෂ මහතා ළිඳෙන් ගොඩ ගන්නා ආසාවෙන් බව පැහැදිලියි. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ගැන හසල දැනුමක් සේම රාජපක්ෂ තේජසින් දෑස් අන්ධ කර නොගත් නීතිවේදීන් ඉතාම පැහැදිලිව පෙන්වා දෙන්නේ ජී.එල්, සරත් නන්ද සිල්වා වැනි රාජපක්ෂ ප්‍රේමීන් ඉදිරිපත් කරන තර්ක කිසිදු ආකාරයක පදනමක් නැති හුදු ප්‍රලාප පමණක් බවයි.

ව්‍යවස්ථාපිත විධිවිධාන

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියේ (2) අනු වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා තිබුණේ, “ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය”යනුවෙනුයි. දේශපාලන හා නීති ප්‍රවීණයින්ට අනුව මේ වගන්තිය මග හැර යාමට හැකියාව තිබුණේ 1978 මහ මැතිවරණයෙන් බලයට පත්ව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපති ධුරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතාට පමණයි. ඒ ජයවර්ධන මහතාව “ජනතාව විසින් තෝරා පත් කර ගන්නේ” 1982 ජනාධිපතිවරණයෙන් පමණක් වීම නිසයි. මෙම ප්‍රතිපාදනය ඊළඟට නොකඩවා දෙවරක් (1994/1999) ජනාධිපතිවරණ ජයගත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ද ඒ ආකාරයෙන්ම බලපෑ නිසා එතුමිය යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණේ නැහැ.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා 2010 සැප්තැම්බර් 09 වැනිදා කූඨ හා අත්තනෝමතික ලෙස සම්මත කර ගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළා. මෙම සංශෝධනයේ මෙසේ සඳහන් වුණා.

(මෙහි මින් මතු “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව”යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

1. එකී ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව ඉවත් කිරීමෙන්,

යනාකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා අසීමිත වාර ගණනක් (ජනතාව විසින් තෝරාපත් කර ගන්නා තාක්) ජනාධිපති ධුරය දැරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇතුළත් කර ගත්තා.

එදා මේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දැඩි විවේචනයට සේම පිළිකුලට ලක් වුණා. ඒ අතර අද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කෝන්දේසි විරහිතව පෙනී සිටින හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ද සිටියා. මෙහිදී පොදුවේ එල්ල වූ විවේචනය වුණේ එක් පුද්ගලයෙකු විසින් අසීමිත වාර ගණනක් ජනාධිපති ධුරය දැරීම නිසා ජනතාවගේ නිදහස සේම ප්‍රජාතන්ත්‍රවාදය ද වළපල්ලට ගොස් රට ඒකාධිපතිවාදය කරා ගමන් කරනු ඇති බවයි. එහෙත් මේ කිසිදු විවේචනයකට හෝ විරෝධයකට මහින්ද රාජපක්ෂ මහතා හෝ රෙජිමය කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වුණේ රාජපක්ෂ පවුලේ යාවජීව පාලනයක් (පවුල් පාලනයක්) වෙනුවෙන් මේ පාර්ශ්වය කොන්දේසි විරහිතව පෙනී සිටීමයි.

එහෙත් දෛවෝපගත ආකාරයෙන් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක පරාජයක් හිමිකර දීමට මෙරට ජනතාව පියවර ගත්තා. ඔවුන් එදා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට දැඩි තීන්දුවක් ගත්තේ නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතාව පමණක් නොව ඔහු විසින් නායකත්වය දුන් රෙජිමය (පවුල්) පාලනය ද අනවශ්‍ය බව අවධාරණය කරමිනුයි.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 මැයි 15 වැනිදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නේ ඉතාම පැහැදිලිව යළිත් මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත්වන ඕනෑම පුද්ගලයෙකුට දෙවතාවකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි බවට ප්‍රතිපාදන ඇතුළත් කිරීම මගිනුයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සංශෝධනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාව යළි සංශෝධනය කිරීමට පියවර ගත්තා.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අනු ව්‍යවස්ථාව ඇතුළත් කිරීමෙන් :- “(2) ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේ ය”

අද මහින්ද රාජපක්ෂ පාර්ශ්වය තර්ක කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බල නොපාන නිසා එය මහින්ද රාජපක්ෂ මහතාට අදාළ නොවන බවයි. ඒ අනුව යළිත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බවයි.

නීතිවේදීන්ගේ තර්ක මොනවද?

මේ සම්බන්ධයෙන් ඉතා නිරවුල් පැහැදිලි කිරීමක් හිටපු අධිකරණ ඇමැතිවරයෙක් වූ වත්මන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් කර තිබුණා. “19 වැනි ව්‍යවස්ථාව අනුව අතීතයේ ජනාධිපති තනතුර දෙවරක් දරා තිබෙනවා නම් අනාගතයේ දී ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න නොහැකි බවට ඉතාම පැහැදිලිව ප්‍රතිපාදන දක්වා තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන “ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරාපත් කරගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා තෝරාපත් කර ගැනීමට සුදුස්සෙකු නොවන්නේය” යන නෛතික ප්‍රතිපාදන ඉතාම පැහැදිලියි.

මේ සම්බන්ධයෙන් නීතිඥ සුනිල් වටගල මහතා ද තමන්ගේ අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ මෙවැනි අදහසක්.

