ඔබට නීතිය අපරාධය, නීතිය, යුක්තිය හා චේතනාව

 ඡායාරූපය:

ඔබට නීතිය අපරාධය, නීතිය, යුක්තිය හා චේතනාව

එක්තරා කතාවක කියැවෙන පරිදි අතීතයේ බටහිර රටක මිනිහෙක් ඝාතනය කළාය කියන චෝදනාවට වළහෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධියේදි වළහාට එරෙහිව ජූරි සභාවක් ඉදිරියේ නඩුවක් ඇසීමට තීන්දු වී තිබේ. වළහා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥවරයෙක් පවා පත් කොට තිබේ. අදාළ නීතිඥවරයා වළහා බේරා ගන්න ඉදිරිපත් කොට ඇති තර්කය මෙයයි. වළහාට එරෙහිව නඩුවක් අහනවා නම්, ජූරි සභිකයින් ලෙස වලසුන් කිහිප දෙනෙකුද නම් කළ යුතු බවට ඔහු තර්ක කර තිබේ. නැතිනම් එම නඩු විභාගය යුක්ති සහගත නැති බවට වන ඔහුගේ තර්කය පිළිගන්නා විනිශ්චකාරවරයා, වලසා නඩුවෙන් නිදහස් කොට තිබේ.

බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ "නික්ම යාම" කොටසේ දෙවියන් වහන්සේ මිනිසුන් උදෙසා පනවන දස පනතේ එක පනතකින් කියවෙන්නේ සබත් දවසේ (ඉරිදා) වැඩ කිරීම තහනම් බවයි. පැරණි තෙස්තමේන්තුවේ එක්තරා කතාවක, සබත් දවසේ දර එකතු කරපු මිනිහෙක් අසුවී යුදෙව්වන්ගේ ආධ්‍යාත්මික නායක මෝසෙස් ඉදිරියට රැගෙන එයි. කතාවෙ විදියට, මෝසෙස් දෙවියන් වහන්සේගෙන් අහනවා මේ මිනිහට කුමක්ද කළ යුත්තේ කියා. දෙවියන් වහන්සේ "ඒ මිනිහට ගල් ගහල මරන්න" යැයි අණ දෙයි. එය එලෙසම ක්‍රියාත්මක කොට තිබේ.

(ගණන් කතාව 15: 32-36)

අන්ධ ආගමික භක්තියෙන් මිදී ඒ ක්‍රියාවෙ යුක්තිය අයුක්තිය ප්‍රශ්න කරන්නට එතැන කෙනෙක් සිට නැත. පසු කලෙක බිහිවූ යුදෙව් ගුරුවරයකු වූ (රබ්බායි) ජේසුස් වහන්සේ ප්‍රඥාවන්තයෙක් විය. අලුත් තෙස්තමේන්තුවේ මාක් 2: 23-27 මෙසේ කියැවේ.

"තවත් අවස්ථාවක සබත් දවසකදී ඔහු ධාන්‍ය කෙත් මැදින් ගමන් කරමින් සිටියේය. ඔහු සමඟ ගිය ඔහුගේ ගෝලයෝ ධාන්‍ය කරල් කඩමින් ගියහ. එහෙයින් පරිසිවරු, “මේ බලන්න ඔවුන් කරන දේ! ඔවුන් කරන්නේ සබත් දවසේදී කිරීමට තහනම් දෙයක්! ඔවුන් එහෙම දෙයක් කරන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසූහ. ඔහු ඔවුන්ට මෙසේ කීවේය... “දෙවියන්වහන්සේ සබත් දවස ඇති කළේ මිනිසා උදෙසායි. එසේ නැතුව මිනිසා සබත් දවස උදෙසා නොවෙයි."

එසේම අනාචාරයේ හැසිරුණැයි චෝදනා ලත් ස්ත්‍රියකට මිනිස්සු එකල යුදෙව් ආගමික නීතිය ප්‍රකාරව ගල් ගසා මරා දැමීමට ලෑස්ති වූ විට, උන්වහන්සේ ඇය ගලවා ගත්තේ "පව් නොකළ කෙනෙක් පළමු ගල ගසන්න" යැයි දේශනා කිරීමෙනි. සියල්ලන් රහසින් පවු කර ඇති බැවින් මිනිස්සු අතට ගත් ගල් බිම දමා නික්ම ගියහ. (ජෝන් 8: 1-11)

කෙසේ වුවද වරදට දඬුවම් නියම කිරීම වඩාත් යුක්තිසහගත ලෙස සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධව නීති දර්ශනය කාලානුරූපීව පරිණාමය විය.