“මේක සම්පූර්ණයෙන්ම ජනතා ආකර්ෂණය දිනා ගන්න මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තවත් සංදර්ශනයක් විතරයි. රාජපක්ෂලාගේ ජනප්‍රියත්වය වේගයෙන් හීන වෙමින් තිබෙනවා. තමන් වෙතින් ගිලිහෙන ජනප්‍රියත්වය රැක ගන්න ඔවුන්ට කාලයෙන් කාලයට මේ වාගේ උප්පරවැට්ටි යොදා ගන්නවා. නීතිඥයෙක්ද වෙන මහින්ද රාජපක්ෂ මහත්තයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වුණ දේ ගැන නොදැන ඉන්න විදිහක් නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දෙවරකට වඩා ජනාධිපති ධුරයට දැරිය නොහැකි බවට ප්‍රතිපාදන දැම්මේ ම යළිත් මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අවස්ථාවක් නොදෙන්නම තමයි. මේ ගැන ඔහු හෝ ඔහු වටා සිටින කල්ලිය සවිඥානික නොවෙන්න කිසිම හේතුවක් නැහැ. මේ කරන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක්”

රාජපක්ෂ රෙජිමය යළි ඔසවා තැබීමේ අසීමිත වුවමනාවෙන් පෙළෙන නීතිවේදීන් පිරිසක් හැරුණු විට සෙසු සියලු නීතිවේදීන්ගේ අදහස වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි.

රාජපක්ෂ පවුලේ බල පොරය

ඒ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ප්‍රවේශය වෙනත් කෝණයකින් ද දකින පිරිසක් සිටිනවා. ඔවුන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතා යළි ඉදිරිපත්වීම පිළිබඳ තර්කය ඉදිරිපත් වන්නේ මේ වන විට රාජපක්ෂ පවුල තුළ ක්‍රමයෙන් මෝරා වැඩෙන බල අරගලය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියභාවය පිරිහීම පිළිබඳ ජනතා අවධානය වෙනතක යොමු කිරීමේ අරමුණින්.

දේශපාලන ප්‍රවණතා සහ ගමන් මග පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති ප්‍රවීණ දේශපාලනඥයෙකු වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කර තිබුණා.

“1978 ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන සම්බන්ධයෙන් තිබුණු ප්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මහත්තයා 18වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළා. ඒ අනුව ජනතාව පත් කරනවා නම් ඕනෑම වාර ගණනක් ජනාධිති ධුරය දැරිය හැකියි. ඒක ඉවත් කරලා තමයි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේ. දැන් මේ කතා නිකම්ම නිකං විහිළු කතා බවට පත් වෙලා ඉවරයි. මගේ පරණ මිත්‍රයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා දැන් නාඩගම්කාරයෙක් බවට පත්වෙලා ඉවරයි. මේ එතුමා වටේ ඉන්නේ නීතිඥයෝ කියා ගන්න එක එක බමුණෝ එතුමාට දෙන ලණු විතරයි”

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතාට ද අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි අනුවණ ප්‍රකාශ කරන්නේ ජනතා අවධානය දිනා ගැනීම සඳහායි.

“1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලින්ම තිබුණේ ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ දෙවතාවක් පමණයි කියලයි. ඒත් මහින්ද රාජපක්ෂ මහතාම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවතාවට වඩා ජනාධිපතිධුරය දැරිය හැකි බවට ව්‍යවස්ථාව වෙනස් කළා. නමුත් වත්මන් ආණ්ඩුව දින සියයේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත පෙර තිබූ තත්ත්වයටම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඒ අනුව පැහැදිලිවම ජනාධිපතිවරයෙකුට දෙවතාවයි බලයට පත්විය හැකි වන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ තර්කය වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කලින් සිටි අයට අතීතයට බලපාන්නේ නැති බවයි. නීතියක් ගෙනාවට පස්සේ ඒක කලින් සිටි අයට බලාත්මක වන්නේ නැහැ කියලා කාටවත් තර්ක කරන්න බැහැ. කොහොම වුණත් මේක අර්ථකථනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒත් මේ කිසිවක් ඇත්ත වුවමනාවට සිදුවන දේවල් නොවෙයි. ඔවුන් තනිකරම කරන්නේ ජනතාවගේ අවධානය දිනා ගන්න ප්‍රචාරයක් විතරයි. ජනතාවගේ අවධානය දිනා ගන්න තමයි මේ වාගේ අනුවණ වැඩ කරන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම

යළිත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බලන බව ද මේ සමග රාජපක්ෂවාදීන් සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිවේදීන් අවධාරණය කරන්නේ බලය දරමින් සිටින (වත්මන්) ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට (හිටපු ජනාධිපතිවරුන්ට පවා) කිසියම් කරුණක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හැකියාවක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තියෙන් බලය හිමිවන බවත් එහි ඉතාම පැහැදිලිව මේ බලය ජනාධිපතිවරයාට පමණක් හිමිවන බලයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා. “ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමකින් යුතු යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව නැතහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවක දී වුව ද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැක්කේ ය. එසේ යොමු කරනු ලැබූ විට ඒ යොමු කිරීමේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත හෝ ජනාධිපතිවරයා විසින් දීර්ඝ කරන ලද යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ අධිකරණය යෝග්‍ය යැයි සලකන විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ඒ අධිකරණයේ මතය ජනාධිපතිවරයාට වාර්තා කළ යුත්තේ ය”

මේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව මහින්ද රාජපක්ෂ මහතාට හෝ වෙනත් අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හැකියාවක් නොමැති බව ද පැහැදිලියි. ඒ නිසා මහාචාර්ය ජී.එල්. පීරිස් හෝ සරත් නන්ද සිල්වා යන මහත්වරුන්ගේ “ගොරකා දඩමස් කරන” නීති තර්ක හුදු අවස්ථාවාදී ප්‍රලාප පමණක් බවයි මධ්‍යස්ථ නීතිවේදීන්ගේ අදහස වන්නේ.

[චින්තක බණ්ඩාර කරල්ලියද්ද]

අන්තර්ජාලයෙන් උපුටාගත් ඡායාරූපයකි.

මාතෘකා