අපරාධ නීතිය

සමාජයේ විනය, යහ පැවැත්ම හා ආරක්‍ෂාව පිණිස, තත්කාලීන සමාජ සන්දර්භයට ගැළපෙන පරිදි යාවත්කාලීන කෙරෙන නෛතික රාමුවක් හා පසුබිමක් ගොඩනැඟීම හා පවත්වාගෙන යාම දියුණු මානව ශිෂ්ටාචාරයන්හි ලක්ෂණයකි. ඒ අනුව රටේ නීති හා අනු නීති, පාර්ලිමේන්තුව, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා යන ව්‍යවස්ථාදායක ආයතයන් මගින් පැනවෙන අණපනත්, ප්‍රඥප්ති හා රෙගුලාසි ආදියෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකාවේ අපරාධමය වැරදි සම්බන්ධයෙන් ලබා දෙන දඩුවම් පිළිබඳ ව දණ්ඩ නීති සංග්‍රහයේ හා එහි සංශෝධනයන්හි සවිස්තරාත්මකව දීර්ඝ ව විස්තර වේ. ඊට අමතර ව විවිධ සමාජ අවශ්‍යතාවන් මත ගොඩනැඟුණු අපරාධ වැරදි අන්තර්ගත පනත් කිහිපයකි. උදාහරණ ලෙස පොදු දේපළ විෂයෙහි සිදු කරන වැරදි පාලනය කිරීම සඳහා පොදු දේපළ පනත ක්‍රියාත්මක වන අතර ආගමන හා විගමන වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ආගමන හා විගමන පනත ක්‍රියාත්මක වේ. වනාන්තර ආශ්‍රිත ව සිදුවන අපරාධ පාලනය කිරීම සඳහා වනජීවි වෘක්‍ෂලතා පනත ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ පුරාවස්තු විනාශ කිරීම පාලනය කිරීම සඳහා 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත ක්‍රියාත්මක වේ. පරිගණක අපරාධ සම්බන්ධව 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත අදාළ වේ. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් ප්‍රධාන ලෙස 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත අදාළ වේ.

අපරාධයක් යනු කුමක්ද?

අපරාධයක් වනාහි ඉහත දක්වා ඇති ආකාරයේ පනතක නිර්වචනය කර ඇති, රාජ්‍ය පාලන අධිකාරීන් මගින් දඬුවම් ලැබිය යුතු ක්‍රියාවක් හෝ නොකර හැරීමකි (Commission or Omission). “අපරාධයක්” වනාහි එහි බරපතළ ස්වභාවය හේතුවෙන්, පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකුට එරෙහිව පමණක් නොව සමස්ත සමාජයටම එරෙහිව සිදුවන්නක් ලෙස සැලකේ. එනම් සමාජයේ සදාචාරාත්මක, සාරධාර්මික පසුබිමට එමෙන්ම සමාජ යහපැවැත්මට (Social order) අපරාධයක් තුළින් පහර වදී. (It violates the moral fabric of the society)

උදා : මිනිමැරීම, ස්ත්‍රී දූෂණය, හෙරොයින් ජාවාරම,

එහෙයින් අපරාධ සම්බන්ධව අධිකරණවල චෝදනා ගොනු කරන්නේ හා පැමිණිල්ල එනම් අභිචෝදකය මෙහෙයවන්නේ පොලිසිය හා ආණ්ඩුවේ නීති අංශය වන නීතිපති දෙපාර්තමේන්තුවයි.

අපරාධ නීතිය අනුව අපරාධයක් සම්පූර්ණ වීමට එහි අන්තර්ගතව තිබිය යුතු Elements කිහිපයකි.

[නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර]

 

ඉතිරිය ලබන සතියට

මාතෘකා